Home » තිස් පස් වසරක් කට්ටි පැන්න ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතකයන් කොටු කළ සැරයන්ගේ මෙහෙයුම

තිස් පස් වසරක් කට්ටි පැන්න ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතකයන් කොටු කළ සැරයන්ගේ මෙහෙයුම

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment
ආචාර්ය අමරසිරිගේ සිරුර තිබූ වළ අසල පාළු නිවෙස සහ අත්අඩංගුවට ගත් වරදකාරිය අධිකරණයට රැගෙන එමින්

ලංකා විදුලි බල මණ්ඩලයේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කළ විදුලි ඉංජිනේරු ආචාර්ය ඩබ්ලිව්. ඒ. අමරසිරිගේ ඝාතනය භීෂණයෙන් රටම වෙළාගෙන තිබුණු අඳුරු යුගයක සිදු වූ රටේම දැඩි අවධානයට ලක්වූවකි. අත්පා කපා කැබලි කර සැමන් මාළු ටින්වල අසුරන ආකාරයට තාර බැරලයක බහා පනාගොඩ, ඇඹුල්ගම, පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ ගෙවත්තක වළදමා තිබුණු ඔහුගේ සිරුර පොලිසිය විසින් ගොඩගනු ලබන්නේ අදින් වසර 35කට පෙරය.

එදා මුළු රටේම දැඩි කතාබහකට පවා ලක්වූ ආචාර්ය අමරසිරිගේ ඝාතන ඉතිහාසය නැවතත් ඇවිස්සෙන්නේ වසර 34ක් පුරාවට අධිකරණය මඟ හැර කට්ටි පනිමින් සිටි මෙම ඝාතනයට මරණීය දණ්ඩනයෙන් දඩුවම් පවා හිමිව සිටින කාන්තාවක් පොලිසියට කොටුවීමත් සමඟිනි. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සේවයේ නිරත සම්පත් නමැති පොලිස් සැරයන්වරයා දීර්ඝ කාලයත් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාන්තාව අත්අඩංගුවට ගන්නේ පානදුර, අළුබෝමුල්ල, පමුණුගම පිහිටි නිවෙසක රැඳී සිටියදී පසුගිය 10 වෙනිදාය.   

ආචාර්ය අමරසිරිව මිලේච්ඡ ලෙස එදා මරා දමා තිබුණේ මෙම කාන්තාවගේ සැමියා විසිනි. ආචාර්ය අමරසිරි රාජකාරි කළ විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් ලෙස සේවය කළ ඇය කමනි චමිපිකා සුමනසේකර නම් වූවාය. ඇය එකල පසුවූයේ 31 හැවිරිදි වියේය. චම්පිකාගේ සැමියා සුනිල් සරච්චන්ද්‍ර සුමනසේකරය. එකල ඔහු පසුවූයේ 35 හැවිරිදි වියේය. වැලිපිල්ලෑව හොල්ලා ගෙන සිටි ඔහුව ඒ පැත්තේ වැසියන් ඇමතුවේ නන්දන යැයි කියාය. නන්දන සේවය කළේ ලංගමයේය. ඒ මාර්ග පරීක්ෂකවරයෙක් ලෙසිනි.

ආචාර්ය අමරසිරිගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයෙන් සිරදඩුවම් නියම වී සිටින්නේ ඇය පමණක් නොවේ; නන්දනට ද එම දඩුවම හෝමාගම මහාධිකරණය විසින් නියම කර තිබුණි. 1990 වසරේ සිට නන්දනත්, කමනිත් සිටියේ අධිකරණය මඟහැර කට්ටිපනිමින්ය. හෝමාගම මහාධිකරණයේ දී නඩුව විභාගයට ගන්නේ ඔවුන් දෙදෙනා නොමැතිවය. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ නඩුවේ තීන්දුව 2019 වසරේදී ලබා දෙන්නේ ඔවුන් දෙදෙනාම එල්ලුම් ගස් යවමිනි.

මේ කාලය පුරාවටම, පොලිසියට ද වසන් වෙමින් කට්ටි පැන්න ද අවසානයේදී සැමියා කෙසේ වෙතත් ඇය නීතියට කොටු වන්නේ ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ නන්දනටත් තව වැඩිකල් කට්ටි පනින්නට ඉඩක් නොලැබෙන බවය. ඒ ඔහු යන එන තැන්, ඇසුරු කරන්නන් ආදී බොහෝ දේ විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් හෙළි කරගෙන හමාර බැවිනි.

