විජය ඝාතනය සඳහා නායකත්වය දුන් පිරිස් පිළිබඳව මෙන්ම, ඝාතනය සිදු කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් ද මාස හයක් පමණ ගතවන විට පොලිසියට ඇති පදමට තොරතුරු ලැබී තිබුණි. අල්ලා ගන්නා ලද ජවිපෙ ක්‍රියාධරයන් සමහරෙක් ඔත්තුකරුවන් ලෙස තබා ගනිමින් වැඩ ගන්නා ක්‍රමවේදයක්, මේ කාලයේ පොලිසිය සතුව තිබුණි. එසේම ජවිපෙ අභ්‍යන්තරයේ පහළ මට්ටමේ සමහරක් මඟින් පොලිසිය වෙත ඔත්තු ලැබෙන්නට ද විය. මෙසේ ලැබුණු ඔත්තු සියල්ල සහ පොලිස් පරීක්ෂණ මාර්ගයෙන් අනාවරණය වූයේ විජය ඝාතකයා, ලයනල් රණසිංහ බවය. එසේ නමුත් ඔහු සිටින්නේ කොහේද යන්න පිළිබඳව පොලිසියට මේ වනතෙක් කිසිඳු තොරතුරක් ලැබී නොතිබුණි. හොරණ කොල්ලයකදී අත්අඩංගුවට ගෙන තිබුණු අවස්ථාවක ගන්නා ලද ලයනල් රණසිංහගේ ඡායාරූපයක් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇසුරෙන් පරිගණකයෙන් චිත්‍රණය කරන ලද ලයනල් රණසිංහගේ ඡායාරූපයක්, දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට බෙදා හැර තිබුණි. විජය ඝාතන පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන් සතුව ද නිරන්තරයෙන් ළඟ තබා ගැනීම සඳහා මෙම ඡායාරූප දෙකම ලබා දී තිබුණි.
විජය ඝාතනය පිළිබඳ සෙවීමට කණ්ඩායම් තුනක් පත්කර තිබූ අතර ඉන් එක් කණ්ඩායමක් ක්‍රියාත්මක වූයේ උප පොලිස් පරීක්‍ෂක විමලරත්න යටතේය. මාර්තු 14 වැනිදා උදෑසන වෙනත් පුද්ගලයකු පිළිබඳ සෙවීම සඳහා විමලරත්නගේ කණ්ඩායමේ ඩයස් හා බැසිල් පිටත්ව ගියහ. කොළඹ විශ්වවිද්‍යාලය අසලට පැමිණෙන පුද්ගලයකු පිළිබඳ ඔත්තුවක් ලබා ගැනීම, ඩයස් වෙත නියම වී තිබුණි. ඩයස් ඒ සඳහා පිටත් වූයේ බැසිල් ද සමඟය. උදෑසන නවයට පමණ ග්‍රෙගරි පාර දිගේ ඇවිද ගිය ඔවුන්, බෞද්ධාලෝක මාවතට වැටී, තුන්මුල්ල පැත්තට හැරුණි. ඉදිරියට පැමිණි දෙදෙනා, සමස්ත ලංකා බෞද්ධ සංගම් ගොඩනැඟිල්ල පසුකරමින් සිටියහ. ඒ අතරේ යම් පුද්ගලයකු ඉදිරියට පැමිණෙමින් සිටියේ ය.
නාඳුනන තුවක්කුකරුවන් බොහොමයක් මිනිස් ඝාතන සිදු කිරීම සඳහා ටී. පනස්හය රැගෙන ගියේ ‘හාවා බෑග්’ ලෙස හැඳින්වූ රෙදි බෑගය තුළය. මේ නිසා එවැනි බෑග් රැගෙන යන්නවුන් ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලැබී තිබිණි. ඩයස්ගේ සිතට කිසියම් සැකයක් පැමිණියේය. මතකයේ රැඳුණු රුවක් ඔහුගේ සිතට නැඟුණේය. අදාළ පුද්ගලයා හාවා බෑගයක් එල්ලා ගෙන සිටි නිසා සැකය තවත් තීව්‍ර විය. “ඔය එන්නේ ලයනල්” ඩයස් සිය සඟයා වූ බැසිල්ට කීවේ ය. ඒ වන විට සැකකරු, ඔවුන් දෙදෙනා ළඟම නතර වී සිටියේ ය.
