Home » නුවරඑළියේ කැරට් 2000යි මරදානේ වවපු කිලෝවක්ම 30යි…

නුවරඑළියේ කැරට් 2000යි මරදානේ වවපු කිලෝවක්ම 30යි…

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

කැරට් කිලෝව රුපියල් 2000/= යි. මේ පසුගියදා මෙරට පුවත්පත්වල ලොකු සිරස්තලවලින් කියවුණ කතාවකි. ඒත් ඔබට මෙවැනි කතාබහක් තව ටික කලකින් දැනගන්නට ලැබුණොත් පුදුම විය යුතු නැත.

මරදාන ප්‍රසිද්ධ මොනවාටද? වාහන ස්පෙයාර් පාට්ස්වලට, මරදාන ඉස්ටේෂමට.

ඒත් තව ටික කලකින් මරදාන ප්‍රසිද්ධ උඩරට එළවළුවලට කිව්වොත් ඔබ මවිතයට පත්වනු ඇත. එදාට පිටකොටුවේ කැලෑ මාර්කට් එකේ ඇතිවනු ඇත්තේ මෙවැනි සංවාදයකි.

“මුදලාලි කැරට් කීයද?”    

“මහත්තයා නුවරඑළියෙන් ගෙනාපු කැරට් කිලෝ එක රුපියල් 2000/=යි. මරදානෙන් ගෙනාපු කැරට් කිලෝව රුපියල් 30/=යි.”

“ඇයි මුදලාලි මහත්තයෝ මරදාන මාකට් එකෙන් ගේන කැරට් ඒ තරම් ලාභ වුණේ කොහොමද?”

“නැහැ මේ මරදාන මාකට් එකෙන් ගෙනාපුව නෙමෙයි. මරදානේ හිටෝපුවා. දැන් ගලවපු බඩු – මෙන්න පස්පිටින්ම ගලෝල පැය භාගයක්වත් නැහැ.”

මරදානේ ඇති මේ අපූරු ගොවිපළ නොහොත් හරිතාගාරය බැහැ දකින්නට අප ගියේ චකිතයෙනි. ඊට හේතු වූයේ මරදානේ හිටවපු උඩරට එළවළු කිව්වාම අපට මුවඟට සිනහවක් නැඟුණ නිසාය.

අපි මේ කියන ගොවිතැන ඇත්තේ මරදානේ ට්‍රේස් එක්ස්පර්ට් සිටි ඇතුළේය.

මෙම පරිශ්‍රයට ඇතුළුවී කිහිප දෙ‍ෙනකුගෙන් මෙම වගාව ඇති තැන ඇසූවිට බොහෝදෙනා මුහුණට මුහුණ බලා ගත්තේ ‘මුන්ට නට් ලූස් ද මරදානේ මොන උඩරට එළවළු ද? කියන්නාක් මෙනි.

වට කීපයක් ගැසූවිට හිස් ආකාශය දෙස බැලූ විට මේ කියන හරිතාගාරය දැක ගැනීමට අපට හැකි විය. එහි භාරකරු වූයේ නදීර ගල්වත්තය. ආයතනයේ නම AI Agro (Pvt) Ltd ය.

මේ දැවැන්ත හරිතාගාරය මුළුමනින්ම උඩින් ආවරණය කොට තිබුණේ ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ෂීට් නොහොත් ඉරඑළිය මේ ගොවිතැනට වැටෙන ලෙස අවර්ණ ප්ලාස්ටික් ෂීට් වලිනි. හරිතාගාරය වටකොට කිසිදු කෘමියකුට පැමිණිය නොහැකි ලෙස මිලිමීටර 1 x 1 තරම් කුඩා සිදුරු ඇති දැල් ගසා තිබුණි. අප මේ හරිතාගාරයට පිවිසියේ වීදුරු දමා තිබූ ඇලුමිනියම් දොරකින් ‘ෆුඩ්සිටිය’ කට ඇතුළු වන්නාක් මෙනි.

අප මේ හරිතාගාරයට ඇතුළු වූ විට මෙරට ජනසන්නිවේදන මාධ්‍ය තුළ දැනටත් පළවන ශීර්ෂ පාඨ කීපයක් ‘කටුගෙට’ යන බව නම් අපට පැහැදිලි විය.

“නියඟය නිසා එළවළු මිල නඟී”

“ගංවතුරෙන් ගොවිතැන් යට වී

එළවළු මිල අහස උසට”

“කෘමිනාශක – වල්නාශක හිඟ වී මෙවර

එළවළු පලදාව පහළට”

මෙවැනි හරිතාගාර කෘෂිකර්ම ක්‍රමවේදයක් කරා අප සංක්‍රමණය වුවහොත් ඉහතින් දැක්වූ මොන හෙඩිමක්වත් අපේ අනාගත පරපුරට කියවන්නට ලැබෙන්නේ නැත.

අප මේ ආයතනයේ නදීර ගල්වත්ත සමඟ කතාවට එක්වූයේ මේ විශ්වකර්ම එළවළු වගාව පලදරා ඇති අයුරු ගැන පුදුමයට පත්වෙමිනි.

“මූලිකව මේ ආවරණය කළ පිරිවැය දරා ගන්න යම් පිරිවැයක් දරන්න වෙනවා. ඒත් මේ පලදාවට වැස්සෙන්, අව්වෙන්, ගංවතුරෙන් කිසිම අභියෝගක් නැහැ. මෙතැන නිසි ආකාරයට හිරුඑළිය, වාතය, ජලය පාලනය වෙනවා. කෘමි උවදුරක් නැති තරම්. ඒ නිසා වගාවන්ට කෘමින්ගෙන් සිදුවන හානියක් නැති තරම්. මේ එළවළුවල කිසිම රසායන ද්‍රව්‍යයක් විසක් අඩංගු වෙන්නේ නැහැ.”

“එතකොට කෘමිනාශකයක් ගහනකොට කියන පෙර අස්වනු කාලය දින 14 කියන එක එතකොට මේ වගාවට අදාළ වෙන්නැත්ද?”

“නෑ නෑ මේකෙදි කෘමිනාශක – වල්නාශක භාවිතයක් නැති තරම්.”

“එතකොට එළවළු මිල ඉහළ යන්න ප්‍රධාන වෙන කෘමිනාශක – වල්නාශක මිල මේ හින්ද තීරණාත්මක සාධකයක් වෙන් නෑ නේද?”

“ඔව් මේ හරිතාගාර ගොවිතැනේදී ඒවා තීරණාත්මක අවශ්‍යතා නොවෙයි.”

අප රටේ කෘෂිකර්මාන්තයේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ පලදාව අඩු වීමය. එහෙත් අද කෘෂිකර්මයට අධිතාක්ෂණික ක්‍රමයක් හඳුන්වාදී ඇත්තේ ELISA (Engyme link Immubo sorbant assay) හා PCR (Polymerace chain reaction) වැනි ක්‍රමවේද භාවිතය ආදිය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් නව පරපුරට ලබාදීම තුළින් මෙරට කෘෂි අස්වැන්න පලදායීතාව දියුණුව අපට ඇස් දෙකෙන් දැකගත හැකි වූයේ මරදානේ මේ හරිතාගාරයේදීය.

මේ වන විට ලෝකයේ සිදුවන විවිධ කාර්මික කටයුතු හේතුවෙන් මතු වී ඇති ගෝලීය උණුසුම්කරණය නිසා ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු විය හැකි විවිධ දේශගුණික විපර්යාස පිළිබඳව මේ වනවිට ද අනතුරු අඟවා ඇත. මේ අනුව වසර 2025 – 2050 වන විට මෙරට ඊසානදිග මෝසම් වැසි ඉතා අඩු වීම හා නිරිතදිග මෝසම් වැසිවලට තීව්‍රතාව ඉහළ යාම සිදුවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපයේ දැඩි නියං තත්ව ඇතිවීමත් තෙත් කලාපයේ පාංශු ඛාදනය, ගංවතුර හා නායයාම් ආදියත් ඉහළ යනු ඇතැයි දැනටම එළිදරව් වී ඇත.

මෙම අහිතකර දේශගුණික තත්ත්වයන්ගෙන් අස්වැන්නට හානියක් නොවී භෝග වගා කිරීමට නම් නවීන තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් ආරක්ෂිත ගෘහයක් තුළ මෙවැනි භෝග වගාවට යොමුවීම ඊට ඇති එකම විසඳුමයි.

ඒත් ඉතිං එදා වනසිව්පාවාගෙන් තම ගොවිතැන ආරක්ෂා කර ගැනීමට පැලකට වී කියන ‘පැල්කවි’ මෙම හරිතාගාර ව්‍යාප්තියත් සමඟ අතීතයට එක්වනු නියතය.

