Home » සජිත්ගේ ෆේස්බුක් පෝස්ට් එකට ෆොනීට යකා නඟී

සජිත්ගේ ෆේස්බුක් පෝස්ට් එකට ෆොනීට යකා නඟී

by gayan
February 3, 2024 12:30 am 0 comment

සැලුන් දොරවල් ගැන යළිත් කතාබහ වෙන නිසා දේශපාලන ක්ෂේත්‍රය නැවතත් උණුසුම් වී ‍තිබේ.

ෆොන්සේකාගේ රතු කට්ට පනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන ගැටුම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබේ.

කාලයක් තිස්සේ අළුයට ගිනි පුපුරු මෙන් පැවති දෙදෙනාගේ ගැටුම එළියට ආවේ හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ‍ෙජනරාල් දයා රත්නායක පසුගියදා සජිත් ප්‍රේමදාස සමඟ එක් වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීමයි.

මෙම සිදුවීම සරත් ෆොන්සේකා දැනුවත් නොකර සිදුවූ අතර එය ෆොන්සේකා දැනගෙන තිබුණේ මුහුණු පොතෙනි.

සජිත්ගේ මාධ්‍ය ඒකකය විසින් මුහුණ පොතට දමා තිබූ සජිත් සහ දයා රත්නායක එකට සිටින ඡායාරූප මුහුණු පොතෙන් දුටු සරත් ෆොන්සේකාට යකා නැග්ගේය.

ෆොනීගෙන් සජිත්ට ඇමතුමක්

ඒ අවස්ථාවේදීම තම ජංගම දුරකතනයෙන් සජිත්ට කතාකළ ෆොන්සේකා දයා රත්නායක එක්කර ගැනීම පිළිබද දැඩිව දෝෂාරෝපණය එල්ල කළේය.

දයා රත්නායක තමයි මාව හිරේ දාන්න වැඩ කළේ. එයා ගෝඨාභගේ දකුණු අත. යුද හමුදාපති වුණේ රාජපක්ෂලාට ගැතිකම් කරලා. මෙයා ගත්තු එකට මං දැඩි ලෙස විරුද්ධයි. “ කියමින් දෝෂාරෝපණ එල්ල කළ ෆොන්සේකා තවත් කරුණු රැසක් ඉදිරිපත් කරමින් සජිත්ට අප්‍රසාදය පළ කළේය.

සජිත්, සරත් ෆොන්සේකා අස්වැසීමට කිහිප අවස්ථාවක්ම උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවීය.

ඉන් අනතුරුව පසුගිය 31 වැනිදා සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයට ද සරත් ෆොන්සේකා එක් වූ අතර එහිදී ඔහුගේ හිතවතුන් විසින් දයා රත්නායකගේ ආගමනය පිළිබඳව විමසා ඇත.

“ කියන්න ඕන ටික ලොක්කට කිව්වා“ යනුවෙන් ඒ ප්‍රශ්නවලට සරත් ෆොන්සේකා පිළිතුරු දෙන්නට විය.

ජනාධිපති, නීතිඥවරුන් සමඟ

අලුතින් පත්වූ ජනාධිපති නීතිඥවරුන් 10 දෙනෙකු ඉකුත් සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දුන්නේ ජනපති කළ පත්කිරීමට අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට ඇති බලතල ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දස දෙනෙකු ජනපති නීතිඥවරුන් වූවේ එසේය. ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම් දුන් පසු සාදයක් පැවැත්වීම සම්ප්‍රදායකි.

ලොරොන්සෝ පුතා බේරාගැනීමේ මෙහෙයුම

ජනපති රනිල්ට දුරකතන ඇමතුමක් දුන් සාගල රත්නායක ඉකුත් ඉරිදා කීවේ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවකි. ඔහු නාවික හමුදාපතිට දැනුම් දුන්නේ වහාම බහරේන්වල පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායට මෙය දැනුම් දෙන ලෙසය.

ඊට අමතරව විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් හා සම්බන්ධ වූ සාගල තානාපති කාර්යාල හරහා විදේශ රටවල සහාය ඉල්ලා සිටියේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා ද ඒ වන විටත් ජනපති රනිල් හා සාකච්ඡා කරමින් සිටියේ ධීවරයන් හා බහුදින යාත්‍රාව මුදා ගන්නා ආකාරය ගැනය.

සඳුදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක උපදේශක සාගල කැඳවා කීවේ ධීවරයින් මුදා ගැනීම වෙනුවෙන් නාවික හමුදාවේ නෞකාවක් යැවිය හැකිදැයි සොයා බලන ලෙසය. රතු මුහුදේ නාවුක ආරක්ෂක කටයුතුවලට යැවීමට සුදානම් කර තිබූ නෞකාව ධීවරයන් මුදා ගැනීමේ මෙහෙයුමට යැවිය හැකි නොවේදැයි ජනපති, ජාතික ආරක්ෂක උපදේශකගෙන් විමසා සිටියේය.

ජනපති උපදෙස් මත සාගල රත්නායක නාවික හමුදාපති හා මේ ගැන සාකච්ඡා කළ අතර රතු මුහුදේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යැවීමට සූදානම් කළ නෞකාව ඒ වෙනුවෙන් යැවීමට සූදානම් කළේය. එදින සවස නෞකාව පිටත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන ජාතික ආරක්ෂක උපදේශකට කීවේ ෂී ෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය විසින් “ලොරොන්සෝ පුතා” බහුදින යාත්‍රව හා ධීවරයන් මුදාගෙන ඇති බවය.

ශෂින්ද්‍රට හා ලොහාන්ට ඇමැතිකම ලැබුණු හැටි

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ සඳුදා පෙරවරුවේය. සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජල සම්පාදන රාජ්‍ය ඇමැතිධුරය සම්බන්ධයෙන් පොහොට්ටුව සමඟ කළ සාකච්ඡාවේදී එය ශෂීන්ද්‍ර රාජපක්ෂට දීමටත් ඔහු දැරූ රාජ්‍ය ඇමැතිධුරය ලොහාන් රත්වත්තේට දීමටත් යෝජනා වූවේය. ඒ අනුව ලොහාන් රත්වත්තේ මහවැලි රාජ්‍ය ඇමැතිධූරයේ දිවුරුම් දුන්නේය.

ඇමැති මණ්ඩල හමුවෙන් පසු සඳුදා රාත්‍රියේ ජනපති ගියේ ජනාධිපති නීතිඥ ඉරාජ් ද සිල්වාගේ සාදයටය. හේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ පුත්‍රයාය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග, ඇමැති හරීන් ප්‍රනාන්දු, ඇමැති ටිරාන් අලස්, රුවන් විජයවර්ධන, සාගල රත්නායක මෙන්ම විපක්ෂයෙන් හර්ෂ ද සිල්වා හා සුජීව සේනසිංහ ද සාදයට පැමිණ සිටියහ.

රනිල්ට පොදු අපේක්ෂක වන ලෙසට ඇරයුමක්

නීතිඥ දිනේෂ් විදානපතිරණ හා සාගල රත්නායක ජනපති අසල හිඳිමින් ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කරන්නට වූහ. ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව නීතිඥවරුන්ට ජනපති නොකියා කීවේ මෙහිදීය. ඊට සාගල ද සහායක් දුන්නේය.

“සර් පක්ෂයක අපේක්ෂකයෙක් විදියට නොවෙයි, පොදු අපේක්ෂකයෙක් විදියට එන්න.” නීතිඥ දිනේෂ් කියද්දී ජනපති හිස සලමින් එය අනුමත කළේය. මේ අතර ජනපති අසලට පැමිණියේ ජවිපෙ මෙන්ම ජාජබයේද ප්‍රධාන නීතිඥයෙකු වන සුනිල් වටගලය.

අනුරගේ නීතිඥයාට රනිල් කී අනාවැකිය

“ජනාධිපතිවරණය ඉක්මනින් තියන්න. මොකක්ද ඉස්සෙල්ලාම එන මැතිවරණය” සුනිල් වටගල කියද්දී ජනපති කීවේ “ඔව් ඔව් නියමිත කාලයේදී ජනාධිපතිවරණය තියෙනවා. මම ඒක අනුරට කියලා තියෙන්නේ. එයා ඔයාට කියලා නෑ.” කියාය.

