ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ හාස්කම් ගැන පෞද්ගලිකව මා ලද අත්දැකීම් පෙරටු කරගෙන ලියන ලිපි පෙළේ 5 වැන්නයි මේ. මේ ලිපිපෙළ මෙතෙක් කියවූ අයට ගම්බාර දෙවියන්ගේ හාස්කම් පිළිබඳව යම් හෝ දැනුම්වත්භාවයක් මේ වන විට ඇතැයි සිතමි. ලිපි පෙළ කියවන්නට නොහැකි වූ අය පසුගිය පත්‍ර සොයාගෙන පරිශීලනය කරන්න.
ගම්බාර දෙවියන් හෙවත් සිද්ධ සූනියම් දෙවියන්ගේ හාස්කම් බොහෝය. කියා නිම කළ නොහැකිය. උන්වහන්සේගේ පිහිට අපේක්ෂා කරන අය නිසි පරිදි පේවී අදාළ වත්පිළිවෙත් නිසියාකාරයෙන් කරන විට පිහිට නිතැතින්ම ලැබෙන බව මා පවසන්නේ මගේ අත්දැකීමෙනි.
ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගෙන් යමක් ඉල්ලීම හෝ උන්වහන්සේට යමක් කීමට පෙර පහත සඳහන් ස්තෝත්‍රය 7 වර කීමෙන් ඔබගේ සිතැඟි බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉටු වනු ඇත. උන්වහන්සේ සුවඳට ප්‍රිය කරන දෙවි කෙනෙක් බැවින් අඩුම තරමේ සමන්පිච්ච මල් 21වත් තබා බුලත් කොළයක් මත මැටි පහනක් තබා එලඟිතෙලෙන් දල්වා සුවඳ දී පන්සිල්ගෙන සිත පහදවා පුර පක්ෂයෙන් ආරම්භකර පුරුද්දක් වශයෙන් කරගෙන යාමේදී උන්වහන්සේගේ ඇල්ම බැල්ම ලැබී ඔබගේ සකලවිධ ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉටුවනු ඇත.
මෙයින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබට හැකිනම් ගල ගා ගත් සුදු හඳුන් බුලතකට ගෙන ඇස්ස ගැසූ තැඹිලි ගෙඩියක් තබා කහ දියර ඉස ක්‍රමානුකූලව සිදු කරන්නේ නම් කල් නොගොස් සියලු ආරක්ෂාව ලැබී යහපත උදා වී ජීවිත සැනසීම ලැබීම මෙන්ම අගහිඟකම් සතුරු උවදුරු දුරු වී සිත නිවී ආරක්ෂාව උදා වනවා ඇත. ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් එවන් බලගතු පොළෝවාසි තේජස් අනුහස් ඇති දෙවි කෙනෙකි.
ජ්‍යොතිර් විද්‍යාවිශාරද කේ. එස්. එස්. යෝදින්ගේ