රටේ වර්තමාන ආරක්ෂාව ගැන, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
ඔව්, රටේ වර්තමාන ආරක්ෂාව ගැන මම සෑහීමකට පත් වෙනවා. යම් යම් තැන් තියෙනවා අප විසින් අවධානය යොමු කර සකස්කර ගත යුතු. නමුත් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ලෝකයේ දියුණුම රටවල වුණත් ආරක්ෂාව සම්බන්ධව යම් යම් සිද්ධි ඇති වෙන්න පුළුවන්. එම නිසා එක ප්‍රශ්නයක් දෙකක් තුළින් අපට රටක සමස්ත ආරක්ෂාව නැහැ කියල කියන්ක බැහැ. ඒක අසාධාරණයි.
ජනාධිපතිවරයා රට භාර ගනිද්දි, ඒ වගේම මම ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ලෙස තනතුර භාර ගනිද්දි මේ රට තිබුණු හැටි අමතක කරන්න බැහැ. රාජ්‍ය පරිපාලනය බිඳ වැටිලා, නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා තිබුණෙ. ඒ තත්ත්වය ඉතාම කෙටි කලකින් වෙනස් කරන්න අපට හැකිවුණා. ඒ වගේම පෙන්වා දිය යුතුයි අප වැඩි දියුණු කර ගත යුතු තැනුත් තියෙනවා.
මීට කලකට පෙර කළුතර දී අවි ආයුධ සහිත නිලධාරීන් සමඟ ආරක්ෂිතව ගිය සැකකරුවන් ඝාතනයට ලක්වුණේ චිත්‍රපටයක දර්ශන වගේ. ඒ හා සමාන තත්ත්වයක් පසුගියදා අපට බෙලිඅත්තේදීත් දක්නට ලැබුණා. ආරක්ෂාවේ කොතැනක හෝ සැලකිය යුතු දුර්වලතාවක් ඇති බව ඔබ සිතන්නේ නැද්ද?
රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය සතුයි. ත්‍රිවිධ හමුදාව උපරිම දායකත්වයක් ඒ වෙනුවෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම බුද්ධි අංශ මට්ටමින්. ඒ වගේම විශේෂ කාර්ය බළකායත් ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. නමුත් මා පෙර පැවසුවාක් මෙන් එක සිද්ධියක් දෙකක් ගෙන සමස්ත ආරක්ෂාව ගැන තක්සේරු කරන්න එපා.
ලෝකයේ ඉතාම දියුණු රටවල් තියෙනවා අපේ දළ ජාතික නිෂ්පාදනය මෙන් 100 ගුණයක් මෙන් ඒ රටේ ආරක්ෂාව වෙනුවෙන් වැය කරන. ඒ රටවලත් මේ වගේ දේවල් ඇති වෙනව.
නමුත් විපක්ෂය කියන්නෙ මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ ආණ්ඩුවේ දුර්වලතාවය, අකාර්යක්ෂමතාව නිසා කියලයි.
විපක්ෂය කවද්ද ආණ්ඩුවකට හොඳක් කිව්වෙ, අපිට කොන්දක් තියෙන්න ඕන හරි දේ හරි ලෙස දකින්නත් වැරදි දේ වැරැදි විදිහට දකින්නත්, විපක්ෂයේ ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. අනික් එක මේක තමයි ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ලක්ෂණය. අපේ එකමුතුවක් නැතිකම.
සුනාමිය ආවා පක්ෂ විපක්ෂ අය එකතු වෙලා ඊට මුහුණ දෙන්න සූදානම් වුණාද? නැහැ බෙදුණා, උතුරේ යුද්ධයක් තිබුණා ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි එකතු වෙලා ජාතික ප්‍රශ්නයට විසඳුමක් හෙව්වද; නෑ බෙදුණා, 2019 අවුරුද්දෙ සහරාන්ගෙ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා, අපේ කට්ටිය බෙදුණා, ගෝලීය කොවිඩ් වසංගතයක් ආවා අපේ අය බෙදුණා. ඒත් එක්කම ආර්ථික අර්බුදයක් ආවා, අපේ අය බෙදුණා.
අපි තරුණ දේශපාලන නියෝජනයන් හැටියට අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕන. ඒ වෙනුවෙන් සාධනීය තැනකට අපි යන්න බලාපොරොත්තු වෙනවා.
තරුණ දේශපාලනඥයෙක් හැටියට ඔබ හොඳ ප්‍රකාශයක් කළා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න උත්සාහ ගන්නා බවක්, මොකක්ද ගන්න බලාපොරොත්තු වන පියවර?
