Home » පස් නිවුන් බබාලාගේ සුරතල් අතරේ ඇහෙන අනුවේදනීය කතාව

පස් නිවුන් බබාලාගේ සුරතල් අතරේ ඇහෙන අනුවේදනීය කතාව

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

අපි දෙන්නා විවාහ වුණේ අවුරුදු දහයක් ආදරේ කරලා. විවාහ වෙලා ටික කාලෙකට පස්සේ අපිත් අපේම දරු පැටියෙක්ගෙ මූණ දකින්න පෙරුම් පිරුවා. අවුරුදු දොළහකට පස්සෙ එක දරුවෙක් වෙනුවට දරුවො හය දෙනෙක්, පුතාලම හයදෙනෙක් අපිට ලැබුණා. අවුරුදු 22ක අපේ ආදර කතාව ඇතුළේ මේ ලැබුණු තෑග්ග අපිට ලොකු සම්පතක්. ඉස්සෙල්ලාම දරුවො හයදෙනා දැකපු වෙලාවේ හිතට දැනුණු සතුට මොන වගේ ද කියන්න අදටත් මට වචන නැහැ. දරුවො හයදෙනෙක් හදනවා කියන වගකීමේ බර, බය ඒ සේරම මගෙ හිතට දැනුණේ ඊට පස්සෙයි.” හිනැහෙනා දෙනෙත් සතුටු කඳුළුවලින් පුරවා ගෙන අපට එසේ කීවේ මධුකි ලක්ෂිකා (37)ය. ඉකුත් වසරේ ඔක්තෝබර් 15 වැනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු දෙවැනි සය නිවුන් දරු උපත සිදු කළ මව ලෙස ඉතිහාසයට එක්වූ වාසනාවන්ත අම්මා මධුකි ය. ආදරණීය තාත්තා ඉසුරු පෙරේරා (40)ය.

සිසේරියන් සැත්කමක් මඟින් සති 26කින් උපත ලැබූ එම බිලිඳුන් බර ග්‍රෑම් 475ත් ග්‍රෑම් 800ත් අතර පසු වූ බැවින් ඔවුන්ගෙන් පස් දෙනකු කොළඹ කාසල් රෝහලේ නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබද්දි අනෙක් බිලිඳා ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහලේ නව ජන්ම ඒකකයට මාරු කෙරුණේ අවදානම් තත්ත්වයේ පසු වූ බිලිඳුන්ගේ ජීවිත රැකගැනීමේ අරමුණෙනි. පුතුන් සය දෙනකුගේ මවුපියන් වීමේ සතුට බොඳ කරමින් උපතින් දින දෙකකට පසු එනම්, 17 වැනිදා පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳා මොලොව හැර ගියේය. එතැන් සිට මේ දක්වා ගත වූ කාලය ඉසුරු සහ මධුකිට පමණක් නොව ඔවුන්ගේ බිලිඳුන් පස්දෙනා රැකබලා ගත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම අභියෝගයක් විය. උපන් මොහොතේ සිට රෝහලේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ඉන්කියුබිලේටර් තුළ රඳවා නිරන්තර අවධානයෙන් රැකගත් බිලිඳුන්ට රෝහලෙන් බැහැරව යෑමට අවසර ලැබුණේ මාස තුනහමාරක් ගතවීමෙන් පසුවය. ඉකුත් පෙබරවාරි 4 වැනිදා ඔවුන් රෝහලෙන් පිටත්ව ගිය මොහොත රෝහල් කාර්ය මණ්ඩලයේ සැමගේ නෙතට කඳුළක් එක් කළ හැඟීම්බර අවස්ථාවක් වූයේ ඒ නිසාය.

