Home » පිළිකා මාරයාගෙන් ඔබේ දරුවා රැක ගැනීමට නම්…

පිළිකා මාරයාගෙන් ඔබේ දරුවා රැක ගැනීමට නම්…

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

ටේත් ලෝකයේත් අනාගතය භාරගන්න ඉන්නේ දරුවන්ය. ලෝකයම හැඩ කරන මේ ලස්සන මල් කැකුළු සුවඳ විහිදෙන්නටත් කලින් මිලිනව යන්නේ නම් එය රටක් විදියට හෝ ලෝකයක් විදියට ඛේදවාචකයකි. ශ්‍රී ලංකාවේ ළමා පිළිකා සම්බන්ධයෙන් මේ වන විට ලැබී තිබෙන වාර්තා එතරම් යහපත් නොවේ. මෙරට තුළ එය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. 2021 වර්ෂය තුළ පමණක් පිළිකා රෝගය වැලඳුණු ළමයින් 1032ක් වාර්තා වේ. මේ තත්ත්වය රටක් ලෙස වුව ද එතරම් යහපත් තත්ත්වයක් නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමා පිළිකා සුව කිරීමේ ප්‍රතිශතය වර්ධනය කිරීම සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ඒ සඳහා ඔවුන් විසින් දකුණු ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ ඊට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින රටක් නිසාය.   

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපේක්ෂා රෝහල තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ළමුන් පිළිකා රෝගයෙන් ගලවා ගැනීම සඳහා අපේක්ෂා රෝහල මේතාක් ඉටු කරමින් සිටි කාර්යභාරය පදනම් කරගෙනය. එම මේ කාර්යය තවත් උසස් තත්ත්වය පත් කළ හැකි බව ඔවුන්ට පෙනී ගිය හෙයින් අපේක්ෂා රෝහලට මේ අවස්ථාව ලබාදී තිබුණි.

ළමා පිළිකා රෝග ඇති වීම සම්බන්ධයෙන් ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, අප සමඟ පවසා සිටියේ මෙවැන්නකි. “ලංකාවේ පිළිකා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ජාතික පිළිකා මර්දන ආයතනයයයි. ඔවුන් විසින් සෑම වසරකම රජයට අයත් රෝහල්වල වාර්තා වන පිළිකා රෝගීන් සම්බන්ධයෙන් දත්ත වාර්තා පවත්වා ගෙන යනු ලබන අතර ඒ අනුව සෑම වසරකම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරනු ලබනවා. ඒ අනුව අවසන් වාර්තාව නිකුත් වී ඇත්තේ 2021 වර්ෂයේදීයි. ළමා පිළිකා (අවුරුදු 0-19 දක්වා) වාර්තා වීම සම්බන්ධයෙන් වසරින් වසර නිකුත් කෙරෙන මෙම වාර්තා සලකා බැලීමේදී අවසන් වසර පහ තුළ සියයට 1ත් 2ත් අතර වැඩි වීමක් පෙන්නුම් කරනවා. මෙලෙස වාර්තා වන සංඛ්‍යාව ඉහළ යෑම සඳහා හේතු කිහිපයක් බලපා තිබෙනවා.

පළමු හේතුව ලෙස දැක්විය හැකිකේ ලංකාවේ ජනගහනය වර්ධනය වීමයි. ඒ අනුව ළමයින්ගේ ප්‍රතිශතය ද වැඩි වී තිබේ. එනිසා පිළිකාවට ගොදුරු වන සංඛ්‍යාවේ ද වැඩිවීමක් පෙන්නුම් කරයි. අනෙක් කාරණාව වන්නේ මීට වසර දහයකට පමණ පෙර තිබුණ තත්ත්වයට වඩා වෛද්‍ය විද්‍යාවේ ඇති වී තිබෙන නව දියුණුවත් සමඟ ඉතා පහසුවෙන් මෙවැනි තත්ත්වයේ රොගීන් හඳුනා ගැනීමට පහසු වීමයි. ඒ අනුව මීට ප්‍රථම හඳුනා නොගත් රෝගී තත්ත්වයන් පවා පිළිකා රෝග ලෙස හඳුනා ගන්නවා. තෙවන කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ යාමයි. යුද්ධය පැවති සමයේ උතුරු නැ‍ෙඟනහිර පළාත්වලින් වාර්තා වූ පිළිකා රෝගීන් පවා කොළඹට වාර්තා වූයේ නැහැ. එනිසා මෙහි සංඛ්‍යා දත්තවලට ඒවා ඇතුළත් වූයේ නැහැ. නමුත් 2010 පමණ පසුව මේ තත්ත්වය වෙනස් වුණා. ලබන වසරේ සිට ලංකාවේ ඕනෑම රෝහලක පිළිකා රෝගියකු හඳුනාගත් විට ඔවුන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීම අනිවාර්ය වෙනවා. තොරතුරු රැස් කිරීමේ පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය වීම රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමට හේතු වී තිබෙනවා.

