Home » ‘ඒ’ ගැනීම සීමා කර නිදහස් අධ්‍යාපනය නා ගැනීම

‘ඒ’ ගැනීම සීමා කර නිදහස් අධ්‍යාපනය නා ගැනීම

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

ජීවිතයම ප්‍රශ්න පත්‍රයක් වූ මවුපියෝ, සිය දරුවන්ගේ අනාගතය උදෙසා උත්තර සැකසූහ. ‘මං නුදුටුව නවලොකේ කිරුළ’ පොඩි එකා වෙත පැලඳවීම සඳහා පළමුව ගල ගසන්නේ, පාසලට ඇතුළත් කර ගැනීමේ ඉසව්ව සඳහා ‘ලියකියවිලි’ හදනා තැන පටන්ය. වෙන එකක් තබා ඈත පළාතක අයෙක් නම් ‘බාබා හම්බු වෙන්නම’ ජාතික පාසල අසලම රෝහලකට ඇතුළු වන්නාහ. එතැනින් පටන් ගත් වන, ශිෂ්‍යත්වය ආදී හැම විභාගයක් සඳහාම මවුපියෝ දරුවෝ සමඟ රේස් එකට යන්නාහ. සමහර බයිසිකල් රේස් සඳහා සපෝට් එකට යන සේනාව, ශූරයාට වතුර ගසමින් ‘හරි අප්’ ආදී මොරාල් දෙමින්, හරි හරියට රේස් එකේ යන්නාහ. කික් එක වැඩිවී ශූරයා පසු කරමින් යන සපෝට්කාරයෝ ද සිටිති. ඒ සිරිතම මෙතැනදී අම්මලා තාත්තලා ද ඉටු කරන්නාහ.

විභාගය කියන්නේ, ළමයා ලියන, අම්මලා දුවන, තාත්තලා නහින ඉසව්වකි. සා.පෙළ නිමා වූ දාට පසුදා, ළමයා සැරසෙන්නේ උසස් පෙළටය. ඒ ලෙවල් පන්ති ආරම්භ වන්නේ එහෙමය. ටියුෂන් පන්ති ඇත්තේ ද ‘පන්ති පරතරය’ අනුවය. කාඩ් එකක් අරන්, දෙතුන් දාහක් ඉන්නා ක්ලාස් එකට යන පිරිසකි. ඒ ‘ඕඩිසි එකේ’ ෆිල්ම් බලනවා වගේ වැඩකි. කට්ටිය සූ ගාලා හෙයින්, එතැනදී අල්ල නොගත්තොත්, පාඩම මිස්ය. ඊළඟට ගෘෘප් ක්ලාස්ය. ‘හයිය හත්තිය’ යහමින් ඇති මවුපියෝ, ගෙදරට ගෙන්වා තනියෙන් ‘පාඩම පොවන්නාහ’.

මේ තීරුව අද අවධානයට ලක් කරන්නේ ‘ඉතින් ඊට පස්සේ’ කතාවය.

ළමයා උසස් පෙළ සඳහා සූදානම්ය. පාස්ට් පේපර්ස් හි ප්‍රගතිය ද හොඳය. ‘ඒ තුනක්’ සඳහා යන බව පැහැදිලිය. එවන් ඒ බලාපොරොත්තු පිට විභාගයට යන දරුවා, ගෙදර එන්නේ ‘ප්‍රශ්න පත්‍රය කියවන්නත්, විභාගයට වඩා වෙලා ගියා’ කියාගෙනය.

මේ රටේ සමස්ත ප්‍රශ්න පත්‍ර නිර්මාණ ක්‍රියාවලියම එහෙම වැඩකි. ‘පුළුවන් නම් ගොඩ පලයන්’ තාලෙන් ප්‍රශ්න පත්‍ර නිර්මාණය වන්නේය. මෙවර උසස් පෙළ විභාගය ගත් විට, ළමයි හතර අතින් ඇදගෙන වැටෙන තරමට ප්‍රශ්න පත්‍ර බරපතළය. සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රශ්න පත්‍ර හදන්නේම ‘ඒ සාමාර්ථ’ ගැනීමට නොහැකි වනු පිණිසය. එහෙම කතා දන්නා හඳුනන අයට කියූ, ප්‍රශ්න පත්‍ර හදනා සර්ලා ගැන ද, මේ තීරුවට වාර්තා වී තිබේ. ඔහොම ඇන ගැනීම සඳහා ‘පේපර්’ හදා, ළමයි හිරවුණ විට ‘හදපු කෙනාට’ සතුටුය. අපි හදපු පේපර් එකට ‘ඒ සමාර්ථ’ අඩුයි යන්න අසා ගැනීම ඒ පිරිසේ ආශාවය.

විභාගයක් පවත්වන්නේ දැනුම පරික්ෂාවට මිස, පාස්වීම නතර කිරීමට නොවේ. සමාර්ථ අවම කිරීමට ද නොවේ. මෙහෙම තුන් මුනින් වැටෙන්න, ප්‍රශ්න පත්‍ර හැදීමේ අවුල වන්නේ, මේ රටේ සාමාන්‍ය පවුලක ළමයාට සහ මවුපියන්ට, උසස් පෙළ එපාවීමය. ඒ ලෙවල් විභාගය සඳහා වසර දෙකක් ගත වන්නේය. ඒ කාලය තුළ ළමයා සහ පවුල දුවන, දිවිල්ල දෙස බලා සිටින අයෙක් ‘දන්නා කියන කෙනෙක්ට’ ඒ ලෙවල් කරන්න දෙන්නේ නැත. ඒ පමණක් නොවේ, එහෙම ඒ ලෙවල් කර, විභාගයට ගිය වන, වැඩේ අවුල්ය. මහන්සිය එහෙන් පිටින්ම වතුරේය.