“මේ දරුවො ගෙදර යන එක ගැන අපිට සතුටුයි. ඒ වගේම දුකකුත් දැනෙනවා. අපි මෙච්චරකල් එයාලව බලා ගත්තෙ අපේම දරුවො වගේ. කිරි පොවනකොට එයාලා අපි එක්ක හිනා වෙනවා. කතා කරනවා. එයාලා නැතිව අපිටත් පාළු දැනෙයි. මේ දරුවො පස්දෙනාම රටට වැඩදායී පුරවැසියන් විදිහට දකින එක තමයි අපෙත් බලාපොරොත්තුව” මාස තුනහමාරකට අධික කාලයක් බිලිඳුන් රැකබලා ගත් හෙද නිලධාරිනියක එසේ කීවේ බොහෝ හැඟීම්බරවය. එක දරුවකු වෙනුවට දරුවන් පස් දෙනකු එකට ඇතිදැඩි කිරීමේ මහා වගකීම කරපින්නාගෙන වේයන්ගොඩ පත්තලගෙදර පිහිටි සිය මවගේ නිවෙසට පැමිණ සිටින මධුකි ඒ වගකීම වදන්වලට පෙරළුවේ මෙලෙසිනි.

” එකපාර දරුවො පස්දෙනෙක් ලැබුණු එක අපිට ලොකු සතුටක් වගේම ඒ සතුට පිටිපස්සේ විශාල වගකීම් ගොඩකුත් තියෙනවා. අපි මේ ඉන්නෙ මගේ මහගෙදර. මගේ අම්මයි, තාත්තයි, නංගියි ජීවත් වෙන ගෙදර. මේ කාමරේ අපි දෙන්නටයි දරුවො පස්දෙනාටයි ජීවත් වෙන්න හොඳටම ඉඩ මදි. දැනට බබාලා තුන්දෙනෙක් ඇඳ උඩත් අනෙක් බබාලා දෙන්නා කොට් එකෙත් තියාගෙනයි ඉන්නෙ. මේ දවස්වල රස්නෙ ගොඩක් වැඩි නිසා බබාලාට දරා ගන්න අමාරුයි. නිතරම අඬනවා. එක්කෙනෙක් අඬද්දි අනිත් අයත් ඇහැරිලා අඬනවා. ”

ඇය එසේ කියා නිම කරන්නටත් පෙරම එක් බිලිඳකු නින්දෙන් අවදි වී හඬන්නට විය. ඒ හැඬුම නවතා ගන්නට පෙර තවත් බිලිඳකු අවදි විය. ඒ සමඟ තවත් බිලිඳකුගේ හැඬුම් හඬක් ඇසෙන්නට විය. මධුකි එක් බිලිඳකු නළවන අතර ඇයගේ මවත් පුංචි අම්මාත් හඬන අනිත් බිලිඳුන් නළවන්නට වූහ. විනාඩි කිහිපයක් ගතවන්නට පෙර නිදා සිටි අනිත් බිලිඳුන් දෙදෙනාත් අවදි වූහ. ඔවුන් නැළවීමේ රාජකාරිය නිතැතින්ම දරුවන්ගේ පියාට බාර විය.

“මෙහෙම තමයි දැන් අපේ දවස ගෙවෙන්නේ. පස්දෙනාට පැය තුනෙන් තුනට කිරි පොවන්න ඕනේ. එකම වෙලාවට පස්දෙනාටම බඩගිනි වෙනවා. ඒ නිසා කිරි පොවන්න පස් දෙනෙක් ඉන්නම ඕනෙ. දැනට මධූගේ අම්මයි පුංචි අම්මයි අපිට උදව් වෙනවා. මගේ අම්මත් කිරිඳිවැල ඉඳන් මෙහෙ එනවා බබාලා බලා ගන්න. වැඩට ගිහින් ආවට පස්සේ හවසට මධූගේ නංගිත් බබාලගේ වැඩට උදව් වෙනවා. පහුගිය මාස තුනහමාර තිස්සේ මම දවසකට පැය තුනකට වැඩිය නිදාගෙන නැහැ. දැන් ඒ තරම්වත් නින්දක් නැහැ. මධූටත් පහුගිය කාලෙම හරිහැටි නින්දක් නැති නිසා රෑට බබාලගේ වැඩවලට මම එයාව ඇහැරවන්නෙ නොකරම බැරි වුණොත් විතරයි. මට එයා ගැන දුකයි. දරුවො පස්දෙනෙක් ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්ත දවසෙ ඉඳන් දරුවො ලැබෙනකම්ම එයා ගොඩක් දුක් වින්දනෙ.” ඉසුරුගේ වදන්වල සැඟව ඇත්තේ බිරිය පිළිබඳ සෙනෙහසයි. මධුකි බිලිඳකු ළයෙහි හොවාගෙනම යළි අප අතරට ආවාය. මාස තුනහමාරකට පසුව හිතේ හැටියට දරු සුරතල් විඳින්නට ලැබීමේ සතුටින් ඇය විකසිතව සිටියාය.