ළමා පිළිකා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ළමා පිළිකා ඇති වීමට නිශ්චිත හේතු සාධක ඉදිරිපත් කළ නොහැකි බවයි.

උදාහරණයක් ලෙස කිසියම් වැඩිහිටියකු දුම්පානය නිසා පිළිකා රෝගී තත්ත්වයට ගොදුරු විය හැකියි. එසේම බුලත්විටට හුණු, පුවක් දුම්කොළ එකතු කිරීමෙන් මුඛ පිළිකා ඇති විය හැකියි. නමුත් ළමා පිළිකා මේ හේතුව නිසා මෙය ඇති වුණා කියා කියන්න බැහැ. එය ජාන පරිවර්තනයක් නිසා ඉබේම හටගන්නා රෝගී තත්ත්වයක්. ඒ නිසා වැඩිහිටි පිළිකා ඔවුන් විසින් අනුගමනය කරන ඉහත දැක්වූ වැරදි පිළිවෙත් නවතා දැමීමෙන් පාලනය කළ හැකි වුවත්, ළමා පිළිකා එලෙස වළක්වා ගත හැකි හෝ පාලනය කළ හැකි රෝගී තත්ත්වයක් නෙමෙයි. එය ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්.

මෙහිදී කළ හැකි එකම දෙය වන්නේ මුල් අවදියේදීම රෝගය හඳුනා ගැනීමයි. එලෙස මුල් අවදියේදී පිළිකාව හඳුනා ගත් විට ළමා පිළිකා සුවපත් කිරීමට තිබෙන හැකියාව ඉතාම ඉහළයි. ඇතැම් ළමා පිළිකා තත්ත්වයන් පසුවී හඳුනා ගත් විට සුවපත් කිරීමට නොහැකි අවස්ථා ද ඇත. මෙනිසා ළමා පිළිකා සුවපත් කිරීම සඳහා මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම වඩා යහපත්. ඒ සඳහා වැඩිහිටියන් ළමා පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුම්වත් වී සිටීම ඉතාම වැදගත්.

ළමයින්ට වැළඳෙන පිළිකා අතර ලියුකේමියාව ප්‍රමුඛය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 50ට ආසන්න අගයක් ගනී. ඊළඟට බහුලව ඇති වන්නේ මොළය හා සුසුම්නාව ආශ්‍රිතව හටගන්නා පිළිකා (Brain Tumors) ය. මීට අමතරව අස්ථිවල, මාංශපේශිවල, වකුගඩුවල හා අක්මාවේ පිළිකා ඇති වේ. පිළිකාව හට ගන්නා ස්ථානය අනුව රෝග ලක්ෂණ ද වෙනස් වේ. ලියුකේමියාව ඇති විට කල්පවත්නා උණ රෝග තත්ත්වයක් ඇති වීම (කොතෙක් ප්‍රතිකාර කළ ද උණ රෝගය සුව නොවී සුමානයක් දෙකක් පැවතීම), කුද්දැටි ඇති වී ඒවා ඉදිමීම, අතපයවල අධික වේදනාවක්, අක්මාව ඉදිමීම, ප්ලිහාව ඉදිමීම අදිය පෙන්වා දිය හැකියි. ඔළුවේ උකුණන් සිටින විටත්, දත් පණුවන් කෑවිටත් කුද්දැටි ඇති වේ. එනිසා කුද්දැටි ඇති වූ පමණින් එය පිළිකා තත්ත්වයක් ලෙස වරදවා වටහා ගත යුතු නැත. එහිදී කළ යුත්තේ අවශ්‍ය වෛද්‍ය උපදෙස් පැතීමයි.

මොළේ පිළිකා තත්ත්වයකදී කල් පවත්නා හිසරදය හා උදෑසන වමනය පිටවීම සිදුවන අතර වමනය ගිය විට හිසරදය අඩු වේ. වලිප්පුව, පාසලේ ඉගෙනීමේ කටයුතු හිටිහැටියේ අඩපණ වීම (ලස්සනට අකුරු ලියූ කෙනෙක් නම් අකුරු කැතට ලිවීම) මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කලබලයට පත් වීම හෝ වැරදි නිගමනවලට එළඹීම නොව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කිරීමයි. අස්ථිවල පිළිකා ඇති වූ විට අස්ථී ඉදිමීම හා අධික වේදනාව ඇති වන අතර ගැටිති මතුවීමක් ද සිදු වේ. සෙල්ලම් කරද්දි බැට් එක වැදිලා, දුවද්දි වැටෙන්න ඇති ආදී වශයෙන් සිතා මෙවැනි ලක්ෂණ නොසලකා සිටීම නුවනට හුරු නැත. වහා වෛද්‍යවරයකු හමුවී එක්ස්රේ පරික්ෂණයක් සිදු කර සැක හැර ගත යුතුයි. මේ ආකාරයේ කිනම් හෝ රෝගී තත්ත්වයක් ළමයා තුළ දිස් වූ විට වෛද්‍යවරයකු වෙත යොමු කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි. පෙර මෙන් නොව මේ වන විට ළමා පිළිකා සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකාර බොහොමයක් පවතින නිසා ඒ ගැන බියට පත් වී හෝ අන් අය දැනගනීවි යන මානසිකත්වයෙන් ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීම යහපත් නොවේ. අස්ථි පිළිකාවකදී ඇතැම් අවස්ථාවල රෝගියාගේ ජීවිතය රැක ගැනීම සඳහා එම ස්ථානයේ සැත්කමක් සිදු කර එය ඉවත් කළ යුතු වේ. නැතිනම් රෝගය පැතිරේ. සමහරු මේ පිළිබඳ දැනුම්වත් කළ විට එය පිළිනොගෙන විවිධ ප්‍රතිකාර සඳහා යොමු වේ. අනතුරුව ඔවුන් නැවත අප වෙත පැමිණෙන්නේ රෝගය උඩුදුවමින් හොඳින් පැතිරුණාට පසුවයි. එවිට කිසිවකුට කිසිවක් කළ නොහැකියි. එනිසා රෝගය හඳුනා ගන්නා මුල් අවස්ථාවේ සිටම නියමිත ප්‍රතිකාර ලබාගත යුතුයි.

