සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටුනායක අධිවේගී මාර්ගයේදී භයානක රිය අනතුරකට ලක්ව සිය ආරක්ෂක නිලධාරියා සමඟ මියගොස් මේ වන විට සතියකට වැඩි කාලයක් ඉක්ම ගොස් හමාරය. මෙම රිය අනතුර සම්බන්ධයෙන් ඇති සමාජ ආන්දෝලනය තවමත් නිමාවී නැත.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම රිය අනතුරින් ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ද මිය ගියේය. මෙම අනතුරින් ජීවිතය ගැලවී තිබුණේ අනතුරට ලක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ ජිප් රථයේ රියැදුරු පමණි. අනතුර වූ ආකාරය ගැන රියැදුරු විසින් පොලිසියට පවසා ඇති කරුණු ද මේ වන විට පත්ව ඇත්තේ දැඩි විමර්ශනයකට ලක්වෙමිනි.
මෙම අනතුර සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍යවල මෙම අනතුර සම්බන්ධයෙන් හුවමාරු වූ ඡායාරූප හා වීඩියෝ දසුන් අතර අනතුරට මෝටර් රථයේ සුන්බුන් අතර සිරවී සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මුහුණට ජලය ඉසිමින් ඔහුගේ දිවි රැක ගැනීමට වෙහෙසෙන පුද්ගලයකුගේ රුවක් දක්නට ලැබුණේය. ඒ පුද්ගලයා සිය උඩුකයට ඇඳුමක් නොමැතිව වාහනයේ සුන්බුන් මතට ගොඩවී රාජ්‍ය අමාත්‍යවරයාව වාහනයෙන් පිටතට ගැනීමට ලොකු වෙහෙසක් ගෙන තිබුණේය. මෙම රූප රාමු සහ ඡායාරූප දැකීමේදී බොහෝ අය සිතුවේ මෙම අනතුරින් දිවි ගලවාගත් රියැදුරු එසේ හැසිරෙමින් සිටින්නට ඇති බවය.
මේ පුද්ගලයා කවුරුන්දැයි සොයා සිළුමිණ කළ සොයා බැලීමකදී අනාවරණය වන්නේ ඔහු ප්‍රභූ ආරක්ෂක අංශයක සාමාජිකයෙක් බවය. පොලිස් සැරයන්වරයෙක් වන ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින්නෙකි. කැමරා කාචවල සටන් නොවූවත් අනතුරින් පසු ගිනියම් වූ යකඩ ගොඩක් බවට පත්වූ ජිප් රථයේ සිරවී සිටි සිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ ආරක්ෂක නිලධාරී අනුරාධ ජයකොඩිගේ දිවි බේරා ගැනීමට එම මෙහෙයුමේ නිරතව සිටියේ සැරයන්වරයා පමණක් නොව ගුවන් හමුදාවේ විශ්‍රාමික සෙබළියක් වූ සැරයන්වරයාගේ බිරිය ද සිටියාය.
පොලිස් සැරයන්වරයා නමින් සඳුන් තිලංග විජේසිංහය. බිරිය හර්ෂණී ලක්මාලි නානායක්කාරය. සඳුන් විජේසිංහ පොලිස් සේවයට එක්වන්නේ 2008 වසරේ නොවැම්බර් 09 වෙනිදාය. ඒ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසිනි.
සඳුන් තෙලිජ්ජවිල වැසියෙකි. අපොස සාමාන්‍ය පෙළ දක්වා ඔහු අධ්‍යාපනය ලබන්නේ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයෙනි. අනතුරුව උසස් පෙළ දක්වා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සඳුන් පොලිස් සේවයට එක්වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායට තිබුණු ඇල්ම නිසාය. විශේෂ කාර්ය බළකායට එක්වීමේ අපේක්ෂාවෙන් පොලිස් සේවයට එක්වීමට ඔහු අයදුම්පතක් යොමු කළ ද විශේෂ කාර්ය බළකායට කෙරන බඳවා ගැනීම් ප්‍රමාද වීම් හේතුවෙන් ඔහුට සිදුවන්නේ සාමාන්‍ය පොලිස් සේවයට එක්වන්නටය. ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පොලිස් පුහුණුව ලැබීමෙන් අනතුරුව ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස විසිර යාමෙන් අනතුරුව ඔහු අනුයුක්ත කෙරෙන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයටය. ඒ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එදා සිට අද දක්වාම සඳුන් සේවයේ නිරතව සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරියෙක් ලෙසිනි.
