ඔබ දැන් පොදු විපක්ෂයේ. පවත්නා ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ද ඔබ විපක්ෂයට යාමට තීන්දු කළේ?
මේ වන විට රටේ දැවෙනම ප්‍රශ්නය වී ඇත්තේ ආර්ථික ක්ෂේත්‍රයේයි. ඒ ක්ෂේත්‍රයේ ඇති වී ඇති ව්‍යාකූලතාවට විසඳුම් සෙවීම තමයි කාලීන අවශ්‍යතාව. මම දකිනවා සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයක් හරහා ඒ ප්‍රශ්න විසඳීමට හැකියාව පවතින බව.
වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් ඔබ විපක්ෂ නායකවරයාගේ නියමයන් අනුව කටයුතු කරන බව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වර්ජනය කිරීමෙන් පෙන්නුම් වුණා?
එදා අපි ගත් තීරණය නිවැරදියි. ඊට හේතු කිහිපයක් තියෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා නැවත විවෘත කිරීම සිදු කළා. එසේ කිරීමට කිසිදු සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. ජනාධිපතිවරයාට රාජාසන කතාව දිගින් දිගටම කිරීමේ ආසාවක් තියෙනවා. නමුත් එයින් සිදුවන හානිය කොතෙක්ද? මේ නිසා පාර්ලිමේන්තු කමිටු 91 න් 64 ක් අහෝසි වෙනවා. මුදල් ක්ෂේත්‍රයේ කමිටු 6 ඉදිරියේ මහ පරිමාණ දූෂණ වංචා පිළිබඳ විමර්ශන කෙරීගෙන යනවා. ඒවා සියල්ල මේ හරහා ඇණ හිටිනවා. නැවතත් මුල සිට ආරම්භ වී කාරක සභාවල නව සාමාජිකයන් පත්කර ගැනීමට සිදු වෙනවා. සියල්ල කරන්නේ මාස 6කට. දෙවැන්න ජනතාව විශාල පීඩනයකට පත් වී ඇති අවස්ථාවක මෙසේ මුදල් නාස්ති කිරීමට අපි විරුද්ධයි. තුන්වැන්න ප්‍රජාතන්ත්‍රවාදය මෙසේ මකා දැමීමට ගන්නා සැලසුම් සහගත උත්සාහය. ඒ හේතු නිසයි අපි නිවැරදි තීරණයක් එදා ගත්තේ. අපි වර්ජනය කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන අවස්ථාව පමණයි. නමුත් ඒ සඳහා වූ විවාදයට අපි සහභාගී වෙනවා.
නමුත් මේ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ඒ නියමයන් පැහැර හරිමින් තම ස්ථාවරයේම හිටියා?
මන්ත්‍රීවරුන්ට බල කරන්න බැහැ. මන්ත්‍රීවරයෙක් හිතනවා නම් තමන් සිටිය යුතුයි කියා ඔහු ඒ විදියට කටයුතු කළා. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ කැපී පෙනෙන ලක්ෂණයක්. කලින් විරෝධය දැක්වීමේ සූදානමක් තිබුණ ද කියා මම දන්නේ නැහැ. පක්ෂය තුළ සිදු වූ සාකච්ඡා පිළිබඳ මට හැඟීමක් නැහැ.
විපක්ෂ නායක ඇතුළු පිරිසට බලය ලැබුණොත් මේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට හැකිවෙයි කියා ඔබ සිතනවාද?
ඔව්. මම හිතනවා එතුමාට ඒ කටයුත්ත සාර්ථකව කරගන්නට හැකිවෙයි කියා. එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට ප්‍රථම විපක්ෂ නායකවරයා ලෙස සිටි ස්ථාවරය වුණේ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් ස්ථාපිත කළ යුතු බවට. ආහාර සුරක්ෂිත බව, ජනතාවට ඖෂධ ලබා ගැනීමේ හැකියාව, නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම, රජයේ ලාභ ලබන ආයතන රැක ගැනීම . ඒවා මූලික ප්‍රතිපත්ති. ඒවා අවශ්‍යය වෙනවා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ජනතාවට සෙතක් සැලසීමට. සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයකට මේ කටයුත්ත ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙයි කියලා අපි තරයේ විශ්වාස කරනවා.
වර්තමානයේ විපක්ෂයේ බේදීම් මේ ආකාරයෙන් ඇති වෙද්දි ඔබ හිතනවද විපක්ෂයට ඉදිරි ගමනක් ඇති බවට?
කොයි පක්ෂයේ ද එවැනි බෙදීම් නැත්තේ. එය එක් ආකාරයකට ගතහොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සුබ ලකුණක්. මත පිළිබඳ විවිධත්වයකට අවකාශ සලසා දීම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පක්ෂ තුළ පවතින හොඳ ලකුණක්.