“ලයනල් කොහේද යන්නේ…” උපායශීලී මනසින් සාජන්ට් ඩයස්, නාඳුනන පුද්ගලයාගෙන් විමසා සිටියේය. යම් පුද්ගලයකු තමන්ගේ සැබෑ නම කියන විට පෙන්වන ඉරියව්, මෙම නිලධාරීන් හොඳින් දැන සිටියේය. “ලයනල්…” යැයි අමතනවාත් සමඟ ඔහු, සිය නම කියන බව හඳුනාගත් සංඥාව පළ කරනු, පොලිස් නිලධාරීහු දුටුවෝය.
“මම ලයනල් නෙමේ ප්‍රනාන්දු…” යැයි පිළිතුරු ලබා දෙමින්, සිය සාක්කුවේ තිබූ හැඳුනුම්පත පොලිස් නිලධාරීන්ට ඔහු දිගු කළේය. හොරණගේ පියසිරි ප්‍රනාන්දු ලෙස හැඳුනුම්පතේ නම සටහන් වී තිබුණේය.
නිලධාරීන් දෙදෙනාගේ සාක්කුවල අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් දෙන ලද ලයනල්ගේ ඡායාරූපය සහ පරිගණකය මඟින් චිත්‍රණය කරන ලද විජය ඝාතකයාගේ රුව යන දෙකම ඒ වන විටත් තිබුණි. වහාම ක්‍රියාත්මක වූ ඩයස්, සැකකරුගේ පිටුපසින් අත දමා, ඉණේ තිබූ පටියෙන් අල්ලා ගත්තේ ය. ළඟ තිබූ ත්‍රීවිල් රථය ඔහු නංවා ගත්තේය.
සැකකරු රියෙන් බස්සා ගත් ඩයස්, ඔහුව අල්ලාගෙන කාර්යාලයට ඇතුළු වූයේ “ලයනල් ඇල්ලුවා” යැයි කියමින්ය. ඒ සමඟම ඔහු වටා සියලුම නිලධාරීන් රැස්වූයේ ලයනල් යනු කවුදැයි දැක බලාගන්නටය. සැකකරු රැගෙන ඩයස් කෙළින්ම ගියේ අධ්‍යක්ෂවරයාගේ කාමරයටය. “සර් ලයනල් ඇල්ලුවා..” අධ්‍යක්ෂවරයා ඉදිරි කාමරේ සිටි පොලිස් අධිකාරි ගාමිණී පෙරේරාට කතා කළේය. ඔහු ද එතැනට ආවේය. ඉන්පසුව සැකකරු පරීක්ෂා කළ ද ඔහු කීවේ තමා හොරණගේ පියසිරි ප්‍රනාන්දු බවය.
“මම යාළුවෙක් හම්බ වෙන්න වයි. එම්. බී. ඒ. එක ළඟට ආවා. මම ලයනල් නෙමේ. ඔයාලට වැරදිලා මම පියසිරි..” සැකකරුට වඩා නිලධාරීහු තීක්ෂණ වූහ. පොලිසියටම අවේණික වූ ක්‍රමයට ප්‍රශ්න කිරීම ආරම්භ විය. සැකකරුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු තමා ලයනල් බව ඔහු පිළිගත්තේ ය. ලයනල් රණසිංහ හෙවත් මහින්ද හෙවත් ජයතිලක හෙවත් ගාමිණීට, තවදුරටත් සිය අනන්‍යතාව සඟවන්නට නොහැකි විය. පොලිසිය සතුව තිබූ ඔහුගේ ඡායාරූපය, බැසිල් විසින් ඔහුට පෙන්වද්දී සැඟවීමට තව යමක් ඉතිරි වී නැති බව තේරුම් ගත් නාඳුනන පුද්ගලයා තමා ලයනල් බව හෙළි කළේය.
විජය කුමාරතුංග ඇතුළු රටේ වැදගත් පුද්ගලයන් ගණනාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි ලයනල් රණසිංහ අත්අඩංගුවට පත්වීම, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතින් පොලිස්පති අර්නස්ට් පෙරේරා වෙත දැන ගන්නට ලැබුණි. ඒ සම්බන්ධව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න දැනුවත් කිරීම සඳහා පොලිස්පතිවරයා පියවර ගනු ලැබීය. ජවිපෙ මර්දනය සම්බන්ධයෙන් තදබල උනන්දුවක සිටි අමාත්‍ය විජේරත්න එදින සන්ධ්‍යාවේම පොලිස්පති අර්නස්ට් පෙරේරා සමග විජය ඝාතකයා බැලීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත පැමිණියේය. ලයනල් රණසිංහ සමඟ සෑහෙන වේලාවක් ඇමැතිවරයා ඇතුළු පිරිස කතාබහ කරනු ලැබීය. තමන්ට පෙර එජාපයේ මහ ලේකම් පදවිය හෙබවූ නන්දලාල් ප්‍රනාන්දු මරා දමන ලද ආකාරය ඇමැතිවරයා විසින් ලයනල්ගෙන් විමසා සිටියේය. නන්දලාල් ඝාතනය කරන ලද ආකාරය ලයනල් රණසිංහ විසින් අමාත්‍යවරයා වෙත පවසන ලද්දේ, එය යම්තාක් දුරකට රඟපා පෙන්වමිනි.
ඒ අතරම අමාත්‍ය විජේරත්න විසින් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා ඝාතනය පිළිබඳව ලයනල්ගෙන් විමසා සිටින ලදී. මේ කාලය වන විට ජවිපෙ සාමාජිකයන් අතර පමණක් නොව ජනතාව අතර පවා රන්ජන් විජේරත්න පිළිබඳව තිබුණු චිත්‍රය වූයේ, ඔහු අතිශය තදබල ගතිගුණයෙන් යුක්ත වූ චරිතයක් ලෙසය. එවැනි චරිතයක් තමන් වෙතින් කරන විමසීමක්, ලයනල් රණසිංහ වැනි චරිතයකට මහා බලපෑමක් ලෙස පෙනෙන බව සිතිය හැකිය.
ලයනල් හමුවීමෙන් පසු අමාත්‍ය විජේරත්න, පොලිස්පතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයේදී රැස්වීමක් පවත්වනු ලැබීය. අසුවී ඇති ගොදුර සුළුපටු නොවන බැවින්, එය ප්‍රශ්න කිරීම් ආදිය මඟින් ප්‍රයෝජ්‍ය ආකාරයට භාවිත කිරීම සහ උපරිම ආරක්ෂාව සහිතව රඳවන ආකාරය එහිදී සාකච්ඡාවට ගනු ලැබීය. සී.අයි.ඩී. හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම ලයනල් රණසිංහ බාරදෙන ලෙස අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව 1989 මාර්තු 15 වෙනිදා සුප්‍රකට හතරවැනි තට්ටුව හෙවත් කොළඹ කොටුවේ, නව මහ ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ පිහිටා තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලයනල් රණසිංහ රැගෙන යනු ලැබීය.
ලයනල් රණසිංහ සී.අයි.ඩී. යට රැගෙන යෑමෙන් පැය 48 කට පසුව එනම් මාර්තු 18 වැනිදා සවස 4.45 ට රහස් පොලිස් අධ්‍යක්ෂ චන්ද්‍රා ජයවර්ධන විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනු ලැබීය.
සම්පූර්ණ නම – පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ හෙවත් ගාමිණී හෙවත් මහින්ද හෙවත් ජයතිලක
වයස – අවුරුදු 27 යි.
ජාතිය/ආගම – සිංහල/බුද්ධාගම
රැකියාව – රටකජු වෙළෙඳාම
පදිංචිය – අංක 5/2, ජාතික නිවාස, මූණගම, හොරණ.
වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය හැදෑරීමට යොමු වූ ලයනල්, හොරණට සිය පවුල සමඟ පැමිණි පසු උසස් පෙළ අධ්‍යාපනය හදාරන ලද්දේ, හොරණ විද්‍යාරත්නයෙනි. ලයනල් ජවිපෙට සම්බන්ධ වන්නේ මේ කාලයේදී වුවත්, ඔහුගේ නිවෙසේ ද ඒ සඳහා අවශ්‍ය වන පසුබිම සැකසී තිබුණු බව පෙනී යයි. ලයනල්ගේ මව 90 දශකයේදී ජවිපෙ නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී තිබුණි. එයින් පෙනී යන්නේ ලයනල්ට පවුල් පසුබිමෙන්ම ජවිපෙ සමග සම්බන්ධයක් තිබුණු බවය.