ගුවන් හමුදා සෙබළියක් වූ මාතර රොටුඹ පදිංචි හර්ෂනී ලක්මාලි නානායක්කාරව සඳුන්ට මුණ ගැසෙන්නේ 2020 වසරේදීය. ඒ කොවිඩ් ආසාදිතව දෙදෙනාම එකම ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳෙමින් ප්‍රතිකාර ලබමින් සිටියදීය. කොවිඩ් රෝගීන් ලෙස එකම ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි මේ දෙදෙනා වැඩි කල් යන්නට මත්තෙන් පෙම්වතුන් බව පත්ව අවසානයේදී විවාහකයන් බවට පත්වන්නේ දෙපාර්ශ්වයේම දෙමාපියන්ගේ ආශීර්වාදය ඇතිවය. වසර 12ක ගුවන් හමුදා සේවා කාලයකින් අනතුරුව 2022 වසරේ ඇය විශ්‍රාම ගනු ලබන්නේ සැමියා අවිවේකී රාජකාරියක නිරතව සිටින බැවින් ඔහුට හයියක් වීමටය.
මෙම යුවළ පදිංචිව සිටින්නේ මරදානේ පිහිටි පොලිස් නිවාස සංකීර්ණයේය. පසුගිය 24 වෙනිදා සඳුන්ගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පුතා සමඟ මරදානේ පොලිස් නිල නිවාසය වෙත පැමිණෙන්නේ පසුදින උදෑසන රැකියාවක් සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට තිබුණු බැවිනි. තෙලිච්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙක් වූ සහෝදරයාගේ පුතා උසස් පෙළ විභාගය අවසන් කරනු ලබුවේ පසුගියදාය. ඔහු හිරුණ සචිත්‍ර විජේසිංහය.
එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ආරක්ෂක රාජකාරි නිමවා සඳුන් මරදානේ පිහිටි නිවෙසට එන්නේ සවස 5.00 පමණය. ඒ සහෝදරයාව ගුවන් තොටුපොළට රැගෙන යාමට නියමිතව තිබුණු බැවිනි. ගුවන් ටිකට්පතට අනුව ගුවන් යානය කටුනායක සිට කටාර් බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණේ 25 වෙනිදා අලුයම 3.00ට පමණය. එබැවින් කල්වේලා ඇතිව ගුවන්තොටුපොළ වෙත යා යුතු වූ බැවින් මිතුරකුගෙන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ද මේ ගමන යාමට සඳුන් රැගෙනවිත් තිබුණේය.
“අයියයි, අයියගේ පුතයි, සුදුයි, මමයි එයාර්පෝට් යන්න පිටත්වුණේ එදා රෑ. එයාර් පෝට් එකේ ඉන්න ඕනේ වෙලාවට කලින් අපි ගිහින් තිබුණේ. ඉතින් අයියව දාල එන්න ලෝබ හිතුනා. සුදූ කිව්වා අපිත් අයියත් එක්ක ඇතුළට යමු කියල. රුපියල් 500 ටිකට් අරගෙන අපි ඇතුළට ගියා. ගොඩ වේලාවක් එයාර්පෝට් එක ඇතුළේ ඉඳල අපි එළියට එනකොට වේලාව පාන්දර 12.30ට 12.45ට විතර ඇති“ යැයි සඳුන් මේ කතාවට ආරම්භයක් තැබුවේ එසේය.