ජනාධිපතිවරයාගේ රට ගොඩනැඟීමේ ආර්ථික වැඩ පිළිවෙළ ඔබ දකින්නේ කෙසේද? මේ වන විට සාර්ථකත්වයක් අත්විඳ ඇත්ද?
බලන්න සියල්ල සිහින මාළිගානේ. සියල්ල ප්‍රාතිහාර්යක් විදියට පෙන්වනවා. ජනතාව අද කොතෙක් දුක් විඳිනවද? මොකක්ද සිදුව ඇති ප්‍රාතිහාර්ය. ණය ප්‍රතිව්‍යූහගතකරණයෙන් සිදු කළේ කුමක්ද? සේවක අර්ථ සාධක අරමුදලෙන් 20%ක් අඩු කිරීම පමණයි. එසේ කරන අතර විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. ද්විපාර්ශ්වීය ණය හිමියන් පුද්ගලික ණය හිමියන් විදේශීය ණයට කෙහෙත්ම අත තබා නැහැ. මහ බැංකු අධිපතිතුමා අදාළ ඇමැතිවරු කිව්වේ මෙය මාසයකින් කෙරෙනවා, මාස දෙකකින් කෙරෙනවා කියලා. ද්වි පාර්ශ්වීය හා පෞද්ගලික ණය හිමියන් අනතුරු හඟවා තියෙනවා, ඔවුන් කිසිසේත් සැහීමකට පත් නොවන බව. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔවුන් පවසන්නට සූදානම් වෙනවා, තුන්වැනි වාරිකය නිකුත් කිරීමට පෙර මේ ප්‍රශ්න විසඳා ගත යුතු බව. මේ ප්‍රශ්න නොවිසඳී තුන් වන වාරිකය නිකුත් කිරීමට ඔවුන් විරුද්ධයිලු. කතාව පමණයි. දොඩවන්නේ පුරසාරම්. සිදු කළ යුතු කිසිවක් කෙරී නැහැ.
නමුත් මහ බැංකු අධිපතිවරයා පවසා තිබුණා, ඉදිරියේදී අපි ණය ගෙවීමට සූදානම් බව?
ඔහු මීට පෙරත් මේ කතාව කිව්වා. නමුත් මිනිය හැකි ප්‍රගතියක් අපි දකින්නේ නැහැ. දැනට කෙරිලා තියෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවට හිමිවිය යුතු අර්ථ සාධක අරමුදල කප්පාදු කිරීමක් පමණයි. 16%ක් පමණ කපා තියෙනවා. ඉන් එහා කිසිවක් සිදු කර නැහැ.
ණය නොගෙවා අපිට ඉදිරියට යාමට හැකිවෙයිද? ජනතාව කියනවා ණය ගෙවීම ආරම්භ වුණොත් ජීවන බර තවත් මීටත් වඩා තදින් දැනෙයි කියලා?
ණය ගෙවීම අවශ්‍යයයි. මෙය ආර්ථික අර්බුදයක් බව හැම දෙනාම පිළිගන්නවා. එයින් ගොඩ ඒම නම් සැමගේ දායකත්වයත්, සහභාගීත්වයත් අවශ්‍යයයි. රජයේ ප්‍රතිපත්තියේ මූලික දුර්වලතාව වන්නේ මේ වන විට පීඩනයට ලක් වී ඇත්තේ ආර්ථික වශයෙන් දුර්වල කොටස් වීමයි. ආර්ථික වශයෙන් ශක්තිමත් අයට කිසිදු පීඩනයක් නැහැ. ඒ අයට අත තියා නැහැ. එයින් සිදුවී ඇත්තේ සමාජ සාධාරණත්වය කණ පිට පෙරළීමක් . ජනතාව මේ වන විට පීඩාවට පත්වී ඇත්තේ ණය නොගෙවද්දි. උපයන විට බද්ධ 36%යි. සමාගම් බදු 30%යි. වැට් 18%යි. මේවා විදේශීය ණය ගෙවීමට පෙර තත්ත්වයි. ණය ගෙවීම ආරම්භ කළ පසු ඒ පීඩනය වැඩි වෙනවා මිස කිසිසේත් අඩු වීමක් සිදුවන්නේ නැහැ. මේ වන විට සිදුව ඇත්තේ ණය ගෙවීමෙන් අපිව තාවකාලිකව නිදහස් කිරීමක් පමණයි. සදාකාලික මුක්තියක් ලබා දී නැහැ. ණය ගෙවීම ආරම්භ කළ විගස ජනතාවට පැටවෙන බර විශාලයි.
ගෝඨාභය රාජපක්ෂ සමයේදී ණය ගෙවීමට ක්ලිෆඩ් සමාගම තෝරා ගැනීමේ කටයුත්තේදී කැබිනට් අනුකාරක සභාවේ සභාපතිවරයා වූයේ ඔබයි. එසේ විදේශ රටවල සහය නොමැතිව එදා ණය ගැටලු විසඳා ගැනීමේ ඉඩක් නොතිබුණේද?
