වැලිවිට දිස්න ප්‍රබෝද් පුංචි පුතු පසුගියදා කැලණි ගං මිටියාවතේදී සදහටම දෙනෙක් පියා ගත්තේ අලි මිනිස් ගැටුමට එහා ගිය කිඹුල් මිනිස් ගැටුමට කතිකාවක් නිර්මාණය කරමිනි. අලි මිනිස් ගැටුම් පරයමින් කුඹුල් මිනිස් ගැටුමද මේ වන විට කතා කරන්නට විසඳුම් සොයන්නට මාතෘකාවක් සපයන්නේ එදා නගරයෙන් බැහැර ගංඟාවලට සීමා වී තිබූ කිඹුල් ව්‍යාප්තිය දැන් කොළඹ ඇතුළු නගරාසන්නයේ ද දැඩි ලෙස ව්‍යාප්තියක් පෙන්වීම හේතුවෙනි.
පසුගියදා කැලණි ගඟේ කිඹුල් ප්‍රහාරයකට ලක් ව ජීවිතයට සමුදුන් දරුවාගේ මරණය හා සබැඳුණු කතාබහේදී පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනයන් සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් සටහන් කරන්නේය.
‘නීතිය හා මානුෂිකත්වය හා සබැඳුණු මේ කතා බහේදි ඔහු පවසන්නේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට කිඹුලා මරණයට පත්කළ හැකිද යන්නට නීතිමය අර්ථකතනයයි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 60 වන වගන්තියේ සාපරාධි වගකීම් පිළිබඳ සාමාන්‍ය නීතිමය තත්ත්වය යටතේ 60( 1) උප වගන්තිය අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනන යටතේ හෝ දඬුවම් ලැබිය හැකි යම් ක්‍රියාවකදී වන සතකුගෙන් සිදුවිය හැකි අන්තරායකින් හෝ තුවාල සිදු කිරීමකින් මිනිසකු ආරක්ෂා කිරීමේ කාර්යය කරන්නේ නම් එය වරදක් නොවන බවයි. නීතීඥ ජගත් ගුණවර්ධනයන්ට අනුව මේ නීතිමය රැකවරණය ලබා දී තිබුණ ද එසේ ඉලක්කයට වෙඩා තැබීම දක්ෂ වෙඩික්කරුවකුට පවා අපහසු කර්තව්‍යක් බවයි, ඔහුගේ අදහස වී ඇත්තේ. මන්ද ජලයේ සිටින කිඹුලකුගේ සාමාන්‍ය චර්යාව වෙනස්ම වූ අධ්‍යයනයක් කළ යුතු කරුණක් බැවිනි.
මේ වන විට කිඹුලන් පිළිබඳ ලංකාවේ ද විවිධ වියතුන් විසින් පුළුල් අධ්‍යයනයන් සිදු කරගෙන යන්නේය. එයින් එක් අයකු වන්නේ උරග හා පරිසර සංරක්ෂණ විද්‍යාඥ ඩිනාල් සමරසිංහය. ඔහු විසින් සකස් කළ කිඹුලන් පිළිබඳ අධ්‍යයන වාර්තාව ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතය. ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ දකුණු ආසියාවේ සභාපති මෙන්ම කිඹුලන් පිළිබඳ කලක සිට පර්යේෂණය කරන උරග හා උභය ජීවි විද්‍යාඥ ආචාර්ය ඇන්සලම් ද සිල්වා තවත් ප්රවීණයෙකි. ඔවුන්ගේ පර්යේෂණයන් හරහා කිඹුලන් පිළිබඳ අලුත් අනාවරණයන් ඉදිරියේදි හෙළි වන්නේය.
උරග සම්බන්ධ පරිසරවේදීන්ට අනුව ලංකාවේ කිඹුල් විශේෂ වර්ග දෙකකි. ඒ ගැට කිඹුලා Saltwater crocodile හා හැල කිඹුලා Mugger crocodile ය . ලංකාවේ කිඹුල් විශේෂ ගැන විශේෂ අධ්‍යයනයක් සිදුකරන පරිසර සංරක්ෂණ විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පවසන්නේ කිඹුල් මිනිස් ගැටුමට පාදක වූ ගැට කිඹුල් පැටවුන් කොළඹ දිස්ත්‍රික්කයේ (කැලණි ගඟ, කොළඹ තෙත්බිම් සංකීර්ණය, බොල්ගොඩ වැව) දළ වශයෙන් 100-120 ක්ද, අඩි 2 සහ ඊට වැඩි ගැට කිඹුලන් 800-1000 ක ඇස්තමේන්තුවක් කළ හැකි බවයි.
