අනුරාධපුර එප්පාවල පදිංචි තිස් හය හැවිරිදි දෙදරු මවක වන නයනා හිරු නැග එන්නට පෙර නිවසේ සියලු වැඩ අහවර කර කොහු මෝලේ වැඩට ගියේ දහසක් බලාපොරොත්තු දල්වාගෙන ය. ගොවිතැන් කටයුතු හැර වෙනත් ස්ථිර රැකියාවක් නොමැති සැමියා හා එක්ව ඇය නිතර වෙහෙසුණේ තාමත් පාසල් වියේ පසුවන දරු දෙදෙනා ගේ ජීවිත ආලෝකවත් කරන්නට ය. නිවෙසේ සිට විනාඩි පහ හයකින් ළඟාවිය හැකි දුරක පිහිටි කොහු මෝලේ වැඩ ට ඇය මුලින්ම එක්ව තිබුණේ පසුගිය ජනවාරි මස 17 වැනිදාය. සුපුරුදු පරිදි පසුගිය 31 වැනිදාත් කොහු මෝලේ වැඩට ගිය නයනා දහවල් විවේකයේ දී ගෙදරින් රැගෙන ආ බත්පත ආහාරයට ගෙන යළි වැඩ ආරම්භ කරමින් කොහු අඹරන යන්ත්‍රය පිරිසිදු කරන්නට පටන් ගත්තා ය. දකුණු අත යන්ත්‍රය තුළට දමා එහි ඉතිරි වී තිබූ කොහු කැබලි පිටතට ගනිද්දී යන්ත්‍රය එක්වරම ක්‍රියාත්මක වූයේ ඇය කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ ලෙසිනි. කොහු අඹරණ යන්ත්‍රය ක්‍රියාත්මත වූයේ ඇගේ දකුණු අත ද ලණුවක් මෙන් අඹරවාගෙන ය. උරහිසේ සිට අඟල් පහක පමණ ප්‍රමාණයක් අතේ ඉතිරිවද්දී අනෙක් කොටස ගැලවී යන්ත්‍රයේ සිර විය. ඒත් සමඟ සේවිකාවක් ක්ෂණිකව ක්‍රියාත්මක වී යන්ත්‍රය ක්‍රියා විරහිත කරද්දී අනෙක් පිරිස එක්වී ඇය අනුරාධපුර රෝහලට රැගෙන ගියේ ඇගේ ශරීරයෙන් වෙන්ව තිබූ අත් කොටස ෂොපින් බෑගයක ද දමාගෙන ය.
මේ ආකාරයට ශරීර කොටසක් වෙන් වූ අවස්ථාවක සිදු කරන සැත්කම ඉතා අවදානම් එකකි. අත බද්ධ කිරීමට යෑමේ දී ඇතැම් විට රෝගියාට ජීවිතය පවා අහිමි වීමට පුළුවන. අනුරාධපුර රෝහලේ මේ ආකාර සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය වෛද්‍යවරු නැත. රෝහල් පරිපාලනය වහා කටයුතු කළේ මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු නයනා ව මහනුවර ජාතික රෝහලට මාරුකර එවීමට ය. බරපතළ කැපුම් තුවාලය හේතුවෙන් අතෙන් සිදුවන රුධිර වහනය පාලනය කිරීමත් ශරීරයෙන් වෙන්ව තිබූ අත් කොටස බද්ධ කිරීමට හැකිවන ලෙස අවම කාලයක දී මහනුවර රෝහලට එවීමත් වගකීම් සහගත ක්‍රියාවලියකි. රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව අදාළ කාර්යයන් සිදුකර නයනා මහනුවර ජාතික රෝහලට මාරුකර එවූයේ මේ ආකාර බරපතළ තත්ත්වයේ පසුවන තුවාලකරුවෙකු එවන බව මහනුවර ජාතික රෝහලේ පරිපාලනය ද දැනුම්වත් කරමිනි.
එදින පස්වරු 6.00 ට පමණ මහනුවර රෝහලට රැගෙන එන ලද නයනාට අත බද්ධ කිරීමේ සැත්කම ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක ඇතුළු කණ්ඩායමක් විසින් ආරම්භ කෙළ් රාත්‍රී 9.00 ට පමණ ය. ඒ තුවාලකරු ස්ථාවර කිරීම සඳහා වන මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ය. පැය හතක පමණ වෙහෙසකින් පසු වෙන්ව තිබූ අත් කොටස යළි නයනා ට සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට හැකි වී තිබිණි.