මෙම අඹුසැමි යුවළ අතින් ඝාතනය වන ආචාර්ය අමරසිරි විදුලිබල මණ්ඩලයේ කොළඹ මූලස්ථානයේ එකල සිටි බලවතුන් අතර සිටි නිලධාරීන් අතළොස්සක් අතර කැපී පෙනෙන චරිතයකි. ඔහුට දේශපාලන හයිහත්තියෙන් ද අඩුවක් එකල නොවීය. විදුලිබල මණ්ඩල මූලස්ථානයේම සේවයේ නිරතව සිටි ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් වූ කමනි චම්පිකා ඕනෑවටත් වඩා ආචාර්ය අමරසිරිට කුළුපග වෙමින් අනියම් අසුරක් ගොඩනඟා ගන්නේ ද එබැවිනි. ඇයත් සමඟ ඔහු හෝටල් කාමරවලට පවා ගොස් තිබුණේ කම්සැප විඳින්නටය. එම අනියම් ඇසුර එකල විදුලිබල මණ්ඩල මූලස්ථානය පුරා පැතිර තිබුණු ප්‍රසිද්ධ රහසකි. ඒ ගැන කිසිවකුත් ප්‍රසිද්ධියේ කතාබහ කරන්නට නොගියේ ආචාර්ය අමරසිරිට පැවැති බලපුළුවන්කාරකම් ගැන දැන සිටි බැවිනි.

එදා 1989 වසරේ ජනවාරි 04 වෙනිදාය. ඔහු කැලණිය වරාගොඩ පිහිටි නිවෙසේ සිට සුපුරුදු ලෙස විදුලිබල මණ්ඩල මූලස්ථානයට එන්නේ සිය මෝටර්රියේ නැඟීය. ඒ පැමිණි ඔහු එදා වැඩි වේලාවක් කාර්යාලයේ රැඳී සිටියේ නැත. උදෑසන 10.30 පමණ වන විට කාර්යාලයෙන් බැහැරව යන්නේ ඔහුට ලද දුරකතන ඇමතුමකින් පසුවය. අඩුම තරමින් සිය ප්‍රධානියකුටවත් තමන් යන්නේ කොහේදැයි කියාවත් ආචාර්ය අමරසිරි කියා තිබුණේ නැත. ඒ ඔහුගේ හැටිය. ඒ ගිය ආචාර්ය අමරසිරි නැවතත් කිසිවකුටත් පණ පිටින් දකින්නට ලැබුණේ නැත. හමුවන්නේ බැරලයක වළදමා තිබුණු කැබලි කරන ලද ඔහුගේ සිරුරය. ඒ දින 09කට පසුවය. එසේ ඔහුගේ සිරුර පවා සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ සිය සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් ආචාර්ය අමරසිරිගේ බිරිය විසින් කළ පොලිස් පැමිණිල්ලකට අනුවය. පෙර දින රැකියාව සඳහා පිටත්ව ගිය සිය සැමියා නැවත නිවෙසට නොපැමිණි බව පවසමින් ඇය එම පැමිණිල්ල කරනු ලබන්නේ කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොසිනි. ඒ ඔහු ගැන සොයන්නට හැකි හැම තැනකම ගොස් සොයා බැලීමෙන් අනතුරුව කිසිඳු තොරතුරක් නොවූ තැනය. මෙම පැමිණිල්ල කොම්පඤ්ඤවීදිය පොලිසියටම කරන්නට ඇයට සිදුවන්නේ විදුලිබල මණ්ඩල මූලස්ථානය පිහිටියේ එම පොලිස් බලප්‍රදේශයේ වූ බැවිනි.

දෙදරු පියෙක් වූ ආචාර්ය අමරසිරි ඒ වන විට පසු වූයේ 45 වියේය. සෙල්ලක්කාර ජීවිතයකට ද හුරුවී සිටියෙක් වූ ආචාර්ය අමරසිරිට සිදු වූයේ කුමක්දැයි සොයා කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලබන්නේ විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඔහුගේ කාර්යාලයෙන්මය. ඒ ඔහු අවසන්වරට රැඳී සිටියේ යැයි කියැවෙන්නට වූයේ සිය කාර්යාලය තුළ වූ බැවිනි. එදා ඔහු කැලණිය වරාගොඩ සිට පැමිණි මෝටර් රථය ද විදුලිබල මණ්ඩල රථ ගාලේ නවතා තිබූ හැටියටම තිබුණේය. මෝටර් රිය එසේ මග දමා යාමේ පුරුද්දක් සිය සැමියාට නොමැති බව බිරිය කියන්නට වූ බැවින් පොලීස් විමර්ශකයන් මුලින් සැකකරන්නට වූයේ ආචාර්ය අමරසිරි මහතා භීෂණයේ ගොදුරක් බවට ඒ වන විට පත්ව තිබේදැයි කියාය. ඒ රට පුරා ඒ වන විට භීෂණය රජ කරමින් පැවැති බැවිනි.

මෙහිදී පොලිස් විමර්ශකයන්ගේ විශේෂ අවධානයකට යොමු වන්නේ ආචාර්ය අමරසිරි අතුරුදන් වීමට පෙර ලැබුණේ යැයි කියන දුරකතන ඇමතුම කෙරෙහිය. එදා, අද මෙන් තාක්ෂණය දියුණු තත්ත්වයක නොවීය. දුරකතන පවා තිබුණේ රටේ සීමිත පිරිසකටය. ඒ රැහැන් සහිත දුරකතන පමණි. ඇමතුම්කරු හඳුනා ගැනීමේ පහසුකම් පවා නොවීය. විදුලිබල මණ්ඩලයට එන යන දුරකතන ඇමතුම් සියල්ල පාලනය වූයේ දුරකතන ක්‍රියාකරු හරහාය. ආචාර්ය අමරසිරිට ලැබුණේ යැයි කියූ ඇමතුම ආවේ ද දුරකතන ක්‍රියාකරු හරහාය. එබැවින් පොලිස් විමර්ශකයන් ප්‍රශ්න කරන්නට වූයේ දුරකතන ක්‍රියාකරුගෙනි. ආචාර්ය අමරසිරිට එම අවසන් ඇමතුම ලැබී ඇත්තේ 10.20ට බව අනාවරණය වන්නේ එවිටය. එම ඇමතුම කාන්තාවකගෙනි.

විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට ඇති බස් නැවතුම් පොළෙන් ආචාර්ය අමරසිරි හෝමාගම බලා ධාවනය වන මගී බස් රථයකට ගොඩ වූ බවට තොරතුරක් පොලිස් විමර්ශකයන්ට ලැබෙන්නේ ඔය අතරතුරදීය. එම තොරතුර ලැබෙන්නේ නීතීඥවරියකගෙනි. ආචාර්ය අමරසිරිව හොදින් දන්නා කියන ඇය පොලිස් විමර්ශකයන්ට පවසන්නේ “ කාර් එකක් තියෙද්දී ඇයි බස් එකේ යන්නේ “ යැයි කියා තමන් ඔහුගෙන් විමසූ බවය.

“කාර් එක අද මම පාවිච්චි කරන්නේ නැහැ. “ ඊට ආචාර්ය අමරසිරිගෙන් ඇයට ලැබී ඇත්තේ එවැනි කෙටි පිළිතුරක් පමණි. හෝමාගම බලා ධාවනය වන ලංගම බස් රථයකට ඔහු ගොඩවී ඇත්තේ ඒත් එක්කමය.

ආචාර්ය අමරසිරි සිය කාර්යාලයේ සේවයේ නිරත ලඝු ලේඛිකාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බව ඒ වන විටත් පොලිස් විමර්ශකයන්ට ද රහසක් නොවීය. ආචාර්ය අමරසිරි අතුරුදන්වූ දින ඇය සේවයට වාර්තා කර නොතිබුණාය. දුරකතන ඇමතුම ලැබෙන්නේ කාන්තාවකගෙනි. ඒ කවුරුන්දැයි කියන්නට දුරකතන ක්‍රියාකරු දැන නොසිටියත් විමර්ශකයන් සැකකරනු ලබන්නේ එදා ලඝු ලේඛිකාව සේවයට නොපැමිණි බැවින් එම ඇමතුම ඇය විසින් ලබා දී ඇති බවය. එම සැකය තීව්‍ර වන්නේ ආචාර්ය අමරසිරිගේ අතුරුදන්වීමත් සමඟ ඇය ද සේවයට එක දිගටම වාර්තා නොකර සිටීමෙනි.

