Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

මෙම සතියේ කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය සඳහා පදනම් වන්නේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කෑගල්ල ප්‍රසිද්ධ රැලියේදි කරන ලදැයි වාර්තා වී ඇති පහත දැක්වෙන ප්‍රකාශය සම්බන්ධයෙනි.

ආර්ථික ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ මානුෂික මෙහෙයුමට එක්වන්න- සජිත් ප්‍රේමදාසගෙන් රණවිරුවන්ට ඇරියුම් – ලංකාදීප 2024 ජනවාරි 29

“ ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට දේශපාලන නායකයන්ගෙන් ආර්ථික ත්‍රස්තවාදයට යට වී ඇති බවත්, දූෂිත විනාශකාරී අල්ලස, හොරකම ක්‍රියාත්මක කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න සුවිශේෂි කාර්යභාරයක් රණවිරුවන්ට ඇත. නැවත වරක් රටට මානූෂීය මෙහෙයුමක් අවශ්‍ය බවත්, ඒ තුළින් හොරකම, වංචාව, තුරන්කර රටේ දියුණුවට යොදාගෙන සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙසත් කෑගල්ල පැවැති රණවිරු සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායකවරයාගේ ඉහත ප්‍රකාශයේ හරය වී ඇත්තේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සඳහා හමුදා සහය පතන බවයි. විපක්ෂ නායකවරයා මිලිටරිකරණය සඳහා සැරසෙන්නේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සඳහායි.

ඒ නිසා සජිත් ප්‍රේමදාස විසින් මහජන රැලිවලදි ආර්ථික ත්‍රස්තවාදය යනු කුමක්දැයි ජනතාවට පැහැදිලි කළ යුත්තේ ලොව පිළිගත් කිසිදු ආර්ථික විද්‍යාඥයෙක් ආර්ථික ත්‍රස්තවාදය

පිළිබඳ කිසිදු ආර්ථික න්‍යායක් ඉදිරිපත් කොට නොමැති බැවිනි.

රටක නිමැවුම, ආදායම, සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය, ඉතුරුම් හා ආයෝජන වැනි සාර්ව ආර්ථික විච්‍යලයන් පිළිබඳ ආර්ථික විද්‍යාඥයන් ලියූ කියූ බොහෝ දේ ලෝකයා දන්නේ වී නමුත් රජයේ රාජ්‍ය මූල්‍යයේ බදු අය කිරීම, බදු අනුපාත වෙනස් කිරීම, බදු සානුබලයන් ලබා දීම, බදු ආපාත විතැන් කිරීම, රාජ්‍ය පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ගැළපීම සඳහා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයන් ඇති කර ගැනීම, ණය තිරසර මට්ටමකට ගෙන ඒම, තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා නීති මඟින් බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම යනාදිය ආර්ථික ත්‍රස්තවාදය ලෙස කිසිම ආර්ථික විග්‍රහයක් ලෝකය තුළ දක්නට නැත.

ලොව ඕනෑම සමාජ ක්‍රමයක ප්‍රධාන ආර්ථික ක්‍රියාවන්ත්‍රය වන නිෂ්පාදනය, පරිභෝජනය හා හුවමාරුව සම්බන්ධයෙන් වර්තමාන රජය ගෙන යන ක්‍රියාමාර්ග තුළ ආර්ථික ත්‍රස්තවාදය පවතින්නේ කෙසේදැයි එතුමා විසින් ජනතාවට පිළිතුරු බැඳිය යුතුය. ඒ සඳහා අපි ඉතාම කරුණාවෙන් හා වගකීමෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කොට අවසන් වූ ලංකා ආණ්ඩුවේ ගිණුම් වාර්තාවකින් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු බලාපොරොත්තු වෙමු.

1) 2022 වර්ෂයේදී ලංකා ආණ්ඩුව සෘජු හා වක්‍ර බදු මඟින් ( වැට් හා අනිකුත් සියලුම බදු) උපයාගත් මුළු බදු ආදායම රුපියල් බිලියන 1751කි.