සුදූ යැයි කියා සඳුන් හඳුන්වනු ලැබුවේ ඔහුගේ දයාබර බිරියටය. සහෝදරයාව ගුවන්තොටුපොළේ තනිකර සඳුන් නැවතත් මරදානේ පිහිටි නිල නිවෙස බලා පිටත්ව එන්නේ බිරිය හර්ෂනී සහ සහෝදරයාගේ පුතා හිරුණ සමඟිනි. හර්ෂණී සිටියේ මෝටර් රථයේ රියැදුරු අසුනට යාබද ඉදිරිපස අසුනේය. කටුනායකින් අධිවේගී මාර්ගයට මෝටර් රථය ඇතුළු කර ඉදිරියට ධාවනය කරමින් තිබියදී ඇය “ අයියේ අයියේ වාහනේ නවත්වන්න. ඇක්සිඩන්ඩ් එකක්. “ යැයි කියා කෑගසන්නට ගත්තාය.
කටුනායක අධිවේගී මාර්ගය විදුලියෙන් ආලෝක කර ඇති අධිවේගී මාර්ගයක් වූවත් පසුගිය කාලයේදී එම මාර්ගයේ විදුලි රැහැන් මත්කුඩු ලෝලීන් කඩාගෙන ගොස් තිබීම නිසා බොහෝ තැන් ඇත්තේ අඳුරේය. ඒ නිසා මඟ දෙපස ඇත්තේ කෑලි කපන අඳුරකි.
“ සුනාමියකට හසුවෙලා වගෙයි මම ඒ තැන ඒ වෙලාවේ දැක්කේ. වාහනයේ කෑලි හැම තැනම පාරේ විසිවෙලා තිබුණා. කිට්ටුවට යනකොට වාහනයේ කැබලි කකුලට පෑගෙන්න ගත්තා. මම දැක්කා කන්ටේනරයකුත් නවත්තල තියෙනවා. මේ වාහනේ කන්ටේනරයේ හැප්පිලා තමයි කියල මට හිතුනා. ඒ වෙලාවේ පාරේ ගිය එක වාහනයක් නතර කළේ නැහැ. සමහර විට දකින්නේ නැති නිසා වෙන්නත් පුළුවන්. සමහර වාහන වේගය අඩු කරල වෙලා තියෙන දේ බලමින් යනවාත් මම දැක්කා. කිට්ටුවට ගියාමයි දැක්කේ එතැන වාහනයක් නෙමෙයි යකඩ ගොඩක් තියෙන්නේ කියල. ඒ තරමටම වාහනේ කුඩු පට්ටම් වෙලයි තිබුණේ. ඒ වෙනකොටත් දුම් දානවා. ඔයිල් විදිනවා. රත් වෙච්ච ඔයිල් නිසා ළඟට යාම පවා ඒ වෙනකොට අවදානම් කියල මට දැනුණා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබන තියෙන දැනුම නිසා මම බය පැත්තකට තියල වාහනේට කිට්ටු වෙන්න බැලුවා.“ යැයි සඳුන් ඒ අවස්ථාව මතකයට නඟන්නට වූයේ එසේය.
ඒ වන විටත් මේ අනතුරට ලක්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබුණු වී 08 වර්ගයේ ජිප් රථය බව සඳුන් දැන සිටියේ නැත. තමන් පැමිණි වාහනය නතර කර ඉන් බැස අනතුර සිදුව තිබුණු ස්ථානයට ගමන් කරන අතරතුර සඳුන් සිය ජංගම දුරකතනයෙන් පළමු ඇමතුම ගෙන තිබුණේ 1990 සුවසැරිය ගිලන් රථ සේවයටය. එහිදී එම ගිලන් රථ සේවයෙන් ඔහුට ලැබෙන පිළිතුර වන්නේ අධිවේගී මාර්ගයේ අනතුරු සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති බවය. කළ යුතු උපදෙස් පවා නොදෙමින් එම දුරකතන ඇමතුම එහා කෙළවරෙන් විසන්ධි වූයේ ඒ මොහොතේ සඳුන් අසරණ කරමිනි.
