මෙරට නිදහස් සටනට පණ පෙවූ චරිත අතර සිය පෑන අවියක් කරගත් සාහිත්‍යකරුවන්ට ද සුවිශේෂී ස්ථානයක් හිමි වේ. දේශානුරාගයෙන් ජනතාව පුබුදු කිරීම සඳහා සිය නිර්මාණශීලි හැකියාව මොනවට ප්‍රදර්ශනය කළ ගත්කතුවරුන් අතර පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, සිකිම් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, පී.බී අල්විස් පෙරේරා වැනි සාහිත්‍යවේදීන් විශේෂය.
යටත් විජිත සමයේ කඩදාසි පාලනය කරමින් එකල ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වූ මුද්‍රිත ප්‍රකාශන සීමා කර තිබුණු අතර, පත පොත මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නිකුත් කිරීමට බලය පවරා තිබුණේ රජයේ මුද්‍රණාලාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරිවරයකුටය. කවරකුට හෝ යම් කෘතියක් හෝ පත්‍රිකාවක් මුද්‍රණය කර පළ කිරීමට අවශ්‍ය වූ විට පළමුවෙන්ම කළ යුතු වූයේ තමන් පළ කිරීමට බලාපොරොත්තු වන ලේඛනයේ අත්පිටපතක් මුද්‍රණාලාධිපතිවරයා වෙත ලබා දීමය. එහෙත් මෙම බ්‍රිතාන්‍ය ජාතික නිලධාරීන් බොහෝවිට ඉංග්‍රීසි හැර වෙනත් කිසිදු භාෂාවක් දැන සිටියේ නැත. ඔවුන් අදාළ අත්පිටපත භාෂා පරිවර්තකයකුට යොමු කර පරික්ෂා කර බලා එය පළ කිරීමට සුදුසු යැයි තීරණය කළහොත් පමණක් කඩදාසි ලබාදීම සිදු විය. මේ පරිවර්තකයන් බොහෝදෙනා පත පොත කියවූවන් නොවන අතර ඔවුන්ගේ දැනුම මත එය තීරණය විය. ඒ ද අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙනි. මේ තත්ත්වය නිසා බොහෝ ලේඛකයන් මහත් අසීරුතාවට පත්ව සිටියේය. එහෙත් සිය අදහස් ජනතාව වෙත ගෙන යෑමට ඔවුන් එය බාධාවක් කර නොගත්තේය. ඔවුන්ට හැකි අයුරින් ඔවුන් සිය අදහස් සමාජගත කළේය. ඉන් එක් ක්‍රමයක් වූයේ කවි කොළ මුද්‍රණය කර බෙදා හැරීම සහ රබන්කරුවන්, බෙරකරුවන් ලවා ජනතාව රැස්වන ස්ථානවල කවි ගායනා කරවීමය. මෙය ඉතාම සිත් ඇදගන්නා සුළු ප්‍රචාරණ උපක්‍රමයක් වූ අතර මෙම කවි ගායනා මඟින් ඉදිරිපත් කළ අදහස් වේගයෙන් ජනතාව වැලඳ ගත්තේය. ජාතිකාභිමානය ජාතික නිදහස පිළිබඳ ලියැවුණු බොහෝ කවි ජනතාව අතරට ගෙනයෑමට මෙම මාධ්‍ය මහත් සේ උපකාරී විය.
පියදාස සිරිසේනගේ සේවාව
වරාහේනේ සියබස් පාසැලෙන් සිංහල භාෂාව තරමක් දුර ඉගෙන ගත් පියදාස ඉඳුරුවේ ජී. ඇප්. ද අල්විස් ගුණතිලකගෙන් ව්‍යාකරණ සහිත සිංහල භාෂාව ද, බෙන්තොට ඇල්බට් ද සිල්වා කවීන්ද්‍රයාගෙන් කාව්‍ය රචනය ද උගත්තේය. එසේම ඒ අතරතුර අලුත්ගම බ්‍රෝහියර් මහතාගේ පාඨශාලාවෙන් ඉංග්‍රීසි භාෂාව ද හදාළේය.
තුරුණු වියේදී අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රසිද්ධ දේශනයක් ශ්‍රවණය කිරීමෙන් ඔහු තුළ ජාතික ආගමික හැඟීම් දලුලා වැඩෙන්නට විය. “මගේ දිවි තිබෙන තුරු ජාතියටත් ආගමටත් සේවය කරමි”යි හේ තිරව අදිටන් කරගත්තේය.
