කෙනෙක් උපදින අවස්ථාවේ පිහිටි ග්‍රහයන්ගේ තත්ත්වයන්, එම ග්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයන්, ඔවුන්ගේ බල දුබලතාවන්, ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගත් අනුව තමන්ට හිමි වන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවයන් ජ්‍යොතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත. ජ්‍යොතිෂය අනුව විවාහයක් ඉක්මන් කරන්නේ කුජ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් යන දෙදෙනාය.
විවාහයක් වාසනාවන්ත එකක් කරන්නේ ගුරු ග්‍රහයා සහ චන්ද්‍රයාය. විවාහයක් ප්‍රමාද කරන්නේ ශනි හෙවත් සෙනසුරු සහ කේතු ග්‍රහයාය. රවි ග්‍රහයා සහ රාහු ග්‍රහයා වැඩි බලය ඇති පැත්තට සහාය දක්වයි. බුධ ග්‍රහයා මධ්‍යස්ථ භාවයක් දක්වයි. විවාහය පිළිබඳව සලකා බැලීමේදී කේන්දරයේ හත්වැන්නත්, හත්වැන්නේ ත්‍රිකෝණ ස්ථාන වූ තුන්වැන්නේත් එකොළොස්වැන්නත් පරීක්ෂා කළ යුතු අතර කේන්දරයේ දෙවැන්න සහ අටවැන්නද මේ සඳහා බලපෑමක් කරයි.
යම් අයෙකුගේ කේන්දරයේ හත්වැන්නේ ගුරු උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතා වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල් දේපළ හිමි ඇත්තියක් වේ. තම ස්වාමිපුරුෂයාට ද කීකරුව ඔහුගේ අවශ්‍යතා සොයා බලා අවශ්‍යතාවන් සපුරාලන තැනැත්තියක් වෙයි. පුරුෂයෙකු නම් තම බිරියට ආදරයෙන්, සෙනෙහසින් සලකන ඇයගේ සියලු අඩුපාඩුකම් සපුරාලන අයෙක් වෙයි. ගුණ යහපත්කමින්ද පිරිපුන් අයෙක් ද වේ. මේ නිසා යහපත් යුගදිවියකට සාර්ථක විවාහයකට එබඳු ග්‍රහ පිහිටීම් වැදගත් වෙයි.
සිකුරු, බුධ, ගුරු ආදී සෞම්‍ය ග්‍රහයෝ පළමුවැන්න, හතරවැන්න, හත්වැන්න, දහවැන්න ආදී කේන්ද්‍රස්ථානයක පිහිටි දෙවැන්න සහ හත්වැන්න අධිපති ග්‍රහයෝ සවක්ෂේත්‍රව පිහිටා ඇති කේන්දර හිමියෝද ඉතා වාසනාවන්ත යුගදිවි ගත කරන්නෝ වෙති. අන්‍යෝන්‍ය දැඩි බැඳීමෙන් සහ දැඩි ආදරයෙන් යුතුව ඔවුහු සැමදා යුගදිවි ගත කරති. මිල මුදල් සේම, ගේදොර, ඉඩකඩම් ආදියෙන් ද අඩුවක් නැත්තෝ වෙයි. යහපත් දූ පුතුන්ද ලැබ සැමදා සතුටින් ගත කරති.
කේන්දරයේ සත්වැන්න අධිපති ග්‍රහයා පාප ග්‍රහයන් සමඟ සංයෝගව දොළොස්වැන්නේ සිටියහොත් එබඳු අය ක්ෂණික කෝපයට පත්වන්නෝ වෙති. මෙම අයගේ විවාහ ජීවිතය අවුල්වියවුල්වලින් පිරුණු එකක් වෙයි. නැති වැරදි හදාගන්නා ඔවුන් සුළු දෙයකට පවා තදින් කෝප සහගත වේ. කුජ ග්‍රහයාත්, බුධ ග්‍රහයාත්, බ්‍රහස්පති ග්‍රහයාත්, චන්ද්‍රයාත් සංයෝගව යම් කාන්තාවකගේ කේන්දරයේ හත්වැන්නේ හෝ කටක රාශියේ යෙදී ඇත්නම් එබඳු කේන්දර හිමි කාන්තාවන් ඉතා රූමත් අය වෙති. දුටුවන් වශී කරන රූ සපුවකින් යුක්ත වේ.
