දිනෙන් දින ඉහළ යන බඩුමිලත් එක්ක අවම මුදලකට දවල්ට කෑම කෙසේ වෙතත් වේලක් දෙකක් කුසගින්නේ හිඳින මිනිසුන් නම් ඕනෑ තරම් මේ සමාජයෙන් සොයා ගන්නට හැකිය. එවන් මිනිසුන්ගේ සාගින්න නිවීමට තමන්ට හැකි පමණින් මෙහෙයක් කරන ඇත්තෝද අපි අතර නැතුවාම නොවේ. ඉස්සර නම් දන්සල් දැකිය හැකිව තිබුණේ වෙසක් පොසොන් කාලවලය.
පසුගියදා අපිට වෙනස්ම ආකාරයේ දන්සලක් හමුවිය. ඒ “පන්සලේ දන්සලය”. කෝට්ටේ නාග විහාරයේ සිකුරාදා දිනවලට දෙන “පන්සලේ දන්සලේ” ඇත්තම කතාව සොයන්නට පසුගිය සිකුරාදා අපි එහි ගියෙමු. අප එහි යන විට වේලාව උදෑසන එකොළහට පමණ වන්නට ඇත. එක්කෙනෙක් දෙන්නෙක් හැර පන්සල් බිමේ වෙනත් කිසිවෙක් හිඳින බවක් නම් නොදැනිනි. ස්වාමීන් වහන්සේ නමකට අප පැමිණි කාරණය කීවෙමු.
“පොඩ්ඩක් ඉන්න” යැයි කියූ හිමියෝ අප වෙනුවෙන් කවුරුන් හෝ සොයන්නට විය. ඒ ඇසිල්ලේ අප විහාරයේ පැරණි ධර්ම ශාලාව ආසන්නයට වී සිටියෙමු. ඒ මධ්‍යහ්නේ සුළගේ වෙලි ඇඹරැල්ලා ව්‍යංජනයක සුවඳ නාහයේ වදින්නට විය. ඒ සමඟම තෙම්පරාදු කළ පරිප්පු ව්‍යංජනයක සුවඳ ද දැනෙන්නට විය.
“එන්න අපි යමු.”
රෝෂිණී පෙරේරා පැමිණ අප කැඳවාගෙන යන්නට වූවාය. ඒ ධර්ම ශාලාවට එපිටින් ඇති මුළුතැන්ගෙය දෙසටය.
හෝ ගා ඇවිලෙන දර ළිප මත ඇත්තේ විශාල කල්දේරමකි. එහි වතුර ගොජ දමමින් රත්වෙමින් තිබිණි. තරුණයන් දෙදෙනෙකු සෝදා පිළියෙල කර ගත් සහල් එයට දමමින් සිටියේය. තවත් කාන්තාවන් කිහිප දෙනෙකුම පිඟන් සෝදමින් මෙන්ම වැඩ ඉවර වෙමින් තිබූ මුළුතැන්ගෙය පිරිසිදු කරමින් සිටියහ.
“තව ටිකකින් කෑම බෙදන්න පුළුවන්. කොහොමත් දවල් එක වෙනකොට අපි කෑම දෙන්න පටන් ගන්නවා. පේනවා නේද එක්කෙනා දෙන්නා එනවා. අපි හැමදාම සිකුරාදාට පන්සලට ඇවිත් උයන්න උදව් කරනවා.“
එසේ පැවැසුවේ විශ්‍රාමික ගුරුතුමියක වන අයේෂා රාජපක්ෂය.
“ගෙවුණ කොරෝනා කාලයේ නාරද හිමියෝ අපෙන් ඇහුවා මේ අමාරු කාලයේ අපි ප්‍රදේශවාසිීන්ට කෑම වේලක් දෙමුද කියලා. ඒකට අපි කාගෙවත් අකමැත්තක් තිබුණේ නැහැ. ඒ දවස්වල අපි සතියට දෙවතාවක් දන්සල දුන්නා. ඒ දවස්වල මේතරම්ම බඩු මිල ඉහළ ගිහින් තිබුණෙත් නැහැනේ. කටින් කට ප්‍රචාරය ගිහිල්ලා බොහෝ පිරිස් දිවා ආහාරය ගන්න මෙතැනට ආවා. පන්සලේ දායකයෝ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ දන්නා හිතවත් අයත් මෙයට එක්වුණා. අඟහරුවාදා සිකුරාදා දවස් දෙකේ තමයි මුලින්ම දුන්නේ. මුලින්ම හාල් කිලෝ විස්සක බතක් තමයි ඉව්වේ. කහබත්, බුරියානි, කුකුල් මස්, වම්බොටු මෝජු ආදිය කෑම මෙනු එකට තිබුණා. දවසින් දවස දානේ බාර ගන්න අයත් එක්ක ඒ මෙනු එක වෙනස් වෙනවා. දැන් සමහර දවස්වලට හාල් කිලෝ 30 – 35 උයනවා. වෙනදට නම් ජාති 5ක් දුන්නා. නමුත් දැන් තියෙන ආර්ථිකය අනුව එහෙම කරන්න අමාරුයි. මාදිවෙල, මහරගම, කෝට්ටේ නගර සභාව අවට බල ප්‍රදේශයේ අය වගේම මේ අවට කාර්යාලවල සේවය කරන අයත් දිවා ආහාරය ලබා ගන්න එනවා. සමහරු උපන්දින සැමරුම් ආදිය සඳහාත් දැන් මේක අවස්ථාවක් කර ගන්නවා. මේ වන විට මාස තුන හතරකට දාන වේල වෙන් කරගෙන තියෙන්නේ.”