යාල විල්පත්තු වැව් ආශ්‍රිතව ජීවත් වන ප්‍රමාණයෙන් කුඩා එනම් අඩි 6-7 ක් දිගින් යුතු හැල කිඹුලන් සම්බන්ධයෙන් මේ වන විට නිවැරදි අධ්‍යයනයන් සිදු වී නොමැති අතර, හැල කිඹුලකුගෙන් මරණයට පත්වූ පුවතක් පසුගිය වසර අග වාර්තා වූයේ ගල්නැව තඹුත්තේගම ප්‍රදේශයෙනි. ජගත් ගුණවර්ධනයන් පවසන පරිදි හැල කිිඹුලන් නිසා මරණයට පත් වූ වාර්තා ඇත්තේ එකක් පමණි. ඒ 1978 වසරේදී කොන්දුඇටවාන වැවේ හැල කිඹුලකු විසින් මිනිසකු ගෙන ගොස් තිබීමය. පසුව මීට දෙවසරකට පෙර දඹුල්ල ප්‍රදේශයේ හැල කිඹුලකු අතින් මිනිසකු මරණයට පත් වූ බව පැවැසුව ද පැහැදිලි නැත. මේ කොන්දුඇටවාන වැවේ හැල කිඹුලා 1978 වසරේ මාර්තු වෙඩා තබා මරා දමන ලදී. එසේ වුවත් හැල කුඹුලන්ගෙන් මරණයක් නොව සිදුවීමේ අවකාශ ඇත්තේ තුවාල සිදුකිරීම බව පරිසරවේදීන්ගේ අදහසයි. පරිසරවේදීන් පවසන පරිදි හැල කිඹුලන් ආරක්ෂිත ස්ථානවල සිටියත් ගැට කිඹුලන්ගේ වාසස්ථානය වී ඇත්තේ ආරක්ෂිත ස්ථාවලින් පිටත ලංකාවේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව බවය. අතරමැදි තෙත් කලාපයේ ගංගා ආශ්‍රිතව, බෙන්තර මෙන්ම නිල්වලා ගංගාවල හොඳ කිඹුල් ගහනයක් වාර්තා වුව ද විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පවසන්නේ කැලණි ගඟේ කිඹුල් ගහණය අඩු බවකි.
“ලංකාවේ හැම ගඟකම කිඹුල්ලු නැතත් හංවැල්ල සිට සීතාවක දක්වා කැලණි ගඟේ කිඹුල්ලු ඉන්නවා. ඒ වගේම හලාවත දක්වා ගංගාවල කිඹුල්ලු ඉන්නවා. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ වන විට කිඹුල් ගහනයේ අඩුවක් දක්නට ලැබුණත් ව්‍යාප්තියේ වෙනසක් දකින නිසා අපි එය වැඩිවීමක් ලෙස විස්වාස කරනවා. නමුත් දත්ත අනුව එසේ වැඩිවීමක් සිදුවී නැහැ. විශේෂයෙන්ම මේ වන විට කොළඹ අවට නිරන්තරයෙන් කිඹුලන් දක්නට ලැබෙනවා. ඒ තිස් වසරක යුද්ධයෙන් පසුව ලන්දේසි ඇළ මාර්ග මෙන්ම කැනල් මාර්ග සුද්ද කිරීම නිසා, මේ ඇළ මාර්ගවලට කිඹුල්ලු ආවා. මේවා පිරිසිදු කළ නිසා කිඹුලන් හොඳින්ම පෙනෙන්න ගත්තා. ගංගාවලින් මේවාට ආවේ මුහුදු මාර්ගය හරහායි. පසුගිය කාලයේ මිනිසුන් ගංගාවල වතුර භාවිතය වැඩි කළා. ආර්ථික ප්‍රශ්න හමුවේ ගංගා භාවිතය වැඩි වුණා. නමුත් මේවාට බසින ජනතාව ගඟේ කිඹුල්ලු සිටින බව තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන් බෙන්තර, නිල්වලා ගංගා පරිහරණය කරන ජනතාව ඒ ගැන අවදියෙන් සිටිය යුතුමයි. ගඟක කිඹුල් ගහනය වැඩියි කියා අනතුරක් සිදුවීමේ සම්භාවිතාව වැඩි නැහැ. කැලණි ගඟේ අඩු කිඹුල් ගහනයක් සිටියත් අනතුරක් වීමේ සම්භාවිතාවක් පවතින්නේ නම් එයින් අදහස් වන්නේ ගඟ භාවිත කිරීම නිවැරදිව සිදු නොවූ බවයි. කිඹුල් කොටු ඇති කිරීම මීට එක් විකල්පයක්. එසේම ගංගාවලට අපද්‍රව්‍ය විසි කිරීම නැවැත්විය යුතුයි. “ ඩිනාල් සමරසිංහ පවසන්නේය.