ශරීරයෙන් වෙන් වූ කොටසක් යළි බද්ධ කිරීම අභියෝගාත්මක කටයුත්තකි. බද්ධය නිසා සංකූලතාවක් ඇති වුවහොත් ඉන් රෝගියා ගේ ජීවිතයට හානි වීමට පුළුවන. අනෙක් පසින් බද්ධ කළ ශරීර කොටස පෙර පරිදිම නොවූවත් සාමාන්‍ය මට්ටමින් හෝ ක්‍රියා කළ යුතුය. මේ වනවිට මේ ආකාර සැත්කම් ගණනාවක් සාර්ථකව සිදු කර තිබෙන අමිල සංසක රත්නායක මහනුවර ජාතික රෝහලේ දැනට සිටින එකම ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ය. මාංශ පේශිවල සියුම් සෛල බද්ධ කිරීම පියවි ඇසින් නිරීක්ෂණය කිරීම අසීරුය. මේ නිසා මයික්‍රෝස්කෝපයක් ඔස්සේ පරීක්ෂා කරමින් සැත්කම සිදු කළ යුතුය. මේ සම්බන්ධව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සංසක රත්නායක මෙසේ පැවසුවේය.
“සාමාන්‍යයෙන් ශරීරයෙන් අවයව කොටසක් ඉවත් වුණාම එහි රුධිර ගමනාගමනය ඇන හිටිනවා. ජීවය පවතින්න නම් ඒ කොටසේ තිබෙන මාංශ පේශිවල සෛල තුළ ජීවය තිබිය යුතුයි. මේ සෛලවල ඒ. ටී. පී කියලා කොටසක් තියෙනවා. ඒවායින් තමයි මාංශ පේශිවලට අවශ්‍ය ශක්තිය මුදා හරින්නේ. ඒ ඔස්සේ සෛලවල පරිවෘත්තිය ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවීමෙන් ඒවාහි ජීවය පවත්වා ගන්නවා. ශරිරයෙන් කොටසක් ඉවත් වුණොත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ දී ඒ කොටසේ ජීවය පවතින්නේ පැය හයක පමණ කාලයක් පමණයි. මේ කාලය තුළ සෛලවල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදු වෙලා. ඒ. ටී. පී මඟින් ශක්තිය මුදා හැරීම නැවතුනාම සෛල මරණයට පත්වෙනවා. මාංශ පේශිවල තිබෙන සෛල මිය ගියාට පස්සේ අපි ඒකට යළි රුධිර සැපයූවත් වැඩක් වෙන්නේ නැහැ. මේ රෝගියා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ සැණින් ආපසු මහනුවරට එවන්න බැහැ. අධික රුධිර වහනයක් වෙලා තිබෙන නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. සාමාන්‍යයෙන් රුධිරය ලබා දී මෙහි දී කරන්න වෙනවා. යම් මට්ටමකට රෝගියා ස්ථාවර කළාට පස්සේ තමයි මාරු කිරීම කරන්නේ. එහෙම නොවුණොත් රෝගියා මරණයට පත්වෙන්න පවා හැකියාව තිබෙනවා. අනතුර සිදු වෙලා පැයක් අතුළත රෝගියා රෝහලට ගෙනාවා නම් රෝහලේ මූලික ප්‍රතිකාරවලට තවත් පැය දෙකක් විතර ගත වෙනවා.
අනුරාධපුරයේ සිට මහනුවර ට රෝගියා රැගෙන එන්නත් අවම වශයෙන් පැය තුනක් පමණ යනවා. මේ ඔක්කොම බැලුවම පැය හයක් ඒ වෙනකොටම ගත වෙලා. මහනුවර දී වෛද්‍යවරු රෝගියා පරීක්ෂා කරලා සැත්කමට සූදානම් කරන්න තවත් පැයක් විතර ගත වෙනවා. ශල්‍යාගාරයට ගිය ගමන් රුධිර නාල බද්ධ කරන්න බැහැ. මුලින් වෙන්ව තිබෙන අතේ අස්ථි කොටස බද්ධ කරන්න ඕන. ඊට පස්සේ තමයි රුධිර නාල බද්ධ කරන්නෙ. මේ රෝගියාගේ ලේ නහර කොහු අඹරන යන්ත්‍රයට පැටලිලා සෙන්ටිමීටර් 08 ක විතර කොටසක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ධමනි හෝ ශිරා ළං කරලා මහන්න බැහැ. ඒ නිසා රෝගියා ගේ පාදයෙන් ශිරාවක් අරගෙන බද්ධ කරලා අඩු කොටස සම්පූර්ණ කළා. ඒකටත් පැය භාගයක් විතර ගියා. මේ සියල්ල සැලකීමේ දී අනතුර සිදු වූ වෙලාව ඉඳලා පැය හයක් ඇතුළත බද්ධ කිරීමක් කරන්න බැහැ. දියුණු රටවල නම් තුවාලකරු රෝහලට ගෙන එනවාට වඩා කරන්නේ පුහුණු වෛද්‍ය කණ්ඩායමක් ගුවනින් තුවාලකරු වෙත ගමන් කිරීමයි.”