වැඩ කරන අතරේම රෝෂිණි අප හා තොරතුරු පවසන්නට වූවාය.
මෙහි ප්‍රධාන සූපවේදීයා ලෙස අමිල ප්‍රදීප් ලියනගේ කටයුතු කරයි. සුමුදු තරංග සහ නිශ්ශංක ජයලත් ඊට සහාය වෙති. විහාරස්ථ කාන්තා සමිති සාමාජිකයෝද මීට සහාය වෙති. අප එහි ගිය දින ඒ. ජී. ලතා හා ඒ. ජී චන්ද්‍රිකා අක්කා නගෝද සහායට පැමිණ සිටියහ. සම්බන්ධීකාරක ලෙස ක්‍රිශාන්ත හා සචිනා අඹගහවිට කටයුතු කරන්නේය.
පන්සල් වත්තේ පරණ ධර්ම ශාලාව ඉදිරි පස ක්‍රමයෙක් පැමිණි ජනතාව පෝලිම් ගැසී සිටිති. ඒ අතර ධර්මශාලාව අතුපතු ගා ශුද්ධ කර දිගට දැමූ මේසය මත කෑම භාජන ගෙනැවිත් තබති. ගත වූයේ මොහොතකි. එදින දානයේ පරිත්‍යාගශිලීන් වූ සී. එල් රත්නායකයන් ප්‍රම්‍රඛ ඔහුගේ පවුලේ අය දානය බෙදීමට පටන් ගත්තේය. වේලාව හරියටම දහවල් එකය. පෝලිමේ පැමිණෙන මිනිසුන් කිසිදු කලබලයක් නොකර ආහාර පිඟාන ලබා ගනී. මේ අතර වැඩිහිටියෝ මෙන්ම තරුණ තරුණියෝද කුඩා දරුවෝද වූහ. සවස දෙක වන විට සියල්ල අවසන්ය.
මෙවන් කාල වකවානුවක මෙවැනි දන්සලක් පැවැත්වීමද අසීරුය. නමුදු අසීරුතා මැද්දෙන් කරගෙන යන මෙහෙවර පිළිබඳ කළ විමසුමකදී මෙම සද්කාර්යයේ නිර්මාතෘ ශාස්ත්‍රපති කොටහේනේ නාරද හිමියෝ පැවැසුවේ මෙවැනි කතාවකි.
“අපි මුලින්ම පන්සලේ දන්සල පටන් ගත්තේ 2022 ජූලි 15 වෙනිදා. මුලින්ම ඉවුම් පිහුම් කටයුතු කළේ අපේ කාන්තා සමිතියේ සාමාජිකාවෝ. පසුව තමයි සිවිල් ආරක්ෂක බළකායේ අය සම්බන්ධ වුණේ. දැන් ඔවුන්ට අපේ මේ කාන්තාවෝ සහාය දක්වනවා. මේ වසරේ ඒ කියන්නේ 2024 ජනවාරි මාසේ ඉඳලා සතියේ සෑම සිකුරාදාම දන්සල පවත්වනවා. දෙස් විදෙස් විවිධ පුද්ගලයෝ අපට සහාය දක්වනවා. මුල් කාලේ ඉදලම දන්සල දවසට 300 – 400 ආසන්න පිරිසකට දිවා ආහාරය ලබාදෙනවා. මේ දන්සල සඳහා කැමැති ඕනෑම කෙනෙකුට අපට කතා කරලා සහාය වෙන්නත් පුළුවන්.”
කොටහේනේ නාරද ස්වාමීන් වහන්සේ අප හා පැවැසූහ.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ වැඩසිටි කාලයේ පටන්ම විහාරස්ථානයෙන් කරන ලද ජනතා මෙහෙවර බොහෝය. එකල ආරම්භ වූ වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය ද තවමත් එහි පැවැත්වේ.
පන්සලෙන් ගමට දන්සලක් දෙන “පන්සලේ දන්සල“ හරි අපූරු වැඩසටහනකි. එහි පිරිසුදුකම, පිළිවෙළ ගැන ලියනවාට වඩා එහි ගොස් දැක බලා ගැනීමම වටින්නේය.
ඡායාරූප – ගයාන් පුෂ්පික
ඉනෝකා සමරවික්‍රම