“අපේ අපේක්ෂකයා අපි දිනවනවා. එයා තමයි ජනාධිපති වෙන්නේ.” සුනිල් වටගල කී විට මද වේලාවක් ඔහු දෙස බලා හුන් ජනපති “තව මාස 6කින් ඔයාලත් අපේ පැත්තේ.” කියමින් සිනාසෙද්දී රැස්ව සිටි නීතිඥයන්ට ද සිනහව නතර කරගත නොහැකි වූහ.

ජනපති රනිල් අන්තරේ නොකවුට් කළ හැටි

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට ජනපතිට නොපැමිණෙන ලෙස අන්තරේ කියද්දී ජනපති එහි ගියේය. ආවොත් බලාගමු වැනි පෝසටර් අලවා තිබුණ ද ජනපති එහි ගොස් ගොඩනැඟිල්ල විවෘත කළේ එහි මුල්ගල තැබුවේද තමන් බව සිහිපත් කරමිනි.

උත්සවය අවසානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ජනපති අසලට පැමිණ “සර් ආපු එක හොඳයි. හුඟක් අයට සැකයක් තිබුණා, සර් එන්නේ නැති වෙයි කියලා.” යි කීවේය.

“මට ආරාධනා කළේ හාමුදුරුවෝ. මම ආවේ උන්වහන්සේලාගේ ආරාධනය පිළි අරගෙන. හාමුදුරුවෝ එන්න එපා කිව්වා නම් මම එන්නේ නෑ.” ජනපති කීවේ සිනා මුසුවය.

“ජනාධිපතිතුමා කියන්නේ ඉතින් කැලණියෙත්, බියගමත් කාලයක් කරක් ගහපු කෙනෙක්. එතුමා මේකේ හතර කොණ හොඳට දන්නවා.” එහි සිටි නිලධාරියෙක් කියද්දී ජනපති සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.

ජනපති රනිල් සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අතර මැති ඇමැතිවරු ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ද ජනපති මුණ ගැසීමට පැමිණ සිටියෝය. ඔවුන්ගේ කතා බහට ලක්වූවේ කැලණිය විශ්වවිද්‍යාලයට ජනපති ගිය ගමන ගැනය.

රනිල් හා ‍ගෝඨාගේ වෙනස වජිර පෙන්වයි

“අන්තරේ කට්ටිය යන්න කිව්වම ගෝඨාභය ජනාධිපතිතුමා ගියා වගේ අපේ ජනාධිපතිතුමාටත් එන්න එපා කිව්වාම නෑවිල්ලා හිඳීවි කියලා එයාලා හිතන්න ඇති.” වජිර කතාව ආරම්භ කළේ එලෙසිනි.

“විශ්වවිද්‍යාලයේ හුඟක් ළමයි මේකට ආවේ නෑ. අන්තරේ ඇතුළෙත් මේ ගැන බෙදීමක් තියෙනවා. වසන්ත මුදලිගේගේ ඕනෑකමට තමයි මේක වෙලා තියෙන්නේ.” ඇමැති ප්‍රසන්න කීවේ එවැන්නකි.

“මේ ෆැකල්ටියට අවශ්‍ය උපකරණ ගන්න මුදල් දෙන්න හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඒක ඕනා කියලා ශිෂ්‍යයෝ ඉල්ලුවොත් තමයි මට මුදල් වෙන් කරන්න පුළුවන් වෙන්නේ.” ජනපති කීවේ ඇඟට පතට නොදැනීය.

ජනපති ඉන් පසු වැඩි වේලාවක් කතා කළේ ඉඩම් අහිමි ජනතාවට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ගැනය’

කාන්තාවන්ගේ රෝග දුරු කරන්න සිසිරගෙන් බෙහෙතක්

නිදහස් දිනය නිමිත්තෙන් රට පුරා ඖෂධ පැළ සිටුවීමේ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ආරම්භ කොට තිබේ. එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ භූමියේදී අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තටද පැළයක් රෝපණය කිරීම සඳහා ඇරයුම් කළේ අශෝක පැළයක් අමාත්‍යවරයාගේ අතට දෙමිනි.

“ අශෝක ගහක් යට හිටියත් කාන්තාවන්ගේ රෝග දුරුවෙනවාලු” සිසිර ජයකොඩි ඇමැතිවරයා කීවේය.

“ මෙතැන කාන්තාවක් නැහැනේ ” අග්‍රාමාත්‍යවරයා සිනහමුසුව කීවේය.