හොරණ විද්‍යාරත්නයේ ලයනල්ට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වූ ජයසිරි නම් යගිරල ප්‍රදේශයේ පදිංචි අයකු විසින් ලයනල්, ජවිපෙ සමග සම්බන්ධ කළේය. ජයසිරි ද ජවිපෙ සාමාජිකයකු වූ අතර ලයනල් ජවිපෙ සමග සම්බන්ධ වන්නේ, හොරණ ශීලරත්න පාරේ නිවෙසක පිහිටා තිබූ ජවිපෙ කාර්යාලය හරහාය. එහි සංවිධායක ලෙස කටයුතු කරන ලද්දේ, යටියන්තොට චන්ද්‍රසිරිය. චන්ද්‍රසිරි, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ ඉගෙනුම ලැබූවේය. 1979/80 කාලයේ එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර දරන ලද්දේ ද චන්ද්‍රසිරි විසිනි. ලයනල් ජවිපෙ දේශපාලන පන්ති සඳහා සහභාගි වන්නේ ශීලරත්න පාරේ කාර්යාලයේදීය. ලයනල් සමඟ මෙම පන්ති සඳහා සහභාගී වූ තවත් පුද්ගලයකු වූයේ, හොරණ, ඇල්ලකන්ද වත්තේ පදිංචි අබේසිංහය.
1986 වර්ෂයේ අවසාන භාගයේදී පමණ ලයනල් හට බටගොඩ ගමගේ ජයවර්ධන හමු විය. ඔහු ශීලරත්න පාරේ පදිංචි වී සිටි අතර ශීලරතන පාරේ තිබූ ජවිපෙ කාර්යාලයේ සංවිධායකයකු ද විය. කලින් දැන හැඳුනුම්කම් මත ලයනල් සමඟ සම්බන්ධ වූ ජයවර්ධන, තමන්ගේ මඟ වියදම් සහ ආහාර සඳහා ලයනල්ගෙන් කිහිප විටක්ම මුදල් ඉල්ලා ගත්තේය. ඊට අමතරව පක්ෂයට මුදල් රැස් කරන අවස්ථාවන්හිදී ආධාර පත්‍ර සඳහා ද ලයනල්ගෙන් ඔහු මුදල් ලබා ගත්තේය. “ඔහොම ඉඳලා වැඩක් නැහැ… පක්ෂයට වැඩ කරන්න ඕනේ…” නියෝග ස්වරූපයෙන් ජයවර්ධන විසින් දිනක් ලයනල්ට යෝජනා කළේය. ඒ සඳහා තමන් හමුවන ලෙස කියමින් දිනයක් සහ වෙලාවක් ලබා දෙමින්, ශීලරත්න පාරේ කාර්යාලයට පැමිණෙන ලෙස ජයවර්ධන විසින් ලයනල්ට දන්වා සිටින ලදි.
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ලයනල් විසින් ප්‍රකාශ කරන ලද්දේ, තම මතකයේ හැටියට එම දිනය “87 වසරේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දිනයක් බවය. සවස දෙකට පමණ ජයවර්ධනගේ නිවෙසට ලයනල් පැමිණෙන විට පානදුර ප්‍රදේශයේ පදිංචි ජවිපෙ සාමාජිකයකු ද එහි සිටියේය. ඔහු විසින් ලයනල් සහ එහි සිටි පිරිසට පවසන ලද්දේ “ඇතිවී තිබෙන තත්ත්වය මත පක්ෂයට සියලු දේ අවශ්‍ය වී තිබෙනවා. ඇල්පෙනෙත්තේ සිට සියලු දේම අප විසින් සොයා ගැනීමට තිබෙනවා. සල්ලි තියෙන තැන්වලින් සල්ලි සොයාගත යුතුව තිබෙනවා. ඒ සඳහා තම තමන් දන්නා තැන් තියෙනවා නම් පක්ෂයට කියන්න…” පානදුරේ ගුණතිලකගේ එම යෝජනා පිළිවෙත් අනුව යළි හමුවෙන පොරොන්දුව පිට කියාය. පිරිස විසිර ගියහ. හොරණ – රත්නපුර පාරේ පිහිටා තිබෙන සෙරන්ඩිබ් රට බීමහල, සහ තමන් විසින් විකිණීම පිණිස රට කජු මිලදී ගන්නා තිලකසිරි ස්ටෝර්ස් යන වෙළෙඳසල් දෙකේ මුදල් එකතු වන බව සහ රාත්‍රියට එම මුදල් ගෙන යන ආකාරය පිළිබඳව ලයනල්ට සිහිපත් වූයේ සුපුරුදු පරිදි පදික වේදිකාවේ රටකජු වෙළෙඳාමේ යෙදෙන විටය. කිහිප විටක්ම ලයනල්ට ජයවර්ධන හමු වූ අතර එම අවස්ථාවලදී සෙරන්ඩිබ් රටබීමහලේ සහ තිලකසිරි ස්ටෝර්ස්හි අයිතිකරුවන් කඩ වැසීමෙන් පසු තමන්ගේ වාහනවල මුදල් ගෙන යන ආකාරය පිළිබඳව ජයවර්ධනට ලයනල් විසින් තොරතුරු සැපයුවේය.
ජයවර්ධන විසින් ලයනල් රටකජු විකුණන අවස්ථාවලදී පක්ෂයේ විවිධ පුද්ගලයන් ඔහුට හඳුන්වා දුන්නේය. කරුණාරත්න, සුනිල් සහ හේරත් යන අය එසේ හඳුන්වා දුන් බව ලයනල්ට මතකය. හේරත් සේවය කරන ලද්දේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයට අයත් කළුතර දකුණ ඩිපෝවේ රියැදුරකු ලෙසය. ඔහු බසයෙන් හොරණ පැමිණි විට පදික වේදිකාවේදී රට කජු කමින් ලයනල් සමඟ කතාබහ කරන්නේය. විවාහකයෙක් වන හේරත් පදිංචි වී සිටින්නේ කළුතර යටදොළ පාරේය. හේරත් ලෙස හැඳින්වූව ද ඔහුගේ සැබෑ නම ටාසන් වීරසිංහය. හේරත් සහ තිස්ස යන නම් දෙක ඔහුට ලබා දී ඇත්තේ පක්ෂයෙනි.
ප්‍රශ්න කරන ලද පළමු දිනයේ පැය හතරක පමණ කාලයක් පුරා ලයනල් රණසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි චන්ද්‍රා ජයවර්ධන වෙත කරන ලද ප්‍රකාශය සැකවින් එසේ දැක්විය හැකිය.
අසූ නවය වසරේ මාර්තු මස 19 වැනිදා, සවස 4.10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී දෙවැනි දිනයටත් ලයනල් රණසිංහගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුවේය.
බඹරකන්ද ප්‍රදේශයේ පවත්වනු ලැබූ පක්ෂයේ කඳවුරකට ලයනල් සහභාගි කරවන ලද්දේ ජයවර්ධන විසිනි. එය පවත්වනු ලැබුවේ 1986 දෙසැම්බර් මාසයේදීය. වෙඩි තබන ආකාරය, ඉරියව් ආදිය එහිදී පුහුණුකරුවන් විසින් පෙන්වා දෙන ලදී. එම පුහුණුව ලබා දෙන ආකාරය අනුව පුහුණුකරු හමුදාවේ අයකු බව ලයනල් තේරුම් ගත්තේය.
පක්ෂයේ සන්නද්ධ යාන්ත්‍රණය පුහුණු කිරීම සඳහා ශ්‍රීපාද අඩවියේ පැවැති තවත් කඳවුරකට ලයනල් සහභාගි වූයේ මාර්තු මාසයේදීය. ජයවර්ධන විසින් ලයනල් මේ සඳහා සහභාගි කරවන ලද්දේ, කලින් ස්ථානය නොදන්වා, අදාළ පුහුණු වීම පිළිබඳව පමණක් දන්වාය. කඳවුර සඳහා සහභාගිවීමට අවශ්‍ය කැන්වස් සපත්තු, කොට කලිසම් ආදියේ සිට හාල්, තුනපහ, පොල් ආදිය ද රැගෙන ලයනල් සහ පිරිසක් ශ්‍රීපාද අඩවියට ගිය අතර, මෙම පුහුණුවේදී එකිනෙකා සමඟ පෞද්ගලික විස්තර කතා කිරීම තහනම් වූහ. එක් එක් පුද්ගලයාට අංකයක් තිබුණි. යමකුට ඇමැතිය හැක්කේ එම අංකයෙන් පමණය. වෙඩි තැබීම පුහුණු කිරීම පිණිස තුවක්කු දෙකක් එහි තිබුණි. අනෙකුත් පුහුණු කටයුතු සිදුකරන ලද්දේ, තුවක්කු හැඩයේ ලී කැබලි මඟිනි. දින හතක පුහුණුව අවසානයේදී පක්ෂයේ වර්තමාන තත්ත්වය සහ එහි ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව දේශනයක් පවත්වනු ලැබීය. ඉදිරි කාලයේදී පක්ෂය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ආයුධ ගෙන්වන බවත් ඒ නිසා මර්දනයට මුහුණදීම පිණිස අප සූදානම් විය යුතු බවත් ඔහු විසින් පිරිසට දැනුම් දුන්නේය. පුහුණුව අවසන් වී පැමිණෙන විට ලයනල් සහ පිරිස සමනළ කන්ද තරණය කර සිරිපාදය වන්දනා කිරීමට ද අමතක නොකළේය.
ලයනල් ඇතුළු පිරිසක් යොදවාගෙන පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම, ඊට ඉහළ ස්ථරයේ සිටි ජවිපෙ නායකයන්ගේ අවශ්‍යතාව විය. ඒ අනුව සෙරන්ඩිබ් රටබීමහල හෝ තිලකසිරි ස්ටෝර්ස් යන දෙකෙන් එකක් කොල්ලකෑම සඳහා පිරිස සැලසුම් කළෝය. දිනක් ජයවර්ධන විසින් ලයනල්ට පවසන ලද්දේ, රාත්‍රි අටට පමණ හොරණ හන්දියේ බෝගස ළඟ ඇති ඇති රෑ කඩය අසලට පැමිණෙන ලෙසය. අණට කීකරු වී ලයනල් පැමිණි අතර සුදු පැහැති හයිඑස් වෑන් රථයක් පදවා ගෙන පැමිණි ටාසන් වීරසිංහ ඇතුළු තිදෙනෙක්, මිතුරකු පටවා ගන්නා ආකාරයෙන් ආමන්ත්‍රණය කර ලයනල් වාහනයට නංවා ගත්තේ, නගරයේ සිටි පිරිසට සැකයක් ඇති නොවන ආකාරයටය.
පිරිසගේ සැලසුම වූයේ හොරණ තිබූ තිලකසිරි ස්ටෝර්ස්හි පානදුර ශාඛාව කොල්ලකෑමය. ඒ සඳහා ඔවුන් සතු වූයේ ගල්කටස් අවි දෙකක්, පතුරම් රහිත පිස්තෝලයක්, සුදු යකඩ කිනිසි තුනක් පමණය. ඒ මෙහෙයුම සාර්ථක නොවූයේ, මුදල් රැගෙන යන වාහනය සමඟ කඩයට අයත් තවත් ලොරියක් පැමිණීම සහ නොසිතූ ලෙස පිරිසට වෑන් රථය මඟ හැරීම නිසාය. වෑයම අසාර්ථක වූ හෙයින් ගල්කටස් තුවක්කුවක්, පිස්තෝලය සහ කිනිසි තුනක් රෙදි බෑගයට දමා ජයවර්ධන විසින් ලයනල්ට භාර දෙනු ලැබීය. තමන්ගේ පොත් තිබෙනා, ට්‍රන්කා පෙට්ටියේ ඒ සියල්ල සඟවා තැබූ ලයනල්, පසුදා රටකජු වෙළෙඳාමට නොගොසින් නිවෙසේ කුස්සියේ අලුත්වැඩියා කටයුත්තක යෙදුණි. සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟ පැමිණෙමින් තිබූ නිසා, මුළුතැන්ගෙය පිළිසකර කිරීමේ අවශ්‍යතාවක් ලයනල්ට තිබුණි. එදින දහවල් දෙකට පමණ ලයනල්ගේ නිවසට පැමිණි ජයවර්ධන, එදින රාත්‍රියේදී හොරණ නගරයේදී මුණගැසෙන ලෙසත් බෑග් දෙක රැගෙන එන ලෙසත් දන්වා විගසින් නික්ම ගියේය.
