Home » කොලොන්නේ සිසුවකුට වට්ස්ඇප් ඔස්සේ ගුරු උපදේශක එවූ අපූරු පණිවිඩය

කොලොන්නේ සිසුවකුට වට්ස්ඇප් ඔස්සේ ගුරු උපදේශක එවූ අපූරු පණිවිඩය

by thanushika
February 17, 2024 12:30 am 0 comment

දරුවන් මල් වැනි යැයි කියති. එවැනි මල් වැනි දූ දරුවන් රැක බලා ගැනීම ගුරු දෙගුරුන්ගේ යුතුකමකි. එවැනි ගුරු දෙගුරුන් අතින් මල් වැනි දරුවන් අපයෝජනයට, කෙලෙසීමට, අපචාරයට ලක්වනවා නම් ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව යන්න’ හැම දෙනාටම සිහිපත් වනු ඇත.

මල් වැනි දූ දරුවන් සමහර ගුරුවරු අතින් අතවරයට, අපයෝජනයට, අපචාරයට ලක්වීමේ සිදුවීම් ගණනාවක් ජනමාධ්‍ය පසුගිය කාලයේ වාර්තා කළේය. ආසන්නම සිදුවීම උපකාරක පන්ති පවත්වන කළුතර ගුරුවරයකු අතින් දූ දරුවන් කීප දෙනෙකු අපයෝජනයට ලක්වීමයි. මීට අදාළ ගුරුවරයාට මේ වන විට නීති මඟින් කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

පාසල් සිසු සිසුවියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය පරිහරණය කරති. කොරෝනා වසංගතයත් සමඟ අධ්‍යාපන කටයුතුද බොහෝ දුරට සිදු කෙරුණේ ‘ඔන්ලයින්’ හෙවත් ‘මාර්ගගත’ ක්‍රමය ඔස්සේය.

ඒ අනුව සිසු සිසුවියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විශේෂයෙන් වට්ස්ඇප් සමූහ සකස් කරගෙන ඒ මඟින් සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ පණිවිඩ හුවමාරු කර ගනිමින් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ගන්නේ අති විශාල උත්සාහයකි.

එහෙත් ඉතා සුළු පිරිසක් වන අන්තර්ජාල අපරාධකරුවන් සහ විවිධ මානසික මට්ටම්වලින් යුත් පුද්ගලයන් අන්තර්ජාලය පරිශීලනය කරන ඇතැම් සිසු සිසුවියන් නරකට පොළඹවා ගැනීමේ සිදුවීම් ගණනාවක් ද පසුගිය කාලයේ වාර්තා විය.

ඉතාම සූක්ෂමව අන්තර්ජාලය ඔස්සේ සිසු සිසුවියන් ග්‍රහණය කරගන්නා මේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් සමහර අවස්ථාවල සිසු සිසුවියන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන් බිය ගන්වා තමන්ගේ පටු ආශාවන් සංසිඳවා ගැනීමේ සිදුවීම් රැසක් ද ජනමාධ්‍ය පසුගිය කාලයේ වාර්තා කර තිබිණි. මේ සිදුවීම් දාමයට සමාන ආසන්නම සිදුවීම වාර්තා වන්නේ සබරගමු පළාතේ රත්නපුර දිසාවේ කොලොන්න ප්‍රදේශයෙනි. එම සිද්ධියද ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව’ යන කියමන සිහිපත් කරන්නකි.

ඔහු කොලොන්න ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. වයස අවුරුදු 16 කි. අධ්‍යාපනය ලැබුවේ එකොළොස් වැනි ශ්‍රේණියේය.

මේ සිසුවාද සිය අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය පරිශීලනය කරයි. සිය අධ්‍යාපන කටයුතුවල සාර්ථකව නිරත වන මේ සිසුවාගේ ජංගම දුරකතනයට පසුගිය දිනෙක නිරුවත් ඡායාරූප කීපයක් ලැබෙන්නේ හදිසියේමය. ඒවා දුටු සිසුවා මවිත විය. ඒ සමඟම සිසුවාගේ ජංගම දුරකතනයට තවත් එවැනිම නිරුවත් ඡායාරූප ගොන්නක් ලැබුණේ සිසුවා බලාපොරොත්තු නොවූ පරිදිය. මේ සිද්ධියෙන් එම සිසුවා දැඩි මානසික පීඩනයකටද ලක් විය. නිරුවත් ඡායාරූප සිසුවාගේ ජංගම දුරකතනයට එවන පුද්ගලයා එතැනින් නැවතුණේද නැත. ඔහු තවත් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමද සිසුවාට යොමු කෙරුණේ අන්තර්ජාලය ඔස්සේය. ඉන් කියැවු‍ණේ සිසුවාගේ නිරුවත් ඡායාරූපද තමා වෙත එවන ලෙසයි. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ තමාගේ ජංගම දුරකතනයට එවන පුද්ගලයා කවුරුන්දැයි සොයා ගැනීම සිසුවාගේ ඊළඟ අරමුණ විය. සිසුවා තම මවුපියන් මේ ගැන දැනුවත් කරන්නේ ඉන් අනතුරුවය. තම පුතු මුහුණ පා සිටින අසීරු අවස්ථාව ඉතා හොඳින් කළමනාකරණය කරගත් මවුපියෝ මේ ගැන හොඳින් කරුණු සොයා බලා ගත යුතු පියවර ගැන තීරණයකට එළැඹෙන්නේ ඉන් පසුවය.

මේ සිද්ධිය ගැන රත්නපුර දූෂණ විරෝධි ඒකකයේ නිලධරයෙකුට හෙළි කිරීමෙන් අනතුරුව කොළඹ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දරට පැමිණිලි කෙරිණි. ඇඹිලිපිටිය කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කොලොන්න පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඒ අනුව විමර්ශන ආරම්භ කරන ලදී. සිසුවාට මෙසේ නිරුවත් ඡායාරූප එවන සහ සිසුවාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉල්ලා සිටින පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීම විමර්ශන නිලධරයන්ගේ ඊළඟ උත්සාහය විය.

පොලිස් විමර්ශන නිලධාරීන් පුදුමයෙන් පුදුමයට පත්වූයේ මේ පුද්ගලයා කවරෙකුදැයි හඳුනා ගැනීමත් සමඟය. අදාළ පුද්ගලයා ගුරු උපදේශකවරයකු බවට හඳුනා ගැනෙන්නේ ඒ අනුවය. ඔහු ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ රාජකාරි කරන අයෙකි. ඔහු සොයා යන පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. සැකකරුගෙන් මේ ගැන ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

පොලිසිය මේ සැකකරු පිළිබඳව විමර්ශන ආරම්භ කරද්දී අනාවරණය වූයේ ඔහු වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයෙකු බවය.

මේ පුද්ගලයා මේ ලෙසම තවත් ළමයින්ට අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප යවා ඇත්දැයි සෙවීම සඳහා පොලිසිය මේ වන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන බව දැන ගන්නට ඇත.

පිරිමි ළමයින් අපයෝජනය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත්කරන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ පසුගිය සතියේය. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ ව්‍යවස්ථා කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division