මිදුල අමදමින් සිටි අනෝමා ගැස්සී ගියේ කඩුල්ල ඉදිරිපිට වැඩහිටි සංඝයා වහන්සේ දැකීමෙනි. ඉදල ගහකට හේත්තු කළ ඇය ගෙතුළට දිවගියේ දානයට කුමක් පූජාකළ යුතුදැයි කල්පනා කරමිනි. දිවා ආහාරය සඳහා මඤ්ඤොක්කා අල කෑලි දෙකක් සූදානම් කර තිබූ නමුත් එය තම්බාගන්නට කල්වේලා වැඩියැයි සිතා සිටීම ගැන ඇය බොහෝ සේ පසුතැවිලි වූවාය. එක්වරම ඇයට සිහියට නැගුණේ සියඹලා ගහ ළඟ කඩයෙන් ගෙනැවිත් තිබූ සීනි දෙසිය පනහේ ගොටුවය. එය පීරිසියක තබාගත් ඇය කඩිනම් ගමනින් ගොස් ස්වාමීන් වහන්සේගේ පාත්‍රය තුළ තැන්පත් කළේ දැඩි භක්තියකිනි.
“පින්සිද්ධ වේවා!”
අසුරු සැණින් ඇගේ දෑස් හිමියන්ගේ මුහුණට එල්ල වූවාත් සමඟම තමාගේ දෙපා අප්‍රාණික වූ බව අනෝමාට දැනිණ. ස්වාමීන් වහන්සේ ආපසු හැරී වැඩි බවවත් ඇයට නිනව් නොවීය. දානය පිරිනමා බිම දණගසා වඳින්නට නොහැකිවීම ගැන ඇයට සිත හදාගන්නට නොහැකිය. බුද්ධ පුත්‍රයාගේ රුව ගුරු පාරේ ඈත වංගුවෙන් නොපෙනී යනතෙක්ම ඇය බලා සිටියේ සිහි එළවාගත නොහැකිවය.
නිවෙසේ එළිපත්තේ වාඩි වූ ඇගේ සිත රූං ගා පියාඹා ගියේ වසර විස්සකටත් වඩා එපිටටය.
අනෝමා මැහුම් පන්ති යන්නට බස් නැවතුම්පොළේ සිටියදී ප්‍රියන්ත මුණ ගැසුණේ අහම්බෙන් මෙනි. “අද බස්වල හරි සෙනඟ. මොකද දන්නෙ නෑ” ප්‍රියන්ත කීවේ අනෝමා දෙස බලමිනි. ඇය සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.
පසුවදා ද ඇයට ප්‍රියන්ත හමු වූ නමුත් එකිනෙකා මුහුණ බලා සිනාසුණා මිස වචන හුවමාරුවක් සිදු නොවීය. දින කිහිපයකට පසුව ඔවුන් දෙදෙනා හමු වූ මොහොතේ කතාබහ කළේ කලින් හොඳින් දැනසිටි අයවලුන් සේය.
“ඔයා මැහුම් පන්තියකට නේද යන්නෙ?” ඔහු ඇසීය.
“කොහොමද දන්නෙ?” ඇයට ඉබේම කියවිණ.
“ඔය අතේ තියෙන පොත් දිහා බැලුවම හිතාගත්තෑකි”
අනෝමාට සිනා ගියේය. “මහත්තයා කොහෙද වැඩ කරන්නෙ?” ඇය ඇසුවේ ඔහුගේ පිරිසිදු ඇඳුම් කට්ටලය දෙස බලමිනි.
“මම ප්‍රයිවට් කම්පැනියක ක්ලාක් පෝස්ට් එකක් කරනවා.”
ඔවුන්ගේ ඇසුර ඔවුන් නොදැනුවත්වම ස්ථිර වූවා මෙන්ම විවාහය දක්වාම ගියේ දෙදෙනාට දෙදෙනා බෙහෙවින් ආදරය කළ බැවිනි. දෙගොල්ලන්ගේම නිවෙස් පිහිටියේ කිලෝ මීටරයක පමණ දුරකින් නිසා අනෝමාට ප්‍රියන්තගේ නිවෙස ආගන්තුක නිවෙසක් නොවීය. අනෝමාගේ පවුලේ තත්ත්වයට වඩා ප්‍රියන්තගේ පවුල් පසුබිම තරමක් ඉහළ වුවද දෙගොල්ලන්ගේ සුහදත්වයට එය බලපෑවේ නැත.
