අඳුන්ගිර හැත්තෑව දශකයේ සමාජ දේශපාලන ආර්ථික රටාව වටා ගෙතුණු ජනතාවගේ සිතුම්පැතුම් මැනවින් විදහා දක්වන කතා තේමාවක් රැගත් ටෙලි නාට්‍යයකි. මෙම ටෙලි නාට්‍යයේ තිර පිටපත ලියන ලද්දේ සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකයි. පසුගියදා පැවැති සිග්නිස් සම්මාන උලෙළේදී හොඳම තිර පිටපතට හිමි සම්මානය හිමි වූයේ අඳුන්ගිර ටෙලි නාට්‍ය සඳහාය.
මින් පෙර ඇය විසින් ලියන ලද නවකතා ඇසුරෙන් ටෙලි නාට්‍ය කිහිපයක්ම රූපවාහිනි තිරය මත දිග හැරිණි. ඒ නම් වරාමල් නවකතාව ඇසුරෙන් වියසිඳර, අග්නි නවකතාව ඇසුරෙන් කවිය නුඹ, හිරුමඬල පොත ඇසුරෙන් මද්දහන, හැන්දෑව නවකතාව ඇසුරෙන් හැන්දෑළු, ගිරිකුළ පොත ඇසුරෙන් ගිරිකුළ, වාලුකා පොත ඇසුරෙන් මහපොළොව, ගිරිදේවි පොත ඇසුරෙන් ගිරිදේවි, එරන් ලන්දු පොත ඇසුරෙන් එරන් ලන්දු ආදි වශයෙන් ටෙලි නාට්‍ය ලෙස නිර්මාණ වූ නාට්‍ය රැසකි. නමුදු ශාන්ති විසින් ලියන ලද පළමු ටෙලි නාට්‍ය තිරපිටපත වන්නේ අඳුන්ගිරයි.
“මගේ නවකතා ටෙලි නාට්‍ය සඳහා ගනිද්දි ඒ හැම වරකම වගේ එහි තිරපිටපත මටම ලියන්න කියලා ආරාධනා ලැබෙනවා. හේතුව මොකක්ද මන්දා, මම ඒ තිරපිටපත් ලියන්න ගියේ නෑ. මට හැම වෙලේම හිතුණේ එය අපි වෙනම අධ්‍යයනයකින් පසුව කළ යුතු දෙයක් කියලා. නමුත් ඉන්දික මල්ලි මෙවර මට කිව්වා එහි තිරපිටපත ලියන්න කියලා. මම “රුහිරු“ තිරනාටකය ලිව්වා.
නමුත් ඒ නමට අධ්යක්ෂගෙවත්, නිෂ්පාදිකාවගෙවත් කැමැත්තක් තිබුණේ නැහැ. ඒ ගමන තමයි මම අඳුන්ගිර කියලා නම දැම්මේ. ඒ වන විට මම අඳුන්ගිර නමින් නවකතාවක් ලියා තිබුණේ. නමුත් අඳුන්ගිර නවකතාව සමඟ අඳුන්ගිර තිරපිටපතේ කිසිම සම්බන්ධතාවක් නැහැ. අඳුන්ගිර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ඉන්දික ධර්මතිලක. ඔහු තමයි ගිරිදේවි නාට්‍යයත් කළේ. නාට්‍යයේ නිෂ්පාදිකාව නුවනි වලිමුනි. අඳුන්ගිර කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය තිර පිටපත. නමුත් ඊට පෙර මගේ නවකතා ඇසුරෙන් ටෙලිනාට්‍ය කිහිපයක්ම නිර්මාණය වී තිබුණා. ඇත්තම කිව්වොත් මෙය කරගෙන යද්දි බොහෝම අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. අපිට නාට්‍යයේ කොටස් අඩු කරන්නට සිදු වුණා. ඇත්තම කිව්වොත් කොටස් අඩු කිරීම පහසු වුණේ නැහැ. නමුත් අධ්‍යක්ෂයි, නිෂ්පාදිකාවයි දෙන්නා බොහෝම මහන්සි වෙලා ඒ අභියෝගය ජය ගත්තා. මම නැවත තිර පිටපත් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ. නමුත් මෙවර සිග්නීස් සම්මානය හිමි වුණාට පස්සේ මම ආයේ ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටිය තීරණය වෙනස් කළා.“
ශාන්ති පවසන්නේ තම පළමු ටෙලි නාට්‍ය තිරපිටපතට සම්මාන හිමි වීම පිළිබඳ සිත උපන් නිහතමානී සතුටකිනි. ඇය සම්මානනීය සේම බොහෝ පාඨක පිරිසකගේ හදවතේ සිටින නවකතාකාරියකි. නවකතාවට වඩා වෙනස්ම මඟක් ගන්නා තිරපිටපත ලිවීමේ කාර්යය කෙසේ දැයි විමසූ විට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.
