Home » ජාත්‍යන්තරය දිනූ ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු

ජාත්‍යන්තරය දිනූ ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

ඩකා ජාත්‍යන්තර සිනමා සම්මාන උ‍ෙලළෙහි ආසියානු තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට ඉකුත්දා ‘රහස් කියන කඳු’ (Whispering Mountains) සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කළ ජගත් මනුවර්ණ කොඩිතුවක්කු සමත් විය. මෙම චිත්‍රපටය මීට ප්‍රථම නෙදර්ලන්තයේදී පැවති රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උ‍ෙලළේ දී නෙට්පැක් සම්මානයෙන් හේ පිදුම් ලැබුවේ ආසියානු කලාපයේ හොඳම සිනමා කෘතියට හිමි සම්මානයෙනි. මින් පෙර ශ්‍රී ලංකාව මෙම සම්මානය හිමිව ඇත්තේ එක්වරක් පමණක් වීමද මෙහිදී කැපී පෙනේ. රුසියාවේ එටරින්බර්ග් වන් සිනමා උ‍ෙලළේදී ජූරියේ විශේෂ ඇගැයීමටත්, චීනයේ සම්මාන උලෙළකදී ද හේ සම්මානයට පාත්‍ර විය. මේ ඔහු ලබාගත් සිව් වැනි සම්මානය වන අතර මෙම සිනමා කෘතිය අන්තර් ජාතික සිනමා උලෙළ ගණනාවක් නියෝජනය කිරීමට සමත් වීමද මෙහිදී කැපී පෙනේ.

2000 වර්ෂයේදී පමණ කොළඹට පැමිණෙන ජගත් රංගනය හා සිනමාව කෙරෙහි දැක්වූ ඇල්ම නිසාම 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමට සම්බන්ධ වී නාට්‍ය හා රංග කලාව හදාරන්නේය. අනතුරුව රංගනය පිළිබඳ විවිධ වැඩමුළුවලට සම්බන්ධ වන ජගත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය සම්බන්ධයෙන් වූ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්නේය. වේදිකා නාට්‍ය මෙන්ම ලොව විවිධ ශානර ඔස්සේ නිර්මාණය වූ සිනමා කෘති නරඹමින් හා පොත පත කියවීමෙන් ඔහු සිය දැනුම වර්ධනය කරගන්නේය. අනතුරුව යහළුවන් හිතමිතුරුන් සමඟ එක්ව විවිධ කලා කටයුතුවල නියැ‍ෙළන ජගත් ඔවුන් සමඟ එක්ව ගරිල්ලා සිනමා ව්‍යාපෘතිය ඔස්සේ සිනමාකරණයට පිවිසෙන්නේය. ඔහුගේ පළමු සිනමා කෘතිය වන්නේ ‘ගින්දර පොඩ්ඩක්’ (2004) කෙටි චිත්‍රපටයයි. ඒ සඳහා ඔහුට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිවන්නේය. අනතුරුව ඔහු විසින් නිර්මාණය කරන ‘වෝටර් ලිලී’ (2011) කෙටි චිත්‍රපටය විවිධ උලෙළවල ඇගැයීමට මෙන්ම විශාල රසික ප්‍රජාවක් ආකර්ෂණය කරන නිර්මාණයක් බවට පාත්‍ර වන්නේය. අනතුරුව ඔහු විසින් කෙටි චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරන අතර මෑතකදී නිර්මාණය කළ ‘කොඩි ගහ යට’ ටෙලි නාට්‍යය, අතිශයින් ජනාදරයට පත් වන්නේය. එය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පළමු ටෙලි නාට්‍ය වීමද මෙහිදී කැපී පෙනේ. ඊට කලකට ප්‍රථම ඔහු විසින් නිර්මාණය කරන පළමු වෘත්තාන්ත සිනමාපටය වන්නේ ‘රහස් කියන කඳු’ (Whispering Mountains) සිනමාපටය යි.

“රහස් කියන කඳු’(Whispering Mountains) සිනමාපටය එක්ක ලංකාව පුරා විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වී සිටි නිසා මට මේ උලෙළට සහභාගි වෙන්න බැරි වුණා. මගේ පළමු සිනමා කෘතියට ලැබුණු සිව්වැනි ඇගැයීම මෙයයි.