ශරීරයෙන් කොටසක් වෙන් වූ පසු එම කොටස සාර්ථකව බද්ධ කිරීමට නම් එය රැගෙන ආ යුතු පිළිවෙළක් තිබේ. එසේ නොවුණහොත් ඇතැම් විට තුවාලකරු සාදාකාලික අබාධිතයකු බවට පත්වීමට පුළුවන. ශරීරයෙන් වෙන් වූ කොටසක් බද්ධ කිරීම සඳහා නියමාකාරව රැගෙන ආ යුතු පිළිවෙළ සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක දැක්වූයේ මෙවන් අදහසකි. නියාමාකාරව අයිස් බෑගයක දමාගෙන ප්‍රවාහනය කළොත් ශරීර කොටසක ජීව කාලය පැය 12ක් පමණ දක්වා අපට පවත්වා ගැනීමට පුළුවන්. වෙන් වූ ශරීර කොටස කිසිදු ආකාරයකින් වතුර කාන්දු නොවන යම් වායු ප්‍රමාණයක් තිබෙන Air Tite බෑගයක දැමීම වැදගත්. ශරීර කොටස කිසිම වෙලාවක ඍජුව අයිස් සමඟ නොගැටිය යුතුයි. සාමාන්‍යයෙන් මාළු අයිස්වල දානවා වගේ මේක කරන්න බැහැ. Air Tite බෑගයට අවයව කොටස දමා එම බෑගය වටේට අයිස් දාන්න ඕන. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 04 ක වගේ උෂ්ණත්වයක මේක පවත්වා ගැනීම වැදගත්. උෂ්ණත්වය අඩු වුණාම පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය අඩු වී සෛල මිය යාමට ගත වන කාලය දීර්ඝ වෙනවා. අතක මැණික් කටුවෙන් පහළ කොටසක් වෙන් වුණොත් සාමාන්‍ය පරිසර ඌෂණත්වයේ දී එම කොටස මිය යාමට සාමාන්‍යයෙන් පැය 12 ක් විතර ගත වෙනවා. නියම විදිහට අයිස්වල දමා තිබුණොත් කාලය පැය 24 ක් දක්වා දීර්ඝ කර ගැනීමට පුළුවන්. මැණික් කටුවෙන් පහළ කොටසක් ශරීරයෙන් ඉවත් වුණොත් අපිට ඒක බද්ධ කරන්න තිබෙන කාලය තරම් කාලයක් ඉන් ඉහළ කොටසක් බද්ධ කරන්න අපිට නැහැ.
වෛද්‍ය සසංක පවසන පරිදි මෙය ඉතා බැරෑරුම් සැත්කමකි. කාලය හා සමඟ කරන්නා වූ සටනකි. අවසානයේ සියල්ල පරදා නයනා ට ජීවිතය දිනා දීමට පමණක් නොව ඇගේ ශරීරයෙන් වෙන් වූ අත් කොටස ද සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍යවරු සමත්ව තිබේ.
කොහු අඹරන මෝලකට හසු වී අතක් වෙන් වූ තුවාලකරුවකු ගේනවා කියලා මට දුරකතන ඇමතුම ලැබෙන කොටම මම හිතුවා මේක කරන්න බැරි සැත්කමක් කියලා. මොකද කොහු අඹරන මෝලකට අහු වුණාම අත ඇඹරිලා තැළෙනවා. තියුණු කැපුමක් තියෙන වෙලාවක බද්ධ කිරීම පහසුයි. මෙතන දී තත්ත්වය වෙනස්. රෝගියා නිරීක්ෂණය කළාම මම දැක්කා අතේ යම් යම් කොටස් අඩුයි කියලා. ඇත්තටම අවදානමක් අරගෙන තමයි මේ සැත්කම කළේ. අතේ කොටස් අඩු නිසා රෝගියා ගේ අතේ සෙන්ටිමීටර් 04 ක පමණ කොටවීමක් දකින්න ලැබෙනවා. ඇඟිලිවලට යන ස්නායු කැපිලා තියෙනවා. ඒවා නැවත සකස් කළා. මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය මට්ටමට එන්න සෑහෙන්න කාලයක් ගත වෙනවා. දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියා තවත් දින කිහිපයකින් සාමාන්‍ය වාට්ටුවට මාරු කරයි. යම් ස්ථාවරත්වයකට පත් වුණාට පස්සේ එයා ගේ අතට චර්ම බද්ධයක් කළ යුතුව තිබෙනවා. විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක පවසන්නේ ය.
මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායකගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය උදය කිරිදෙන, වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක,නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල, වෛද්‍ය කසුන්, සේනක හා වෛද්‍ය නිලධාරි චමිලා ජයරත්න මෙම සැත්කමට සම්බන්ධ වී ඇත. ශ්‍යාමා නානායක්කාර, සිතාරා සුරවීර, චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන, එරන්දි මදුෂානි, සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ද සැත්කමට සහයෝගය ලබා දී තිබේ.
මිහිපිට දෙවිවරු ජීවත් වෙනවා කියලා අහලා තිබ්බට මම එහෙම මිනිස්සු දැකලා තිබුණේ නැහැ. ඇත්තටම මගේ නෝනා ගේ ජීවිතය බේරලා දුන්නේ මහනුවර හා අනුරාධපුර රෝහල්වල බෝසත් වෛද්‍යවරු. මගේ දුවට අවුරුදු 09 යි. පුතාට 13 යි. මම වී බුසලක් විතර තියෙන කුඹුරක් කරනවා. ඊට අමතරව මොකක් හරි කුලියක් තමයි කරන්නේ. නෝනා කොහු මෝලක අවුරුදු පහක් විතර වැඩ කළා. ඊට පස්සේ මේ අලුත් තැන වැඩට ගියේ පහුගිය ජනවාරි 17 වැනිදා. මම එදා ගෙදර ඉඳන් කිලෝ මීටර් පහක් විතර දුරින් කුලී වැඩක් කරමින් හිටියේ. නෝනා වැඩ කරන තැන එක් කෙනක් කතා කරලා කිව්වා අත කැපිලා නෝනව අනුරාධපුරේ ට අරන් ගියා කියලා. අනුරාධපුරේ රෝහලට ගියාම නෝනව නුවර අරන් ගිහින්. ඒ වෙලාවේ නුවර යන්න අතේ සල්ලි තිබුණේ නැහැ. ආයෙත් වැඩ කරන තැනට ගිහින් රුපියල් 3000 ක් ණයට අරන් නුවර ආවම තමයි දන්නේ අත වෙන් වෙලා කියලා. මෙයා දවල් කෑමෙන් පස්සේ කොහු අඹරන මැෂිමේ ඉතුරු වෙලා තියෙන රොඩු අයින් කරන්න ගිහින්. ඒ වෙලාවේ වැඩ කරන කෙනෙක් මැෂින් එක දාලා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. ගෙවල් ළඟ නංගී කෙනෙක් තමයි අත ෂොපිං බෑග් එකක දාලා අනුරාධපුරේට යවලා තියෙන්නේ. මම හීනෙකින්වත් හිතුවේ නැහැ මේ විදිහට අත බද්ධ කරන්න පුළුවන් වෙයි කියලා.නයනා ගේ සැමියා වන සමන් සිසිර කුමාර පවසන්නේ වෛද්‍යවරුන්ට පින් දෙමිනි.
අනතුරු කොයි මොහොතේ සිදුවේදැයි අපට කිව නොහැකිය. හදිසියේ සිදුවන අනතුරකින් අප ගෙවමින් සිටින ජීවිතය මුළුමනින්ම වෙනස් වීමට පුළුවන. අනතුරක් සිදුවූවාට පසු ප්‍රතිකාරවලට යොමු වීමට වඩා වැදගත් වන්නේ අනතුරු වළක්වා ගැනීමය. මේ නිසා අවදානම් වෘත්තීන් හි නිරත සියලු දෙනා ආරක්ෂාව ගැනද සැලකිලිමත් වන්නේ නම් අනතුරු බොහොමයක් වළක්වා ගතහැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සංසක රත්නායක පවසයි.
අසේල කුරුළුවංශ