නමුත් ඒ සම්බන්ධතාව වසර දෙකක් යනවිට ඉරිතළා ගියේ අනෝමාට දරු සම්පත් නැතිබව හෙළි වූ දින සිටය.
ප්‍රියන්තගේ හිත මිතුරකු වූ ගාමිණී අතේ මිටේ සල්ලිය බාගෙ ගැවසුණු වාහන සහ ඉඩම් සම්බන්ධ බ්‍රෝකර් කෙනෙකු වූ අතර නිතර නිතර ප්‍රියන්ත හමුවීමට ඔහුගේ නිවෙසට ආව ගියේය. අනෝමා සමඟ හිතවත්කමක් ගොඩනඟා ගැනීමට ඔහුට මහ කාලයක් නොගියේය. මේ අතර නැන්දම්මා සහ ලේලිය අතර ඇයි හොඳයිකම් පළුදුවීමට ඉවහල් වූ කරුණු අතරට එය ද එක් මාතෘකාවක් විය. නැන්දම්මා වැඩියත්ම ලේලිය පසෙකට දැමුවේ ඇයට දරුවන් නොලැබෙන බව ස්ථිරවම දැනගත් පසුවය.
“ගාමිණී… මට දැන් මේ ගෙදර ඉන්නත් එපාවෙලා තියෙන්නෙ. ප්‍රියන්තගෙ අම්මා මට පල නොකිය පලා බෙදනවා.” අනෝමා කීවේ දෑසේ කඳුළු පුරවාගෙනය.
“ඉතින් ප්‍රියන්ත මොකද කියන්නෙ?” ගාමිණී ඇසුවේය.
“එයා හරි උපාසකයා. අපි දැන් බැඳලා අවුරුදු දෙකක් වෙනවා. ඒ වුණාට එයා තාම හිතා ඉන්නෙ අම්මා යටතෙ ඉන්නව කියලයි. ප්‍රියන්ත හැම මාසෙම පඩි අරගෙන දෙන්නෙ අම්මගෙ අතට.” ඇය කීවාය.
“ඒක හරි අසාධාරණයි නේ. තමන් කසාද බැඳපු ගෑනිට ඒ විදිහට සලකන එක හරි කියලා මට හිතෙන්නෙ නෑ.”
“මේ මනුස්සයට ඒක තේරෙන්නෙ නැති එකනෙ පුදුමෙ” අනෝමා කීවේ රහසින් මෙනි. “අනිත් එක මේ ගේ අම්මා පරාණ භුක්තිය තියාගෙන ලියලා තියෙන්නෙ ප්‍රියන්තගෙ මල්ලිට.”
“ඔය විදියට අම්මා මැරිච්ච කාලෙක ඔයාලට වෙන්නෙ මහපාරට බහින්න. නැද්ද මං අහන්නෙ?”
අනෝමාගේ ගත කීරි ගැසී ගියේය. වෙනදා ඇති නොවූ තරහක් ඇගේ සිතට ඇතුළු වන්නට ගාමිණීගේ ඒ වචන ටික ප්‍රමාණවත් විය. එතැන් සිට ප්‍රියන්න කෙරෙහි ඇගේ සිතේ තිබූ බැඳීම කඩාවැටෙන්නට පටන් ගත්තේ වසර දෙකක් තුළ සිදුවූ යම් යම් අමනාපකම් මතක් වන වාරයක් වාරයක් පාසාය. නැන්දම්මාගෙන් පිටවන සෑම වචනයක් වචනයක් පාසාම ඇයට පෙනුණේ උඩුයටිකුරුවය. අනෝමාගේ සිතට ඇතුළු වූ වයිරසය මුළු ගතම වසාගත් බව ඇයට නිකමටවත් දැනුණේ නැත.