“බබාලා ලැබිලා සති තුනකට විතර පස්සෙයි මට මුලින්ම බබෙක් අතට ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ තවත් ටික කාලයක් ගිහින් තමයි අනිත් බබාලව ලැබුණේ. බර අඩුම අපේ චූටිම පුතා මාස තුනහමාරම හිටියේ ඉන්කියුබිලේටර් එකේ. චූටිම පුතා මගෙ අතට දුන්නෙ හොස්පිට්ල් එකෙන් එන්න කලින් දවසෙ. බබාලා පස්දෙනාම ගෙදර අරන් එන්න කලින් දෙසැරයක් බබාලා කීප දෙනෙක් ගෙදර ගේන්න රෝහලෙන් අපට අවසර දුන්නා. බබාලට ගෙදර හුරු කරවන්නයි එහෙම කළේ. ඒ වගේම බබාලව ගෙදර එවනකොට රෝහලෙන් මට උපදෙස් ගොඩක් දුන්නා. ඒ අතරේ පෝෂණ උපදෙස් වගේම ප්‍රථමාධාර ක්‍රම ගොඩක් වැදගත්. අලුත් අම්මලාට ඒ උපදෙස් ගොඩක් වටිනවා. ඒ වගේම බබාලා ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්න ඕන නිසා තව ටිකක් ලොකු වෙනකම් අමුත්තන්ට වඩා ගන්න, ඉඹින්න දෙන්න හොඳ නැහැ කියලත් අපිට උපදෙස් ලැබුණා.”මධුකි එසේ කීවේ හෙදියන්ගේ උපදෙස් අනුව ප්‍රවේශමෙන් බිලිඳාට කිරි පොවමිනි. මාස හය සම්පූර්ණ වන තුරු බිලිඳුන් පෝෂණය විය යුත්තේ මවු කිරි සහ පිටිකිරිවලිනි. ඒ සඳහා දවසකට පිටි කිරි ටින් එකකට වඩා වැය වේ. බිලිඳුන් පස්දෙනා සඳහා අවම වශයෙන් දිනකට ළදරු පැම්පර්ස් 40ක් වැයවන බව ද ඇය කීවාය.

“බබාලා ලැබෙන්න ඉන්නකොට මම පුදුම අපහසුතා ගොඩක් වින්දා. ඩොක්ටර් මුල් කාලෙම කිවුවා, ඔයාට එන්නෙ එක දරුවකුට එන අපහසුතා නෙවෙයි පස් දෙනෙකුට එන අපහසුතා කියලා. කුසට මාස පහක් විතර වෙද්දි මාස 9ක වගේ ලොකු කුසක් තිබුණා. ඇවිදගන්නවත් බැරි තරමට කකුල් ඉදිමුණා. නිදා ගන්න බැරිව ගියා. ඒ වගේම කන හැමදේම වමනෙ ගියා. පලතුරු විතරයි කන්න පුළුවන් වුණේ. ඒ සේරම අපහසුතා විඳගෙන මම දරුවො වෙනුවෙන් බාරහාර වුණා. හැමදාම බුදු පහන තියලා බුදුන් වැන්දා. පිරිත් පොත කුස උඩ තියාගෙනම තමයි නිදා ගත්තෙ. ඒ නිසාමදෝ බුදුන්ගෙ දෙවියන්ගෙ පිහිටෙන් නීරෝගී දරු උපතක් සිදු වුණා. මගේ අම්මා, ඉසුරුගෙ අම්මා වගේම ඉසුරු මාව ගොඩක් ආදරෙන් පරිස්සමෙන් බලා ගත්තා. විශේෂයෙන් ඉසුරුගේ ආදරේ රැකවරණය මට උපරිමයෙන් ලැබුණා. එදා ඔක්තෝබර් 15 වැනිදා මම හොස්පිට්ල් ගියේ බ්ලීඩ් වුණ නිසා. එදා හවස 6ට විතර මාව සිසේරියන් සැත්කමට ගත්තා. ඒ වෙද්දි අපි හිතාගෙන හිටියෙ බබාලා පස්දෙනෙක් ඉන්නවා කියලනේ. පස්වැනියවත් ගත්තට පස්සේ ඩොක්ටර්, “හෝව් හෝව් තව එක්කෙනෙක් ඉන්නවා”කියනවා මට ඇහුණා. ඒ වෙලාවේ මට පොඩ්ඩක් බය හිතුණත් සිසේරියන් එකෙන් පස්සේ බබාලා හයදෙනාගෙම මූණු දැක්කම මට පුදුමාකාර සතුටක් දැනුණා.” ඒ සතුට සෑම මවකටම අපූර්වතම සතුටකි; සැනසීමකි.