“ මම ඒ වෙලාවේ අනතුරට ලක්වෙලා හිටපු වාහනේට කිට්ටු වෙලයි හිටියේ. මම දැක්කා වාහනේ ඉස්සර සීට් එකේ කහපාට බැනියමක් ඇදගෙන හිටපු අයෙක් නිදාගෙන ඉන්නවා වගේ. මම දැක්කේ රත්වෙච්ච එන්ජිම උඩ එයා ඉන්නව වගෙයි. ළඟට ගිහින් බැලුවම මම දැක්කා පිටිපස්සේ සීට් එකෙත් එක්කෙනෙක් හිරවෙලා ඉන්නවා. ජීවිත දෙකක් නිසා කොහොම හරි බේරගන්න ඕනේ කියල මට හිතුණා. ඒ නිසා මම 119 ට කෝල් ගත්තා. දිගටම එන්ගේජ්. අනතුර සිදුවෙලා තියෙන තැන ගැන මට හරි අවබෝධයක් තිබ්බේ නැහැ. ඔය වෙලාවේ තමයි සුදුයි පුතයි එතැනට ආවේ. මම සුදූට කිව්වා ඉක්මනින්ම නෙට් එකෙන් ජා-ඇල පොලිසියේ නම්බර් එක චෙක්කරල දෙන්න කියලා. පුතාට කිව්වා වත්තල පොලිසියේ නම්බර් එක හොයන්න කියල. මම ජා-ඇල පොලිසියේ නම්බර් එක හොයල මේ පොලිසි ඔක්කෝටම අනතුර ගැන කිව්වා. “ තමාගේ පාර්ශ්වයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සඳුන් ගෙන තිබුණේ එසේය.
ඒ වන විට සුළු සීරීම් කිහිපයක් පමණක් තිබුණු හැඩි දැඩි තරුණයෙක් දුරකතන ඇමතුම් ගනිමින් වැඩි කලබලයකින් තොරව එහා මෙහා ගමන් කරමින් සිටින අයුරු සඳුන් දුටුවේය. ඔහුගේ කමිසය පවා ඉරී තිබුණු බැවින් සඳුන් අනුමාන කරනු ලබන්නේ ඔහු මෙම රථයේ පැමිණි අයෙක් විය හැකි බවය. එහෙත් ඔහු රථයේ සිරවී සිටින අය ඉන් පිටතට ගැනීමට තරම් උනන්දුවකින් කටයුතු නොකරන බවත් දුටුවේය.
ඔහු ජිප් රථයේ සිරවී සිටින දෙදෙනාගෙන් පහසුවෙන්ම පිටතට ගැනීමට හැකියාව ඇත්තේ කාවදැයි කල්පනා කළේය. දෙදෙනාම රථයේ සිරවී සිටින බැවින් තහඩු කපා ඔවුන්ව පිටතට ගැනීමට සිදුවනු ඇතැයි සඳුන් සිතුවේය. ගිනි නිවීම සම්බන්ධයෙන් ගිනි නිවන හමුදාව සමඟ පුහුණුවක් ලබා සිටි සඳුන්ගේ මතකයට එකවරම නැඟෙන්නේ ගිනි නිවන හමුදාව සතුව ඇති මෙවැනි අවස්ථාවන්වලදී පරිහරණයට ගන්නා උපකරණ කට්ටලය ගැනය. ඒත් එක්කම ඔහු 011-2422222 අංකයට ඇමතුමක් ගත්තේය. ඒ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ සේවයටය. “ ඔය කියන තැනට අපි එනකොට ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ගම්පහ ට ඔයා කතා කරන්න“ යැයි කියා කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවයෙන් ගම්පහ ගිනි නිවීමේ සේවයේ අංකය සඳුන්ට කීවේය. සඳුන් එතැනටත් ඇමතුමක් ගෙන මේ බව කීවේය.
