“රැගෙන එන්න දිව්‍යමය සංජීවනිය
ගල්වන්න රිදුම් දෙන මිනිස් හදෙහි
දිවි ගෙවන්න ප්‍රේමයෙන් හැමවිට
එකම රුධිරයයි ඇත්තේ
සිංහල, දෙමළ, මුස්ලිම්
කුමන රැසක කුමන දහමක වුණත්”
ප්‍රකට භාරතීය ගායක පත්ම ශ්‍රී හරිහරන්ගේ සුමියුරු හඬින් ගැයෙන මෙම ගීතය පසුගියදා ගුවනට මුසුවෙන්නේ ඉන්දීය – ශ්‍රී ලංකා මිතුදමට සේතුවක් ලෙසිනි. එය අපට වඩාත් සුවිශේෂී වන්නේ පද රචනය මෙන්ම සංගීතයේ හිමිකාරීත්වයත් ශ්‍රී ලංකාව සතු වීම නිසාවෙනි. දෙස් විදෙස් සම්මානලාභී ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායකගේ මියුරු ස්වර රටාවට ගැයෙන පද පෙළ රචනා කරනු ලැබූයේ හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්ය වත්සලා සමරකෝන්ය. ඉන්දියාවට ගී ලියූ එකම ශ්‍රී ලාංකේය ගීත රචිකාවිය ඇය වනවාට කිසිදු සැකයක් නැත. මේ දිනවල බොහෝ කතාබහට ලක්වන ඇය අද අපේ කතාබහට එක්වූවාය.
වත්සලාට හින්දි භාෂාව ගැන ඇල්මක් ඇතිවෙන්නෙ කවදද?
පොඩි කාලෙ ඉඳන්ම මං සංගීතය ඉගෙන ගත්තා. පාසලේ ඔගස්ට්‍රා කණ්ඩායමේ ගිටාර් ප්ලේයර් විදිහට කටයුතු කළා. ගිටාරය ගැන මුලින්ම ඉගෙන ගත්තෙ පොඩි අයියගෙන්. ඊට පස්සෙ අශෝක පෙරේරා සර්ගෙනුත් ඉගෙන ගත්තා. ඒ අතරේ අම්මා තමයි මාව හින්දි භාෂාව පැත්තට යොමු කළේ. හින්දි භාෂාවයි සංගීතයයි එකටම යන නිසා ඒ දෙක අතරෙ ලොකු ගැළපීමක් තිබුණා. මගේ අයියල දෙන්නම මියුසික් එක්කමයි හිටියෙ. ගෙදර හැමෝම කලාවට බරයි. ඒත් හින්දිවලට මගේ ලොකු කැමැත්තක් තිබුණෙ නෑ. ඒ කාලෙ අපේ ගෙදර තිබුණා ඉන්දියාවෙ ප්‍රකට ගසල් ගායකයෙක් වුණු ජග්ජිත් සිංගේ ලයිව් ෂෝ එකක සී. ඩී. එකක්. ඒක අහද්දි තමයි මට හින්දි භාෂාව ගැන ඉගෙන ගන්න ආසාවක් ඇති වුණේ. බොහෝ දුරට ගසල්වලින් කියවෙන්නෙ ආදරය, විරහව එහෙම නැත්නම් ගැහැනිය ගැන. ඒව ගායනා කරන්නෙත් කතාවක් කියන ගමන්. ඒ වචනවල, ශබ්දවල තියෙන ලස්සන මට දැනුණා. හින්දි භාෂාව කියන්නෙ සංගීතමය භාෂාවක්. ගසල්වල කියවෙන දේ ගැන දැනගැනීමේ ආසාවක් තමයි මට මුලින්ම ඇතිවුණේ.
එතකොට හින්දි ගීත ලියන්න යොමු වුණේ කොහොමද?