උසස් පෙළ සඳහා කැප කරන්නේ දරුවෙක්ගේ ජීවිතයේ හොඳම කාලයය. සමාජ අත්දැකීම් සහ ජීවිතයේ ඉතිරි හරිය සඳහා පදනම වැටෙන්නේ මේ කාලයේය. පාර තොටේ යන එන එකේ සිට, අවට සමාජය දෙස තියුණු කියැවීමක් සඳහා දරුවා උත්සුක වන්නේ මේ සමයේය. විභාගය අසීරු ඉලක්කයක් වූ සඳ, ළමයාට සමාජයේ එහෙම ලක්ෂණ ඇඟට යන්නේ නැත. සමස්ත වසර දෙකක්, පැය ගාණක ප්‍රශ්න පත්‍ර මිටියක් සඳහා හේ කැප කරන්නේය.

මේ කැප කිරීමට සීමා තිබේ. කොපමණ මහන්සි වුව ද සාක්ෂාත් නොවන ඉලක්කයක් කරා දුවන වග තේරුම් ගත් වන, ඒ ලෙවල් අත්හැරීම සඳහා සමාජය තීරණයකට එන්නේය. ලන්ඩන් උසස් පෙළ ලිවීම සඳහා මාර්ග ද අති බහුලය. මෙවන් කාරණා සැලකිල්ලට ගෙන, දරුවා සහ මවුපියෝ උසස් පෙළ සඳහා වෙන මං සොයා යෑම, ප්‍රශ්න පත්‍රය අසීරු කිරීමේ එක් අවුලකි. එතැනින් බිඳ වැටෙන්නේ, කන්නන්ගරයන් අප වෙත ලබා දුන්, නිදහස් අධ්‍යාපන අවස්ථාවය. එහි හිස මුළුමනින්ම මේ කාරණය නිසාම සිඳී යන්නේය. ඕ ලෙවල් පමණක් සඳහා පාසල් යන දරුවා එතැන් සිට වෙන අතක් බලා ගන්නේය. සමහර සරසවි හි, උපාධියට රෙජිස්ටර් වීම සඳහා අවශ්‍ය වන්නේ සා. පෙළ ප්‍රතිඵල පමණය. උපාධියක් ලබා ගැනීම සඳහා එහෙම පහසු අවස්ථාවක් තිබියදී, අර වගේ හතර වරන් වැඩ සඳහා, වසර දෙකක් මැරීමේ තේරුමක් නැති බව ජනයා අවබෝධ කර ගන්නාහ.

ජාත්‍යන්තර පාසල් සඳහා යන වියදම් සමඟ බලන විට, උසස් පෙළ සඳහා ‘මැරීම’ තේරුමක් නැති හෙයින් සා. පෙළින් පසුව, ඒ ලෙවල් සඳහා පීල්ල මාරු කිරීම ද දැන් සිදු වන්නේය.

උසස් පෙළ සමය යනු, ශිෂ්‍ය නායක, ක්‍රීඩා ඉසව්, සංගම් ආදී කර්තව්‍යන්හි දරුවා උද්ේ‍යා්ගිමත්ව යෙදෙන කාලයය. මේ විභාග රටාව තුළ දරුවා තුන් වේල කන්නේ ද පොතක් දිහා බලාගෙන හෙයින්, එහෙම බාහිර ක්‍රියාකාරකම් සඳහා හෙතෙම යොමු නොවන්නේය. මවුපියෝ ද ඊට ඉඩ නොදෙන්නේය. ප්‍රශ්න පත්‍රය අසීරු ඉලක්කයක් වූ විට, සමාජයේ ඊළඟ පුරුක්, ඔය වැනි අත්දැකීම් සිඳ ගන්නේය.

දැනටමත් ඒ ලෙවල් පන්තිය යනු ‘සීයයට අසූව’සඳහා නම ලකුණු කිරීමට එන තැනකි. ඉතිරි හරිය සිද්ධ වන්නේ ටියුෂන් පන්තියෙනි. උසස් පෙළ, පුස්සක් බවට මේ ආකාරයෙන් පත් කර ගන්නවා කියන්නේ නිදහස් පාසල් අධ්‍යාපනය, වළලා දැමීමේ නියත මං පෙත් විවර කිරීමකි.

ප්‍රශ්න පත්‍රය හදන උගත්හු සමාජ වෛරය පිට කිරීමේ මාර්ගයක් ලෙස හෝ වෙනත් අවර ගණයේ කාරණා දෙස බලා, ප්‍රශ්න පත්‍රය සාදන්නේ නම්, ශිෂ්‍ය පරපුර ඒ සඳහා ලියන ‘උත්තරය’ ඔහොම වෙනවා ඇත. එයින් වැළලී යන්නේ සමස්ත අධ්‍යාපනයය.

උත්තර පත්‍ර පරීක්ෂාව ගුරුවරු කරන්නේ ද දහසක් ඉල්ලීම්, කර මුලට තබාය. ප්‍රශ්න පත්‍ර හදන්නේ ද එහෙමය. මේ සියල්ලේ අවසාන ශේෂ පත්‍රය වනු ඇත්තේ උසස් පෙළ යනු නැති බැරි එකාගේ විභාගයක් බවට පත්ව, අභාවයට යෑමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division