අපි කතා බහේ ඉඳලම මේ කාර්යය කළ යුතුයි. මම පාර්ලිමේන්තුවෙදි කාටවත් හොරා කියල නැහැ, නමක් කියල දෝෂාරෝපණය කරල නැහැ, ‘ඔන්ලයින්‘ පනත ගෙනාපු වෙලාවෙත් මම කිව්වෙ පාර්ලිමේන්තුව ඇතුළෙ කරන කතා ගැන අපි වගකීමක් දරාගෙන කතා කළ යුතුයි කියලා. ඒ වෙලාවෙ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් මට කිව්වා ‘පුතා උඹ ලස්සනට කතා කළා, ඒ වුණාට ඒව ටීවීවල, පත්තරවල යූ ටියුබ්වල යන්නෙ නැහැ, ඒ වගේ ප්‍රසිද්ධියක් වෙන්න නම් කාටහරි බණින්න, දෝෂාරෝපණය කරන්න ඕන නැත්නම් කාගෙ හරි ප්‍රකාශයකට පැටලෙන්න ඕන කියලා‘
ටීවීවල පත්තරවල නොගියට කමක් නැහැ, ඒ වගේ අලුත් වෙනසක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නම් ඒක ඇති.
ජනතා විමුක්ති පෙරමුණ කියනවා ආණ්ඩුව දඩයි බදුයි වැඩි කරනවා හැර වෙනත් ආදායම් උත්පාදනය කරන ක්‍රම හොයන්නෙ නැහැ කියලා?
අපි පාසල් යන කාලයේ ජවිපෙ සිදුවීම් ගැන මම හොඳින් දන්නවා. මම ඒ ගැන කතා කරන්න චෝදනා කරන්න යන්නෙ නැහැ. නමුත් මතක් කරල දෙන්න ඕන.
අපේ රට තිබුණු තත්ත්වයේ හැටියට මෙච්චර ඉක්මනට ගොඩ ගන්න පුළුවන් වෙයි කියල කවුද හිතුවෙ. සමහර තීන්දු තීරණ ගන්න අමාරුයි තමයි, ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඒ කාලෙ කෑ ගැහුවා බදු අඩු කිරීම ගැන, දැන් බදු වැඩි කිරීම ගැන කෑගහනවා. ලෝකයේ කිසිම නායකයෙක් ආණ්ඩුවක් කැමැත්තෙන් නෙමෙයි බදු අය කරන්නෙ. නමුත් ආදායම් උත්පාදනයක් තියෙන්න ඕනනෙ.
නමුත් මේ අවස්ථාවේ ජනතාව පීඩනයෙන් ඉන්නෙ. ජීවන බර අහස උසට නැඟලා…
අපිට ඉස්සරවෙලාම විසඳුම දෙන්න ඕන රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නනේ. ඒ වගේම අපේ රටේ ඉතාම බර රාජ්‍ය සේවයක් තියෙන්නෙ. නිදහස් අධ්‍යාපනයක් තියනවා විශ්වවිද්‍යාලයට යනකල්. විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙ ඉන්න තැනකුත් දීලා අතටත් ගාණක් දෙනවා, එළියට ආවහම ආණ්ඩුවෙ රස්සාවකුත් තියෙනවා. ඒ වගේම ජනතාවට බර සෞඛ්‍ය සේවයක් තියෙන්නෙ. ඒ හැම දෙයක්ම රජය කළ යුතුයි. මේ හැම දේකටම මිලක් තියෙන්න ඕන. රටක් විදිහට රටට ආදායම එන මාර්ග ලොකුවට නැහැ. විදුලිය බලය ගත්තත් උත්පාදන වියදම වැඩියි මේකයි ඇත්ත තත්ත්වය.
නමුත් විදුලි බල මණ්ඩලය කියන්නෙ අතිවිශාල අතිකාල ලබා දෙන ආයතනයක්. දුම්රිය දෙපාර්තමේන්තුවත් එහෙමයි; අතිකාල අතිවිශාල ලෙසින් තියෙනවා. වැඩවසම් සමයේ ක්‍රමවේද තවම තියෙන්නෙ.
ඔව්, ඒක තමයි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන, මේ රටේ බඩු බෙදන දේශපාලනය වෙනස් කරන්න ඕන. ලෝකයේ රටවල් දියුණු වුණේ කොහොමද කියල බලල අපිත් ඒ අනුව කටයුතු කරන්න ඕන.
සිංගප්පූරුව දියුණු වුණේ ගෙවල්වලට බත් පිඟන් නොමිලේ යවල නෙමෙයි. සිංගප්පූරුවෙ අවුරුදු 70 අයත් හෝටල්වල සේවය කරනව මම දැකල තියෙනවා. ඒ අයට විශ්‍රාම වයස කියල නැහැ. හැමෝම රට වෙනුවෙන් සේවය කරනවා. ආදායම් උපදවා ගන්නවා. ගිලන් රථයක ගියත් ඒකට පසුව බිලක් එනවා. අපි ආදායම් උපයන විදිහක් හොයන්නෙ නැහැනෙ.