මුලින්ම මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. මාධ්‍ය පැත්තට තිබුණු කැමැත්ත නිසාම මම ශ්‍රීපාලිය තෝරගත්තා. ඒත් මං හොකී ක්‍රීඩාවටත් යොමුවෙලා හිටිය නිසා ඒ හැමදේමත් එක්ක කොහොමහරි කැරකිලා කැලණිය විශ්වවිද්‍යාලෙට ආවා. විශේෂවේදී උපාධිය සඳහා කළෙත් හින්දි භාෂාව. එතැනදි මට තව තව හින්දි භාෂාවට ළං වෙන්න පුළුවන් වුණා. හින්දි සාහිත්‍ය ගැන ගොඩක් ඉගෙන ගත්තා. නාටක ගැන ජන සංස්කෘතීන් ගැන හොයන්න පටන් ගත්තා. ඒ විදිහට සංස්කෘතියට සහ සාහිත්‍යයට පැති දෙකකින් ළං වෙන්න හැකි වුණා. ඒ අතරෙ මට තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට අවුරුදු 3ක් උගන්වන්නත් ලැබුණා. ඉන්දියාවට ගිහින් ඩිප්ලෝමා එක කරන්නත් අවස්ථාව ලැබුණා. ඉන්දියාවෙ ඉන්න කාලෙ මං සිංහල සින්දුවල තනුවලට වචන යොදාගෙන ගායනා කරල බැලුවා. ඒත් මං කවදාවත් හිතුවෙ නෑ මං ලියන ඒව මේ වගේ සංගීතවත් වෙලා ඔරිජිනල් ගීත විදිහට ගායක ගායිකාවන්ගේ හඬින් අහන්න ලැබේවි කියලා.
2013 දී මට රූපවාහිනී නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. එතැනදි තමයි මට සුහානි රාත් කියන හින්දි චිත්‍රපට ගිත වැඩසටහන කරන්න ලැබෙන්නෙ. මට දර්ශන රුවන් දිසානායක හමුවෙන්නෙත් ඒ වැඩසටහනේදි. එතැන තමයි මගේ ජීවිතේ සුවිශේෂී වෙනසකට භාජනය වුණු තැන. ඔහුගේ ආරාධනයෙන් මං හින්දි ගීත රචනය පැත්තට යොමු වුණා. ඔහු මට කිවුවා නංගි මං මෙලඩි එකක් කරල තියෙනවා. ඔයා ඒකට ගීතයක් ලියන්න කියලා. එතැනදි ඒකට ඕන වචනත් එවල ඔහු මාව සීමාවක කොටු කළා. මුන්නාර් කියන මගේ පළමු ගීතය ලියැවුණේ ඒ විදිහට. ඒක ගායනා කළේ ඉන්දීය ගායිකා නිත්‍යා මම්මන්. දෙවැනි ගීතයත් ලියවුණේ ඇයටමයි. ඒක ඩුවට් එකක්. එතැනදි සම්පූර්ණයෙන්ම ගීතය ලියන්න මට නිදහස තිබුණා. ඕනෑම අදහසක් ගීතයක් දක්වා ගියොත් තමයි ඒකෙ සාර්ථකත්වයක් දකින්න පුළුවන් වෙන්නෙ. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන දර්ශන රුවන් දිසානායකට.
භාරතීය ගායක හරිහරන්ට ගීතයක් ලියන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
ඒකට අවස්ථාව ලැබෙන්නෙත් දර්ශන රුවන් දිසානායක නිසා. ඒකෙත් අයිඩියා එක දුන්නෙ ඔහුමයි. ඒක ඉන්දීය කලාපීය සංහිඳියාව උදෙසා ලිවුව ගීතයක්. ඒ අදහස එන විදිහට වචන ටිකක් එවලා ඒකට අනුවම ලියන්න කියලත් කිවුවා. ඒ අනුවයි සංජීවනී ලේ ආර් ඒ සින්දුව ලියවෙන්නෙ. දර්ශන අයියගෙ මෙලඩි එක අහපු ගමන්ම ඔහු කැමැතිවෙලා තිබුණා. ලංකාවෙ ජන සංගීතය වගේම ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය සහ රාගධාරී සංගීතය මුසු කරලා දර්ශන හදපු මෙලඩි එකේ ඔහුගේ කැපෑසිටි එක හොඳින්ම පෙනුණා. ගීතයේ පද ගැනත් අවධානය යොමු කරල ඔහු විශේෂයෙන්ම සතුට පළ කළා. ගීතය රිලීස් කරන අවස්ථාවට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබුණා.
මේ යන ගමනට සහයෝගය ලබා දෙන අය ගැනත් මතක් කරමු?
මම විවාහකයි. මගෙ මහත්තයා දිල්ෂාන් හමුවෙන්නෙත් විශ්වවිද්‍යාලයෙදිමයි. ඔහුත් කලාවට ලැදි කෙනෙක්. අපි හමුවෙන්නෙත් සංගීතය නිසා. ඔහුත් කලාව ගැන තේරුමක් තියෙන කෙනෙක් නිසා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදරිනුත් ලොකු සහායක් ලැබෙනවා.