අහිංසක මිනිසුන් රවටා ඔවුන්ගේ මිල මුදල්, රන් ආභරණ, වත්කම් වංචා කරන බොහෝ දෙනෙක් මේ ජනසමාජයේ වෙසෙති. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී ඇත්තේ වංචනිකව මුදල් ඉපැයීමයි. එය ලෙහෙසි පහසු කාර්යයකි. ඇඟටපතට අමාරුවක් වෙහෙසීමක් නැත. කරදරයක් ද නැත. අවශ්‍ය බුද්ධිය මෙහෙයවීම පමණය. අතට සල්ලි ලැබෙන්නේ ක්ෂණිකවය. ඒ නිසා මේ වංචනික කල්ලි කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිත කරමින් අහිංසක මිනිසුන් රවටා මුදල් ගරති. දැන් එය ව්‍යාපාරයක් ලෙස ද ක්‍රියාත්මකය.
අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වුණු එවැනි සංවිධානාත්මක වංචාවලට හසුවී අතේ සතේ නැතිකරගත් අය, ඇඳිවත පවා උකස් වූ අය, මේ ජන සමාජයේ කොතෙක් සිටීද? මාධ්‍ය මඟින් මේ ගැන කොතරම් සාකච්ඡා කළද මහජනතාවට මේ කල්ලි කණ්ඩායම් ගැන හෙළි කළත් මිල මුදලට කෑදර වූ ඇතැම් අය මේ සංවිධානාත්මක වංචනික කල්ලිවලට හසුවී තම සේසතම ඔවුන්ට පුදන තත්ත්වයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙනෙන්නට ඇති කරුණකි. එය නම් ඇත්තටම කනගාටුදායකය.
මේ එවැනි කතාවකි. වාර්තා වන්නේ කිරිබත්ගොඩ පොලිසියෙනි.
ඇය අමරාවතීය. අමරාගේ පදිංචිය බදුල්ල ප්රදේශයේය. ඇගේ ජංගම දුරකතනයට පසුගියදා ඇමතුමක් ලැබිණි. ඇය ඊට පිළිතුරු දුන්නාය.
දුරකතන ඇමතුම දුන් පුද්ගලයා තමන් හඳුන්වා දෙන්නේ මෙරට ප්‍රකට පෞද්ගලික සමාගමක නිලධරයකු ලෙසය. තමන්ගේ සමාගම මඟින් දිනුම් අදින ලද ලොතරැයියකින් රුපියල් කෝටි ගණනක දිනුමක් අමරාට හිමිවී ඇති බව ඔහු පවසන්නේ ඉතා ගාම්භීරවය.
සාමාන්‍ය පවුලක කතක වන අමරා මේ පණිවිඩයෙන් ඉතා ආස්වාදයට සහ සතුටට පත්වන්නීය. දැන් තමා කෝටිපතිනියක බව ඇය සිතන්නේ තමා එවැනි ලොතරැයියක් මිලදී ගත්තාදැයිවත් සිතා නොබලමිනි.
අදාළ සමාගමේ නිලධරයකු ලෙස පෙනී සිටින තැනැත්තා ඊළඟට ඇය අමතා කියන්නේ අපූරු කතාවකි.
“මිස් ඔයාට මේ දිනුම අරගෙන ඔයාගේ ගිණුමට බැර කරන්න නම් මේ එකවුන්ට් එකට රුපියල් තිස් දෙදහස් පන්සියයක් ඩිපොසිට් කරන්න”.
නිලධරයාගේ ඉල්ලීම පිළිගත් අමරා පසුව එම පුද්ගලයා කී අංකයට අදාළ මුදල බැර කළාය. එහෙත් අමරා තමන් රැවටුණු බව දැනගන්නේ පසුවය.
මෙසේ කාලය ගතවෙද්දී කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්න අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී. රෝහණ සරත් නන්දසිරිට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ නගරයේ ප්‍රධාන පෙළේ බැංකු ශාඛාවකිනි. අදාළ බැංකු ශාඛාව ඉදිරිපිට සැක කටයුතු පුද්ගලයකු සිටින බව ඉන් කියැවිණි.
වහාම ක්‍රියාත්මක වූ උපපරීක්ෂක නන්දසිරි කණ්ඩායමක් කැටුව අදාළ බැංකු ශාඛාව අසලට යන්නේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්න කුමාරගේ උපදෙස් මතය.
සැක සහිත පුද්ගලයාගෙන් පොලිස් නිලධාරින් ප්‍රශ්න කරද්දී ඔහු කිසිම කලබලයකින් තොරව පොලිස් නිලධරයන්ට පවසන්නේ තමා බැංකු නිලධරයකු බව කියාය.
එම පුද්ගලයා පොලිස් නිලධාරින් විසින් පසෙකට කැඳවා පරීක්ෂා කරද්දි ඔහු සතුව තිබුණු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3420ක්, ඒටීඑම් බැංකු කාඩ්පතක්, වෙනත් අයගේ නමින් ඇති සිම්පත් සහිත ඔහුගේ නොවන ජංගම දුරකතන දෙකක්, රුපියල් හැටදහසක් පොලිසිය විසින් සොයා ගැනිණි.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.
මේ සිම්පත් තමාට දුන්නේ හෝමාගම ප්‍රදේශයේ සිම්පත් අලෙවි කරන කාන්තාවක් බව සැකකරු පොලිසියට කීවේය.
ඔහු සතු ජංගම දුරකතන ඉතා සියුම්ව පරික්ෂා කළ පොලිස් නිලධාරින් සොයා ගන්නේ පුද්ගලයන් බොහෝ දෙනෙක් ඔහුට කිසියම් කාරණයක් සඳහා බැණ වැදී එවන ලද කෙටි පණිවිඩ ගොන්නකි.
එසේ එවන ලද කෙටි පණිවිඩයක් සහිත දුරකතන අංකයට ඇමතුමක් ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට පිළිතුරු දුන්නේ සැකකරුගේ ගැටයට හසුවූ බදුල්ලේ අමරාය.
ඒ අනුව මේ පුද්ගලයා අහිංසක මිනිසුන්ගේ ජංගම දුරකතනවලට ඇමතුම් දී ඔවුන්ට රුපියල් කෝටි ගණනක ලොතරැයි දිනුම් ඇදී ඇතැයි පවසා ඒ අය මුළා කර ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් වංචා කරන අයකු බව පොලිසිය හෙළිකර ගත්තේ ඒ අවස්ථාවේදීය. එසේ ඔහු වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 18කට ආසන්න බව හෙළිවී ඇත. ටවුන්හෝල් ප්‍රදේශයේ පදිංචි ගණකාධිකාරිවරියක් ද මේ පුද්ගලයාට හසුවී ඇති බව දැන් හෙළිවී ඇත.
කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මොහු වයස අවුරුදු 39ක පුද්ගලයෙකු වන අතර සැකකරු කැලණිය සහ යක්කල ප්‍රදේශවල අනියම් බිරින්දෑවරු දෙදෙනකු ඇසුරු කර ඇති බවත් මොහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු ලෙසත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී. රෝහණ සරත් නන්දසිරි, සැරයන් (2525) සිසිර, කොස්තාපල්වරුන් වන (20689) සුගන්ද, (82436) ලක්මාල්, (93652) නන්දසිරි, කාන්තා පොලිස් කොස්තාපල් (8412) නිලූකා යන නිලධාරීහු විමර්ශන කටයුතුවලට එක්වූහ.
(අමරාවතී යන නම පමණක් මන:කල්පිතයි)
දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති