’උරුමය’ වැඩසටහන යටතේ පවුල් ලක්ෂ විස්සකට ඉඩකඩම් හා ගොවි බිම් අයිතිය සින්නක්කරව ලබාදීම තමන්ගේ කියා බිම් අඟලකට හෝ හිමිකමක් නොතිබූ සැබෑ ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේත්, දූ පුතුන්ගේත් නූතන විප්ලවයේ ආරම්භයක් ලෙස හැඳින්විය හැකි බව ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කරයි.
සිංහල රජ දවස පටන් මුළු රටේම ඉඩම්වල හිමිකම රජු සතු වූ අතර, රජු තමන්ට සේවා සපයන රාජකාරි ස්වභාවය සහ කුල ධූරාවලිය අනුව විවිධ සන්නස් මඟින් ජනතාවට ඉඩම් පවරා දී තිබුණි.
බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණ වැවිලි ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ඔවුන්ට සහ විදේශ ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් සොයා ගැනීමට උපාය මාර්ගයක් ලෙස මුඩුබිම් ආඥා පනත ඉදිරිපත් කරමින් ජනතාවගේ ඉඩම්වල අයිතිය උදුරා ගන්නා ලදී.
එම නිසා අපේ රටේ බහුතර ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිණි. වැවිලි ආර්ථිකයට අවශ්‍ය සරුසාර ඉඩම් අත්පත් කර ගැනීම නිසා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු උඩරට ජනතාව දැඩිව පීඩාවට ලක් විය.
මෙම සියලු අපල උපද්‍රවයන්ගෙන් ලාංකේය ගොවි ජනතාව සහ දූපුතුන් මුදා සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් වසර 2023 නොවැම්බර් 13 වනදා ඉදිරිපත් කළ 78 වන අය වැය මඟින් ඓතිහාසික යෝජනාවක් රට හමුවට ඉදිරිපත් කළේය. ඒ 1897දී සම්මත වූ ලංකා මුඩුබිම් ආඥා පනතින් ඉඩම් අහිමිවූවන්ට නැවත වතාවක් සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට යෝජනා කිරීමය.
ඒ අනුව එම මධ්‍යකාලීන අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරට පමණක් රුපියල් බිලියන දෙකක් නැතිනම් කෝටි දෙසීයක් වෙන් කළේය. එහි සමාරම්භය සටහන් කරමින් ඉකුත්දා දඹුල්ලේදී උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීය. එය කාලෝචිත ක්‍රියාවකි. ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ ජීවනෝපාය සරි කර නුදුරේදීම ආර්ථික වර්ධන වේගයේ සැබෑ කොටස්කරුවන් බවට ගොවි ජනතාව පත්වන ක්‍රියාවකට මුල පිරීමකි.
එම වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අප සමඟ දැක්වූ අදහස්වලින් මේ ලිපිය සැකසේ.
වසර 2024 අය වැයෙන් රජය රටේ ආර්ථික සමාජ සංවර්ධනයට යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. ඒ අතර ඉතා වැදගත් යෝජනා ලෙස ඔබ දකින්නේ මොනවාද?
ජනාධිපතිතුමා මුදල් ඇමැතිවරයා ලෙස සවිමත් අනාගතයකට පෙරවදනක් තේමාව කර ගනිමින් 2024 අය වැයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට, ජන ජීවිතය නංවාලීමට යෝජනා රැසක් කළා. ඒ අතර මා දකින ඉතාමත්ම වැදගත් යෝජනාව තමයි අපේ රටේ ඉඩම් අයිතිය අහිමිවී තිබූ ගොවි ජනතාවට ඔවුන්ගේ දූපුතුන්ට නැවත සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කළ යෝජනාවයි. එහි ආර්ථික සමාජ වටිනාකම ගොඩක් තිබෙනවා.
උරුමය වැඩසටහන ආරම්භ කිරීමට මුල් වූ ඉතිහාස කතාවක් තිබෙනවා. එය පිළිබඳව ඔබට යම් සිහිපත් කිරීමක් කළ හැකිද?
ඔව්. ඉඩම් හිමිකම කියන එක පිළිබඳව අපට කතා කරනවා නම් පෙර රජ දවස දක්වා යා යුතු වෙනවා. එදා සිංහල රජ දවස මුළු රටේම ඉඩම්වල හිමිකම තිබුණේ රජු සතුවයි. රජු තමන්ට හිමි ඉඩම් තමන්ට සේවා කරන රාජකාරි ස්වභාවය අනුව ජනතාවට බෙදා දුන්නා. ඒවා බෙදා දුන්නේ සන්නස් පත්‍රයක් මඟින්. පෞද්ගලිකව ඉඩමක් භුක්ති විඳීමට හිමකම් තිබුණේ රදලයන්ට සහ ආගමික ස්ථානවලට පමණයි. සාමාන්‍ය ජනතාවට ඉන්න හිටින්න ඉඩමක් ලැබුණත් ඒ වෙනුවෙන් විශාල මහන්සියක් වෙන්න සිදුව තිබුණා. මේ යුගයේ පුද්ගලයන්ට ඉඩම බැඳ තිබුණත් ඔවුන්ට ඉඩම්වල හිමිකම තිබුණේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන්නේ යටත් විජිත පාලන යුගයේදී. වැවිලි ආර්ථිකයක් බිහිකිරීමේ අරමුණින් විශේෂයෙන් වතු වගාව සඳහා බ්‍රිතාන්‍ය පාලකයින්ට ඉඩම් අවශ්‍ය වුණා. මේ ඉඩම් ලබා ගැනීම සඳහා ඔවුන් ලංකා මුඩුබිම් පනත 1897දී ගෙනැත් සම්මත කර ගත්තා. රට පුරාම ගැමි ඉඩම් බ්‍රිතාන්‍ය රජයට පවරා ගත්තා.
