Home » නිපුණතා අංක 4 හිමි අයට‍ හොඳින්ම ගැළපෙන්නේ අංක 4ම හිමි අයයි

නිපුණතා අංක 4 හිමි අයට‍ හොඳින්ම ගැළපෙන්නේ අංක 4ම හිමි අයයි

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

මේ ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කොතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 4 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

• නිපුණතා අංක 4ට නිපුණතා අංකය 1 වන අයගේ ගැළපීම

මෙවැනි දෙදෙනෙක් සබඳතාවක් ගොඩනඟා ගැනීමේදී කල්පනාකාරී වීම වැදගත් වෙයි. අංක හතර හිමි පිරිමියාට අංක එක හිමි ස්ත්‍රියගෙන් ලැබෙන සහයෝගය අඩු විය හැකිය. මෙය දුර්වල, ගැළපීම අඩු සබඳතාවක් ලෙස සඳහන් කළ හැකිය. අංක 4 පිරිමියා සහ අංක එක ස්ත්‍රිය අතර අදහස් සිතුම් පැතුම් එකිනෙකට පරස්පර වෙයි. අදහස් සහ ආකල්පවල නොගැළපීම් පවතී. හොඳ ගැළපීමකට අවශ්‍ය කායික මානසික අාධ්‍යාත්මික එකඟතාව අඩු කරයි. ලිංගික ජීවිතයටද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි අතර සතුටුදායක නොවිය හැකිය. මෙම සබඳතාවන් තුළ නිතරම දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙයි. මෙහිදී අංක එක පිරිමියා වී අංක හතර ස්ත්‍රිය වුවද එතරම් සාර්ථක නොවේ. මේ අය බොහෝ විට එක්කෙනෙක් කැමති වන දෙයට අනෙකා කැමති නොවේ. එය සාමූහික ගමනට බාධාවක් වෙයි.

• නිපුණතා අංක 4ට නිපුණතා අංක 2 වන අයගේ ගැළපීම

මෙය හොඳ සබඳතාවකි. අංක දෙකෙන් උපන් පුද්ගලයා යහපත් ගති ඇති හොඳ කල්පනා ශක්තියකින් යුක්ත ලැජ්ජාශීලි ඉදිරිපත් වීමේ ගුණාංග අඩු සාමකාමී තැනැත්තෙකි. අංක හතරෙන් උපන් අය දුරදිග බලා කටයුතු කරන ගෙදර කටයුතු මනා ලෙස සංවිධාන කිරීමේ දක්ෂ හොඳ කළමනාකරණ හැකියාවකින් යුතු ප්‍රායෝගික ගති ඇති අයෙක් වෙයි. මේ අනුව දෙදෙනාගේ ගැළපීම ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි. අංක දෙක පිරිමියා තුළ යම් ආකාරයක ස්ත්‍රිය පිළිබඳව සැකය අවිශ්වාසය ඇති කළද අංක හතර ස්ත්‍රිය පිරිමියාව හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීමට බුද්ධිමත් වෙයි. ඇයට හොඳ ඉවසීමේ ශක්තියක් සහ දරා ගැනීමේ හැකියාවක් ඇති බැවින් සියලු චෝදනා දරාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇත. මෙහිදී අංක හතර පිරිමියා වී අංක දෙක ස්ත්‍රිය වීම තුළ මේ තත්ත්වයන් තරමක් වෙනස් වෙයි. මෙහිදී අංක දෙක ස්ත්‍රිය තමාගේ සැකය අවිශ්වාසය සහ ඉක්මන් කෝපය පාලනය කරගැනීමට උනන්දු විය යුතුය. අතර අංක හතර පිරිමියා ඇයව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. අංක හතර පිරිමියා තුළින් ඇයට ආදරය රැකවරණය ලැබෙන අතර හොඳ සහයෝගයක් ස්ත්‍රියට ලබා දෙයි. ස්ත්‍රිය ද ආත්ම විශ්වාසයෙන් හොඳ සහයෝගිතාවක් දැක්වීම තුළ දෙදෙනාගේ ජීවිතය ගැටලුවලින් තොරව සාමකාමීව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇත.

• නිපුණතා අංක 4ට නිපුණතා අංක 3 වන අයගේ ගැළපීම

යම් අයකුගේ සම්බන්ධතාවකදී නිපුණතා අංක 4 සහ 3 වේ නම් එය සාමාන්‍ය මට්ටමේ සම්බන්ධතාවකි. ගැටලු ප්‍රශ්න බාධා අවහිරතා මැද ඉදිරියට යාමට සිදු වෙයි. මෙම අංක තුනට සහ හතරට හිමි ලක්ෂණ එකිනෙකට තරමක් නොගැළපෙන ස්වභාවයක් ඇති කරයි. අංක තුනෙන් උපන් කෙනා කල්පනාකාරීව කටයුතු කරන දක්ෂ නිපුණතාවකින් යුක්ත සරල ගති පැවතුම්වලින් යුතු ඕනෑම දේකට නොබියව මුහුණ දෙන විශාල බලාපොරොත්තු නැති නිදහස්කාමී පුද්ගලයෙක් වෙයි. නිපුණතා අංක හතර පුද්ගලයා අභියෝග සහ අවදානම්වලට මුහුණ දීමට එතරම් කැමැත්තක් නොදක්වයි. ලෞකික දියුණුව පිළිබඳ වෙහෙසෙමින් කටයුතු කරයි. යම් ඒකාකාරී මට්ටමක ජීවිතය පවත්වාගෙන යන අතර ඉක්මන් වෙනසකට කැමති නොවෙයි. එමෙන්ම මොවුන්ගේ සෑම දෙයක්ම ඉතා පිළිවෙළක් මෙන්ම ක්‍රමවත් විධිමත් බවක් දැකිය හැකිය. මේ ආකාරයට එකිනෙකට නොගැළපෙන අදහස් මත දරන බැවින් ඒවා ගළපා ගැනීමට දෙදෙනාටම මනා උත්සාහයක් සහ සංයමයක් තිබිය යුතුය. ස්ත්‍රී පුරුෂ දෙදෙනාට මේ අංක කුමන ආකාරයකින් යෙදුණද මේ තත්ත්වය මේ ආකාරයෙන් බලපායි. මෙහිදී බොහෝ විට අංක තුන පුද්ගලයා තුළින් අංක හතර පුද්ගලයා වැඩිපුර පීඩාවට පත් වන බවක් දැකිය හැකිය. කෙසේ වෙතත් අංක හතර පුද්ගලයා තම ස්ථාවර භාවය නොවෙනස්ව පවත්වාගෙන යෑමට සමත් වෙයි. මේ කාරණා මත මේ සියලු දේවල් පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණක් මෙවැනි දෙදෙනකුගේ සබඳතාව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි.