ළමා පිළිකා ගැන විශේෂ බියක් ඇති කරගත යුතු නැහැ. ඒවා ඉතාම සාර්ථකව සුවපත් කිරීමේ හැකියාවක් ඇත. එනිසා සුදුසු වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත්. ස්ථූලතාව, ක්‍රියාකාරී නොවීම, ක්ෂණික ආහාර, සොසේජස් ආදි ආහාරවලින් වැළකී සිටීම ද යහපත්. මෙවැනි පුරුදු දිගටම පවත්වා ගෙන ගියහොත් පිළිකා ඇතිවීමේ සම්භාවිතාවයක් පවතී. නමුත් මේ නිසා හටගන්නා පිළිකා ඇති වන්නේ ළමා කාලයේදී නොව ඔහු හෝ ඇය වැඩිහිටියකු වූ විටයි. එනිසා ළමා කාලයේදී ඇති කරගන්නා නරක පුරුදු නිසා පසුකාලීනව පිළිකා රෝගයට ගොදුරු විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන භාර ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසා සිටියේ “ළමා පිළිකා ලෙස අප හඳුනා ගන්නේ උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන දරුවන්. ළමා සහ නව යොවුන්විය පිළිකා ලෙස හඳුවන්යි. එකපාරටම පිළිකා තත්ත්වය වර්ධනය වුණා නෙමෙයි මෙය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ තත්ත්වයක්. ඊට විවිධ හේතු බලපා තිබෙනවා. විශේෂයෙන් පිළිකාවක් ලෙස අප හඳුන්වන්නේ ශරීරයේ ඕනෑම තැනක සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක්. තවත් විදියකින් කියනව නම් පාලනයකින් තොරව සිදුවන සෛල වර්ධනය වීමක්. එය අහඹු ලෙස සිදුවන දෙයක්. ළමා පිළිකා සියයට පහක් පමණ පරම්පරාවෙන් පරම්පරාවට ඇති විය හැකිමුත් නිශ්චිතවම හේතුව මේ යැයි හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. වැඩිහිටි වියේ හටගන්නා පිළිකා අපගේ නිවස ජීවත්වන පරිසරය හා චර්යා රටාවේ බලපෑමක් නිසා මෙම අසාමාන්‍ය සෛල වර්ධනය වීමේ හැකියාවක් ඇති විය හැකිය. හැම සෛලයකම න්‍යෂ්ටියක් ඇති අතර මේ න්‍යෂ්ටිය තුළ ඇති ජානවල සිදුවන වෙනසක් නිසා මේ තත්ත්වය ඇති විය හැකියි. එය පරම්පරාවෙන් හෝ අහඹු ලෙස සිදු විය හැකියි. ඒක වෙන්නෙ කොහොමද කියල කාටවත් තාම කියන්න බැහැ.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය පසුගිය 15 වැනිදට යෙදී තිබුණා. අපි පෙබරවාරි 14 වැනිදා සිට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් සිදු කරනු ලැබුවා. ළමා පිළිකා ක්‍රමයෙන් වැඩිවීමක් අපි දකිනවා. 2021 දී මෙය දහයේ සීමාව ඉක්මවා ගියා. තවම 2022-2023 ගණනය කර අවසන් නැහැ. ඊට ප්‍රධාන හේතුව වන්නේ මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහහේම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන 25ක් පිහිටා තිබෙන නිසා එකම රෝගියා මේ මධ්‍යස්ථාන කිහිපයකම ප්‍රතිකාර සඳහා යොමුවීමයි. මෙය දරුණු තත්ත්වයේ රෝගයක් නිසා බොහෝ අය රෝහල් සහ වෛද්‍යවරු මාරු කිරීමට පෙළඹී සිටිනවා. ඒ වගේම බෙහෙත් හිඟතාව නිසාත් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන මාරු කරනවා. ඒ නිසා මේ බහු ලියාපදිංචිය ඉවත් කර ඔවුන් නිවැරදිව හඳුනා ගෙන ලියාපදිංචිය තහවුරු කළායින් පසුවයි ගණනය කිරීම සිදු කරන්නේ. මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණයි. දැනට ඒ විදියට ලියාපදිංචිය තහවුරු කර අවසන් කර ඇත්තේ 2021 දක්වා පමණයි.