හේ 21 වැනි වියේදී කොළඹ දොන් සයිමන් පෙරේරා ධර්ම ගුණවර්ධන මුහන්දිරම්ගේ දැව භාණ්ඩ වෙළඳ සැලෙහි ලිපිකරුවකු ලෙස සේවය කළේය. ඒ අතරතුර සිය නිසඟ හැකියාව ඔපමට්ටම් කරගත් හෙතෙම ‘සිතුමිණ’ සඟරාවේ උපකර්තෘ ධූරයට පත් විය. අනතුරුව ‘සඳ රැස පත්‍රය’ට සම්බන්ධ වූ ඔහු ලේඛකයකු ලෙස දැක්වූ දක්ෂතාව නිසාම ඒ ගැන පැහැදුණු සඳ රැස කතෘවරයා තම පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙස හේ ඔසවා තැබීය. ‘ඔවදන් සිරිත’ හා ‘දම්පල් සිරිත’ යන ඔහුගේ කව්‍ය කෘති දෙක පළ වූයේ මේ කාලයේදීය.
‘‘පළකොට කෙසර සිහනද අභිරු එඩියෙනි
මගෙ රට දැය මුදනු වස් සටනට පැමිණි
වරදට හසුව සිටියත් සිරගෙයි සොවිනි
සිහියට නඟමි හෙළ දෑ අබිමන පැරැණි’’
1904 පෙබරවාරි මාසයේදී ඇරඹි ‘සිංහල ජාතිය’ සඟරාව වසර තුනකට පසුව පුවත්පතක් බවට පත් වූ අතර, එමඟින් සිංහලයා තුළ ස්වදේශාලය හා ජාත්‍යාලය ඇති කිරීමෙහි ඔහු සමත් විය. එසේම බුදුදහමට ද මේ පත්‍රයෙන් ඉමහත් පිටුබලයක් ලැබුණේය.
ඔහුගේ නවකතා තුළින් සිංහලයන් තුළ වැඩෙමින් පැවති පරසිරිත්වලට හා දුෂ්චරිතයනය පහර පිට පහර පහර දුන්නේය. සදාචාරවත් ගුණධර්ම වැඩීමට හේතුවන අවවාදවලින් හා කතා රසයෙන් ද අනූන වූ මේ නවකතා කියැ වූ ජනතාව යටත්විජිත මානසිකත්වයෙන් මිදුණහ.
ඔහු ලියූ කෘති අතර වාසනාවන්ත විවාහය හෙවත් රොස්ලින් ජයතිස්ස, මහ වියවුල, අපට වෙච්ච දේ, ශ්‍රී ලංකා මාතා, අන්තිම කැමැත්ත, අෂ්ට ලෝක ධර්ම චක්‍රය, විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, වලව්වක පලහිලව්ව, තරුණියකුගේ ප්‍රේමය, ඉෂ්ට දෙවියා, ඩෙබර කෙල්ල ආදී නවකතා ද ස්වර්ණමාලි මහා කාව්‍යය හා කව් දහස ද කැපී පෙනේ.
1915 වසරේ මෙරට ජාතිමාමකයින්ට ඉතාම දුර්භාග්‍ය සමයක් උදා වී තිබුණි. ආතර් වී දියෙස්, ඇෆ්. ආර්. සේනානායක ආදී ජාතික වීරයන් සමඟ පියදාස සිරිසේන ද බන්ධනාගාරගත කළෝය. අෂ්ට ලෝක ධර්ම චක්‍රය රචනා කරන ලද්දේ හේ මෙලෙස සිරගතව සිටියදීය. 1946 මැයි මස 22 වැනි දින හේ සිය නාමකාය ඉතිරි කර භෞතික කාය අත්හළේය.
මාර්ටින් වික්‍රමසිංහ නිදහස් සටනට උර දුන් හැටි
නිදහසට පෙර යුගයේ සාහිත්‍යකරණයේ යෙදුණු නියමුවන් අතර කොග්ගල ප්‍රාඥයා ලෙස විරුදය ලැබූ මාර්ටින් වික්‍රමසිංහයන්ට හිමිවෙන්නේ අද්විතීය ස්ථානයකි. එවක මේ රට පාලනය කළ විජාතිකයන් සහ අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ මේ රටේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය ඔහුගේ ලේඛනයන්ගෙන් මහත් සේ විවේචනයට බඳුන් විය. යටත් විජිත ස්වාමියාගේ වහලුන් වූ මොවුන් ඉංග්‍රිසියෙන් හිතන, බටහිරට ගැති, තමන්ගෙකම නැති පිරිසක් විය.