මගේ චිත්‍රපටය ලෝකයේ ප්‍රධාන පෙළේ සිනමා සම්මාන උලෙළ කිහිපයක්ම නියෝජනය කළා. රොටර්ඩෑම්, බූෂාන්, ගෝවා, ඊෆ්, ඉන්දිය ෆිල්ම් ෆෙස්ටිවල් ඔෆ් මෙල්බර්න්… ඉන් කිහිපයක්. මේ හැම සිනමා සම්මාන උලෙළකම ජූරිය විදිහට ක්‍රියා කරන්නේ ලොව පිළිගත් සිනමා ක්ෂේත්‍රයේ සම්භාවනාවට පාත්‍රව සිටින පුද්ගලයන් විසින්. ජාත්‍යන්තර සම්භාවනාවට පත් සිනමාකරුවන්, සිනමා විචාරකයින්, සම්මානනීය නළු නිළියන් සහ සිනමා ක්ෂේත්‍ර‍ෙය් ප්‍රවීණයන් මෙහිදී මේ චිත්‍රපට ඇගැයීමට ලක් කරනවා. සමහර සිනමා සම්මාන උලෙළවලදී ඔවුන් විවිධ විෂයන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා. මානව අයිතිවාසිකම්, වාර්ගික නිදහස, සමාජ අසාධාරණයන්, කාන්තා හිංසනය, සංක්‍රාන්ති ලිංගිකත්වය ආදී විවිධ විෂයන් තේමා කරගත් නිර්මාණය මෙහිදී ඇගැයීමට පාත්‍ර වෙනවා. නමුත් මගේ සිනමාපටය එහෙම විශේෂ තේමාවක් ප්‍රමුඛ කරගෙන නිර්මාණය වූවක් නෙමෙයි. මෙහි දිග හැරෙන්නේ රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්තියක්. ඒ නිසා මෙය සම්මානයට පාත්‍ර වීමේදී එවැනි සුවිශේෂී වාරණයකට ලක් වී නැහැ. රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් සෑම රටකටම පොදු වූ කාරණයක් ලෙසයි මෙය ඇගැයීමට පාත්‍රවන්නේ. මෙම චිත්‍රපට නිර්මාණය වෙන්නේ මා කුඩා දරුවකු ව සිටි අවධියේ මං මුහුණ දෙන අත්දැකීම් පිළිබඳවයි. විශේෂයෙන්ම නුවර ගලහ ප්‍රදේශයේ මර්දනය සඳහා මූලිකත්වය ගත්ත සමහර පුද්ගලයින්ගේ නම් කිවුවාම ඒ ගම්වල මිනිස්සු බියෙන් සලිත වුණු විදිහ මට මතකයි. මගේ මව පියා දිගුකාලීකව දේශපාලනය කරපු අය. ඒ නිසා ඔවුන් ජීවිත තර්ජනයට ලක් වුණා. අපේ අසල්වැසියෝ, ඥාතීන් අතුරුදන් වුණා. ඒක මගේ ඔළුව ඇතුළෙ කාලාන්තරයක් තිස්සෙ හොල්මන් කරමින් තිබුණා වෙන්න පුළුවන්. මා තරුණ වියට එළඹීමත් සමඟ විවිධ අත්දැකීම් ලබද්දි දේශපාලනය පිළිබඳ සවිඥානිකත්වයක් ලබද්දී අපව පෙළන මේ නරුම දේශපාලන ම්ලේච්ඡ බව දැනෙන්න පටන් ගත්තා. මේ සිනමා නිර්මාණය බිහි වෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.

මේ කිසිවක් තරුණයින්ගේ වැරදි නිසා සිදු වූ දෙයක් නෙමෙයි. මේ රට පාලනය කළ එක්තරා ප්‍රභූ පිරිසකගේ මුග්ධ දේශපාලන උවමනාවන් නිසා ඇති කරපු භීෂණයක්. එය අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල් මුහුණ දුන් සහ මේ වන විටත් මුහුණ දෙමින් සිටින ඛේදවාචකයක්. මෙය ඇගැයීමට ලක් වෙන්නේ මේ පොදු කාරණය නිසා වෙන්න ඕන. මම මේ චිත්‍රපටය තුළින් කතා කරන්නේ මර්දනයේ තිබෙන මිලිටරි මැදිහත් වීම.

“සිනමා පාඨමාලවකින් හෝ වැඩමුළුවලදී අපට හදාරන්න ලැබෙන්නේ සීමිත පරාසයක් දක්වා පමණයි. අපි නිර්මාණය කරන්න ඕන මොනවගේ නිර්මාණයක්ද කියලා අපට ශාස්ත්‍රාලීය අධ්‍යාපනය තුළ කියා දෙන්නේ නැහැ. අපට දැනුම ලැබෙන්නේ සිනමා ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික කාරණා පමණයි. පිටපතක් ලියන්නේ කොහොමද, කැමරා කෝණ, රූප රාමු සකස්වන ආකාර, තාක්ෂණික උපකරණ භාවිතය, කලා අධ්‍යක්ෂණය, ආලෝක පරිපාලනය, වේෂ නිරූපණය ආදී මූලික දැනුම පමණයි. නමුත් තමන් කරන්නේ කවරාකාර නිර්මාණයක්ද යන්න තීරණය වන්නේ තම දැනුම් පරාසය මත ගොඩනඟා ගන්නා දෘෂ්ටිය මතයි.

මා පෙළන්නා වූ බොහෝ සමාජ දේශපාලන කාරණා තිබෙනවා. මගේ වස්තු විෂයන් බවට පත් වන්නේ ඒ ආත්මීය කාරණා. කෙනකුට අවශ්‍ය නම් මේ සියල්ල අමතක කර ජාතක කතාවක්, වංශකතාවක්, ජනකතාවක් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් මගේ විෂය වුණේ එවැනි කාරණා නෙමෙයි. අප පෙළන අපට මුහුණදීමට සිදුවන සමාජ දේශපාලන ආර්ථිකමය කාරණා. රහස් කියන කඳු (Whispering Mountains) චිත්‍රපටය සඳහා මා යොදා ගන්නේ රාජ්‍ය තන්ත්‍රය විසින් අපමත මුදා හරින මිලිටරිකරණයයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division