“අපේ බබාලා සුවෙන් මේ ලෝකෙට බිහි වුණේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥ රත්නසිරි ඇතුළු සිසේරියන් සැත්කමට සහභාගි වුණු රෝහලේ කාර්ය මණ්ඩලය නිසයි. ඒ වගේම දරුවන් ඉපදුණු මොහොතේ සිට ළමා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ අපේ දරුවන්ව ජීවත් කරවන්න වෙච්ච මහන්සිය අපිට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. බබාලගෙන් අඩුම උපත් බර ග්‍රෑම් 475 තිබුණු බබාගෙ බර දැන් කිලෝ 2කට වැඩියි. වැඩිම උපත් බර ග්‍රෑම් 775 තිබුණු බබාගෙ බර දැන් කිලෝ 3ට ආසන්නයි. බබාල අද මෙහෙම නීරෝගීව ඉන්නේ ඩොක්ටර් බුද්ධිම නිසයි. ඒ වගේම කාසල් රෝහලේ අධ්‍යක්ෂතුමා අපි වෙනුවෙන් කළ හැකි උපරිමය කළා. මට ඕනෑම වෙලාවක බිරිය බලන්න රෝහලට එන්න අවස්ථාව සලසා දී තිබුණා. ඒ වගේම ආරක්ෂක අංශවලිනුත් ලොකු සහයෝගයක් ලැබුණා. කාසල් රෝහල කියන්නේ හෙදකම උපරිමයෙන්ම දැකපු රෝහලක්. රෝහල් කාර්ය මණ්ඩලය අපේ දරුවො රැකගත්තේ ඔවුන්ගෙ දරුවො වගේ. අපිට සැලකුවේ ඔවුන්ගේ සහෝදරයන්ට වගේ. ඒ වෙනුවෙන් අපි ඔවුන් හැමදෙනාටම පින් දෙනවා. “ඉසුරු කීවේ කෘතවේදීවය. එකවර දරුවන් පස්දෙනකුගේ මවුපියන් වීමේ වාසනාව සමඟ ආ අභියෝග රැසක් ද අද මේ අඹුසැමි යුවළ හමුවේ ඇත.