මරදානේ උඩුමහලක පිහිටි මේ AI Agro (Pvt) Ltd හරිතාගාරයට ඇතුළු වන තැන තිබුණේ පසුගියදා කිලෝව රුපියල් 2000/= ඉක්මවා ගිය අමුමිරිස්ය. අමුමිරිස් පලදාව වැඩි නිසා එම අමුමිරිස් පාතට බරවී තිබුණි. ඇතුළු වන තැන පේළියට වවා තිබුණේ නුුහුරු කොළ සහිත භෝගයකි. මේ කොන්ක්‍රිට් උඩුමහලේ දිගු ටැංකි වැනි භාජන තුළ පස් පුරවා මේවා වගාකොට තිබුණි.

“මේ තමයි කැරට්” නදීර පැවසීය. “ඇයි කැරට් ගහක් දැකල තිබුණේ නැත්ද?”

“කෝකටත් ඉතිං ගහ උදුරල බලමු කැරට් ද කියලා.” මම නදීරට පවසා සිටියෙමි.

නදීර සැණෙකින් ගස් හතර පහක් දවටා අල කීපයක් එළියට ගත්තේය.

“මෙන්න කැරට්

මරදානේ අල බැස්ස කැරට්”

මේ කැරට් ඔබ වෙළඳපළෙන් තෝරන තැළුන, කඩතොලු වුණ, වල්ඌරන් – ඉත්තෑවන්ගෙන් හානි වූ කැරට් නොවේ. බල්බ් දැම්මා වගේ පෙනුමෙන් යුතු කැරට්ය.

“දැන් මේ කැරට් අලේ ගුණදායක බව කොහොමද?” මම අසා සිටියෙමි.

“මේ කැරට් බීජ නුවරඑළියේ සාමාන්‍ය ගොවීන් පැළ කරන කැරට් බීජයම තමයි. ඒ ගුණයම තමයි. වෙනසකට තියෙන්නේ ගොවිතැන් කරන විදිය වෙනස. කිසිම බාහිර හානියක් භෝගයට වෙන්නේ නැති ආරක්ෂිත වගා ක්‍රමවේදයක්.”

මේ හරිතාගාරය තුළ උඩරට එළවළු බොහොමයක් සරුසාරව වගා කර ඇති අන්දම ඉතා විසිතුරු ලෙස දර්ශනය වන්නකි. ඊටත් වඩා කොළඹ ප්‍රදේශයේ ‘මරදාන’ වැනි අතිශය නාගරික ප්‍රදේශයක මෙවැනි වගාවක් දැක ගැනීමට ලැබීම අදහාගත නොහැකි විය.

මරදානේ මේ හරිතාගාරය තුළ කැරට්, ලීක්ස්, නෝකෝල් වැනි එළවළුවලින් නම් අඩුවක් තිබුණේ නැත. වම්බටු ගස් වැවී තිබුණ ආකාරය ඉතා ලස්සනය. එමෙන්ම එහි වඩාත් හොඳින් වැවී තිබූ අපනයනය සඳහා සූදානම් කෙරෙන එළවළු ප්‍රභේදවල නම් උච්චාරණය අපට තරමක් නුහුරුය.

“මේ බෙල්ජියම් එන්ඩියු පිටරටට යවන්න කිලෝ 1ක් රුපියල් 3500 – 4000 අර වෙනවා. මේ ගෝවා කොළ කිලෝව 1 රුපියල් 1800/= යි, මේ බ්‍රසල්ස් පවර් කිලෝවක් රුපියල් 3000 ක් විතර වෙනවා.”

අප මේ අපනයනයට සූදානම් එළවළුවල නම් සටහන් කරගත්තේ කනට ඇසුනු ආකාරයටයි. මෙහි ඇති විශේෂත්වය සෑම ගසකටම ඉන්ජෙක්ෂන් තුඩක් වැනි අගක් ඇති කුඩා බට භාවිතයෙන් වෙන වෙනම වතුර, දියර පෝර, ෆාර්ටිලයිසර් ආදි දේ අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට හැකි වී තිබීමය. මෙම හරිතාගාරයට ඇතුළු වන ප්‍රදේශයේ සවිකොට ඇති දැවැන්ත ෆෑන් පෙති ඇති අතර ප්‍රතිවිරුද්ධ පැත්තේ ද එවැනිම ෆෑන්පෙති ඇත.

“මේ වෙට් ෆෑන්වලින් කරන්නේ හරිතාගාරය ඇතුළේ උෂ්ණත්වය පාලනය කරන එක. මේ වගේ හරිතාගාරයක උෂ්ණත්වය, තාපයේ ආලෝකය, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය, ආර්ද්‍රතාව, වාතයේ ජල අංශු ප්‍රමාණය වගාකර ඇති භෝග අනුව වෙනස් කරනවා.” නදීර අපට වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.