මේ දෙදෙනා කාටත් හොරා කියන්නට බැරි ගමනක් ගොස් තිබේදැයි සැකයක්ද ඒත් එක්කම පොලිස් විමර්ශකයන් සිතුවේය. විදුලි සේවකයන් අතර ද ඒ ගැන කසුකුසුවක් ලොකුවටම ගොස් තිබුණේය. පනාගොඩ, ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි ඇගේ නිවෙස සොයා පොලිස් විමර්ශකයන් යන්නේ එබැවිනි. ඒ ඇය නිවෙසේ සිටින්නේ නම් ආචාර්ය අමරසිරි ගැන යමක් ඇගෙන් දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

ඇය පදිංචිව සිටි නිවෙසට ඉතා පහසුවෙන්ම පොලිස් විමර්ශකයන් එදා ගමන් ගත්තේය. ඒ ආචාර්ය අමරසිරිගේ දින පොතේ ඇගේ නිවෙසට යන මඟ සටහන් කර තිබුණු බැවින් ඒ ඔස්සේය. එම නිවෙසට පොලිස් විමර්ශකයන් යන විට එය පත්ව තිබෙන්නේ පාළු අම්බලමක් බවවය. ඒ ඇයත් සැමියාත් දින කිහිපයකට පෙර සිට ගේ දොර අතහැර ගොස් තිබුණු බැවිනි. සැමියාගේ දෙමවුපියන්ගේ රැකවරණයේ සිටි සිවු හැවිරිදි දරුවා ද ඒ අය ළඟම තබා ඔවුන් දෙදෙනා අතුරුදන් වන්නේ යන එන තැනක්වත් අසල නිවෙසක ජීවත් වූ සැමියාගේ මවුපියන් හෝ ඥතීන්ටවත් නොකියාය. ඒ අනුව පොලිස් විමර්ශකයන්ට තදබල ලෙස සැකයක් මතු වන්නේ ආචාර්ය අමරසිරිගේ අතුරුදන්වීම හා මෙම අඹුසැමි යුවළගේ අතුරුදන්වීම අතර සම්බන්ධයක් ඇති බවකි. ආචාර්ය අමරසිරිගේ අතුරුදන්වීම භීෂණයේ අතුරු ප්‍රතිඵලයක් නොවන බව ඒත් එක්කම පොලිස් විමර්ශකයන්ට පැහැදිලි විය.

වසා දමා තිබුණු නිවෙස එදා පොලිස් විමර්ශකයන්ගේ දැඩි පරීක්ෂාවකට ලක්වන්නේ ආචාර්ය අමරසිරිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් යම් වැදගත් සාක්ෂියක් මෙම නිවෙසින් සොයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂාව ඇතිවය. ඉතා සියුම් ලෙස කළා වූ එම පරීක්ෂාවේදී පොලිස් විමර්ශකයන්ට නිවෙසින් හමුවන මෝල් ගහක ඇති ලේ පැල්ලම් කිහිපයක් ගෙන දෙන්නේ දැඩි සැකයකි. තවදුරටත් කළ පරීක්ෂාවේදී සෝදා පිරිසුදු කළ බවට අනුමාන කළ හැකි කඩුවක් ද සොයා ගත්තේය. අඩි දෙකහමාරක් පමණ දිග තලයක් සහිත එම කඩුව සියුම් ලෙස පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එහි ද ලේ බිඳු කිහිපයක් ගෑවී ඇති බවය.

මෙම නිවෙස පිහිටි ඉඩමේ කුකුළු ගොවිපොළක් ද පවත්වා ගෙන ගොස් තිබුණේය. එම ගොවිපොළේ සේවය කළ දෙදෙනෙක් ද ඒ වන විට සිටියේ අතුරුදන්වය. මේ හැම දෙයක් කෙරෙහිම විමර්ශකයන්ට ඇතිවන්නේ තදබල සැකයකි. එම සැකය මුල්කරගෙන විමර්ශකයන් වත්ත වටේ කළ සෝදිසියකදී පෙනී යන්නේ නිවෙස පිටුපස යම් ස්ථානයක් කෙරෙහිය. එතැන වසා දැමුණු වළක සලකුණක් පෙනෙන්නට තිබුණේය. එය මෑතකදී වසා දැමුණු වළක් බව එම පස් ගොඩ නිරීක්ෂණයේදී පෙනී ගියේය. “ආචාර්ය අමරසිරිව මරල මෙතැන වළදාල ද දන්නේ නැහැ.“ යැයි සිතුවිල්ලක් විමර්ශන නිලධාරීන්ගේ සිත් තුළට එන්නේ ඒ වන විටත් නිවසේ තිබී හමු වූ මෝල් ගසේ සහ කඩුවේ තිබුණු ලේ පැල්ලම් නිසාය. එම සැකය තහවුරු කර ගැනීමට විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ එම ස්ථානය හාරා පරීක්ෂා කිරීමටය. එය හිතුමතේට සිදු නොකර එම ප්‍රදේශය භාර අතුරුගිරිය පොලිසිය දැනුවත් කරමින් සිදු කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ ආචාර්ය අමරසිරිගේ අතුරුදන්වීම අපරාධයක ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ බැවිනි.

