සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් නොවිය හැකි බැවින්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදු කරමින්, දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 09 වැනිදා ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධා සිදු නොවන ලෙස වාණිජමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වසර 2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
සමුළුව අමතා සිය ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍ය බවයි. එය ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) නායකයන්ට පමණක් කළ හැකි කාර්යයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.
ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.