“ එහෙනම් මේ වගේ මහානුභාවසම්පන්න පැළයක් මම තනියෙන් හිටවන එක හරි නෑ” කියූ අශෝක ප්‍රියන්ත අමාත්‍යවරයා ඇමැතිතුමත් එමුකෝ මාත් එක්ක අශෝක පැළය හිටවන්න ” කියමින් ඒ සඳහා ජානක වක්කුඹුර ඇමැතිවරයා ද සහභාගි කර ගත්තේය.

රනිල්ට සහාය දෙන බව ප්‍රසන්න කියයි

ඇමැති ප්‍රසන්න පසුගිය බදාදා රත්නපුරය බලා ගියේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහභාගි වීමටය.

සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව ඇමැති ප්‍රසන්න, අකිල එල්ලාවලගේ කාර්යාලයට ගියේ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡාවකටය.

“ඇමැතිතුමා ජනාධිපතිවරණයේදී මොකද වෙන්නෙ. දැන් පක්ෂයෙන් අපේක්ෂකයෝ මතුවෙනවා. අපි තමයි අසරණ වෙලා ඉන්නෙ”

හිටපු පළාත් පාලන මන්ත්‍රිවරයකු කීය.

“කවුරු කොහොම කිව්වත් අපිට සිද්ධවෙනව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදවු කරන්න. මොකද එතුමා විතරයි දංගෙඩියට බෙල්ල තියන්න ඉස්සරහට ආවේ.තමුන්නාසේලා ඒ ඇත්ත ගමේ මිනිස්සුන්ට කියන්න”

ඇමැති ප්‍රසන්න කීවේ උණු උණු එළවළු රොටියක රස බලමිනි.

“තනියෙන් එන අපේක්ෂකයෙක්ට දිනන්න පුළුවන්ද? තවත් පැනයකි.

“මෑත කාලීනව ජනාධිපතිවරු බිහිවුණේ සන්ධාන ආණ්ඩුවලින්. ඒක නිසා මේපාර දිනන්නෙත් සන්ධානයකින් එන නායකයෙක් තමයි ” ඇමැති ප්‍රසන්න කීවේ උදාහරණ සමඟිනි.

“එතකොට ඇමැතිතුමා පක්ෂයේ මතය මොකක්ද?” මෙතෙක් වේලා නිහඬව සිටි මන්ත්‍රි අකිල විමසීය.

“මගේ පුද්ගලික මතය මේ ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දෙන්න ඕන කියන එක. මොකද මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් මෙතුමා ගැන විතරයි. මේ වෙලාවේ අපේ පක්ෂයේ වෙනත් අයකුට ඉඩ නෑ ” ඇමැති ප්‍රසන්න කීය.

කැරට් වැඩි වූ හැටි ප්‍රසන්න පෙන්වයි

“බඩු මිල වැඩියි ඇමැතිතුමා. කැරට් දිහා බලන්නවත් බෑ.

මේක පොඩ්ඩක් පාලනය කරන්න.”කෙනෙකු කීය.

“බඩු මිල වැඩියි තමයි. හැබැයි කැරට් මිල වැඩියි කියන කතාව වෙනම එකක්” ඇමැති ප්‍රසන්න කීය.

“ඇයි ඇමැතිතුමා”

“කැරට්වලට වඩා අඩු මිලට එළවළු තියෙනවා. හැබැයි හැමෝම කතා කරන්නෙ කැරට් ගැන. මොකෝ අපි හැමදාම කැරට් කෑවද? තුන් වේලටම කැරට් කන්න අපි හාවොද?”ප්‍රසන්න ඇසුවේ ය. කාලෙන් කාලෙට විවිධ එළවළවල ගාන වැඩිවෙනවා. අඩු වෙනවා ඒකට විවිධ හේතු තියනවා. හැබැයි ස්වාභාවික හේතුවක් නිසා එළවළු මිල වැඩිවුනත් ඒක ආණ්ඩුවේ වරදක් කියලනේ කියන්නේ ..” ඇමැති ප්‍රසන්න කීය.

ප්‍රසන්නගේ කඳුකර දශකය ගැන ජනපතිගේ ප්‍රසාදය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් කැඳවා තිබුණේ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්නටය.

