අදින් වසර සියයකට පෙර සෝවියට් නායක ව්ලැදිමීර් ලෙනින් සහ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන් එකිනෙකා සති දෙකක් ඇතුළත මිය ගියහ. ලෝක ආර්ථිකයේ ගුරුත්වය ගෝලීය දකුණේ රටවලට නැඹුරුවෙමින් පවතින අවදියක මෙම ශත සංවත්සරය ඔවුන්ගේ භූ දේශපාලනික ක්‍රියාකාරී සැලසුම් – එනම් ලෙනින්වාදය සහ විල්සෝනියානුවාදයේ උරුමය නැවත ඇගයීමට කදිම අවස්ථාවකි.
1917 අප්‍රේල් මාසයේ මහා යුද්ධය මධ්‍යයේ, විල්සන් සහ ලෙනින් නව ලෝක පර්යායක් සඳහා තරඟකාරී, විශ්වවාදී දර්ශන දෙකක් ප්‍රකාශයට පත් කළහ. යුරෝපය තමන්ගෙන් සහ සෙසු ලෝකය යුරෝපයෙන් ගලවා ගැනීමේ අරමුණින් විදේශ ප්‍රතිපත්තියට දෘෂ්ටිවාදය ඇතුළත් කිරීමෙන් ඔවුහු භූ දේශපාලනික චින්තනයේ දැවැන්ත පරිවර්තනයක් සලකුණු කළහ.
ලෝක ඉතිහාසය දෙස බලන විට සියලු ගැඹුරු භූ දේශපාලනික වෙනස්කම් සිදුව ඇත්තේ යුද බිහිසුණු යුද ගැටුම්වලින් අනතුරුවය. 1618 – 1648 තිස් වසරක යුද්ධයෙන් පසු යුරෝපයේ නූතන ජාතික රාජ්‍යයන්ට පදනම සැලසූ වෙස්ට්ෆේලියානු ක්‍රමය, නැපෝලියන් යුද ගිනිදැල්වලින් පසු කොංග්රස් ක්‍රමය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු ද්විධ්රැවවාදී ලෝක පර්යාය බිහිවීය. මේ එක් එක් හැරවුම් ලක්ෂ්‍යයේ දී ප්රතිසංස්කරණවාදී ලෝක නායකයෝ නව භූ දේශපාලනික පැරඩයිමයන් නිර්මාණය කළහ.
2024 වසරේ දී, යුක්රේන සහ ගාසා අර්බුද බටහිර ගෝලීය ආධිපත්‍යය යටපත් කරමින් ගෝලීය දකුණට අවසානයේ ලෝක පර්යාය හැඩගැස්වීමට සහභාගී වීමට ඉඩ සලසයි. එහෙත් ගැටලුව නම්, නව ලෝක පර්යායකට නායකත්වය දිය හැකි ලෙනින්, විල්සන් වැනි සම්භාව්‍ය මට්ටමේ ලෝක නායකයන් අප අතර සිටී ද යන්නයි. 1917 අප්‍රේල් මස 2 වැනි දින කොංග්‍රසය අමතා කළ සිය ප්‍රසිද්ධ දේශනයේදී, විල්සන් මහා යුද්ධය “ආත්මාර්ථකාමී සහ අත්තනෝමතික බලයට” එරෙහිව “නිදහස් සහ ස්වයං පාලනයක් සහිත ජනතාවගේ” අරගලයක් ලෙස අර්ථකථනය කළේය. ලෝකය “ප්රජාතන්ත්රවාදය සඳහා සුරක්ෂිත ස්ථානයක් කරන ලෙස” ඉල්ලා සිටි විල්සන් වර්තමානයේ “ප්රජාතන්ත්රවාදී සාම න්‍යාය” ලෙස හඳුන්වනු ලබන ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ මූලික මූලධර්මය ප්‍රකාශයට පත් කළේය.
විල්සන්ගේ උපකල්පනය වූයේ ඇමරිකාවේ ප්රමුඛත්වයෙන් යුත් ලෝක පර්යායකින් අනතුරුව කාමර තුළ රහසේ කෙරෙන ගනුදෙනු, රහස් ගිවිසුම් සහ ඔත්තු බැලීමේ යුරෝපීය සම්ප්රදාය බිඳ වැටෙනු ඇති බවයි. විනිවිදභාවය නව ලිබරල්වාදී ලෝක පර්යායකට අත්වැල් සපයනු ඇත.