වැඩි දවසක් නොගොස්ම අනෝමා නිවෙසින් අතුරුදන් විය. අසල්වැසියකු වූ ගාමිණී ද ඉන් අනතුරුව දකින්නට නොලැබිණ.
ගාමිණී අනෝමා රැගෙන ගියේ කන්තලේ ප්‍රදේශයේ තම මිතුරකුගේ නිවෙසකටය. ඔහු නිතර නිතර බිස්නස් වැඩවලට කොළඹ ගොස් දින ගණන් ගතකිරීම ගැන අනෝමා තුළ පැහැදීමක් නොවූ නමුත් ඇය කිසිවක් නොකීවේ ඇයට අවශ්‍ය සියල්ලක්ම සම්පාදනය වී තිබූ නිසාය.
“බ්‍රෝකර් වැඩවලට තමන් පුරුදු වෙච්ච පළාතෙ නොඉඳ බෑනේ” ඇය සිතුවාය.
වරක් ඔහු පැවසූ කරුණකින් අනෝමා අන්ද මන්ද වූවාය.
“දවසක් මට ප්‍රියන්ත හම්බවුණා. ඔයා සනීපෙන් ද කියලා ඇහුවා. එයා මට කිව්වා දික්කසාද නඩුවක් දාලා වෙන් වුණාට පස්සෙ ඔයාව නීත්‍යානුකූලව අයිති කරගන්න කියලා. අපි දෙන්න එක්කම එයා තරහ නෑ කිව්වා.”
“එයා වෙන මොනවා කියන්නද? එයා දන්නෙ නෑ ගෑනියෙක් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියලා. දවසක් මම එයාගෙ මූණ ඉම්බා. මෙන්න එයා අකුණක් වැදුණ වගේ අහකට පැනලා අම්මා පේන්න ඉන්නව ද බලනවා මූණ කුණ්ඩහට්ටිය වගේ කරගෙන. අම්මයි මල්ලියි එහෙ මෙහෙ වෙනකං බලා ඉඳලා හනිහනික එයාගෙ ඕනෑ එපාකම් කරගන්නවා. මගේ ඕනෑ එපාකම් ගැන එයා හිතන්නෙ නෑ. ගෑනිගෙ සතුට ගැන එයා හිතුවෙ නෑ. ඒ වගේ මිනිහෙක් එක්ක පවුල් කන්න පුළුවන් ද?”
මහ හඬින් සිනාසුණු ගාමිණී අනෝමාව දෑතට ගෙන වටයක් දෙකක් කැරකැවුණෙන් ඇගේ සිතේ ඔහු කෙරෙහි පුදුමාකාර ආදරයක් ඇතිවිය. එවන් සුන්දර අත්දැකීමක් ඇය මීට පෙර අත්විඳ නොතිබීම නිසා තමන් ගත් ක්‍රියාමාර්ගය කොතරම් උචිතදැයි ඇය සිතුවාය. ගාමිණී ඇය සමඟ විනෝද ගමන් බිමන් ගියේය. සුඛෝපභෝගි හෝටල්වල දින ගණන් ගත කළේය. අතට කරට රන් බඩු ඇයට ගෙන දුන්නේය. අතේ වියදමට සෑහෙන මුදලක් දීමට ද ඔහු අමතක නොකළේය.
තවත් වරක් ගාමිණී පැවසුවේ ප්‍රියන්ත රැකියාවට නොයන බවත් ගෙදර ඉන්නා බවක් ආරංචි නැති බවත්ය.
“මිනිහ රට රස්සාවකට ගියාද දන්නෙ නෑ.” ගාමිණී කීවේය.
“මොන පිස්සුද? එයාට එහෙම කරන්න කිසිම අමතර සුදුසුකමක් නෑ. පිටරටකට තියා ලංකාවේ හරිහැටි ඇවිදින්නවත් දන්නෙ නෑ. නිතරම පොත් කියවන්නනම් පුළුවන්.”