බ්‍රිතාන්‍යයන් අපේ මුතුන් මිත්තන්ගේ ඉඩම් පවරා ගැනීමේන් පසු සිදු වූයේ කුමක්ද?
හොඳ ප්‍රශ්නයක් ඇහුව්වේ. 1935දී ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවීන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් වශයෙන් ලබාදීමක් සිදු කිරීමට පියවර ගත්තා. පළමු රාජ්‍යමන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා වූයේ ඩී.එස්. සේනානායක මැතිතුමායි. එතුමා ගොවිජනපද හරහා ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගත්තා. හැබැයි අවුරුදු සීයකට ආසන්න කාලයක් ගෙවී ගියත් මේ ගොවි ඉඩම් වල ඒවා හිමි ගොවි ජනතාවට ලබා දී නැහැ. මට මෙතනදී සාහිත්‍ය කතාවක් මතක් වෙනවා.
මොකක්ද ඒ සාහිත්‍ය කතාව?
ඔබ දන්නවා නේද විශ්ව කීර්ති නාට්‍යවේදියකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව. එහි සඳහන් වෙනවා “ගොවි දන මනා වූ, ලැබිය යුතු සේම ගම්බිම්” මේ අනුසාරයෙන් අපටත් හිතන්නට වුණා. ඒ අනුව ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමිවූ ගොවි ජනතාවට ඒවා යළිත් ලබාදීමට, ගොවිබිම්වල පූර්ණ ඉඩම් පෞද්ගලික අයිතිය ලබාදීමට අය වැයෙන් යෝජනා කළා. එයයි මා මුලින් කීවේ මාදුටු අය වැයේ හොඳම යෝජනාවක් ලෙස උරුමය වැඩසටහන නම් කළ හැකි බව.
අවුරුදු සියයකට ආසන්න කාලයක් ඉඩම් අහිමි ගොවි ජනතාවට ඒවා ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩසටහන් තිබුණා නේද?
ඔව් වැඩසටහන් තිබුණා. නමුත් තිරසර සහ විධිමත් ලෙස ගොවි ජනතාවගේ නූතන පරපුර මුහුණ දෙන ප්‍රශ්නයට එයින් විසඳුම් ලැබුණේ නැහැ. ජයභූමි, ස්වර්ණභූමි ආදී විවිධ නම්වලින් මෙම ඉඩම් වල අයිතිය ලබාදීමට කටයුතු කළා. නමුත් ඉන් ලැබුණේ සින්නක්කර හිමිකමක් නොවෙයි. එයත් බලය පැවරීම පමණයි. මේ නිසා ගොවි දූපුතුන් අපහසුතාවට පත් වුණා. 1970 ගණන්වල සුළු පරිමාණ ගොවීන් සඳහා ඉඩම් ලබාදීමට ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් කටයුතු කරමින් තිබුණා. කඩිනම් මහවැලි සංවර්ධන යෝද ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ අපේ රටේ කෘෂිකර්මාන්තයේ පිබිදීමක් වුණා. රට සහලින් ස්වයංපෝෂිත වුණා. නමුත් ගොවි ජනතාවට තමන්ට කියා ඉඩම් හිමිකම් තිබුණා නම් එය තවදුරටත් සාර්ථක වෙන්න තිබුණා.
ගොවි පුතුන් මුහුණ දුන් ප්‍රශ්නය කුමක්ද?
තමන්ට කියා ඉඩමක සින්නක්කර හිමිකමක් නැත්නම් ඕනෑම පුද්ගලයෙක් පවුලක් දැඩි පීඩාවකයි සිටින්නේ. විශාල ලෙස සමාජ අසාධාරණයකට ලක්වීමට සිදුවෙනවා. සින්නක්කර ඔප්පුවක් නැතිව බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ගැනීමට ඇපයක්වත් තැබීමට ඔවුන්ට කිසිවක් නැහැ. ඉර පායනවා බහිනවා බලමින් හූල්ලමින් ඉදිරි අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවකින් ගොවි ජනතාව පෙළෙමින් සිටියා. මෙම ඓතිහාසික අභාග්‍ය සම්පන්න සංසිද්ධියෙන් අපේ ගොවි ජනතාව බේරා ගැනීමට ජනාධිපතිතුමා මෙවර අය වැයෙන් කළ යෝජනාව ඓතිහාසික තීන්දුවක් ලෙස හැඳින්විය හැක්කේ ඒ නිසයි.
බලපත්‍ර ක්‍රමයට ඉඩම් බෙදා දීමට කොපමණ ඉඩම් ප්‍රමාණයක් තනි ගොවි පවුලකට ලැබුණාද?
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුලින් දීමනා පත්‍රයක් මඟින් වියළි කලාපයේ ගොවි ජනතාවට ඉඩම් අක්කර පහළොවක හිමිකමක් ලබා දුන්නා. එය ගොඩින් අක්කර පහයි. මඩින් අක්කර දහයයි. පසු කාලීනව එය මහවැලි ව්‍යාපාරය කාලයේ අක්කර දෙක හමාරක් දක්වා අඩු වුණා. එය ගොවි ජනතාවට ප්‍රමාණවත් ඉඩම් ලැබීමකුත් නොවෙයි.
වත්මන් ජනාධිපතිතුමා මෙම ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වීමට පෙර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවාද?
ඔව්. එතුමා වසර 2001/2004 කාලයේ අපේ රටේ අගමැතිවරයායි. එම කාලයේ මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගත්තා. නමුත් නීතිමය ප්‍රශ්නයක් නිසා එය මඟ හැරුණා. ඒ සමඟම 2004 ආණ්ඩුව පෙරළුණා. වැඩපිළිවෙළ කඩාකප්පල් වුණා.
නැවත එය ආරම්භ වන්නේ කෙසේ ද?
ජනාධිපතිතුමා නැවත වරක් 2022 වසරේ ජුනි 9දා අපේ රටේ ජනාධිපතිවරයා බවට පත්වුණා. එතුමා ගොවි ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් තිබුණු නිසා අතීතයේ මතුවූ නීතිමය ප්‍රශ්නය ඇතුළු අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් ගොවි ජනතාවට නැවත තමන්ගේ ඉඩම්වල අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. ඒ අනුව සැබෑ සින්නක්කර ඔප්පු ගොවි පුතුන්ට ලබාදීමට තීන්දුවක් ගත්තා. එය ඵෙතිහාසික තීන්දුවක්. ඒ වගේම විප්ලවකාරී ක්‍රියාදාමයක මුලපිරීමක්.
මේ තුළින් පවුල් කීයකට ප්‍රතිලාභ හිමිවෙනවාද ?
ගොවි පවුල් ලක්ෂ 20 කට මින් ප්‍රතිලාභ ලැබෙනවා. මෙය මධ්‍ය කාලීන වැඩපිළිවෙළක්. එකවර දවසකින් දෙකකින් වැඩ නිම කළ හැකි වැඩපිළිවෙළක් නොවෙයි මෙය. ඉඩම් සියල්ල මැනිය යුතු වෙනවා. එය විශාල කාර්යයක්. ඒ සඳහා මේ වසරට රුපියල් කෝටි 200 ක් වෙන්කර තිබෙනවා.
ඉඩම් හිමිකම සින්නක්කරව ලැබුණහොත් ඉන් සිදුවන සමාජ, ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ මොනවා ද?
ඇත්ත වශයෙන්ම කියනවා නම් යම් පුද්ගලයෙකුට තමන්ටම කියා ඉඩමක අයිතිය සින්නක්කරව තිබෙනවා නම් ගොවිතැනක්, කුඩාවට කර්මාන්තයක්, ව්‍යාපාරයක්, ආරම්භ කිරීමට සිතට එනවා. ඒ අනුව කටයුතු කරන්න පෙලඹෙනවා. අපි සිතමු ඔය ඉඩම් ලබන පවුල් ලක්ෂ 20න් පවුල් ලක්ෂ 5 ක පිරිසක් කුඩාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්, වී මෝලක්, තේ කඩයක්, රෙදිපිළි නිෂ්පාදනය කරන වැඩපිළිවෙළක් පටන් ගත්තා කියා. එයින් ආර්ථිකයට යම් ධනාත්මක බලපෑමක් එක්ක වෙනවා. කිසිවක් නොකර සිටිනවාට වඩා යම් ආර්ථික ප්‍රගමනයකට පුංචි හෝ උදව්වක්, තල්ලුවක් ඉන් ලැබෙනවා. ඒ සමඟ තමයි ගමේ ආර්ථිකය පිබිදෙන්නේ. ඒ ආකාරයට ගම්මට්ටමින් ආර්ථිකය පිබිදීමට තනි පුද්ගලයෙක්, පවුලක්, සමාජයක් ගොඩනැංවීමට උදව් කරන විශාල ජවයක් සපයන වැඩපිළිවෙළක් ලෙස උරුමය වැඩසටහන හඳුන්වන්න පුළුවන්. මෙය ආරම්භ කිරීම කාලෝචිත යෝජනාවක්, වැඩපිළිවෙළක් ලෙස නම් කරන්න පුළුවන්.
ජයසිරි මුණසිංහ