“සමහරු නම් කියනවා නවකතා ලියනවට වඩා තිරපිටපත ලියන එක පහසුයි කියලා. නමුත් දැන් මට තේරෙනවා නවකතාව සහ තිරපිටපත කියන්නේ දෙකක් කියලා. එක් අතකින් බැලුවාම තිරපිටපත ලියන එක පහුසයි තමයි. ඒත් අපට හැමවිටම මූලික සැලැස්මක් තිබිය යුතුයි. අනිත් අතට තිරපිටපත ලියන එක හරිම අමාරු කාර්යයක්. නමුත් දැන් මගේම නවකතාවක් හරහා තමයි තිරපිටපත ලියන්නේ. ඒක වෙනමම වැඩක් ලෙසයි මම දකින්නේ. කොහොම වුණත් සමහරු කියන පරිදි මේක කිසිසේත්ම පහසු කාර්යයක් නොවන බවයි මගේ අදහස.
අඳුන්ගිර රූගත කළේ අපේ ගම් පළාතේ. ඒ රූගත කිරීම් අතරතුරත් මට පිටපත ලියන්න වුණා. මම ලියන්නේ ඇළක වතුර පිරිලා ගලන කාලෙක. නමුත් රූගත කීරීම් කරන කාලයේ ඇළවල් හිදිලා නම් මට සිදු වුණා ඒ කාලයට ගැළපෙන විදිහට ඒ පිටපත වෙනස් කරන්න. තාක්ෂණික ගැටලු, පරිසරය සේම ආ අභියෝග ජය ගන්නට අපට සිදු වුණා. කොහොම වුණත් ඒ කාලයේ ලබපු අත්දැකීම් හරිම සුන්දරයි.
අඳුන්ගිර කතාව 70 දශකයත් එක්ක දිවෙන කතාවක්. ඒ කාලයේ පාවිච්චි කරපු වාහන, ඇඳුම් පැලඳුම් සමඟ කතාව සිද්ධි හැමදෙයක්ම ගළපන්න අපට සිදු වුණා. 71 කැරැල්ල, 83 ජූලි කලබල, මේවා අපිට ඕන විදිහට කරන්න බැහැ. ඒ්වා හරි පරිස්සමෙන් කරන්න ඕන දේවල්. අඳුන්ගිර කතාව ලියද්දි දෙමළ පවුලක්, ආදිවාසී පවුලක් ආදිය සම්බන්ධ කරන්න සිදු වුණා. ඒ ගැන ලියද්දි ඒ ජන කොටස්වලින් මට හොඳ සහයෝගයක් ලැබුණා. මේක සාමූහික ප්රයත්නයක්. තිරපිටපත ලිවීමේදී මට හැමෝගෙම උදව් ලැබුණා. මේ ටෙලිනාට්‍ය පිටපත ලිවීම සාමූහික ප්රයත්නයක් හැටියටයි මම දකින්නේ. මම හැමදාම අතින් ලියන කෙනෙක්. නමුත් පළවෙනි වතාවට මෙය ටයිප් කරන්න වුණේ. ඒ වෙලාවේ තරුෂ දිසානායක පුතාගෙන් මට හොඳ සහායක් ලැබුණා. එය මේ වෙලාවේ මම මතක් කළ යුතුමයි.“
ගැමි පරසරය, ගැමි ජීවිත මුල්කර ගනිමින් අපේ රටේ එක එක අවධියන් තේමා කරගනිමින් කතා ලියන ටොන්ති මේ දවස් වල තම අලුත්ම නවකතාවට වස්තු බීජයක් සොයමින් සිටින්නීය.
“මේ දවස්වල මගේ හිතේ කතාවක් තියෙනවා. ඒක තවමත් වර්ධනය වෙමින් තියෙන වස්තු බීජයක් කිව්වොත් හරි. 77 ආණ්ඩු පෙරළියත් එක්ක ඇති වුණ මැතිවරණ ප්රචණ්ඩත්වය ගැන මම තවමත් කරුණු සොයමින් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ. මගේ දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ හැම දෙයක්ම කරන අතරේ තමයි මම ලිවීමත් කරන්නේ. කොළඹින් බොහෝම දුර බැහැර ඈත ගමක සිටින කෙනෙක් වන මට සම්මාන හිමි වීම ගැන මට තියෙන්නේ අවංක සතුටක්. ඒ වගේම මම හැම විටම හිතන දෙයක් තමයි මම සිටින මේ ප්‍රෙද්ශයේ පරිසරයට වගේම මේ ගැමියන්ටත් මේ ගෞරවය ලැබිය යුතුයි. මොකද මගේ අත්දැකීම් පෝෂණය වෙන්නේ මේ පරිසරයේ. මේ ලැබුණ සම්මානය අපි හැමෝටම ගෞරවයක් ලෙසයි මම දකින්නේ.“
ඉනෝකා සමරවික්‍රම