එදින රාත්‍රියේ ද පෙරදා මෙන්ම ටාසන් වීරසිංහ හෙවත් හේරත් විසින් සුදු පැහැති හයිඑස් වෑන් රථය පදවාගෙන පැමිණියේය. වෑන් රථයට ලයනල් ගොඩවන විට, සුනිල්, කරුණාරත්න සහ ජයවර්ධන එහි සිටියහ. තිලකසිරි ස්ටෝර්ස්හි මුදල් කොල්ලකෑම පිරිසගේ අභිප්‍රාය වූවත් යෙදී තිබූ තත්ත්වය හමුවේ, සෙරන්ඩිබ් රටබීමහලේ එකතුව ඇති මුදල් රාත්‍රියේ රැගෙන යන විට කොල්ලකෑමට පිරිස තීරණය කළහ. අවි ආයුධ සමඟ හොරණ නගරයේ, වෑන් රථයේ පිරිස රැඳී සිටින විට නොසිතූ ලෙස පොලිස් කණ්ඩායමක් වෑන් රථය සහ පිරිස පරීක්ෂා කිරීමට පටන් ගත්හ. වෑන් රථයේ තිබූ අවි ආයුධ පොලිසියට හසුවීමත් සමඟ හතර දෙනාම වෑන් රථයත් සමඟම පොලිසියට ගෙන ගොස් කූඩු කිරීමට පොලිසිය පියවර ගත්තේය. ජයවර්ධන ප්‍රධාන කර ගනිමින් සිවු දෙනාගෙන් වෙන වෙනම පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද අතර ලයනල්ගෙන් ප්‍රශ්න කරන විට ඔහු ප්‍රකාශ කරන ලද්දේ “අපි ඔක්කොම ජවිපෙ සාමාජිකයන්… අද ආවේ තිලකසිරි ස්ටෝර්ස් එක හරි සෙරන්ඩිබ් එක හරි කොල්ලකන්න… ඊයේ පානදුරේ තිලකසිරි එක කොල්ලකන්න ගියත්, වැඩේ හරි ගියේ නැහැ…” යනාකාරයෙනි. මෙසේ සියල්ල වැමෑරීමේ ප්‍රතිඵලයක් ලෙස, පිරිස හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවා, රක්ෂිත බන්ධනාගාරගත කරන තැන දක්වා සිද්ධිය දුරදිග ගියේය. ඊට අමතර සියලු දෙනාගේ ඡායාරූප සහ ඇඟිලි සලකුණු ද හොරණ පොලිසිය විසින් ලබා ගන්නා ලදී. ලයනල් විසින් හෙළි කරන මෙම සිද්ධිය රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර 1987 අප්‍රේල් 16 වැනිදා දිවයින පුවත්පත විසින් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලය බවට එය පත් කරගෙන තිබුණි.“භයානක අවි ආයුධ සහ විප්ලවීය පොත්පත් සමඟ තහනම් පක්ෂයේ පස් දෙනෙක් අසු වෙති.” ලෙස සඳහන් කරන ලද එම පුවත පිළිබඳව පසු වාර්තාවක් අප්‍රේල් මස 18 වැනිදා දිවයින පුවත්පතේ පළ විය. “හොරණ ප්‍රසිද්ධ තැපැල්හල අසලදී පසුගිය 12 දා හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණට අයත් යැයි කියන පස් දෙනාගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකුගේ නිවසක තිබී කලකට ඉහත දී සොරා ගන්නා ලද මෝටර් සයිකල් දෙකක් සොයා ගෙන තිබේ.
භයානක අවි ආයුධ සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් පොත් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ මෙම අය පැමිණ ඇති 40 ශ්‍රී 3182 අංකය ඇති සුදු පැහැති හයිඑස් වෑන් රථය දැනට හොරණ පොලිස් ස්ථානයේ තබා ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මෙසේය. පහළමුල්ලගේ ලයනල් රණසිංහ, අබේසිංහ ආරච්චිගේ සුනිල්, දේවගේ කරුණාරත්න පෙරේරා, ටාසන් වීරසිංහ, බටගොඩගමගේ ජයවර්ධන යන අය වෙති. යනුවෙන් සඳහන්වෙන එම පුවත මඟින් ලයනල්ගේ සාක්ෂිය සනාථ වන බව කිව හැකිය.
ඔසිත අත්තනායක