මේ පිළිබඳ නිරන්තරයෙන් පර්යේෂණය කරන උරග හා උභය ජීවි විද්‍යාඥ ආචාර්ය ඇන්සලම් ද සිල්වා පවසන්නේ කිඹුල් කොටු පරිහරණය කිරීම වඩාත් ආරක්ෂිත ක්‍රමවේදයක් බවයි.
“අතීතයේ සිටම ගැට හා හැල කිඹුල් විශේෂ දෙකෙහිම සැලකිය යුතු ගහනයක් රට තුළ සිටියා. 1672 දී යාපනය අර්ධද්වීපයේ වැව්වල, පොකුණුවල කිඹුලන් රැසක් සිටි බව පිලිප් බල්ඩේයස් වාර්තා කළා.
1852 දී එඩ්වඩ් ෆෙඩ්රික් වාර්තා කළේ ගැට කිඹුලා විශාල ගංගාවල බහුලව දක්නට ලැබුණු බවත් හැල කිඹුලා ත්‍රිකුණාමලයේ ලුණු වගුරු බිම් සහ විශාල විල්වල බහුලව දක්නට ලැබෙන බව. 1861 දී එමර්සන් ටෙනන්ට් වාර්තා කළේ උතුරු පළාත්වල නිශ්චල ජලය සහ වැව් විශාල ප්‍රමාණයේ කිඹුලන්ගෙන් පිරී ඇති බවයි.
1883 අර්නස්ට් හෙකකල් වාර්තා කළේ කළු ගඟේ කිඹුලන් සුලබව සිටි නමුත් නිරන්තරයෙන් වැඩිවන රථවාහන තදබදය නිසා ඔවුන් බොහෝ දුරට විනාශ වී ඇති බවයි. තවද 1925 දී බහුලව දක්නට ලැබුණු විශේෂ 1939 වන විට කලාතුරකින් හමු වූ බව දැරණියගල සඳහන් කරනවා.
මම ඉපදුණේ නිල්වලා ගඟ අසල. සති අන්තයේ අපි නිල්වලා ගං දිය නෑ අතර ගඟ හරහා පිහිනුවා. නමුත් කිඹුල් ප්‍රශ්න ඇති වූයේ නැහැ.
නමුත් වසර 50කට ආසන්න කාලයකට පසු 2008 මාර්තු මාසයේදී, IUCN/WWF ඇමරිකානු රතු කුරුස හවුල්කාරිත්වය මත මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟේ වාසය කරන ගැට කිඹුල් තත්ත්වය සහ එය ප්‍රජාවට ඇති කරන බලපෑම පිළිබඳව අපි පර්යේෂණයක් කළා. ඒ අවස්ථාවේ නිල්වලා ගඟේ විශාල ගැට කිඹුලන් සිටි නිසා මම බෝට්ටුවෙන් බැසීමට බිය වුණා. අපි ගඟේ කිලෝමීටර පහක් පරීක්ෂා කළා. කිඹුලන් 50 කට ආසන්න ප්‍රමාණයක් ගණන් කළා. මඟ හැරුණු අයත් සිටියා.