“ඒක නෙවෙයි අනෝමා… මම සතියක් හමාරක් කොළඹ නවතිනවා… ටිකක් ලොකු බිස්නස් වැඩකට අත ගහලයි තියෙන්නෙ. ඒක හරි ගියොත් අපි ගොඩේ ගොඩ. බිස්නස් එකට ඇඩ්වාන්ස් ලක්ෂයක් මට ලැබුණා. හෙට ටවුමට ගිහින් මේ සල්ලි ටික ඔයාගෙ එකවුන්ට් එකට දාගන්න.”
ජීවිතේ ප්‍රථම වතාවට අතිවිශාල මුදලක් අතට ගත් අනෝමාගේ කටේ කෙළ සිඳී ගියේය. එහෙත් එය සදාකාලික සිඳී යාමක් යයි ඇය සිහිනෙන්වත් නොසිතුවාය.
සතියක් හමාරක් කොළඹ නවතින බව කීවත් ගාමිණි මාස දෙකක් යනතෙක් නොපැමිණීම ගැන දැඩි බියක් ඇතිවූයෙන් ඇය මිතුරාගේ බිරිඳ මියුරියල් අක්කා සමඟ කතා කළාය.
“ඔයා අප්සෙට් යයි කියලා අපි හිතුව නිසා ඔයාට කිව්වෙ නෑ. ගාමිණී මේ පාර ලොකු කුඩු තොගයක් එක්ක පොලීසියට කොටුවුණා. මේ පාරනම් වැලිකඩ දිගින් දිගටම ඉන්න වෙයි වගේ.”
අනෝමා දෑතින්ම හිසට ගසා ගත්තාය. “එයා කුඩු බිස්නස් කරන කෙනෙක් කියලා ඇයි ඔයාලා මට මීට කලින් නොකිව්වෙ.”
“ඒක හරි අපූරු කතාවක්නෙ. අපි හිතුවෙ ඔයා ගාමිණී ගැන දන්නව කියලයි. ඔයා ඔයාගෙ දෙමවුපියන්ට වැඩිය ඊයෙ පෙරේදා හම්බවෙච්ච ගාමිණී විශ්වාස කරලා ගෙදරින් පැන්නා. දැන් තේරෙනවා ඇති.”
අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැතිවූ බව ඇයට වැටහිණ. නැවත දෙමවුපියන් ළඟටවත් ප්‍රියන්ත ළඟටවත් ඇයට යා නොහැකිය. ප්‍රියන්ත කෙසේ වෙතත් නැන්දම්මාගෙන් කිසිම සමාවක් නොලැබෙන බව ඇයට ඉරහඳ මෙන් විශ්වාසය. මේ අවස්ථාවේ අනෝමාට තියෙන එකම පිදුරු ගස මෙම කාන්තාව පමණක් බව ඇයට සිතිණ. ඇය සමඟ හිතවත්ව සිටීම නුවණට හුරු බව අනෝමා සිතුවාය. ප්‍රියන්ත ගැන කිසිවක් ගාමිණී තම මිතුරාට හෙළි කර නැති බව ඇයට පැහැදිලිය.
“අනේ! මියුරි අක්කෙ… මම මොනව කරනවද කියලා මට හිතාගන්වත් බෑ.”
“දැන් ඔයාට කරන්න තියෙන්නෙ එකම දෙයයි. තවත් පරක්කු කරන්නෙ නැතිව ඔයා අම්මා තාත්තා ළඟට යන්න. එයාලා ගැහුවත් බැන්නත් ඔයාව ගෙදරින් එළියට දාන්නෙ නෑ.”
“අනේ! අක්කෙ… ඒකනම් මට කීයටවත් කරන්න බෑ. ගාමිණී වෙනුවෙන් මට බැරිද එයාට උදව් කරන්න. මං ළඟ සල්ලි ටිකක් විතර තියෙනවා. මට මොනවද කරන්න පුළුවන් කියලා මට කියන්න… දැන් එයා ඉන්නෙ කොහෙද?”
“රිමාන්ඩ් එකේ ඉන්නෙ. එයාගෙ බොස් තමයි එයා වෙනුවෙන් මීට කලින් වැඩ කළේ. ඒත් මේ වෙලාවෙ එයා මග ඇරියා. ගාමිණී මේ පාර ලොකු වංචාවක් කරලා තියෙනව එයාගෙ බොස්ට. අපේ මහත්තයා කියන විදියට ජීවිතාන්තෙ දක්වා එයාට එහෙ ඉන්න වෙයි.”
