Home » යුක්තියට බයේ මොරටුවැල්ලෙන් ඌවට පැන්න කුඩු ජනා

යුක්තියට බයේ මොරටුවැල්ලෙන් ඌවට පැන්න කුඩු ජනා

by thanushika
February 17, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමඟම මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන්, මිනීමරුවන් රැසක් විදෙස් රටවලට පලාගොස් ඇති බවට මේ වනවිටත් තොරතුරු ලැබී ඇත. ඔවුන් එසේ පලාගොස් ඇත්තේ නීතියෙන් බේරීමට වුවද එම අපරාධකරුවන් ගැන ‘තෝම්බුවක්’ පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ අතට මේ වන විටත් පත්ව ඇත. මේ කල්ලි කණ්ඩායම් අත්අඩංගුවටගෙන මෙරටට ගෙන්වා ගැනීම පිණිස අදාළ රටවල් සමඟ සාකච්ඡා කිරීමට මෙරට බලධරයන් දැනටමත් පියවරගෙන තිබීම රහසක් නොවේ.

මෙහෙයුම්වලට බියෙන් ඩුබායි ඇතුළු රටවල්වලට පලා යන පාතාලයන්, කුඩු ජාවාරම්කරුවන්, අපරාධකාරයන් එම රටවල සිට මෙරට සිටින ඔවුන්ගේ ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සිදු කරවන බව සැම දෙනාම හොඳින් දන්නා කාරණාවකි. එහෙත් යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමෙන් අනතුරුව මෙරට සිටින එම ගෝලබාලයන්ටද මේ වන විට සිදුවී ඇත්තේ පොලිස් සහ ආරක්ෂක අංශවල අත්අඩංගුවෙන් ගැලවී සිටීම සඳහා තමන් සිටින ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවලට පලාගොස් වෙස්වළාගෙන සැඟවී සිටීමටය. එහෙත් දෛවයේ සරදමකටදෝ මේ කල්ලි කණ්ඩායම් පසුගිය දිනවල දිගින් දිගටම පොලිසියට කොටු වූයේ මහජනතාවගෙන් ලැබුණු තොරතුරුවලට අනුවය.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු ෂෝටා’ද පොලිසියට කොටුවන්නේ යුක්තිය මෙහෙයුමට බියෙන් තම ගම් පළාත අතහැර හොරණ ප්‍රදේශයට පලාගොස් සිටියදීය. හොරණ ගම්බද ප්‍රදේශයක දේවාලයක ආවතේවකරුවකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ ෂෝටා පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට කොටුවන්නේ පසුගියදාය. තමන් එසේ පොලිසියට හසුවනු ඇතැයි කුඩු ෂෝටා කිසිම දිනෙක සිතන්නට නැත.

මේ ආකාරයෙන්ම යුක්තිය මෙහෙයුමට බියෙන් තම ගම් ප්‍රදේශය අතහැර පිට පළාතකට ගොස් සැඟවී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලා ගැනීමට පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධරයන්ට පසුගියදා හැකි විය. මොරටුව, මොරටුවැල්ල, එගොඩඋයන ප්‍රදේශය හොල්ලාගෙන රුපියල් ලක්ෂ ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ මාදංගහවත්තේ ජනාටද පසුගියදා සිදු වූයේ පොලිස් කුඩුවේ ළඟින්ටය. ඒ පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සිදු කරන ලද සියුම් එසේම දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

‘මාදංගහවත්තේ ජනා’ කුඩු ජාවාරමට හුරුපුරුදු වන්නේ ඔහුගේ ප්‍රධානියා වන දේවේන්ද්‍ර හෙවත් දේවාගේ උපදෙස් සහ මඟපෙන්වීම මතය. දේවා මේ වන විට රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුලී මිනීමරුවන් බොහෝ දෙනෙකු මේ වන විට රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.

දේවේන්ද්‍ර හෙවත් දේවාද ඩුබායිහි රැඳී සිටින අතරේ මාදංගහවත්තේ ජනා ලවා මොරටුව, මොරුටුවැල්ල, එගොඩඋයන ප්‍රදේශවල සිය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ කලක සිටය. ජනා මේ ජාවාරම් සිදු කරන්නේ ඔහුගේ ගෝලබාලයන් ලවාය. දේවේන්ද්‍ර කුඩු රජදහන බවට පත්කරගෙන සිටි ගල්කිස්ස, මොරටුව ප්‍රදේශවල පාණදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහෙයුම් සිදු කරන්නේ දේවාගේ කුඩු ආධිපත්‍යය බිඳ දැමීම සඳහාය. එය සාර්ථක විය.

යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමඟ පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ද ජනා ගැන තොරතුරු සොයන්නට ගන්නේ ඔහු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිසාය. මේ ගැන ජනාට ද ඉව වැටී තිබිණි. ඔහු මොරටුවැල්ලෙන් අතුරුදන් වන්නේ ඒ නිසාය.

ජනා මොරටුවැල්ලෙන් ආගියඅතක් නැති බව පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් දැනගන්නේ ඒ අතරේය. එම නිලධාරීන් ඔහු ගැන තොරතුරු සොයද්දී සියයට සියයක් නිවැරදි තොරතුරු එම නිලධාරීන්ට ලැබිණි. ඒ ජනා මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව කුඩාඔය ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සැඟවී සිටින බවටය.

පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ වත්මන් අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් බුද්ධි නිලධාරී සැරයන් (4281) ජයලාල් ඇතුළු කණ්ඩායමක් ඌව කුඩාඔය, ඇතිලිවැව ප්‍රදේශවල ආවේක්ෂණ රාජකාරිවල නිරත වන්නේ ජනා සොයාය.

බුද්ධි නිලධාරි සැරයන් ජයලාල් මෙවැනි මෙහෙයුම්වලට බුද්ධි තොරතුරු සහ විමර්ශනවලින් අගනා සහයක් දෙන දක්ෂ නිලධාරියෙකි. ඔහු මීට පෙර සිදු කළ විමර්ශන ගණනාවක් ඉතා සාර්ථක විය.

ජනා අල්ලා ගැනීම සඳහා ඌව කුඩාඔය සහ ඇතිලිවැව ප්‍රදේශවල ‘කරක් ගැසූ’ පොලිස් කණ්ඩායමට නායකත්වය දුන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍රය. උප පරීක්ෂක සඳරුවන් ඇතුළු කණ්ඩායමක්ද මේ විමර්ශනවලට දායක විය.

සැරයන් ජයලාල්ගේ බුද්ධි තොරතුරුවලට අනුව විමර්ශන කටයුතු සිදු කළ පොලිස් කණ්ඩායමට ජනා කොටුවන්නේ නොසිතූ මොහොතකදීය. ඔහුගේ දෑතට මාංචු වැටිණි. ජනා අල්ලාගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑම් 490ක් තිබිණි.

“සර්ලා මාව හොයාගෙන එනවා කියලා මම දන්නවා“ ජනා එසේ පොලිස් නිලධාරීන්ට පැවැසුවේ තමා කවදාහරි කොටුවන්නේ වලාන ටීම් එකට බව ද දැන සිටී නිසාය.

ජනා ගැන තවත් තොරතුරු එළියට එන්නේ ඔහු අල්ලා ගැනීමෙන් පසුවය.

ජනාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයකින් නිකුත් කළ විවෘත වරෙන්තුවක් ඇති බව පොලිස් නිලධාරීන් දැනගන්නේ ඔහු ගැන සිදු කළ විමර්ශනයකිනි. අරගල සමයේ මොරටුවේ රටබීම හලක් කොල්ලකෑම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇති අතර එම නඩුවද මේ වන විට විභාග වෙමින් පවතින බව ද හෙළි විය. ජනා අල්ලා ගන්නා අතරේ මොරටුවැල්ලේ ඔහුගේ මත්කුඩු රාජ්‍යය විනාශ කිරීම සඳහාද පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධරයන් අතගසා තිබිණි. ජනා ළඟින්ම සිට මත්ද්‍රව්‍ය ජාවාරම නිරුපද්‍රිතව සිදු කරගෙන ගිය ගෝලබාලයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. එලෙස අල්ලාගත් තිදෙනා සන්තකයේ තිබී ‍හෙරොයින් ග්රෑම් 19ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 48ක් මුදලින් රුපියල් 234480ක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. මේ තිදෙනා එලෙස වරින්වර අල්ලා ගන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරු මතය.

ජනා සහ ගෝලබාලයන් තිදෙනා සහ නඩු භාණ්ඩ විමර්ශන සඳහා මොරටුව පොලිසියට භාර කැරෙන්නේ ඉන් අනතුරුවය.

පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, පොලිස් පරීක්ෂක සම්පත්, උප පරීක්ෂකවරුන් වන සඳරුවන්, රත්නායක, චතුරංග ජයවීර සැරයන්වරුන් වන 34950 සම්පත්, 38213 ක්‍රිෂාන්ත, 75056 ඉන්දික පොලිස් සැරයන් රියැදුරු 11919 අජිත් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 84889 උදය කුමාර 87119 අමිල 39850 අශාන් 91305 රශ්මිත 92896 අතුල 94009 සියන්ත 91238 සංජීව 92905 අමිල 26823 පෙරේරා 10455 ලතීෂ 104643 සේනාරත්න 104891 හිරුෂාන් 104327 දිල්ෂාන් 104679 නෙරංජන් 104914 චෙන්මදිරාජා 104792 අබේසේකර 105703 ප්‍රනාන්දු කොස්තාපල්වරියන් වන 11352 දිල්හාරා 13022 මෙලනි 13103 සමිතා පොලිස් කොස්තාපල් රියැදුරන් වන 80831 උදේශ, 16227 උදාර, 105529 සිල්වා, 105536 මල්ලිමාරච්චි, 105577 රත්නායක යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division