“ප්‍රසන්න කඳුකර දශකය එක්ක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට යන එක හොඳයි.” ජනාධිපතිවරයා කීවේ රැස්වීම පටන් ගන්නට පෙරය.

ප්‍රසන්න සිනාසුනා මිස කිසිත් කීවේ නැත.

“ඔයා දිගටම ඒ වැඩේ කරගෙන යන්න” ජනාධිපතිවරයා යළි කීවේය.

ජා ඇළ රැලියෙන් පසු ලන්සාට එක දිගට ඇමතුම්

නව සන්ධානයේ මංගල මහජන රැලිය පසුගිය සෙනසුරාදා ජා ඇළ නගර මධ්‍යයේදී සාර්ථකව පැවැත්වුණ අතර විශාල ජනතාවක් ඒ සඳහා එක්වුහ. රැලිය පැවැත්වූ භූමිය අතුරු සිදුරු නොමැතිව පිරී ගියහ.

මේ සඳහා පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබීම නිසා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් ලන්සා ඇතුළු පිරිසට දුරකතන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තේය.

පක්ෂයක්, පාටක්, නායකයෙක් නොමැතිව මෙපමණ ජනතාවක් නව සන්ධානය වටා එක්වීම විශාල ශක්තියක් බවට ඔවුන් සැමදෙනාගෙන්ම ප්‍රශංසා හිමිවිය.

සනත් නිශාන්තගේ අවමඟුලට විශාල පිරිසක් පැමිණි හේතුව

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවමඟුල් උත්සවය පැවැත්වුණේ පසුගිය ඉරිදාය. ඔහුත් සමඟ අවසන් ගමන්ගිය පොලිස් සැරයන්වරයාගේ අවමඟුල් උත්සවය පැවැත්වුණේ සෙනසුරාදාය. නාමල් රාජපක්ෂ සෙනසුරාදා උදෑසනම මහනුවර බලා පිටත්ව ගියේය. ඒ සනත් නිශාන්ත සමඟ මියගිය පොලිස් නිලධාරියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. “ මම ඒ මළගෙදරට යන්නම ඕනෙ. අවධානය යොමුවෙලා තියෙන්නෙ සනත් අයියගෙ මළගෙදරට. ඒත් අපි මෙහෙ යන්නම ඕනෙ“ නාමල් ජොන්ස්ටන්, ඩී.වී චානක හා තේනුක සමඟ පැවසීය. “ඔව් යන්න මමත් එන්න පුළුවන්නම් එනවා“ ඒ ජොනීය.

ඉන් අනතුරුව නාමල් නුවරින් කුරුණෑගලට ගොස් ජොනී සමඟ කෙළින්ම පිටත් වූයේ සනත් නිශාන්තගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමටය. පසුදින නැවත පැමිණීමට ඇති බැවින් නාමල් නැවත කොළඹ බලා පැමිණියේය.

සජබ විරෝධතා පෙළපාළිය ‍කොල්ලුපිටියට හරවයි

සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණය කොළඹදී පැවැත්වුණේ පසුගිය 30 වැනිදාය.

විහාර මහා දේවි උද්‍යානයේ සිට සෑම අතකටම හයිඩ් පිටියට ලිබර්ටි වටරවුමට ආදි සියලුම මාවත් පොලිසිය සහ හමුදාව මාර්ග බාධක දමා අවහිර කර තිබූ අවස්ථාවේ කළ යුත්තේ කුමක්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසා සිටියේය.

ක්ෂණික තීරණයක් ගත් කණ්ඩායම විහාර මහාදේවි උද්‍යානයේ සිට ධර්මපාල මාවත ඔස්සේ කොල්ලුපිටියට ගමන් කිරීමට උත්සාහ කළේ සිදුවන ඕනෑම දේකට මුහුණ දීමේ අභිලාසයෙනි.

විරෝධතාකරුවන් ඉදිරියට පැමිණෙද්දි කඳුළු ගෑස් එල්ල කළේ පිරිස පලවා හැරීමටය.

කෙසේ හෝ විහාර මහා දේවි උද්‍යානයට ට්‍රක් රථයක් ගෙන්වා ගත් මරික්කාර් මන්ත්‍රිවරයා එම ට්‍රක් රථයේ සිට ඉතිරිව සිටි පිරිස් ඒකරාශි කර විපක්ෂ නායකතුමාට ඔවුන්ව ඇමැතීමට අවස්ථාවක් සලසා දුන්නේය.