නිල්වලා ගඟ පසුගිය වසර 300 තුළ ගැට කිඹුලන්ගේ ප්‍රහාර සඳහා ප්‍රසිද්ධයි. කිඹුලා ඉතා බුද්ධිමත් බවත් උගේ ප්‍රහාරය සැලසුම් කරන බවත් මිනිසුන් දන්නවා. කිඹුලකු තම ගොදුර අල්ලාගෙන සිටින විට, කිඹුලාගේ බඩට පහර දිය යුතු වෙනවා. එවිට ඌ තම ගොදුර මුදා හරිනවා. නමුත් 53%ක් කිඹුලකුගේ ග්රහණයෙන් ගැලවීමට කිසිදු ක්‍රමයක් දන්නේ නැහැ. ‘කිඹුල් කොටුව’ පරිහරණය වඩාත් ආරක්ෂිතයි. නිල්වලා ගඟේ සැදු කිඹුල් කොටු සුනාමි ව්‍යසනයේදී සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නැවත ගොඩනැඟුවේ නැහැ. එය ඉතා අත්‍යවශ්‍ය දෙයක්“
නිල්වලා, බෙන්තර ගඟේ කිඹුලන් සිටියත් කැලණි ගඟේද කිඹුල්ලු සිට ඇත්තේ අද ඊයේ නොවේ. නීතිඥ ජගත් ගුණවර්ධන පවසන්නේ අපේ පැරණි වාර්තාවන්ට අනුව ක්‍රි ව 1500 වකවානුවේ පෘතුගීසි සෙන්පතියන් විසින් මිනිසුන් ගෙන ගොස් මල්වාන රාස්සපානගලින් කිඹුලන්ට කෑමට කැලණි ගඟට විසිකළ බවයි. පසුව මිනිස් මසට ලොල් වූ කිඹුල් රංචුවක් නිරන්තරයෙන් ඒ ස්ථානයේ රැකවල්ලාගෙන සිටි බවත් සඳහන් වේ. ඒ අනුව කිඹුලන් කැලණි ගඟේ සිටි බව අතීතයේ සිට එන පැරණි කතාවකි. නමුත් මේ වන විට සුලභව සිදුවන කැලණි ගඟේ වැලි හැරීම හරහා කිඹුලන් බෝ වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් ගම්මුන්ගේ අදහස වී ඇත්තේය. එය සාවද්‍ය ප්‍රකාශයක් බව පරිසරවේදීහු පවසති. විද්‍යාත්මකව සිදුවන්නේ කැලණි ගඟේ වැලි හැරීම නිසා ලවණතාව ඉහළට යාම හා ගැට කිඹුලාට ජීවත් වීමට සුදුසු පරිසරයක් සකස් වීමය.
කෙසේ වෙතත් දැන් දැන් ප්‍රසිද්ධ නාගරික ජනාකීර්ණ ප්‍රදේශයන්හි ද අව්ව තපින විඳින කිඹුලන් දවාලට දැකීම සුලබ දසුනකි. නුගේගොඩ වැලි පාර එවන් එක් ස්ථානයකි.
“නුගේගොඩ වැලි පාරේ පිරිමි සතුන් තිදෙනකු හා කිඹුල් ජෝඩුවක් සිය බල ප්‍රදේශ වෙන් කරගෙන සිටිනවා. වතුරේ කිඹුලන්ට බල සීමාවක් හෙවත් ටෙරටරියක් තියෙනවා. කිඹුලා එළි මහනෙදි ගොදුරක් අල්ලන්නේ නැහැ. ඔහු ගොඩබිමේ ගමන් කරන්නේ හරිම පිළිවෙළකට. ගැට කිඹුලා ලොව බරින් වැඩිම උරගයා. එදා ඔවුන් ජීවත් වූයේ ඔයවල්, ගංගා ආශ්රිත තෙත්බිම්වල. නමුත් තෙත්බිම් විනාශයත් සමඟ කිඹුලන් ජල පහර හරහා වෙනත් ස්ථානවලට ගමන් කළා. ගැට කිඹුලා නිරන්තරයෙන් ජීවත් වූයේ වෙරළාසන්න කඩොලානවල, වගුරු බිම්වල. අද මේ වාසස්ථාන අහිමි වුණා. දෙවැන්න ඇළවල වැලි හැරීම නිසා කිඹුලන්ට ඉහළට ඒමට අවස්ථාව උදාවුණා. තුන්වැනි කරුණ දියවන්නා, බොල්ගොඩ ඔය ඇතුළු ඇළවල් ගණනාවකට අපද්‍රව්‍ය දැමීම නිසා කිඹුලන් මේවා ආහාරයට ගැනීමට පැමිණීමයි. කොළඹ අවට කිඹුල් ව්‍යාප්තිය වැඩි වූයේ හිටපු පාලකයන් ගත් යම් අදූරදර්ෂි ක්‍රියාමාර්ග නිසා ඇල මාර්ගවලට මුහුදු වතුර ගලා ඒමයි.