“අපි දෙන්නා විවාහ වුණේ ආදර සම්බන්ධයකින්. ඒ, 2011 මාර්තු 16 වැනිදා. අවුරුදු දහයක් විතර දරුවෙක් හදා ගන්න බෙහෙත්වලට වියදම් කරන අතරේ බැඳපු දවසේ ඉඳන්ම කුලියට ඉන්න නිසා අපිටම කියලා ගේ පොඩ්ඩක් හදාගන්න ලක්ෂ පහමාරක් විතර මම ඉතුරු කරගෙන තිබුණා. අන්තිමට අපි නළ දරු ක්‍රමයට (IVF) දරුවෙක් හදා ගන්න වියදම් කළේ ඒ සල්ලි. පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙක් විදියට වැඩ කරන මට ලැබෙන මාසික වැටුප දරුවො පස්දෙනෙක් ජීවත් කරවන්න කොහොමටවත් සෑහෙන්නෙ නැහැ. දරුවන්ට අවුරුදු දෙකක් වෙනකම් සතියකට දවස් දෙකක් කාසල් රෝහලෙයි ළමා රෝහලෙයි සායනවලට අරගෙන යන්න ඕනෙ. දරුවො ගෙනියන්න පස්දෙනෙක් ඕනෙ නිසා වෑන් එකක් කුලියට අරගෙන යන්න එන්න රුපියල් 15,000ක් යනවා. මාසෙට ඒ වියදම විතරක් 120,000ක්. ඉදිරියේදී දරුවන්ගේ වැඩට තව කවුරුහරි ගන්න වුණොත් ඒ කෙනාටත් වැටුපක් ගෙවන්න වෙනවා. මට වාහනයක් හරි තිබුණ නම් ඒක හයර් කරලා ආදායමක් හොයා ගන්න අතරේ දරුවන්ගේ වැඩ කරගන්නත් පහසුයි. රජයේ හෝ පෞද්ගලික ආයතනයක් මැදිහත් වෙලා මූලික ගෙවීම කරලා මට පරණ වාහනයක් හරි අරන් දෙනවා නම් මාසික වාරිකය ගෙවාගෙන යන්න මට පුළුවන්. ඒ වගේම අපිට ඉන්න මේ කාමරේ හරි ටිකක් ලොකු කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ” වසර ගණනාවක් රැකියාවක් කරමින් කිසිවකුට අතනොපා ජීවත් වූ ඉසුරු ඒ ඉල්ලීම කරන්නේ නොකර බැරිකමටය. දරු උපතත් සමඟ තමාට මිහිපිට දෙවිවරු බඳු මිනිසුන් මෙන්ම මිනිසත්කමට නොතරම් පුද්ගලයන් ද හමු වූ බව ඔහු කීවේ කම්පිත හදවතිනි.

“අපිට දරුවන් වෙනුවෙන් මුලින්ම රුපියල් ලක්ෂයක මුදල් ආධාරයක් කළේ ත්‍යාගි කියලා යාපනයේ ද්‍රවිඩ මහත්මයෙක්. ඊට අමතරව ඖෂධවේදින්ගේ සංගමයෙන් සහ කොරියාවේ පිරිසක් රුපියල් ලක්ෂය බැගින් දුන්නා. ප්‍රසිද්ධියට අකමැති තවත් ව්‍යාපාරිකයෙක් ඔහුගේ නියෝජිතයෙක් මඟින් මාස්පතා යම්කිසි මුදලක් එවනවා. IVF එක කරපු ආයතනයත් අපිට මූල්‍යමය ආධාරයක් කළා. නෙස්ලේ ආයතනයෙන් බබාලට පිටි කිරි ටින් 45ක් දුන්නා. එයින් තව ඉතිරිව තියෙන්නෙ දෙක තුනක් විතරයි. හේමාස් ආයතනයත් රුපියල් මිලියනයක් වටිනා පැම්පර්ස් දෙනවා. ඒ දේවල්වලට අමතරව මේ වෙනකම් අපි දරුවො ජීවත් කළේ හිතවතුන්ගෙන් ලැබුණු මුදල් ආධාරවලින්. ඒ හැමදෙනාටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