අපි මේ වෙනස කොතනින් හරි ආරම්භ කළ යුතුයි. උදාහරණයක් ලෙස ආපදා සහන මධ්‍යස්ථානයේ නියමිත කාර්ය මණ්ඩලයට වඩා 150ක් ඉන්නවා. මම එයින් 104ක් ඉවත් කරන්න කටයුතු කළා. අනවශ්‍ය බරක් තියාගෙන මේ වගේ ආයතන ක්‍රියා කරන්න බැහැ. වෘත්තීය සමිති උසාවි යනව කිව්වා. කරන්න දෙයක් නැහැ. අසීරු තීරණ ගන්න වෙන අවස්ථා තියෙනවා.
ඔන්ලයින් පනත සම්මත කළාට අමෙරිකාවේ කනස්සල්ලක් තියෙනවා…
ඒක අපේ රටේ වැඩක්. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම භාෂණයේ නිදහස තහවුරු කරල තියෙනවා. ඒ හැම දේකටම යම් යම් සීමාවන් තියෙනවා. අපිට පාරෙ සැරයටිය වන වන යන්න පුළුවන්, හැබැයි අනික් කෙනාගෙ නහය ගාවට විතරයි.
අන්න ඒ සීමාවෙ රේඛාව තමයි අපි මේ හරහා ඇන්දෙ, ලෝකයේ මේ වගේ සීමාවන් නොතිබුණු රටවල් 25යි තිබුණේ. අපිත් දැන් ඒ වෙනුවෙන් නියාමනයක් යෙදුවා.
ශ්‍රීධරන් කියල තියෙනවා උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් අවශ්‍යයි කියලා. ටීඑන්ඒ නව නායකයාගේ මේ මතය ගැන ඔබගේ අදහස පැහැදිලි කළොත්…
අපේ රටේ පුරවැසියන් සියලු දෙනාටම මේ රටේ ජීවත්වීමේ අයිතියක් තියෙනවා. නමුත් මෙහි ගැටලුව තියෙන්නේ එතන නෙමෙයි.
උතුරේ ඇතැම් දේශපාලකයන්ගේ පරම්පරා දෙක තුනක්ම ජීවත් වෙන්නෙ කොළඹ, නැත්නම් දකුණේ කියමු. ඒ අයට කිසිම ප්‍රශ්නයක් කාගෙන්වත් නැහැ, තානාපති කාර්යාලවලට ඔවුන් යනවා, සාදවලට දකුණේ අයත් එක්ක යනවා උත්සවවලට යනවා. දකුණේ සාමාන්‍ය අනෙක් අය වගේම ඉන්නවා ආරක්ෂාව ගැනවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
නමුත් ඒ අය උතුරට ගියහම රඟපාන්නෙ වෙනම චරිතයක්. ඒ දේශපාලන පක්ෂයේ හා දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවන් මත පුද්ගයන් විසින් සකස් ගත් ක්‍රියාදාමයන්.
නමුත් ඉහත ආකාරයේ ප්‍රකාශ නොකර ඒ පක්ෂයේ අනාගතය හෝ ඒ දේශපාලකයන්ගේ අනාගතය හෝ රඳවා ගන්න බැහැ. ඒකයි ඒ වගේ ප්‍රකාශ සිද්ධ කරන්නෙ.
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නෙ කාටද?
පක්ෂයේ මතය තවම පැහැදිලි තැනක නැහැ. ඒක පක්ෂය විසින් තීන්දු කරාවි. ඒත් ලංකාව පහුගිය කාලයේ තිබුණු හැටි අප මතක තියාගන්න ඕන; දවසට පැය 16ක් ලයිට් කැපුවා. ගෑස්, තෙල් පෝලිම් දවස් ගණන්. උද්ධමනය 98%ට ගියා. ලෙබනනයේත් අපේ හා සමානවම ඒ තත්ත්වය තිබුණා. අද ලෙබනනයේ උද්ධමනය 256%යි. අපේ තනි ඉලක්කමට ඇවිත්.
ඒ තත්ත්වය ගේන්න මුල් තැන ගත්තෙ වත්මන් ජනාධිපතිවරයා, ඒ තත්ත්වය මතක ඇති. අරලියගහ මන්දිරය අල්ල ගෙන, ජනාධිපති මන්දිරය අල්ලගෙන, ජනාධිපති කාර්යාලය අල්ලගෙන, පාර්ලිමේන්තුව වට කරලා, හිටපු ජනාධිපතිවරයා නැවක හිටියෙ, නීතිය ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ, රාජ්‍ය පරිපාලනය බිඳ වැටිලා, ඒ වෙලාවෙ තමන්ගෙ ගේ ගිනි තියලා තියෙද්දි රට භාරගන්න ආවෙ වත්මන් ජනාධිපතිවරයා.
සේයාරුව – සුදත් නිශාන්ත
තාරක වික්‍රමසේකර