මේ අතර විපක්ෂ නායක ලේකම් ජනාධිපති නීතිඥ තිසස් විජේගුණවර්ධනට දුරකතනයෙන් කතා කළ මහාචාර්ය ජී. එල්. පීරිස් කීවේ ‘‘තිසස් මේ ගැන තානාපති ප්‍රජාව විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. පහරදීම්වලට අදාල ඡායාරූප සහ දර්ශන මා වෙත එවන්න.‘‘ ඒ ගැන තානාපතිවරු දැනුවත් කරන්න පියවර ගන්නා බව මහාචාර්ය ජී. එල්. පීරිස් කීවේය.

මුරුත්තෙට්ටුවේ හිමි වජිරගේ ගුණ කියයි

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දින සමරු පින්කමක් පසුගිය සතියේ සිකුරාදා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පින්කමට අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

පින්කම ආරම්භ කිරීමට මත්තෙන් පැමිණ සිටි පිරිස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් සිදුකෙරිණි.

සිය දීර්ඝ කාලීන මිත්‍රයෙක් වූ වජිර ගැන කෙටි ප්‍රකාශයක් කිරීමටද ආනන්ද හිමියෝ අමතක නොකළහ.

“මං විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ වජිර ඇමැතිතුමාව, එතුමා මටත් අපේ විහාරස්ථානයටත් බොහෝ සෙයින් උදව් උපකාර කරනවා. සෑම දෙයකදි මොනවා කිව්වාත් එතුමා බෑ කියන්නෙ නෑ. හිනා වෙලා හරි යනවා.

වජිර මැතිතුමා මගේ බොහොම කල්‍යාණ මිත්‍රයෙක්, අපි දෙන්නගේ සම්බන්ධය අවුරුදු 40ක් විතර වෙනවා, ” යනුවෙන් ආනන්ද හිමියන් පැවසීය.

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළ හේතුව

“පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම ගැන ඇතැම් දේශපාලන නායකයින් විවිධ කතා කියනවා මට අහන්න ලැබුණා. ඒ නිසා මම හිතුවා ඒ ගැන ජනතාව දැනුවත් විය යුතුයි කියලා.

පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කරලා තියෙනවා, විශේෂයෙන් 2024 වර්ෂය සඳහා පෙබරවාරි 07 වෙනිදා ක්‍රියාත්මක කිරීම සඳහා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම අනෙකුත් මූල්‍ය ආයතන සමඟ දීර්ඝ කාලීනව පසුගිය වර්ෂයකුත් මාස 7ක් 8ක් තුළ කරපු සාකච්ඡා මාර්ගයෙන් ඇති වූ ආර්ථික වෙනස්කම් සහ අවසාන ඉලක්කයන් ජයගෙන තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ නැවත පාර්ලිමේන්තුව සිහි කැඳවිය යුතුව තිබෙනවා.

ඒ වගේම අයවැය කාර්යාලය ඇතුළු අනෙක් කාර්යාල පිළිබඳ ක්‍රියාවලියත් 2024 වර්ෂයේ ප්‍රකෘතිමත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා නව පාර්ලිමේන්තු සැසි වාරයක් ඇමතීම සහ ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව පැහැදිලි කිරීම ජනාධිපතිවරයා හැටියට වැදගත් කියන එකයි අපේ මතය….“ ඒ වජිර අබේවර්ධන.

මනුෂ හොර රහසේ අනුරාධපුරයේදී පූජා පැවැත්වූයේ ඇයි?

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මේ දිනවල සිටින්නේ අනුරාධපුරයේය. ඒ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට මනුෂ පැමිණියේ අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කවුළුව විවෘත කිරීමෙන් පසුවය. මනුෂ සල්ගාදු ක්‍රීඩාංගණය වෙත පැමිණෙන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන පක්ෂවලට අයත් මැති ඇමැතිවරු එක්ව සිටියහ.

උත්සවය ආරම්භ කරමින් ජාතික ධජය එසවීමට නියමිතව තිබුණේ මනුෂටය. එහෙත් මනුෂ ජාතික ධජය එසවීමට ගියේ නැත. ඒ වෙනුවට ඔහු අසල සිටි මන්ත්‍රිවරු දෙස බැලුවේය.