මනුස්සකම් තියෙන මිනිස්සු අතරේ නොමිනිස්සු හඳුන ගන්නත් ලැබුණා. දැනට මාස 2කට විතර කලින් අපිට රෝහලෙන් දැනුම් දුන්නා දරුවො වෙනුවෙන් තව රෙගියුලේටර් එකක් ඕනේ කියලා. ඒ වෙද්දි රෝහලේ තිබුණ රෙගියුලේටර් දරුවන්ට පාවිච්චි කරමින් තිබුණා. අඩු පීඩනයකින් ඔක්සිජන් ලබාදෙන ඒ විශේෂ රෙගියුලේටර් ඒ වෙද්දිත් අවදානම් තත්ත්වයක හිටපු අපේ දරුවන්ට අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒ එකක මිල රුපියල් ලක්ෂ එකහමාරක්. අපේ දරුවො වෙනුවෙන් ඒවා ගෙනාවත් ඊට පසුව තවත් දරුවන් වෙනුවෙන් පාවිච්චි කරන්න රෝහලට ප්‍රයෝජනවත් වෙන නිසා මම කිහිප දෙනෙකුගෙන් උදව් ඉල්ලුවා. දරුවන් වෙනුවෙන් ගෙයක් හදලා දෙනවා කියලා ප්‍රසිද්ධියේ මුහුණුපොතේ පෝස්ට් එකක් දාලා තිබුණු පුද්ගලයකුට කතා කළ වෙලාවේ ඔහු මට අශිෂ්ට විදිහට බැණ වැදුණා, තමුසෙගෙ සල්ලි මං ළඟ අරන් තියලා තියෙනවා කියල හිතලද සල්ලි ඉල්ලන්නෙ කියලා. ඒ වගේම ප්‍රසිද්ධ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් ඒ ඉල්ලීම කළාම උන්වහන්සේ කිවුවෙත් පාසල්වලට ගොඩනැඟිලි හදන්න තියෙන නිසා මට උදව් කරන්න සල්ලි නැහැ කියලා. අපිට දරුවො පෙන්වලා සල්ලි උපයන්න අවශ්‍ය නැහැ. මේ මගේ දරුවො. කොහොමහරි දරුවන්ව හදා ගන්නවා කියන හිතේ හයිය මට තියෙනවා. නමුත් වසර ගණනාවක් රැකියාවක් කරලා පුරවැසියෙක් විදිහට රජයට වක්‍රව හෝ ඍජුව බදු ගෙවපු පුරවැසියෙක් විදිහට මම රජයෙන් කිසියම් සහනයක් බලාපොරොත්තු වෙනවා. “ඒ ඉසුරුගේ ඉල්ලීමයි.

මවුපියන් සතු වගකීම් ගැන කිසිවක් නොදන්නා කිරිකැටියන් පස්දෙනා එකට හඬති. කිරි සිනා පාති. නොදන්නා බසකින් සුරඟනන් හා දොඩමළු වෙති. ඒ කිරි සිනා දකිද්දී ඉසුරුගේත් මධුකිගේත් මුවෙහි ඇඳෙන්නේ සුපසන් සිනාවකි. ඔමේන් ලිත්මිණ, විමේන් චිත්මිණ, තිමේන් යුත්මිණ, ඩිවේන් විශ්මිණ සහ කිවේන් යෙත්මිණ ලෙස නම් ලබා ඇති ඔවුන් පස්දෙනා වෙන වෙනම හඳුනා ගැනීම අසීරු තරමට එක සමානය. තමාට සහ ඉසුරුට බිලිඳුන් එකිනෙකාගෙන් වෙන්කර හඳුනා ගත හැකි වුවත් මාරු වීමෙන් එක් දරුවකුට දෙවරක් කිරි පෙවූ අවස්ථා ද ඇති බව මධුකි කීවේ සිනාසෙමිනි.

“බබාලා පස්දෙනෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම මම හිතුවෙම එක්කෙනෙක් හරි දුවෙක් වුණොත් හොඳයි කියලා. ඉසුරු නම් පුතාලා ගොඩක් ලැබෙනවට කැමැත්තෙන් හිටියා. දුවෙක්ට මම තාමත් කැමතියි. පුතාලා පස්දෙනාටම හොඳට උගන්නන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව “මධුකි කීවේ සැමියා අතේ නැළවෙන පුතු දෙස බලමිනි.

” ක්‍රිකට් ටීම් එකකට, මියුසික් බෑන්ඩ් එකකට ඇතිවෙන්න දරුවො හදන්න ඉස්සර ඉඳල මගෙ ආශාවක් තිබුණා. අවුරුදු 12කට පස්සෙ දෙවියො දීපු මේ සම්පත අපිට ගොඩක් වටිනවා. මගේ බලාපොරොත්තුව එක දරුවෙක් හරි සංගීතයට යොමු කිරීමයි. දැනටමත් ලොකු පුතාලා දෙන්නගේ හඬවල් සංගීතයට ගැළපෙනවා කියලා අඬන සද්දෙන්ම තේරෙනවා” ඉසුරු සිනාසෙමින් කීවේය. මේ කිරිකැටියන්ගේ ලෝකය ගොඩනඟා ගැනීමට කිසියම් උපකාරයක් කළ හැකි නම් මේ ඔබේ උපකාරය අවැසි මොහොතකි.

ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්න

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division