ළමයින්ට වැලඳෙන පිළිකා අතර ප්‍රධාන වශයෙන් ලේ පිළිකාව, වසාග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව, මොළයේ පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇහේ පිළිකාව විශේෂයි. 2021 වසරේදී ලේ පිළිකාව වැළඳුණු දරුවන් 341 දෙනෙකු ද, වසාගැටිති ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 148 දෙනකු ද, අස්ථි සම්බන්ධ පිළිකා වැළඳුණු දරුවන් 92 දෙනකු සහ මොළය ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 98 දෙනකු වාර්තා වී තිබුණා. එහෙත් මේ පිළිකා ඇති වීමට හේතුව මේකයි කියල නිශ්චිතවම කියන්න බැහැ. මෙම රෝගය යම් පමණකින් හෝ මඟහරවා ගැනීමට කුඩා වියේදී දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට දායක වන මවුකිරි ලබා දීම ඉතාම වැදගත් වෙනවා. අවම වශයෙන් මාස හයක් යනකම්වත් දරුවාට මවුකිරි ලබාදීම වැදගත්. ඒවගේම වසර දෙකක් පුරා මවු කිරි ලබාදීමෙන් පියයුරු පිළිකා වැළදීමෙන් මවත් ආරක්ෂා වෙනවා. ඒ වගේම කෘත්‍රිම වර්ණ කාරක සහ රසකාරක යෙදූ ක්ෂණික ආහාරපානවලින් දරුවා ආරක්ෂා කිරීමත් ඉතාම වැදගත්. මේ නිසා බඩවැල් ආශ්‍රිත පිළිකා ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ 5ට 6ට තිබුණු මහඅන්ත්‍ර ගුදමාර්ග පිළිකාව (පිරිමි සහ ස්ත්‍රී) දැන් අංක 3ට පැමිණ තිබෙනවා. ළමයින් පිළිකා රෝගයට ගොදුරු වන්නේ මේ හේතුව නිසා යැයි අපට නිශ්චිතව කිව නොහැකි වුවත් දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කළ හැකි සහ ආරක්ෂා කළ හැකි මෙවැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් බව හෙතෙම අවධාරණය කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා සිටියේ මෙවන් අදහසකි. “ළමා පිළිකා ඇති වීම සම්බන්ධයෙන් මේ යැයි කිව හැකි නිශ්චිත කාරණාවක් නොතිබුණත් ඊට හේතු කාරණා ගණනාවක් බලපෑ හැකි බව අද මුළු ලෝකයේම වෛද්‍ය ක්ෂේත්‍ර පිළිගෙන තිබෙනවා. ඒ නිසා මේවා වළක්වාගත හැකි ක්‍රම පිළිබඳව අදහස් දැක්වීම වඩා යොග්‍ය යැයි මා විශ්වාස කරනවා. නිශ්චිතව කිව නොහැකි වුවත් නූතනයේ අප මුහුණ දෙමින් සිටින පරිසර තත්ත්ව, තාක්ෂණික මෙවලම්, ක්ෂණික ආහාර කෘත්‍රිම රසකාරක මීට හේතුවිය හැකි බව අනුමාන කළ හැකියි. මීට කාලයකට ප්‍රථම අප රටේ බොහෝ මව්වරු අවම මාස 6ක් යනකම්වත් දරුවන්ට මවු කිරි ටික දුන්නා. නමුත් නූතනයේ ඇතැම් මවුවරු තම ශරීරය ගැන සිතමින් මවු කිරි දීම වෙනුවට වෙනත් ආහාර දරුවන්ට ලබාදීමට පෙළඹී සිටිනවා. ඇත්තෙන්ම එය මිථ්‍යා මතයක්. මවු කිරි දීමෙන් මවගේ ශරීරයට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ. මවුකිරි දීම නිසා පියයුරු පිළිකා සෑදීමේ අවදානමින් පවා මවට මිදිය හැකියි. මවුකිරිවලට අමතරව ලබා දෙන අනෙකුත් ආහාර අතර ක්ෂණික ආහාර වර්ග, කෘත්‍රිම රසකාරක හා වර්ණ යෙදු පැණි බීම හේතුවෙන් බෝ නොවන රෝග වැලඳීමට වැඩි අවධානමක් තිබෙනවා.

මීට වසර 20කට ප්‍රථම දියවැඩියාව වැලඳුණු ළමයින් එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි හමු වුණේ. නමුත් දැන් තත්ත්වය වෙනස්. විශාල වශයෙන් ස්ථූලතාවට හා දියවැඩියාවට ගොදුරු වූ දරුවන් හමු වෙනවා. මගේ අදහස නම් කෙටි කෑම පැණි බීම සහ ජංගම දුරකතන වැනි උපාංගවලින් පුළුවන් තරම් දරුවන් ඈත් කරන්න. මේ නිසා පිළිකා වැලඳීමට හේතුවන කාරණා මෙනවද කියා අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. ඒවගේම සීනි, තෙල්, ලුණු වැනි දෑ ආහාරයට ගැනීම හැකි තරම් අඩු කරන්න ඕන. මේ වන විට ලංකාව පුරා ලෝකයේ ජනප්‍රිය ආහාර නිෂ්පාදන සමාගම් කෙටි කෑම වර්ග හඳුන්වා දී තිබෙනවා. මේවට දරුවන් පමණක් නෙමෙයි වැඩිහිටියනුත් වේගයෙන් ඇදී යනවා. මොකද හැල්මේ දුවන මේ ජන ජීවිතයට ඒක ගොඩක් පහසුයි. නමුත් අපි මේ පුරුදුවලින් තරමක් ඈත්වෙලා සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් දරුවන්ට ලබා දෙනවා වගේම ජංගම දුරකතන හා වෙනත් විකිරණශීලී උපාංග සමඟ වැඩිවේලා ගත කිරීමට ලබාදී තිබෙන කාලය අවම කළ යුතුයි. මෙවැනි දේ මඟින් මේ දේවල් ඇති නොවනවා කියනවා වෙනුවට මෙහෙම වෙන්න පුළුවන් ද කියලා අධ්‍යයනය කර බැලීම ඉතා වැදගත් බව හෙතෙම පෙන්වා දෙයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division