මෙම හරිතාගාරයේ වගා කොට ඇති කැරට් ප්‍රභේදය ජපන් බීජ විශේෂයකි. ඒවා වගාකොට ඇති දිගු ටැංකි සඳහා යොදාගෙන ඇත්තේ කොහු බත් සහ කොම්පෝස්ට් පොහොර සංයෝගයකය. පෝර වශයෙන් යොදාගෙන ඇත්තේ කැල්සියම් නයිට්‍රෙට් සහ පොටෑසියම් සල්ෆේට්ය.

අපට මේ සියලු විස්තර කියා දුන් නදීර ගල්වත්ත තම පිය උරුමයෙන් හෝ ප්‍රවේණිගත උරුමයෙන් කෘෂිකර්මයට කඩා පාත්වුණ ‘පැරෂුට්’ කාරයකු නොවේ. ඔහු වයඹදිග විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ විශේෂ උපාධියක් හිමි කර ගත්තෙකි.

“මේ කැරට් අලයක් බරෙන් ග්‍රෑම් 100 – 120 අතර වෙනවා. නුවරඑළියේ කැරටවලටත් වඩා වැඩිය ලොකුවට මේ කැරට් හැදෙනවා.” මේ බොහොමයක් එළවළු කැරට්, බීට්රූට්, ලීක්ස් වගේ දේවල් සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍යයි. දැන් ඇබර්ජින් වගේ වම්බටු ප්‍රභේද යුරෝපයට යවන්නේ එක ගෙඩියක් ග්‍රෑම් 500ක් විතර වෙනවා.

මෙහි සලාද, පිපිඤ්ඤා, මෙරට සලාද කොළ ඇති තරම් වගාකොට පලදරා තිබුණි. කොමඩු වැල් වහලය දෙසට යවා තිබුණේ කුඩා නූල් විශේෂයක් ආධාරයෙනි. එහි බිත්තරයක් තරම් කුඩා කොමඩු ගෙඩි දැක ගත හැකි විය. මෙවැනි කුඩා නූලක ආධාරයෙන් කොමඩු වැලේ කිලෝවක දෙකක කොමඩු ගෙඩියක් දරා ගන්නේ කෙසේදැයි අපට ප්‍රශ්නයක් විය.

“ගෙඩිය ලොකු වෙන්න කලින්ම ගෙඩියට දානවා ෆුඩ් බාස්කට් එකක්. ඒක කෙළින්ම නූල්දාල වහලයට සම්බන්ධ කරනවා. එතකොට ගෙඩියේ බර වැලට දැනෙන්නේවත් නැහැ.”

මෙහි වගාකොට ඇති දේශීය වම්බඩු පල දරා ඇති අන්දම පුදුම සහගතය. කිසිදු කෘමියකුගේ හානියක් මෙම දේශීය වම්බටු තුළ නැත. මැනිං මාකට්ටුවේ වම්බටු ගෝනි අලෙවියේදී ඒවා නො 1, 2, 3 ලෙස වර්ගීකරණයට ලක්වේ. නො 1 කියන්නේ කිසිදු කෘමියකුගෙන් හානි නොවූ නොම්බර එකේ වම්බටුය. නො 2 – 3 අනුව කෘමින්ගෙන් හානි පැමිණ භෝග කොලිටිය බාල වෙමින් පසුබසින තරමට මිලට ද අත්වන්නේ එම ඉරණමමය. මෙම දේශීය වම්බටු වගාවෙන් වරකට කිලෝ හතරක පමණ පලදාවක් නෙළාගත හැකිය.

මෙහි භෝගයකට සපයන දියර, පෝර, පෝෂක ද්‍රව්‍ය, ජලය ආදී පෝෂණ ද්‍රව්‍ය දැවැන්ත ටැංකිවල පුරවා ඇති අතර ඔබට විදේශයක සිට හෝ ඇප් එකක් මඟින් ඒවා සක්‍රිය කිරීමට හැකි වීම මෙහි විශේෂත්වයය.

මෙතැන ඇති අපට ආගන්තුක වගා ක්‍රමයක් නම් පස් නොමැතිව වගා කිරීමේ ක්‍රමවේදයයි.

මූලික වශයෙන් පස් නොමැතිව වගා කිරීමේදී සිදු වන්නේ ශාකයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එනම් පොහොර ජලයේ දිය කර ශාකයට ලබාදීමයි. ටැංකියක හෝ කන්ටේනරයක ජලය හා පෝෂක දිය කර ඒ මත වගා කිරීම එක ක්‍රමයකි. දෙවැන්න වන්නේ මල්ලක ජලය පුරවා ඒ මත වගා කිරීම. එහිදී දිනපතා ජලය පිරවීම අස් කිරීම හෝ ජලය ගලා යන්නට සැලැස්වීම කළ යුතුයි.

