Home » නිදහස් සටනේ අකුරු සවිය

නිදහස් සටනේ අකුරු සවිය

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

මහනුවරට නුදුරු ගල්ලැහැවත්තේ, උඩපිටිය ආරච්චිගේ නිවෙසේ සැඟවී සිටි, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා භාරදීම ‘අහිමි වීමේ’ කඩ ඉම විය. එතැනින් මෙහාට සමස්ත කතාවම, අරගල, පරාජය සහ නිදහස යන තුන් තැන් හි විටින් විටේ ‘විතැන්’ වන්නේය.

බ්‍රිතාන්‍ය තුන්වන ජෝර්ජ් රජු යටතේ 1815 සිට පාලනය වූ ලංකා දූපත, වික්ටෝරියා මහ රැජන, හත්වන එඩ්වඩ් රජු, පස්වන ජෝර්ජ් රජු, අටවන එඩ්වඩ් රජු, හයවන ජෝර්ජ් රජු යන පාලකයන් පස් දෙනාගේ පාලනයට නතු වීමේ කතාව සහ එම වරපටින් අප ගැලවීමේ කතාව පිළිබඳව ‘දැන් කතාව’ හරි වෙනස්ය.

එහෙව් නිදහස පිළිබඳව දැන් කතාව හරි සරලය. නිදහස වෙනුවෙන් සටන් කළ සියල්ලන්ට, පලු යන තෙක් නෙළන්නේය. නිදහසින් පසු බලයට පැමිණි පාලකයෝ මත්තේ සියලු වගකීම් පටවා ඔවුහු ද විනාශයේ වගකිව යුත්තෝ බවට පත් කරන්නාහ. අවසාන නිගමනය වන්නේ ‘සුද්දා අප දමා ගියේ ඇයි…?’ යන ශෝකාලාපයය.

නිදහස පිළිබඳව අපේ කතිකාව යළි කැරකී පැමිණ ඇත්තේ සුද්දාට ‘කම් සූන්’ කියන තැනටය. සටන් සහ බුද්ධිමය කතිකාවත් ඔස්සේ ලංකාව නිදහස යන පධ්‍ය සඳහා සුදුසුකම් ලබා ඇතැයි කිව්ව ද අලුත් කතාවට අනුව සුද්දා අපව ‘ඔහේ අතහැර’ ගියේය. ආපසු හැරීම සඳහා මේ ආකාරයෙන් පිටිය සකසා ඇත්තේ, මතවාදී අනුකාරක මනස්ය. දේශයේ උස් නිදහස වෙනුවෙන් එදා මතවාදී සවිය සඳහා පණ පෙවූ ලේක්හවුස් ආයතනය, ඒ මහ මෙහෙවර කිසිවිටක ගරහන්නේ නැත. නිදහස පිළිබඳව ලේක්හවුස් කතාවමැ, එය ‘නිකං නොලැබුණු’ බවේ සාධකයක් වන්නේ හෙයින්, සටනින් අලංකාර වූ නිදහසක චමත්කාරය කියනු රිසින් සහ වහල් මනස් තවමත් ‘ගිය සුද්දා මනසින් හෝ අල්ලා ඇද බැඳ තබා ගැනීමට’ දරන වෑයම අප නොතකන හෙයින්, විරෝධාකල්ප ඊට ගොනු කරනු පිණිස, නිදහස සඳහා වූ අපේ දායකත්වය දේශයට කියනු රිසින්, නිදහස ලත් අද දිනයේ, මේ තීරුව වෙන් කරන්නේය.

1815 යටත් විජිතයක් වූ පසු ඇතිවූ සටන් ඉතිහාසය, තව නොබෝ දුරක් පැමිණි පසු ව්‍යවස්ථාදායක සටනක් බවට පත්විය. තාඩන පීඩන ඉවසනු නොහී, සිංහල ජනයා සිය මාවත අත්නොහළේ මුත් එහි හැඩතලය විටින් විට මාරු වුණේය. 1915 වනාහී, යටත් වීමේ සියවස පිරුණු වසරය.

යටත්විජිතයක් වී, සියවසක් ගෙවෙන මොහොතේ මේ රටේ පළමු වරට ‘කනගාටුව පළ කිරීමේ පත්තරයක්, අච්චු ගසන්නේ ලේක්හවුස් ආයතනයය. එදා දිනමිණ පුවත්පතේ විශේෂ අතිරේකය සිය මුල් පිටුවට යොදාගෙන තිබුණේ, ඊ. ඩබ්ලිව්. පෙරේරා විසින් ලන්ඩන් නුවර වෙස්ලි ආරෝග්‍ය ශාලාවේ තිබී සොයා ගත්, සිංහ ධජය සහ මහනුවර රජ කළ අන්තිම සිංහලේ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේත්, බිසවගේත් ඡායාරූපයන්ය. විජයවර්ධනයන් දිනමිණ මිලට ගත්තේ, 1914 වසරේය. ඊළඟ වසර වන විට ජාතික සටනේ ‘අකුරු සවිය’ වූයේ ලේක්හවුස් ආයතනයය. සියවසේ කනගාටුව සදහා පළ කළ පත්තරය, මේ රටේ ගම් දොරක් ගානේ නිදහසේ පණිවිඩය රැගෙන ගියේය. පත්තර මදි වූ බැවින් කන්තෝරුව වට කරමින් ජනයා, පත්තර ඉල්ලන්නට විය. පසුදා යළි පත්තරය නිකුත් කරන බවට දුන් පොරොන්දුව සමඟ ජනයා විසිර ගියහ. දෙවන දිනයේ ද ‘අතිරේකය’ පළ වූ බැවින්, මේ රටේ හැම නිවෙසකම, වර්ණවත් සිංහ ධජය සහිත දිනමිණ පත්තරේ, බිත්ති මත්තේ ඇලවෙන්නට විය.