සමාගම තෝරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ රට බංකොලොත්බව ප්‍රකාශ කිරීමට පෙර මීට වඩා සාකච්ඡා කිරීමට තිබුණා. ඒ ප්‍රකාශය සිදු කෙරුණේ ක්ෂණිකවමයි. රටක් බංකොළොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු කිසිවකුත් ණය දෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගිනි පොලියට ප්‍රාථමික ගැනුම්කරුවන්ගෙන් ණය මුදල් ලබාගෙන ගනුදෙනු කිරීමට සිදු වුණේ. එතැන අවශ්‍ය ප්‍රමානයට සාකච්ඡා අදහස් හුවමාරු කර ගැනීම් විකල්ප යෝජනා සලකා බැලීම් සිදු වුණේ නැහැ.
වර්තමානයේ රටේ උද්ධමනය අඩු වෙලා. බඩු ගන්න තිබුණත් ජනතාව අතේ මුදල් නැහැ. විපක්ෂය බලයට පත්වුණොත් මේ තත්ත්වයේ වෙනසක් ඇති කළ හැකි යැයි විශ්වාස කරනවාද?
මේ රජයේ එකම විසඳුම් දිගින් දිගටම බදු ගැසීම. නමුත් එක්තරා සීමාවකින් එහා එය ඵලදායි වන්නේ නැහැ. දරාගත හැකි බදු ප්‍රමාණයේ සීමාවක් තියෙනවා. ලංකාවේ තියෙන්නේ සංකෝචනය වන ආර්ථිකයක්. මේ නිසා අනිවාර්යයෙන් ජීවනෝපායන් අහිමි වෙනවා. ඒ නිසා මෙයට එකට විසඳුම ආර්ථික වර්ධනයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති කෙරේ මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සමාගමක් බැංකුවකින් ණයක් ගත් විට ඒ ණය ගෙවීමට නොහැකි වූ විට උකස් කළ ඉඩම සින්න වෙනවා. මේ සමාගම් වැසෙන විට රක්ෂා දහස් ගණනක් නැතිවී යනවා. මේ වන විට නව ලක්ෂ පනස් දහසකට පමණ රැකියා නැතිවෙලා තියෙනවා. එයට විසඳුම බදු ගැසීම නෙවෙයි. ආර්ථිකය පුළුල් කිරීමයි. අපේ ආණ්ඩුවක් බලයට පත්වුණොත් අපි මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවක් දියත් කරනවා.
මහ බැංකු අධිපතිවරයා පැවැසුවා කවුරු ආණ්ඩු කළත් යා යුත්තේ මේ ක්‍රමයෙන්ම පමණක් බව. විපක්ෂයටත් මේ කතාව අදාළයි?
මීට වඩා සුබ සාධන ප්‍රතිපත්තියක් කෙරේ අනිවාර්ය අවධානයක් යොමු විය යුතු වෙනවා. සෞඛ්‍ය, පෝෂණය, මන්ද පෝෂණය ගැන බලන්න. ලෝක බැංකු වාර්තාවන්ට අනුව අපේ රටේ පවුල් 10කින් 6ක්ම දෙවේලක් කෑමට නැතිව ප්‍රශ්න පවතිනවා. තව මාස 12කින් ඒ පවුල් 6 පවුල් 8 දක්වා වැඩි විය හැකියි. ඒ ගැන යමක් කළ යුතුයි. එසේ නැතිව මේ පාරෙම වෙනසක් නැතිව ගමන් කළ යුතුයි කීම වැරදියි. ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි
පොදු විපක්ෂයේ මැතිවරණ සූදානම කෙසේද?
අපි හොඳින් සූදානම් වෙමින් යනවා. නිල වශයෙන් ආරම්භ නොවුණට මූලික සැලසුම් සෑම අතින්ම සිදු කෙරීගෙන යනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ විපක්ෂ නායකවරයා. එය ප්‍රකාශයට පත්කරන අවසන්.
වත්මන් ජනාධිපතිවරයාට තවත් අවස්ථාවක් රට ගොඩ නැඟීමට ඉඩ දිය යුතු බව බොහෝ දෙනෙක් පවසනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
නැහැ. අපි ඒ තර්කය පිළිගන්නේ නැහැ. කබලෙන් ළිපට වැටීමක් පොදු ජනතාවට එයින් කිසිදු ආකාරයේ සෙතක් වෙයි කියා අපි අපේක්ෂා කරන්නේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයන් දිනයි හැකි යැයි කී දෙනෙක් අද විශ්වාස කරනවාද ? මහ පොළොවේ යථාර්ථය හුඟාක් වෙනස්. වත්මන් ජනාධිපතිවරයා යළිත් ජනාධිති වීම සාර්ථක වන්නේ නැහැ කියලා ජනතාව දන්නවා. විපක්ෂ නායකවරයාට රට ගොඩනඟා මේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දිය හැකි යැයි මම විශ්වාස කරනවා.
සුභාෂිණි ජයරත්න