ගැට කිඹුලා මුහුදු ජලයේ දිගටම නොසිටියත් මුහුද භාවිත කළ හැකියි. ඒ එක් ජල මාර්ගයට සිට තවත් එකකට යාමට මුහුද භාවිත කරනවා. මාතර මුහුදේ කිඹුල්ලු දැක වැඩියෙන් දැක ගැනීමට හැකි වන්නේ නිල්වලා ගඟ ආශ්‍රිතව වූ වගුරු බිම් නොමැති වීම. ලංකාවේ කිඹුල් විශේෂ දෙකම වද වී යෑමේ තර්ජනයට නතු වූ සතුන්. ඒ නිසා මේ වර්ග දෙකම දැඩි ලෙස ආරක්ෂිත උරග විශේෂ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 30 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තිය යටතේ කිඹුලන් මරණයට පත් කිරීම තහනම්. නමුත් කිඹුලෙකු විසින් මිනිසකු ඩැහැගත් විට ඔහු බේරා ගැනීම වැනි ව්‍යාතිරේකි අවස්ථාවකදි එහි වෙනසක් සිදු වෙනවා. නමුත් පසුගිය සතියේ දිස්න නම් වූ දරුවා කිඹුල් කටේ සිටියදී ජනතාව විසින් කිඹුලාට වෙඩි තැබිය යුතු යැයි පොලිස් නිලධාරින්ට පැවැසූ අවස්ථාව්දී වෙඩි තැබීම සඳහා සාර්ථක ඉලක්කයක් ගත හැක්කේ දක්ෂ වෙඩික්කරුවකුට පමණයි. වතුරේ චලනය හේතුවෙන් වෙනත් මානයකට හානියක් වීමේ අවකාශය වැඩි වෙයි“ ඒ නීතිඥ ජගත් ගුණවර්ධනය.
කිඹුලෙකු පණ පිටින් ගොදුරක් ගිල දමන බවටත් මියගිය පසු ගොදුර ගිල දමන බවටත් මත දෙකක් පවතියි. “ කිඹුලා මිනිසකු ඩැහැ ගතහොත් ආහාරයට ගැනීම සඳහා වතුර ඇතුළට ඇදගෙන යනවා. මැරෙන්නේ හුස්ම ගැනීම අපහසු වීමෙන්. ඊට පස්සේ ඌ ආහාරයට ගන්නවා. කිඹුලා වතුරේ යටක හංගනවා කියන්නේ බොරු කතාවක්. ඌට කන්න පුළුවන් ටික ආහාරයට ගන්නවා. පොඩි සතකු නම් සම්පූර්ණයෙන්ම ගිලින්න පුළුවන්. 2012 වසරේ නිල්වලා ගඟේ ඇදගෙන ගිය බොඩ් එකක් අදටවත් හමු වුණේ නැහැ. ලංකාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම කිඹුලා අඩි 17.2 ක්. නිල්වලා ගඟෙන් 2017 හමු වුණා“
ඒ ඩිනාල්ය. විද්‍යාඥ ඩිනාල්ට අනුව ගැට කිඹුලන්ට සිය වාසස්ථාන ආරක්ෂා කිරීමේ බල ප්‍රදේශ හෙවත් ටෙරටරි තිබේ. “ ගැට කිඹුලන්ට ටෙරටරියක් හෙවත් බල ප්‍රදේශ පවතිනවා. එය කිලෝ මීටර 2ක් 3ක් විය හැකියි. ගැහැනු සතුන් කිහිප දෙනෙක් හා පැටවුන් මේ බල ප්‍රදේශයේ සිටිය හැකියි. මැයි සිට සැප්තැම්බර් දක්වා ගැහැනු සතුන් බිත්තර දානවා, පැටවුන් බිහි කරන්න. හැල කිඹුලාගේ ගැහැනු සතුන් බිහි වූ පසු සති දෙකක් යනතෙක් මවත් සමඟ සිටිනවා. ඒ මුළු කාලයේම හැල කිඹුලු මව බිහිසුණුයි. ගැට කිඹුලා බිත්තර දාන්න ගං ඉවුරට එනවා. තණකොළ එකතු කර බිත්තර දානවා. හැල කිඹුලා බිත්තර දාන්නේ ගුලක් වැනි වළක් හාරමින්. එකවර බිත්තර 50ක් පමණ දැම්මත් එයින් සක්‍රිය වන්නේ 75%ක් පමණයි. නමුත් පසුව ඒ පැටවුන් සතුන් විසින් ආහාරයට ගැනීම නිසා අවසානයේ ඉතුරු වන්නේ එයිනුත් 10%ක් පමණයි“
කෙසේ වෙතත් ස්වභාව ධර්මය සියල්ල සකස් කර ඇත්තේ අපූර්ව ආකාරයටය. පරිසරවේදීහු පවසන ආකාරයට කිඹුල් ගහනයේ වැඩි වීමක් සිදු නොවුවද දර්ශනය වන වාර ගණන වැඩිවී ඇත්තේ කිඹුල් ව්‍යාප්තියේ වෙනසක් සිදුව ඇති හෙයිනි. ගඟ කිඹුලන්ට උරුම වූ පරිසර පද්ධතියකි. එසේ හෙයින් බුද්ධිමත්ව ගඟ පරිහරණය කිරීම ජනතාව සතු වගකීමක් වෙයි. මේ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම අනතුරු වළක්වා ගැනීමේ හොඳම උපාය මාර්ගය වෙයි.
සුභාෂිණී ජයරත්න