ඒ වන විටත් සඳුන් වැඩ පටන් ගෙන විනාඩි දහ පහළොවක්ම ගතවී තිබුණේය. අනතුර සිදුව තිබුණේ ඊටත් විනාඩි කිහිපයකට පෙරය. එහෙත් ඒ වන විටත් එතැනට උදව්වට කිසිවෙක් පැමිණ සිටියේ නැත.
මේ අතර සඳුන්ගේ බිරිය පුද්ගලික රෝහල් කිහිපයකටම ඇමතුම් ගෙන ගිලන් රථයක් මෙම ස්ථානයට ගෙන ඒමට ලොකු උත්සාහයක නිරත වෙමින් සිටියාය.
“ අයියා රට යනකොට එයාර්පෝට් එකේදී එයා ගාව තිබ්බ රුපියල් හයහත් දහක මුදලක් අතට දීලයි ගියේ. ඇම්බියුලන්ස් එකක් කීයක් ගන්නවද කියල දන්නේ නැහැ. ජීවිත දෙකක් මේ විදිහට නැති වෙන්න ඉඩ දෙන්න බැහැ කියල මට හිතුණා“ ඇය ඒ ගැන කියන්නේ එවන් කතාවකි. ඒ වන විටත් මේ අනතුරට ලක්ව සිටින්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යැයි ඇය ද දැන නොසිටියාය.
“ ඇක්සිඩන්ට් වෙච්ච වාහනේ කිට්ටුවට යන්න බැරි තරමට රස්නෙයි. හරියට කෝච්චි ඇන්ජිමක් වගේ දුමත් දාමින් තිබුණේ. මට ඒ වෙලාවේ හිතුනා බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එහෙම වුනොත් ජීවිත දෙක බේරගන්න බැරි වේවි කියල මට හිතුණා. ඇම්බියුලන්ස් එන්නේ නැතිනම් මේ දෙන්නව එළියට අරගෙන කරේ තියාගෙන හරි යන්න ඕනේ කියල. ඒ නිසා මම පහසුවෙන්ම එළියට ගන්න පුළුවන් වේවි කියල හිතපු පිටුපස ආසනයේ හිටපු කෙනා ළඟට ගියා. දොරවල් ඇඹරිලා හිර වෙලයි තිබ්බේ. ඇගේ හයියයි හතේ හයියයි එක්ක දොර අතින් ඇදල කඩල හිර වෙලා හිටපු කෙනාව එළියට ගන්න උත්සහා කළා. ඒ වෙලාවෙයි මම දැක්කේ එයාගේ එක කකුලක් කැඩිල ඒක ඉස්සරහා සීට් එක අස්සේ හිරවෙලා තියෙනවා කියල. ඉස්සරහා ඉන්න කෙනාව ගන්නේ නැතිව එයාගේ කකුල එළියට ගන්න බැහැ. මම ඊට පස්සේ ඉස්සරහා සීට් එකේ කෙනාගේ තත්ත්වය බලන්න ඇන්ජින් එකට නැග්ගා. හිතා ගන්න බැරි රස්නයක් එතැන තිබුණේ. ඔය වෙලාවේ තමයි අර පාරේ ඇවිදිමින් කාටද කෝල් ගනිමින් හිටපු කෙනා එතැනට ආවේ. පිටිපස්සේ හිරවෙලා හිටපු කෙනා ගාවට ගිහින් තට්ටු කරමින් ජයකොඩි නැඟිටපන් කියල කෑගහන්න ගත්තා. ඊට පස්සේ එයා ඉස්සරහට ඇවිත් ඇමැතිතුමා ඇමැතිතුමා කියල ඉස්සරහා හිරවෙලා හිටපු කෙනාගේ ඇඟට තට්ටු කරන්න ගත්තා. හිරවෙලා හිටපු දෙන්නම හිටියේ කිසිම