නිදහස උදෙසා සහ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සටන් කරන නායකයෝ හිරේ විලංගුවේ ලා කළ, ඒ උදෙසා රටම ආමන්ත්‍රණය කළ හඬ, ලේක්හවුසිය විය. ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඩී. එස්. සේනානායක, සී. බටුවන්තුඩාවේ ආදීන් සිරගත කළ සඳ, ඔවුහු නිදහස් කිරීම සඳහා මතවාදී සටනේ ප්‍රමුඛත්වය ගත්තේ ලේක්හවුස් පුවත්පත්ය.

සිංහලයින් දුටු තැන වෙඩි තබා මැරීමට අණ දුන් එවකට පොලිස්පතිව සිටි ‘ඩවුබිගින්‘ යළි ලන්ඩන් බලා යෑමට නැව් නග්ගන ලද්දේ ලේක්හවුස් පුවත්පත් ‘ආණ්ඩුවට දිගටම නෙළීම’ හේතුවෙනි. ‘1918 ජනවාරි 3 ‘ඩේලිනිවුස්‘ පුවත්පත ආරම්භ වූයේය.

නිදහස දිනා ගැනීමට ඩේලිනිව්ස් පත්තරය කළ කැපවීම පිළිබඳව ඩී. ආර්. විජයවර්ධනයන් සඳහන් කරන්නේ මෙසේය.

‘සැනසීමට සූප්පුවක් කටට දෙන ආකාරයෙන් දෙන නිදහස ලබා ගැනීමට ද ඩේලි නිවුස් පත්‍රය නොකැමැති විය. මැනිං ප්‍රතිසංස්කරණ වශයෙන් ඉදිරිපත් වූ තාවකාලික සැනසිලි යෝජනා අවඥාවට භාජනය කරමින් 1924 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වුණු අඩුපාඩු නිර්දය ලෙස ඩේලිනිවුස් පත්‍රය විවේචනය කළේය. එය රට වැසියන් තුළ වැඩෙමින් පවතින දේශපාලන අවබෝධ ඥානයට සමච්චල් කිරීමක් ලෙස එමඟින් හඳුන්වනු ලැබීය.

ඩොනමෝර් යෝජනා ක්‍රමය ස්ථාපිත කරවනු ලැබූ අවස්ථාවට පිවිසි කල්හි ‘ඩේලිනිවුස්‘ පුවත්පත එම ආණ්ඩුක්‍රමයෙහි ඇති අඩුපාඩු ඉවත් කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවීය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් හිමි කර දී තිබෙන නිදහස් අංග ස්වල්පය ද එහි ඇති ‘කොමිටි ක්‍රමය‘ නිසා අහෝසි වී යන බව එමඟින් පෙන්වා දෙනු ලැබීය.

‘ඩේලිනිව්ස්‘ පුවත්පත අප්‍රතිහත ධෛර්යයකින් හා එඩිතර බවකින් යුතුව කැබිනට් මණ්ඩල වගකීමකින් යුතු පාර්ලිමේන්තු ආණ්ඩු ස්වරූපයේ පාලන ක්‍රමයක් ලබා දෙන ඉල්ලීම් ඉදිරිපත් කළහ.

දිවයිනෙහි පරිපාලනය දෙස තියුණු නෙත යොමා ගෙන සිටින අතරම අපේ පුවත්පත් බියගුළුකමින් හෝ ළෙන්ගතුකමින් තොරව අකටයුතුකම් හා අසාධාරණකම් අභීතව හෙළා දුටු අතරම, ශ්‍රී ලංකාවේ වැසියනට තමන්ගේ කටයුතු තමන්ටම හසුරුවා ගැනීමට හැකි බව හැමවිටම පෙන්වා දුන්හ.‘

මේ, නිදහස් උදාව සඳහා ලේක්හවුස් දායකත්වය පිළිබඳව, මේ ඉඩේ, ලිවිය හැකි තරමය.

එවන් සටන් ඉතිහාසයක් පුරවා ගත් අප මේ නිදහසේ අභිමානයට කිසිසේත් ගරහන්නේ නැත. සටන් පිටියේ සහ ව්‍යවස්ථාදායකයේ, මතවාදී භුමියේ ලේ, දහදිය, කඳුළු සැලූ, ඒ අභීත වීරයන් වෙනුවෙන් අද මේ රටම මොහොතක් නිෂ්ශබ්දතාව රකිනු ඇත්තේය. එතැන් සිට අප යළි හඬ අවදි කළ යුත්තේ, ඒ වීරයන් නැඟූ යශෝරාවය මේ වාතලයේ, යළි යළිත් ගිගුම් නඟනු පිණිසය.

නිදහසට එරෙහිව සහ එය නිසඟ ආකාරයෙන් ලැබුණා යැයි දොඩවන පිරිස් එම කතා පතුරුවා හරින්නේ, ජාතියේ ජීව ගුණය දිය කරනු පිණිසය. ආපස්සට යෑම සඳහාය. මේ නිදහස් සමරුව ‘ඒ ජාතියේ’ උන්ගෙන් දේශය නිදහස් කර ගැනීමක් වේවා!

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division