මේ මතවාදයට එරෙහිව සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට හෙතෙම උරදී සිටියේය. ජනතාව ද ඔහු සමඟ විය. ඔවුන්ගේ සාහිත්‍යකරණයේ මූලික අරමුණ වුයේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමය.‘මිරිඟු දිය’ නවකතාව මීට කදිම නිදසුනකි.
අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය මුල්කොටගෙන ඇතිවුණු ජාතික ප්‍රබෝධය නිසා මාර්ටින් වික්‍රමසිංහ වැනි නවකතාකරුවන් ඉදිරියට ආවේය. වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා (1914) නවකතාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘති එළිදක්වමිනි. ඒ කාලයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැඟීම (1945) වැනි කෘති තුළින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදා සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදා ගැනීම තක්සේරු කිරීමටය.
හේ සාහිත්‍ය විචාරකයාගේ භූමිකාව මෙන්ම නිර්මාණශීලී රචකයාගේ භූමිකාවට ද එකසේ පණ පෙවීය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකතා සමඟ සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකතාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළියයි. නූතනත්වය වෙතින් එල්ල වන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩා හැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කතාන්තරයක් යොදා ගැනිණ. පියදාස සිරිසේන ප්‍රචාරකවාදී සාහිත්‍යයක නිරත වන අතරතුර මාර්ටින් වික්‍රමසිංහ ඊට වඩා ප්‍රබුද්ධ චින්තනයකින්, නිර්මාණශීලී ලෙස මේ සටන ඉදිරියට ගෙන ගියේය.
මුනිදාස කුමාරතුංගගේ මැදිහත්වීම
යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොට ගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස ඉදිරියට එන්නේ මේ සමයේය.
කුමාරතුංග මුනිදාස (1887-1944) ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥෙයක්, අර්ථ කතාකරුවෙක්, කවියෙක් සහ පත්‍ර කලාවේදියකු පමණක් නොව විද්‍යාඥයකු ද විය. ඔහු විසින් හෙළ හවුල නම් සංවිධානයට පණ දෙන්නේ සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට මෙන්ම අධිරාජ්‍යවාදී බලපෑම නිසා යටපත්ව පැවති සිංහල භාෂාව නවමු වේෂයකින් ස්ථාපිත කරනු පිණිසය.
හෙතෙම අන්‍ය සාහිත්‍යකරුවන් අතරින් වෙසෙසි වන්නේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත්, නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ හසල දැනුමත් සහිත වූ හෙතෙම දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂෙයක් ද වුයේය. කුමාරතුංග මුනිදාසයන් සාහිත්‍යකරැවකුට අමතරව පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් නිර්මාණය කිරීමෙහි පර්යේෂණයක නිරතව සිටියේය.
කුමාරතුංගුවන් තම ජීවිත කාලයේ විවිධ කාලවලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහු විසින් රචිත ‘හෙළ තෙරුවන’ කාව්‍ය මෙසේය.
“මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
වේ මගෙ මතැ හිස”
එසේම ‘විරිත් වැකියෙහි’ මෙසේ වෙයි.
“සුදුසු මෙහෙයෙකැ
යෙදෙව තැන දැකැ
එ ලෙස එඩි රැකැ
ගනුත මිනිසෙකැ
සිත නිදහස් බවට නොපමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ළමුයි යෙති දදහු ඇතියෙන් කට”
‘හෙළ මියැසිය’ හිද සිය ජාතිකාභිමානී හැඟීමෙන් ඔද වැඩි කවියකු අපට පෙනේ
“පෙර හෙළයෝ රණ තොසින්
ඉපි ලැ නටති මහ ගොසින්
අද සී හෙළයෝ ඇසින්
තෙමෙති යුදෙක යන බසින්
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා”
අදත් දරුවන් අතර වඩාත් ප්‍රකට කෘති වන ශික්ෂා මාර්ගය, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව යනාදිය මහඟු කෘතීන් කුමාරතුංග මුනිදාසයන් විසින් විරචිත කෘතීන් වේ.