“අද හැම පක්ෂයකම මන්ත්‍රිවරු මෙතැන ඉන්නවානේ. අපි හැමෝම එකට එකතුවෙලා ජාතික කොඩිය ඔසවමු” මනුෂ කී විට ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන්ද පී. හැරිසන්, කස්තුරි අනුරාධනායක යන හිටපු මන්ත්‍රිවරු සමඟ මනුෂ ජාතික කොඩිය එසවූවේය.

දිවා කාලයේදී ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගි වූ මනුෂ රාත්‍රියේදී ගියේ අභයගිරි විහාරයටය. ඒ විශේෂ ආගමික වතාවකට සහභාගි වීමටය. අභයගිරියේ සිට ඔහු ගියේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමටය. උන්වහන්සේ සමඟ කතාබහෙන් පසුව මනුෂ ගියේ ශ්‍රී මහා බෝධියටය. ශ්‍රී මහා බෝධියේ ඉහළ මළුවට මනුෂ ගියේ තවත් විශේෂ ආගමික වතාවකට සහභාගි වීමටය.

ඒ අනුරාධපුරයෙන් ආරම්භ වූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව රට වටා සියලුම දිස්ත්‍රික්කවල සාර්ථකව පැවැත්වීමටත්, මීළඟ මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට ආශිර්වාද ලබාගැනීමටත්ය.

මෛත්‍රී දෙලොවක් අතර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද මේ වන විට අර්බුද රැසක් නිර්මාණය වෙමින් පවතියි. පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මේ වන විට රැවුලත්, කැඳත් බේරා ගන්නේ කෙසේද යන බරපතල ප්‍රශ්නයට මුහුණදී සිටියි. මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කොටගත් ප්‍රබල දේශපාලන සන්ධානයක් හරහා මැතිවරණ සටනට එළඹෙන බව ප්‍රකාශයට පත්කරණු ලැබුවේද මෛත්‍රීපාල සිරිසේනමය. ඉකුත් 29 වැනි වැනි සඳුදා මධ්‍යම කාරක සභාවත්, පොදු ජන එක්සත් පෙරමුණේ විශේෂ සාකච්ඡාවකුත්, සංවිධායකවරුන්ගේ රැස්වීමකුත් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන කැඳවා තිබුණේ ඉදිරි දේශපාලන සටනට මුහුණ දීම සඳහා ප්‍රබල සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

මුලින්ම තිබුණු මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන පැමිණ සිටි දෙදෙනෙකුගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඒ, ආණ්ඩුවට එක්වී ඇමැති තනතුරක් ගත් මහින්ද අමරවීරගෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේනගේම ආශිර්වාදයෙන් පත්කළ තිලංග සුමතිපාලගෙන්ය.

“අපිට සන්ධානය ඉදිරියට ගෙනියන්න ඕන නම් ඔය දෙන්නම දාල තියෙන නඩු ඉල්ලා අස් කරගන්න ඕන. ඒ විතරක් නෙමෙයි, තමන් මේ තනතුරුවලින් කැමැත්තෙන් ඉල්ලා අස්වෙනවා කියලා මට ලියුමකුත් දෙන්න ඕනේ ”

මෛත්‍රී එසේ කියද්දී තිලංග කියා සිටියේ අමරවීර නඩු දැම්මේ තමන්ට නොව මෛත්‍රීපාලට බවය. ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැණිව යමින් ආණ්ඩුවේ ඇමැති තනතුරක් බාර ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාලම දුන් දඬුවමක් නිසා බවය.

අමරවීර ඒ මොහොතේ කිසිවක් නොකියා නිහඬව සිටි අතර තිලංගත් එයට වැඩි දෙයක් කියන්නට ගියේ නැත.

⁣මෛත්‍රී පොදුජන එක්සත් පෙරමුණේ රැස්වීමට අසුන් ගත්තේ එයින් පසුවය.

Online පනත ගැන අජිත් රාජපක්ෂ කතා කරයි

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වුණු සමාජ ජාලා ආරක්ෂණ (Online) පනත් කෙටුම්පතට තමා අත්දෙකම ඔසවා සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ දැඩිව ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division