එයින් විපක්ෂ නායකතුමා පවසන හමුදාව ඇතුළු සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට වියදම් කොට ඇති මුදල රුපියල් බිලියන 1265කි. රටේ මුළු බදු ආදායමෙන් 72%ක් වන මේ ප්‍රමාණය වැටුප් හා විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවන විට එතැනදී ඇතිවන හොරකම , වංචාව, දූෂණය හා ආර්ථික ත්‍රස්තවාදය කුමක්ද? රජයක් බදු අය කිරීම ත්‍රස්තවාදය නම් බදු අය නොකොට රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවන්නේ කෙසේද? නොමේරූ ළදරු මනසක් ඇති අයකුට හිඟ බදු කෝටි ගණනක් අය කර ගැනීමෙන් රාජ්‍ය වියදම් දැරිය හැකි යැයි සිතේ. නමුත් මෙවැනි හිඟ බදු දස දහස් ගුණයකින් අයකර ගත්තත් සමස්ත ආර්ථිකයේ ඇතිවන මහ අය වැය හිඟය පියවා ගත නොහැකි බව විගණකයන්, ගණකාධිකාරිවරුන්, අර්ථ ශ්‍රාස්ත්‍රඥයන්, වියතුන් හොඳාකාරවම දනි. උදාහරණයක් විගණනය කොට අවසන් නොවුණ ලංකාණ්ඩුවේ ගිණුම් වාර්තා අනුව 2023 වර්ෂයේදි මහ භාණ්ඩාගාරයේ මුළු ලැබීම් රුපියල් බිලියන 3000 ඉක්මවීය.

මහ භාණ්ඩාගාරයෙන් 2023 වර්ෂයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර, පොලී ප්‍රාග්ධන වියදම්, ඇතැම් ණය ගෙවීම් මේ සියල්ලම පිටතට ගලා ගිය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් බිලියන 13,000කි. 2023 වසරේදි ලංකා ආණ්ඩුව බිලියන දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ණය වශයෙන් ලබා ගෙන ඇත. ඒ නිසා විපක්ෂ නායකතුමා හමුදා රණවිරුවන්ට ආයාචනය කරන්නේ හිඟ බදු අය කරගෙන රට ගොඩනැඟීමට නම් ඔහු වැට් බදු ඇතුළු අනිකුත් බදු වර්ග අඩු කොට රට ගෙන යාමට නම් ඒ සඳහා විකල්පය ලෙස තෝරා ගැනීමට සිදුවන්නේ තුවක්කුව හා ආයුධ බලයයි.

2) 2022 වසරේ බදු ආදායමින් රුපියල් බිලියන 506ක් හෙවත් 28% සමෘද්ධි හා අස්වැසුම ඇතුළු වෙනත් කුටුම්බයන් වෙතට කරන ලද සහනාධාර සඳහා වෙන්ව ඇත.

මේ වියදම් වර්ග දෙක දැරීමෙන් පසු රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1751 සම්පූර්ණයෙන් අවසන් ඇති නිසා මෙතැන ඇතිව තිබෙන ත්‍රස්තවාදය කුමක්දැයි අපට වටහා ගත නොහැක.

3) රජයේ විගණකාධිපති වාර්තා අනුව 2022 වර්ෂයේදි ණය පොලී රුපියල් බිලියන 1565කුත් ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 715කුත් දරා ආර්ථිකය කළමනාකරණය කොට ඇත්තේ ලබාගත් ණය මඟිනි. ණය ලබාගෙන රාජ්‍ය ණය පොලී ගෙවීම් ප්‍රාග්ධන වියදම් හා අනිකුත් වියදම් දරන විට එතැන පවතින ත්‍රස්තවාදය කුමක්දැයි එතුමා රටට පැහැදිලි කළ යුතුය.

ඉහත ප්‍රශ්න තුනට විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයකු හරහා පිළිතුරු සැපයූ විට ලබන සති අන්තයේ කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහ තීරයේ එම පිළිතුරු ලිපිය සම්පූර්ණයෙන් පළ කොට කෞටිල්‍යගේ අදහස දක්වා සිටිය හැක. නිවුන, ශීලාචාර සාදාචාර සම්පන්න ප්‍රබද්ධ සංවාදයකට කෞටිල්‍යය ඉතා ගෞරවයෙන් විපක්ෂ නායකතුමාට ආරාධනය කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division