අනෝමාගේ සිරුර අප්‍රාණික වූයෙන් ඇය කපාහෙලූ ගසක් මෙන් බිම ඇද වැටුණාය.
ගාමිණීගේ මිතුරාත් ඔහුගේ බිරිඳත් ක්‍රමක්‍රමයෙන් තමාව මඟ හරින බව අනෝමා තේරුම් ගත්තාය.
“කොයි වෙලාවක හරි පොලීසියෙන් මෙහෙට එන්න පුළුවන්. ගාමිණී කුඩු බිස්නස්කාරයෙක් කියලා අපි දැනගත්තෙත් මේ මෑතකදි. පොලීසිය ඒවා පිළිගන්නෙ නෑනෙ. එයාට නවාතැන් දුන්න කියලා අපේ මහත්තයවත් පොලීසියෙන් අරන් යයි. ඊට මීට වැඩිය හොඳයි ඔයා ඔයාලගෙ අම්ම ළඟට යන එක” මියුරියල් නැවතත් කීවාය.
“මට අපේ මහගෙදරට යන්න බෑ. ගමට මූණ දෙන්න බෑ. නෑදෑයන්ට අහළ පහළ කට්ටියට මූණ දෙන්න බෑ… ඔයාලට පුළුවන්නම් මට ඉන්න ගේ පොඩ්ඩක් හොයලා දෙන්න.”
“මේ කිට්ටුව පොඩි ඉඩම් කෑල්ලක් විකුණන්න තියෙනවා. පරණ ගේ පොඩ්ඩක් එහෙමත් තියෙනවා. ඔයාට පුළුවන් ඒක ගන්න.”
අතේ තිබූ මුදල්වලින් කොටසක් යොදවා එම නිවෙස මිලදී ගත් ඇය රෙදි මසා එදිනෙදා ජීවත්වීමට ඉටා ගත්තාය.
අනෝමා පසුදා ගමේ විහාරස්ථානයට ගොස් නායක ස්වාමීන් වහන්සේ හමුවූවාය.
“හාමුදුරුවනේ… ඊයේ අපේ ගෙදරට ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළා පිණ්ඩපාතෙට. මට පස්සෙයි මතක් වුණේ ඒ සිවුර පෙරවන් හිටියෙ අපේ නෑ කෙනෙක් කියලා.”
“ඔය උපාසකම්මගෙ ළඟම ඥාතියෙක්ද?”
නිසි පිළිතුරක් සිතට නොපැමිණිය ද ඇගේ හිස ඉහළ පහළ ගියේ ඉබේටම වාගේය.
“උන්නාන්සෙ හරි සාමකාමි කෙනෙක්. ගිහි ජීවිතේ කලකිරීම් නිසා තමයි මහණවෙලා තියෙන්නෙ. උන්නාන්සෙ තමුන්ගෙ අම්මට හරි ආදරෙන් ඉඳලා තියෙනවා. කසාද බැන්දයින් පස්සෙත් ඒ ආදරේ වෙනස් වෙලා නෑ. ඔන්න ඔය ප්‍රශ්නෙ එයාගෙ බිරිඳට විස වෙලා ගෙදරින් පැනලා ගිහින් වෙනින් පුරුෂයෙක් එක්කලා ජීවත් වෙනවා. නීත්‍යානුකූලව තමුන්ගෙ බිරිඳ භාරගන්න කියලා අර පුරුෂයට කියන්න තරම් එයා ළඟ මනුස්සකම තිබුණා. අන්තිමට එයාට රස්සාව නැතිවුණා. අම්මා නැතිවුණා. ඉන්න හිටින්න තිබුණු තැන නැතිවුණා… මේ පන්සලේ වැඩි කාලයක් හිටියෙ නෑ. ඊයෙ හවස හදිසියෙ ගත්ත තීරණයක් කියලා මෙහෙන් ගියා.”
මාලිම්බඩ ටී.කේ. ලයනල්