පෙට්රොග්රෑඩ් නගරයට පැමිණ සති දෙකකට පසු, ලෙනින් සිය සුප්‍රකට “අප්‍රේල් නිබන්ධන” ඉදිරිපත් කළ අතර එමඟින් මහා යුද්ධය යටත් විජිතවාදී ධනේශ්වර ආණ්ඩුවල “ධනවාදී ස්වභාවය” විසින් අවුළුවාලන ලද “කොල්ලකාරී අධිරාජ්‍යවාදී” ගැටුමක් බවට හෙලිදරව් කළේය.
ඔහු අභිනවයෙන් නිදහස ලැබූ කම්කරු හා ගොවි ජනතාවගෙන් සැදුම්ලත්, ප්රජාතන්ත්රවාදී “නව ජාත්‍යන්තරයක්” ඉල්ලා සිටියේය. බොල්ෂෙවික් දර්ශනය තුළ සාමකාමී ස්වර්ණමය යුගයක් පිළිබඳ සහස්රක පොරොන්දුව ද ඇතුළත් විය. ලෙනින් ජාත්‍යන්තරවාදය සැලකුවේ සමාජවාදයේ අනිවාර්ය අංගයක් ලෙස ය.
වර්තමානයේ, පශ්චාත්-බටහිර ලෝකය ද පශ්චාත් දෘෂ්ටිවාදී ලෝකයක් බවට පත්වන බවක් දකින්නට පිළිවන. එක්සත් ජනපදයේ ආධිපත්‍යමය පරිහානිය කළමනාකරණය කිරීමට අදාළ සුසංයෝගී රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයක් ජෝ බයිඩන් සතුව ඇති බවක් නොපෙනේ. බයිඩන්ගේ පරිපාලනය විල්සෝනියානු ද්විමයවාදය වෙත ආපසු හැරී ඇත්තේ එබැවින් ය. බල තුලනයේ කාචයෙන් ලෝකය දකිමින්, තරඟකරුවන් සමඟ සම්මුතියක් සොයනු වෙනුවට, වොෂින්ටනය යුක්රේන අර්බුදය ප්රජාතන්ත්රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනක් ලෙස අර්ථකථනය කර ඇත. නමුත් නේටෝ රටවල් අතළොස්සක් රුසියාවට එරෙහි සම්බාධකවලට සහාය දෙන අතර ලෝක ජනගහනයෙන් සියයට 80කට වඩා ජීවත් වන්නේ සම්බාධක ප්‍රතික්ෂේප කරන රටවලය. ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් වොෂිංටනය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ලොව බහුතරයක් රටවල බෙහෙවින් අප්‍රසාදයට ලක්ව පවතී.
මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, ලෙනින්වාදයට සමාන යටත් විජිත විරෝධී ආඛ්‍යානයක් සමඟින් ගෝලීය දකුණේ රටවලට සාර්ථකව ආමන්ත්‍රණය කරමින් සිටී.
21 වන සියවසේ නව ලෝක පර්යායක් අබියස ව්ලැඩිමීර් ලෙනින් අපෝහක වශයෙන් එකිනෙක හා බැදුණු කාරණා දෙකක් නිසා කියවා ගැනීම වැදගත් ය. එක් අතකින්, 1917 මහා ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ එනම්, 20 වැනි සියවසේ වැදගත්ම සිදුවීමේ නායකයා ලෙස ඔහුගේ විප්ලවීය ක්‍රියාකාරකම් සහ භාවිතයයි. අනෙක් අතට, අධිරාජ්‍යවාදී යුගයේ මාක්ස්ගේ සහ එංගල්ස්ගේ විප්ලවවාදී න්‍යාය වර්ධනය කිරීමේ ඔහුගේ න්‍යායික කාර්යභාරයයි. ලෙනින්ගේ අසහාය කෘතිය Imperialism: the highest stage of capitalism “අධිරාජ්‍යවාදය: ධනවාදයේ ඉහළම අවධිය” අන් කවරදාටත් වඩා වර්තමානයට බෙහෙවින් කාලෝචිත ය.
කාල් මාක්ස්ගේ 30 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ව්ලැඩිමීර් ලෙනින් 1913 දී පළ කළ ලිපියක මෙසේ සදහන් වේ: “මාක්ස්වාදී මූලධර්මය සර්වබලධාරී වන්නේ එය සත්යවූවක් බැවින් ය.” ලෙනින්ගේ 100 වැනි ගුණ සමරුවේ දී ඔහුගේ ඉගැන්වීම් ගැන ද කීමට ඇත්තේ ද ඒ ටිකම ය.