හැලහොල්මනක් නැතිවයි. ඒ වෙලාවේ අර පුද්ගලයා ඔළුවේ අත තියාගෙන ෂික්, ෂික් ගාමින් පිස්සුවෙන් වගේ හැසිරෙන්න ගත්තා. ඇමැතිතුමා කියල කියපු නිසා මම ඉස්සරහා හිරවෙලා හිටපු කෙනාගේ මුහුණ හොඳට බැලුවා. දන්න මූණක් වගෙයි මට පෙනුණේ. ඊට පස්සේ තමයි හඳුන ගත්තේ ඒ සනත් නිශාන්ත මහත්තයා කියල“
“ රියැදුරුගේ පැත්නේ වාහනේ ඇතුළට ගිහින් සනත් නිශාන්ත ඇමැතිතුමාව එළියට ගන්න විදිහක් නැහැ. අනික ඇමැතිතුමා හිටපු පැත්තේ දොර කුඩුවෙලා තිබුණේ. ඒ පැත්ත කිට්ටුවට යන්න බැහැ ඔයිල් විදිනවා. එම ඔයිල් රස්ගේ නිසා ඒ කිට්ටුවට ගියොත් පිච්චෙනවා. මම ඒ නිසා හයිවේ එකේ වැටට නැඟල වාහනයේ එන්ජිම තිබුණු තැන උඩින් පැනල ඇමැතිතුමා කිට්ටුවට ගියා. ඒ වෙලාවේ තමයි මම දැක්කේ ඇමැතිතුමාගේ එක කකුලක් ඉස්සරහා හිරවෙලා තියෙනවා. කලවේ මස් කුටිටයත් ගැලවිලා බිම තිබුණා. කකුලේ ඇට පේනවා. ඇමතිතුමාගේ බෙල්ල පැත්තකට කඩන් වැටිල තිබුණා. ඒත් මට කිට්ටුවට යන්න විදිහක් නැහැ. වාහනේ වයර් හරියට මකුළු දැලක් වගේ විසිරිලා තිබුණා. එම වයර් එකින් එක අතින් කඩලයි මම ඇමැතිතුමා ළඟට ගියේ. මුලින්ම මම කලේ පැත්තට වැටිල තිබ්බ ඔළුව කෙලින් කලා. ඒ වෙලාවේ සුදූ මගෙන් ඇහුවා සර්ට පණ තියෙනවද කියල. මම කළේ ඇමැතිතුමා ළඟටම ගිහින් බෙල්ල වටේ අත දාල ඔළුව ඇමැතිතුමාගේ පපුව ගාවට පහත් කරල කන පැත්ත පපුවට තියල හාර්ට් එක වැඩ ද කියල බැලුවා. මට තේරුණ හැටියට නම් හාර්ට් එක ඒ වෙලාවේ වැඩ. මම සුදූට කිව්වා පණ තියෙනවා කියලා. ඒ වෙලාවේ මම ඇමැතිතුමාගේ අතක් එළියට දාල කිව්වා “සුදූ නාඩි බලන්න කියල“ අයියේ සර්ගේ නාඩි වැටෙනවා කියල එයා කිව්වා.“ රිය අනතුරින් බොහෝ වේලාවක් යනතුරුම සනත් නිශාන්ත අමාත්‍යවරයා ජීවතුන් අතර සිටි බවට ඇති සාක්ෂිකරුවන් වන්නේ ඔවුන් දෙදෙනාය.
මෙම අනතුර සිදුවන විට අමාත්‍යවරයා ආසන පටි පැලඳ නොසිටි බව කියැවෙන්නට වූ බැවින් ඒ ගැන සඳුන්ගෙන් විමසූ විට ඊට ඔහුගේ පිළිතුර වූයේ “ මමයි ඇමැතිතුමාගේ සීට් බෙල්ට් එක ගැලෙව්වේ. ඇමැතිතුමා සීට් බෙල්ට් එක දාගෙන ටිකක් පස්සට වෙන්න සීට් එක කඩාගෙන නිදාගෙන හිටිය කියලයි මම හිතන්නේ“ යැයි කියාය.