එකල නුගේගොඩ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියේ හෙන්රි පෙරේරාය. අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියේ පොලිස් පරීක්ෂක වෑගොඩපොලය. අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතවූයේ උප පොලිස් පරීක්ෂක විජිත ගුණරත්නය. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස මෙම නිලධාරියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නේ 2022 වසරේදීය.

වැලිපිල්ලෑව අයත්වූ අධිකරණ බලප්‍රදේශය වූයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයයි. එකල මහාධිකරණ බලප්‍රදේශය වූයේ අවිස්සාවේල්ලය. අපරාධ ස්ථානයක කැනීමක් කළ යුතු වූයේ අධිකරණයට දැනුම්දී මහේස්ත්‍රාත්වරයකුගේ අධික්ෂණයෙන් වූ බැවින් සැකයට ලක්වූ ස්ථානය කැනීමට අවශ්‍ය නීතිමය පසුබිම එදා සකස් කර දෙන්නේ උප පොලිස් පරීක්ෂක විජිත ගුණරත්න විසිනි. ඒ අනුව එම ස්ථානය හෝමාගම මහේස්ත්‍රාත් රත්නාවලී චන්ද්‍රිකා හෑගොඩ ඉදිරියේ කැනීමට ලක්වන්නේ 1989 වසරේ ජනවාරි 14 වෙනිදාය. යාර දෙක බැගින් වූ දිග පළල කොටුවක් ලෙස සිදු කළ එම කෑණීම යාර 03ක් ගැඹුරට යන විට හමුවන්නේ තහඩු බැරලයකි. එය ගැලුම් 45 ප්‍රමාණයේ එකකි. එම බැරලය ගොඩගෙන විවෘත කරන විට ඒ තුළින් හමන්නේ මිනී කුණු ගඳකි. සැමන් මාළු අසුරා ඇති ආකාරයට ඇසිරූ ආචාර්ය අමරසිරිගේ මළ සිරුර ඒ තුළින් මතු වන්නේ බැරලයේ මූඩිය විවෘත කිරීමේදීය. ගෝනියක ඔතා තිබුණු එම සිරුර එදා පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කරනු ලබන්නේ කොළඹ පොලිස් මෝචරියේදීය. ඒ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කථිකාචාර්ය උපුල් තෙලිසිංහ විසිනි. එදා ආචාර්ය අමරසිරිගේ මළ සිරුර හඳුනා ගනු ලබන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයකු වූ කඩවත ඇල්ෙදණියේ පදිංචිකරුවෙක් වූ ඩබ්ලිව්. චන්ද්‍රසිරි ය.

මරණ පරීක්ෂණයේදී පෙනී යන්නේ මොට ආයුධයකින් හිසට පහරදී බෙල්ල කපා ආචාර්ය අමරසිරිව මරා දමා ඇති බවය. අත්පා කපා කොටස් කර ඇත්තේ ඔහු මිය ගිය පසුව බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. සිරුරේ තුවාල සලකුණු බොහොමයක්ම එහිදී නිරීක්ෂණය වී තිබුණු අතර ඇතැම් තුවාල සලකුණුවල දම් පැහැති ඖෂධ වර්ගයක් ද ගල්වා තිබී ඇත. ගෙල හිසින් වෙන් කර තිබී ඇති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ බර අයුධයක් බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. එම බර ආයුධය නිවසින් සොයාගත් කඩුවය. හිසට ප්‍රහාරය එල්ලවී තිබුණේ මෝල් ගසිනි. නිවෙසින් හමු වූ මෝල් ගසේ ලේ පැල්ලම්වලට අමතරව කෙස් ගස් කිහිපයක් ද ඇලී තිබී ඇත. එම කෙස් ගස් මෝල් ගසින් හිසට පහර දුන් බවට සාක්ෂිය ගෙන දුන්නේය. මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ආචාර්ය අමරසිරිගේ මරණය සිදු වූයේ කුමන වේලාවකදැයි සොයා බලන්නට පවා අමතක නොකළේය. එහිදී පෙනී යන්නේ ඔහු හිස් බඩ පිටින්ම මියගොස් ඇති බවකි. ඒ ආමාශය හිස්ව පැවතීම හේතුවෙනි.

