පෘතුගීසි පාලනයට එරෙහිව ගෙන ගිය තනි මිනිසකුගේ අරගලය කෙරෙහි කෝප වූ පෘතුගාලය, ඔහු කෙසේ හෝ ඝාතනය කිරීමේ අරමුණින් විශාල බළසේනාවක් ද සමඟ (ආණ්ඩුකාරවරයා කොට) ලක්දිවට එන්නේ දරුණු පෘතුගීසි සෙනෙවියකු වූ කොන්ස්තන්තිනු සා ය. කුරුවිට රාල ඔවුනට මුණගැසෙන්නේ සබරගමුවට ළඟා වූ මොහොතේය. අද වන විට මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ ‘ලෙල්ලෝපිටිය’ නාමයෙනි. ලෙල්ලෝපිටිය නම පරිණාමය වන්නේ ලේ-ලූ-පිටිය යන්නෙනි. කුරුවිට රාලගේ රුධිරය වැගිර යන්නේත්, ඔහුගේ හමුදාවට ප්‍රථම වරට පසුබසින්නට සිදුවන්නේත් මෙහිදීය.
තුවාල සහිතව නැඟෙනහිරට පලා යන කුරුවිට රාලගේ හිසට මිලක් නියම වන අතර ඒ හිස කඳින් වෙන් වන්නේ රාත්‍රී කාලයේ ඔහු තද නින්දේ පසුවන අතරේය. ලී කෝටුවක ඇමිණූ හිස දින සතක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙරෙන්නේය.
දහසයවන සියවස අගභාගයේ හා දාහත්වන සියවසේ මුල් දශකයන්හි මේ රටේ විසූ කුරුවිට රාල, අන්තෝනියෝ බරෙත්තු නමින් ලිඛිත ඉතිහාසයට එක්වන්නේ කොළොම්තොට ප්‍රතිකාල් බළකොටුවේ කැරැල්ලක් හටගන්වා එහි හාමුදුරුවන් කොටසක් ද රැගෙන සපරගමුවට පලා ආ ස්වදේශිකයා හැටියටය. ‘බරෙත්තු’ නම් වූ ඓතිහාසික මූලාශ්‍රය සහිත නවකතාව ලියැවී ඇත්තේ එම සිදුවීම් පාදකවය. කුරුවිට බණ්ඩාර යන සපරගමුවේ ප්‍රචලිත නාමය ඉතිහාසයේ ප්‍රචලිතව ඇත්තේ අන්තෝනියෝ බරෙත්තු ලෙසය. ප්‍රවීණ ලේඛක ජී. ඇල්. ආරියපාල ලියූ (සරසවි ප්‍රකාශනයක් වන) මේ කෘතිය පිළිබඳ විද්වත් කතිකාවක්, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන්නේ පෙබරවාරි 22 (බ්‍රහස්පතින්දා) පස්වරු 1.30ටය. මහාචාර්ය සුනිල් සෙනෙවි, ආචාර්ය රනිල් ප්‍රභාත් මෙහිදී ප්‍රධාන දේශන පවත්වති. සපරගමු පළාත් සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම විද්වත් කතිකාව සංවිධානය කර තිබේ.