“වාහනේ ඩෑෂ් බෝඩ් එකක් තිබ්බේ නැහැ. කුඩු පට්ටම් වෙලයි තිබුණේ. ඒ නිසා එයාර් බෑග් වැඩ කරල තිබුණේ නැහැ යැයි ද ඊළඟ පැනයට පිළිතුරු දෙමින් සඳුන් කීවේය.
අධිවේගී මාර්ග පොලිස් අංශයේ නිලධාරීන් දෙදෙනෙක් එහි පැමිණෙනුයේ ඔය අතරතුරදීය.
“ ඔය වෙලාවේ මට හරිම මහන්සියි. මම දැක්කා ඇමතිතුමාගේ රියැදුරුගේ අතේ වතුර බෝතලයක් තියෙනවා. ඒක මම ඉල්ලා ගත්තා. ඒකෙන් වතුර ටිකක් අතට අරගෙන ඇමැතිතුමාගේ මුහුණෙ ගාල සිහිය ගන්න බැලුවා. පස්සේ මම වතුර උගුරු දෙකක් තුනක් බීලා වතුර ටිකක් මුහුණට ඉස්සා. මම හිතුවේ වතුර වැටෙන කොට ඇහැක් හරි අරියි කියලා“යැයි ද සඳුන් එම අවස්ථා ගැන මතකය අවදි කරනු ලබන්නේ එසේය.
ගිලන් රථයක හඬක් සඳුන්ට ඇහෙන්නේ ඔය අතරතුරදීය. ඒ එන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමකි. ඒ පැමිණි ඔවුන් වාහනයේ උඩ නැඟ සිටි සඳුන්ට කෑ ගසන්නේ ඔහුට එම ස්ථානයෙන් බසින ලෙසය. එවිට සඳුන් තමා කවුරුන්දැයි එම නිලධාරීන්ව දැනුම්වත් කරනු ලබන්නේ තමාගේ සහය එම නිලධාරීන්ටත් ලබා දෙමිනි.
“ ඇමැතිතුමා වාහනේ හිර වෙලා හිටිය නිසා එළියට ගන්න එක ලෙහෙසි නැහැ. ට්‍රොලි දෙකක් එම නිලධාරීන් රැගෙන විත් තිබුණා දෙන්නව ගන්න. මුලින්ම ඇමැතිතුමාව ගන්නයි සූදානම් වුණේ. කකුල ඇතුළේ හිර වෙලා මස් ගැලවිලා තිබ්බ නිසා ඇමැතිතුමාගේ වාහනේ තිබ්බ ටීෂර්ට් එකක් අරගෙන එතැනට තියන්න මට කවුරු හරි දුන්නා. වාහනේ ඇතුළට මම බැහැල කකුල හිමිහිට උඩට ගත්තා. මගේ සෙරප්පුව ඒ වෙලාවේ බිම වැටුණා. ඒ වෙලාවේ මට තේරුණා මස් ගොඩක් උඩයි මගේ කකුල තියාගෙන ඉන්නේ කියල. ඇමැතිතුමාව ඇදල ගන්න බැරි නිසා පැත්තට හරවල ට්‍රොලියේ එක පැත්තෙන් තියල ආපහු අනිත් පැත්තට හරවලයි ඇමැතිතුමාව ට්‍රොලියට ගත්තේ. ඊට පස්සේ තමයි පිටිපස්සේ හිරවෙලා හිටිය එක්කෙනාව ගත්තේ. දෙන්නවම එකම ඇම්බියුලන්ස් එකෙනුයි අරගෙන ගියේ.“
තුවාලකරුවන් දෙදෙනාව එසේ රැගෙන යාමෙන් පසු එතැන ඉතිරි වන්නේ සඳුන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ කිහිප දෙනකු පමණි. අධිවේගී රථවාහන අංශයේ නිලධාරියෙක් ද ඒ අසල රැඳී සිටියේ ය. රියදුරුට එතරම් බරපතළ තුවාල සිදුව නොතිබුණු බැවින් ගිලන් රථයෙන් ඔහුව රැගෙන ගියේ නැත. ඔහු ද එම ස්ථානයේම රැඳී සිටියේය.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් වාහන පවා එම ස්ථානයේ නතර කරමින් එහි ගමන් ගන්නා අය වාහන වලින් බැස එතනට වැල නොකැඩී එන්නට වූයේ සිරි නරඹන්නට මෙනි.