එස්. මහින්ද හිමිගේ මෙහෙවර
නිදහස් සටනට උරදුන් කවීන් අතර එස්. මහින්ද හිමියන්ට ද සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. මේ යතිරුවන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන‍්ගෙන් ජාතික නිදහස ලබාගැනීම සඳහා කවිය අසිපතක් සේ භාවිත කළ කවියකු සේ ජනතාව මහත් හරසරින් වැලඳ ගත්තේය.
එස්. මහින්ද හිමි 1911 වර්ෂයේ දී ටිබෙට් රටේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ටිබෙට් ජාතිකයෙකි. ඔහු දොඩන්දුවේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට පැමිණෙන විට, වයස අවුරුදු එකොළහක දරුවෙකි. ඔහුගේ ගිහි නම සර්කි ටෂිනම්ගල් (Serki Tashinamgal)ය. මේ දරුවා වයස අවුරුදු දොළහෙදී සිකිම් මහින්ද (Seekam mahinda) නමින් පැවිදි බිමට ඇතුළත් කරණු ලැබිණි. මහින්ද හිමියන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සරස්වතී පිරිවෙනට ඇතුළු විය. මෙහි දී සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ තරමක දැනුමක් ලබා ගැනීමට උන්වහන්සේ සමත් විය. පසු කලක දී, මහින්ද හිමි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා කොළඹ විද්‍යෝදය පිරිවෙනට පිවිසෙන අතර, එම කාලයේදී, සිංහල සාහිත්‍යය හා සිංහල භාෂාව ඉගෙනීමට මහින්ද හිමි විශේෂ ඇල්මක් හා උනන්දුවක් දැක්වූයේ ය. පසුව, මහින්ද හිමි කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් වැඩ භාර ගත්තේය. එහිදී උන්වහන්සේ විවිධ විෂයයන් ඉගැන්වූ අතර චතුර ගුරුවරයකු වශයෙන් ද නමක් දිනා ගෙන සිටියේය.
මහින්ද හිමියන් ජාත්‍යානුරාගය වඩවාලනුවස් සිංහල පද්‍ය සාහිත්‍ය හා සිංහල ගද්‍ය සාහිත්‍යය තුළින් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළේය. උන්වහන්සේ විසින් රචිත කාව්‍ය කෘති අතර ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’, ‘නිදහසේ මන්ත්‍රය’, ‘නන්දන ගීත’, ‘කවිමුතු’, ‘ලංකා මාතා’ හා ‘නිදහසේ දැහැන’ ඊට සාක්ෂිය. මීට අමතරව, ‘සද්ධර්ම මාර්ගය’ හා ‘රාහුල කුමාරයා’ යන ගද්‍ය කෘති ද වෙයි. සිංහල ජනතාව තුළ ජාතික අභිමානය ඇති කිරීමේ අදහසින් මහින්ද හිමියන් විසින් රචනා කළ කාව්‍ය කෘති බොහොමයක් අනාගත පරම්පරාව නැති නම් ළමයින් සඳහා වීම විශේෂය. උන්වහන්සේගේ අවසාන කාලයේ දී, පාණදුරේ බෙල්ලන ශ්‍රී සුදර්මාරාමයේ වැඩ වාසය කළ බව සඳහන් වේ.
ළමයින්ගේ සිත් තුළ දේශානුරාගය හා ජාත්‍යාලය රෝපණය කිරීමෙහිලා උන්වහසේගේ කවිතාව ප්‍රකට කරන කවි මෙසේය.
“සිරි ලකය මගෙ රට
වෙන කිසි රටක් නැහැ මට
එහි මතු දියුණු වට
කරමි වැඩ මම මගෙ තරමට”
‘‘මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් හා ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමය සලකව් හැම දෙනම”
‘‘කෙස්ගහ පවා පිට රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ’’
ආනන්ද රාජකරුණා සේවය
මහින්ද හිමියන් සේ ම ලාංකේය නිදහස් අරගලය සිය කවියෙන් ප්‍රබෝධවත් කළ තවත් සුවිශේෂි කවියෙක් වශයෙන් ආනන්ද රාජකරුණා ද පෙන්වාදිය හැකිය. හේ එවක ‘සිංහල බෞද්ධයා’ හා ‘සිංහල සමය’ වැනි පුවත්පත්වල සංස්කාරක මණ්ඩලයේ සේවය කරමින් මෙන්ම පසුකාලීනව ‘බෞද්ධයා’ යන්ත්‍රාලයේ කෘත්‍යාධිකාරි තනතුර ද හොබවමින් සිය කවියෙන් නිදහස් සටනට පණ දුන්නේය. විශේෂයෙන්ම එවක උදාසීනව උන් සිංහලයන් තුළ ජාතික හැඟීම් වර්ධනය කරමින් ජාතික නිදහස උදෙසා සිංහලයන් යොමු කරමින් පරගැති බවින් මිදීමට හා අන්ධානුකරණයෙන් මුදවා සුදු අධිරාජ්‍යවාදීනට කත් ඇදීමෙන් වළකා දීන සිංහලයන් අදීනයන් කරනට එතුමා සිය කවිය මෙහෙය වූ අයුරු විශිෂ්ටය.