මරදානේදී අපට දැක ගත හැකි වූයේ පීල්ලක් උඩින් වසා රවුම් කපා ඒ තුළට දැල සහිත ප්ලාස්ටික් කෝප්පයක රැඳවූ සලාද කොළ වැනි ශාක වර්ග කීපයකි. පීල්ලට අවශ්‍ය සියලු කොටස් ද්‍රවයක් ලෙස එක්කොට ඇත.

මෙහි ඇති විශේෂත්වය සාමාන්‍ය වගා බිමක මෙන් වල් පැළ නෙළන්නට සිදු නොවීමය.

“මේකේ මූලික වියදම තමයි වැඩි. ඒ ආයෝජනය කළොත් අස්වැන්න අධික බව පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. පස් නැතුව වගා කිරීමේ මේ ක්‍රමය හඳුන්වන්නේ NFT යනුවෙන් (Nutrition Film Technology) එහෙත් මේ ක්‍රමයේ ආරම්භය සටහන් වන්නේ 1672 දීය. මෙම ක්‍රමයට බොහෝවිට යොමු වන්නේ ඉඩකඩ නොමැති තට්ටු නිවාසවල වාසය කරන නාගරිකයන්ය.

NFT ක්‍රමයට පෙර බොහෝදෙනා යොමුවී සිටියේ හයිඩ්‍රොෆොනික වගාවටය. මේ දෙකම බොහෝදුරට සමානය.

හයිඩ්‍රොෆොනික් යන පදය සකස් වී ඇත්තේ ‘හයිඩ්‍රො’ සහ පොනි යන ග්‍රීක වදන් දෙක ඇසුරිනි. හයිඩ්‍රො යන්න ජලය යන අර්ථය දෙන අතර පොනි යනු ශ්‍රමයයි. කෙසේ වෙතත් හයිඩ්‍රොෆොනික් යන වචනය මුලින් හඳුන්වා දී තිබෙන්නේ කැලිෆෝනියා සරසවියේ විලියම් ෆ්‍රෙඩ්රික් ගෙරික් විසින් 1929 වර්ෂයේදී බව ඉතිහාසයේ සඳහන්. හයිඩ්‍රොෆොනික් යනුවෙන් වදනක් ව්‍යවහාරයෙහි නොවූව ද පස් නොමැතිව පැළෑටි වගා කිරීම මුල්වරට සඳහන් කෘතිය වන්නේ 1627 දී පළකරන ලද ෆ්‍රැන්සිස් බේකන්ගේ ‘සිල්වා සිල්වරම්’ (Sylva Sylvaram) ය.

එය අපේ කනට නුහුරු නමක් නොවේ. ජෝන්ද සිල්වා, නිහාල් සිල්වා, ප්‍රෙඩී සිල්වා මෙන්ම ෆ්‍රැන්සිස් බේකන්ගේ සිල්වාසිල්වරම්ය. මේ වගා බිමේ අප දුටු විශේෂත්වය වන්නේ කෘමීන් විනාශ කිරීමට කෘමි නාශක නොව කෘමි උගුල් අටවා තිබීමය. මේ හරිතාගාර වගා ක්‍රමයත් සමඟම කාලගුණ හා දේශගුණික විපර්යාස මත භෝගයන්ට වන හානිය ඉතා අව මට්ටමක පවතී. එය ගොවිතැනට තාක්ෂණ ක්‍රමවේදය යොදා ගැනීමකි. මේ වගා ක්‍රමයෙන් අපට ප්‍රායෝගිකව වටහා දෙන්නේ අමුමිරිස් කිලෝව රුපියල් 2000/=, කැරට් කිලෝව රුපියල් 2000/=, දෙහි කිලෝව රුපියල් 3500/= යි කියමින් ආණ්ඩුවට සාප කරමින් නොසිට තමාගේ නිවෙසේ බැල්කනියේ, වහලයේ ශක්තිමත් තැනක හෝ මිදුලේ ඉඩ ඇති තැනක මෙවැනි කුඩා හරිතාගාරයක් ඉදිකොට ආර්ථික වශයෙන් ඒවා පරිභෝජනයට ගැනීමත් අතිරික්තය වෙළෙඳපළට නිකුත් කිරීම වඩාත් පලදායී බව කියන්නටය.

ඡායා – මාලන් කරුණාරත්න

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division