“ ඇමැතිතුමාගේ සිකුරිටිගේ වෙපන් එක කෝ“ සඳුන් මෙසේ රියැදුරුගෙන් විමසන්නට වූයේ ඇමැති ආරක්ෂකයා සතුව ගිනි අවි ඇති බව දන්නා බැවිනි. රියදුරු ඊට නිසි ප්‍රතිචාරයක් නොදක්වා සඳුන්ගේ මුහුණ දිහා බලා සිටින්නට විය. එහිදී සඳුන් තමා කවුරුන්දැයි රියැදුරාට හඳුන්වා දෙන්නට වූයේ පොලිස් හැඳුනුම් පත ද පෙන්වමිනි.
“ඔයාව රෝහලකට යවන්න ඕනේ. අපි දන්නේ නැහැ. ඔයාගේ ඇඟ ඇතුළෙන් මොන තුවාල තියෙනව ද කියල. ඒ නිසා ඔයා මෙතනින් යන්න ඉස්සරින් දන්න හැම දෙයක්ම මට කියන්න“ යැයි සඳුන් ඔහුට කීවේය.
බොහෝ වේලාවක් හැම තැනම සොයා බැලූ රියැදුරා එම ගිනි අවිය සඳුන්ගේ අතට පත් කරන්නේ වාහනයෙන් විසුරුණු කළු පැහැ ගැන්වූ තෙල් තට්ටුවක් මත තිබියදීය.
ඒ වන විට අමාත්‍යවරයාගේ වාහනයේ තිබුණු මිල අධික අත්ඔරලෝසු රැසක් ද මාර්ගයේ තැන තැන විසිරී තිබුණේය. එම ඔරලෝසු ද සිය බිරිය සමඟ එකතු කර ෂොපින් උරයක දමා රියැදුරුගේ අත තබන ඔහු අනතුරට පත්වූ වාහනය පරීක්ෂා කරනු ලබන්නේ වටිනා කියන තවත් යමක් එහි තිබේදැයි කියා දැන ගන්නටය. අමාත්‍යවරයාගේ ඇඳුම් පැලඳුම් සහ පාවහන් ගොන්නක් හැරුණු කොට පේන්නට එහි වටිනා කියන වෙන කිසිවක් නොවීය. ඒ අතර ඔහු වාහනයේ ඩිකියේ තිබුණු බෑගයක් ද පරීක්ෂා කරනු ලබන්නේ ඒ තුළ තිබෙන්නේ කුමක්දැයි දැන ගැනීමටය. එහි තිබෙන්නේ තවත් අවියකි. එම අවිය ද අමාත්‍යවරයාට අයත් බලපත්‍ර සහිත එකකි. එම අවියත් තමා අතට ගත් සඳුන් අවි තුනම අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන් අත තබා බිමට එළිය වැටෙන්නට හෝරාවක් තබා එම ස්ථානයෙන් පිටත්ව මරදානේ පිහිටි නිවෙස බලා ගමන් ගන්නේ ජීවිත දෙකක් බේරා ගැනීමට දායක වීමට ලැබීම ගැන සතුටු වෙමිනි. එහෙත් ඔවුන් නිවෙසට පය තබා ඇඟපත සෝදා පිරිසිදු වීමටත් මත්තෙන් දුරකතනයට කෙටි පණිවුඩයක් ලෙසින් ලැබෙන්නේ අමාත්‍යවරයාත් ඔහුගේ ආරක්ෂකයාත් අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් මිය ගිය බවට වූ පුවතකි.
ගයාන් කුමාර වීරසිංහ