‘‘විමසව් සිතව් සලකව් භාවනා කරව්
නිදහස් යන සතරකුර තුන් යම ම පුරව්
බියසුලූ ගතිය දොම්නස මෙ සියල්ල හරව්
සිංහල සිත් සතන් ගෙන ලක් දිනිති සරව්’’
හුදු කවියෙක් ලෙසින් පමණක් නොව සිය සමස්ත ජීවිත කල් ක්‍රියාවෙන් ම අභීත සිංහලයෙක් වූ ආනන්ද රාජකරුණා පරගැති සිරිත් සියල්ල ඉවතලූවෙක් ද වෙයි. නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අනුමත කර ගන්නට මෙන්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරවන්නට ද එතුමා ගත් උත්සහය ප්‍රශංසනීය ය. නිදහස් අරගලය වෙනුවෙන් සිය දිවියම කැප කරන්නට වුව සූදානම්ව සිටි එතුමා සෑම මොහොතක ම අධිරාජ්‍යවාදය ට එරෙහිව යමින් හෙළයන් ප්‍රබෝධවත් කරවන උදාර කවි රචනා කළේය.
පී.බී. අල්විස් පෙරේරාගේ නිදහසේ ලකුණ
කොළඹ යුගයේ කවියකු වූ පී.බී. අල්විස් පෙරේරා කවියා ද නිදහස් සටනට උරදුන් දේශමාමක කවියෙකි. සිංහල කවියෙහි වස්තු විෂය පුළුල් කිරීමට දායක වූ අල්විස් පෙරේරා තමා ජීවත් වූ යුගයේ සමාජයීය හා ආර්ථික බලවේග මනුෂ්‍ය සමාජයේ හා ජීවිතයේ පැවැත්මට බලපෑම් කළ ආකාරය සිය කවියට වඩාත් ප්‍රබල ලෙස ඉවහල් කර ගත්තේය. එමෙන්ම ඔහු ලිහිල් බසින් කවි තැනීම ප්‍රිය කළ නූතන කවීන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී. පැරණි ඇදුරන්ගේ පද්‍ය රීතිවලට වහල් නොවී නිදහස්ව තම සිතිවිලි හෙළි කරන මේ කවියා අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. ඔහු වසර ගණනාවක් තිස්සේ දේදුන්න කවි සඟරාව පවත්වාගෙන ගියේය.
“අදිරද වහල් බැමි ඔළුවලටත් ඉහළයි
නිදහස ලබන්නේ අපි ඒ බැමි ලිහලයි
මා මේ කියන්නේ තරමක් පද වහලයි
කඩතොත් කැඩිය යුතු අදිරදයේ වහළයි’’
උක්දඬු දුන්න, මගේ රට, සංවාදය, අපේ හටන, ළමයින්ගේ සුරපුර, ජන්ම භූමි අදී කාව්‍ය කෘති 27 හෙතෙම රචනා කළේය. මෙවැනි වූ සාහිත්‍යමය මැදිහත් වීමක් කරමින් ලාංකේය නිදහස් අරගලය වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙයවූ තවත් බොහෝමයක් නිර්මාණකරුවන්ෙස් ලාංකේය ප්‍රජාවගේ සිත් තුළට රට ජාතිය ආගම පිළිබඳ ජාතිමාමකත්වයක් ඇති කරලන්නට සමත් වූ හෙතෙම මෙරට නිදහස් අරගලය තව තවත් ශක්තිමත් කරන්නට දිවි හිමියෙන් ක්‍රියා කළේ ය.
රසික කොටුදුරගේ