යම් ස්ත්‍රියකගේ හත්වැන්නේ එක සුබ ග්‍රහයෙකුගෙන් යුක්තව හෝ එක සුබයෙකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ස්වාමියාට ප්‍රිය වේ. සුබයන් දෙදෙනෙකුගෙන් යුක්තව හෝ දෙදෙනෙකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඇය ආචාරසම්පන්න වේ. සුබයින් තිදෙනෙකුගෙන් යුක්තව හෝ තිදෙනෙකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඉතා යහපත් උසස් තැනැත්තියක් වේ. එක පාපියෙකුගෙන් යුක්තව හෝ දෘෂ්ටිය ලැබ තිබේ නම් ඇය අන් පුරුෂයන් දෙස බලන තැනැත්තියක් වේ. පාපයින් දෙදෙනෙකුගෙන් යුක්තව හෝ පාපයින් දෙදෙනෙකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඇය ආචාර සම්පන්න නොවේ. පාපයින් තිදෙනෙකුගෙන් යුක්තව හෝ තිදෙනෙකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඉතා අයහපත් වේ.
සිකුරු උච්චව හතේ සිටියදි උපන් තැනැත්තිය නච්චගීතවාදියට ප්‍රිය වූ යහපත් පෙනීමෙන් යුත් සියලු ආභරණ වස්ත්‍රාදියෙන් යුත් ස්වාමිපුරුෂයා ප්‍රීතියෙන් පිනවන තැනැත්තියක් වන්නීය. ස්වාමිපුරුෂයාද එවැනිම අයෙක් වෙයි. ගුරු, සිකුරු දෙදෙනාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී බුධ උච්චව අඟහරු මකරයේත් සඳු කටකයේත් සිටි කල උපන් තැනැත්ති රූප සම්පත්තියෙන් අනූන ගුණවත් බලවත් රජ බිසවක් හා සමාන සැප විඳින්නියක් වේ. ඉතා උසස් විවාහයක් වෙයි. කුජ, සඳු දෙදෙනා පමණක් එකට සිටීම ස්ත්‍රී කේන්දරයක අසුබ යෝගයක් ලෙස ජ්‍යොතිෂයේ පෙන්වා ඇත. විශේෂයෙන් දුෂ්ට ස්ථානයක නම් නිවසින් ශ්‍රියාව බැහැර වන බව කියා ඇත. පුරුෂ කේන්දරයක වුවද කුජ, චන්ද්‍ර යෝගය පාප ක්‍රියා කිරීමටත් ඒ සඳහා මුදල් නාස්ති කිරීමටත් හේතු වේ. රවි හතේ සිටීමද ස්ත්‍රී කේන්දරයක අසුබ පිහිටීමකි. ස්වාමි භක්තිය අඩු කරන, දෙදෙනා අතර අසමගියට ද හේතු වේ. මේෂ, වෘශ්චික දෙකින් එක ලග්නයට මේෂ, වෘශ්චික දෙකින් එකක චන්ද්‍රයාත් සිටියදී ලග්නයේ උදාවන ත්‍රිං ශාංශකය වුවහොත් ඉතා යහපත් වේ. සිකුරුගේ ත්‍රිං ශාංශකය වුවහොත් කාම චේතනා අධික තැනැත්තියක් වේ. ධනු, මීන දෙකින් එකක් ලග්නයට චන්ද්‍රයාත් ධනු, මීන දෙකින් එකක සිටියදී ලග්නයේ උදාවන ත්‍රිං ශාංශකය ගුරුගේ නම් ගුණ නුවණින් යුක්ත ඉතා යහපත් තැනැත්තියක් වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්