• නිපුණතා අංක 4ට නිපුණතා අංක 4 වන අයගේ ගැළපීම

දෙදෙනාගේම නිපුණතා අංකය අංක හතර වේ නම් එය ඉතාමත් යහපත් ශක්තිමත් සම්බන්ධතාවකි. දෙදෙනාගේම අදහස් සිතුම් පැතුම් සහ ආකල්ප එකිනෙකට ගැළපීමක් ඇති කරන අතර අාධ්‍යාත්මික කායික මානසික සබඳතාවන් අතර හොඳ සහයෝගිතාවක් දැකිය හැකි වෙයි. අංක හතර පිරිමියාගෙන් අංක හතර ස්ත්‍රියට යහපත් හොඳ ආරක්ෂාවක් ලැබෙන අතර දෙදෙනා එකතු වී සාර්ථක අනාගත සැලැස්මක් නිර්මාණය කරයි. දෙදෙනාට ගෘහ ජීවිතය සාමකාමීව පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි. දෙදෙනා එකතුව ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ගෙවල් දොරවල් ඇතුළු භෞතික සම්පත් ගොඩනඟා ගැනීමට සමත් වෙයි. දෙදෙනා අතර ඇතැම් විට යම් මතභේද සහ සිත් රිදීම් ඇති වුවද ඒවා එතරම් දුරදිග යන්නේ නැත. ඉතා කෙටි කලක් තුළ සියල්ල අමතක කර දමා නැවතත් ඉතා ආදරයෙන් සහ සතුටින් යුතුව ජීවිතය පවත්වාගෙන යාමට හැකියාව ඇති කරයි. මෙවැනි පුද්ගලයන් අතර ඉතා හොඳ විශ්වසනීයභාවයක් දැකිය හැකිය. මොවුන් බොහෝ විට ප්‍රීතිමත් සරල ජීවන රටාවක් අනුගමනය කරයි.

• නිපුණතා අංක 4ට නිපුණතා අංක 5 වන අයගේ ගැළපීම

මෙම අංක දෙක හිමි පුද්ගලයන් අතර ද යහපත් ආකාරයේ සබඳතාවක් පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. අංක පහ අයගේ ආදරණීය බව සහ ඕනෑම තැනකට අනුව වෙනස් විය හැකි ස්වභාවයත් අංක හතර හිමි අයගේ ප්‍රායෝගික බව සහ ක්‍රමානුකූල ජීවන රටාවත් එකිනෙකට ගැළපීම අනුව ගෘහ ජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමට හැකියාව ඇති කරයි. අංක හතර හිමි පිරිමියා තුළින් අංක 5 ස්ත්‍රියට ඉතා හොඳ ආරක්ෂාවක් රැකවරණයක් සැලසෙන අතර අංක 5 ස්ත්‍රිය තුළ පවතින්නා වූ බුද්ධිමත්භාවය සහ තැනට සුදුසු ආකාරයෙන් කටයුතු කිරීමත් උත්සාහවන්ත භාවයත් සැලකිල්ලට ගෙන ඇය අතින් වන්නා වූ පුංචි පුංචි අඩුපාඩු සහ දුර්වලතා එතරම් ගණන් නොගෙන සමාව දීමට අංක හතර පිරිමියා සූදානම් වෙයි. මෙම අංක දෙක මාරුවී එනම් පිරිමියා අංක පහ වීම තුළ ඔහු දැඩි නිදහසක් අපේක්ෂා කරන අතර තමාගේ කැමැත්ත අනුව තීන්දු තීරණ ගැනීමට පෙලඹීමේ ස්වභාවය ඇති කරයි. නමුත් මෙහිදී අංක හතර ස්ත්‍රියගේ ක්‍රමානුකූල බව හා සංවිධානාත්මක හැකියාව මඟින් ගෘහ ජීවිතය මනාව සැලසුම් කිරීමට හැකියාව ලැබෙන අතර ගැටුම් අවම කරගෙන ඉදිරියට යාමේ හැකියාව ඇති කරයි. කෙසේ වුවද බාධා අවහිරතා මැඬගෙන සතුටින් ජීවත්වීමේ අවස්ථාව උදාකර ගනියි.

නිපුණතා අංක හතරට නිපුණතා අංක 6, 7, 8, 9 අයගේ ගැළපීම ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division