මේ හැම කරුණක්ම පෙළගැස්වීමෙන් අනතුරුව කොම්පඤ්ඤවීදිය පොලිසියේ විමර්ශන නිලධාරීන් ආචාර්ය අමරසිරිගේ ඝාතනය සිදුවී ඇති ආකාරය ගැන යම් චිත්‍රයක් ගොඩනඟා ගත්තේය. ඒ ඇය විසින් දුරකතන ඇමතුමක් දී ආචාර්ය අමරසිරිව නිවසට ගෙන්වා ගෙන ඇති බවය. එහිදී ඇතිවුණු යම් සිදුවීමකදී ආචාර්ය අමරසිරි ඝාතනය වී ඇති බවත් ඊට ඇගේ සැමියාගේ ද සම්බන්ධයක් ඇති බැවින් ගේ දොර අතහැර ඔවුන් දෙදෙනා පළාගොස් ඇති බව විමර්ශකයෝ අනුමාන කරන්නට වූහ. ඒ හැමදේකම ඇත්ත නැත්ත එළියට එන්නේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ එවකට ස්ථානාධිපති ලෙස සේවයේ නිරත පොලිස් පරීක්ෂක එන්. සෙනෙවිරත්න අතුළු විමර්ශන නිලධාරීන් කමනි චම්පිකාත් ඇගේ සැමියා වූ සුනිල් සරච්චන්ද්‍රත් බොරැල්ල වනාතමුල්ලේ පිහිටි නිවෙසක සැඟවී සිටියදී අත්ඩංගුවට ගැනීමත් සමඟිනි. ලංගම සේවකයකුගේ නිවෙසක සැඟවී සිටි ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ මළ සිරුර හමුවී දින පහක් ගෙවී යන්නට මත්තෙනි.

“අපි දෙන්නගේ සම්බන්ධය නන්දන දැනගෙන මට ගහල විස්තර ඇහුවා. එයා ටිකක් සැරපරුෂ කෙනෙක්. මම බයටම එයාට හැමදෙයක්ම කිව්වා. ඒ වෙලාවේ නන්දන මට කිව්වා අමරසිරි සර්ට කෝල් කරල ගෙදරට එන්න කියපන් කියල. ගුටි කන්න බැරිකමට මම සර්ට කෝල් කරල ගෙදර එන්න කිව්වා.“ ප්‍රශ්න කිරීම් හමුවේ කමනි චම්පිකා විමර්ශන නිලධාරීන් හමුවේ එදා පවසා තිබුණේ එවැනි කතාවකි.

එකල අතුරුගිරිය පැත්තේ දුරකතන සම්බන්ධකම් පැවතියේ පොලිසිය සහ තැපැල් කන්තෝරුව ඇතුළු සීමිත ස්ථාන කිහිපයක පමණි. ඇගේ නිවෙසේ දුරකතන තිබුණු බවක් අනාවරණය වන්නේ නැත. එදා ඇය ආචාර්ය අමරසිරිට දුරකතන ඇමතුම දුන්නේ කෙසේදැයි කියා අදටත් පැහැදිලි නැත. කෙසේ වෙතත් ආචාර්ය අමරසිරි එදා ඇයව මුණගැසීමට වැලිපිල්ලෑවට පැමිණ ඇත්තේ දුරකතන ඇමතුම අනුව බව නම් පැහැදිලිය.

“මම දැනගෙන හිටියා සර්ගේ ජීවිතයට අනතුරක් කියල. ඒත් එන්න එපා කියල පණිවුඩයක් දෙන්න විදිහක් තිබ්බේ නැහැ. නන්දන මට කිව්වා ගේ ඇතුළට වෙලා හිටපන් කියල. එයාට විරුද්ධව යන්න මට හයියක් තිබ්බේ නැහැ. මම එයා කියපු හැටියට කාමරයට වෙලා හිටියා“ යැයි ද ඇය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණාය.

එදා ආචාර්ය අමරසිරි මේ කිසිවක් නොදැන ඇය මුණගැසීමට පැමිණ නිවෙසට ඇතුළුවනවාත් සමඟම නන්දන ඔහුගේ පිටුපසින් පැමිණ අතදිග හැර හිසට පහරක් ගසා ඇත්තේ මෝල් ගසිනි. එම පහර වදින්නේ හිසේ පිටුපස පැත්තටය. එම මෝල්ගස් පහරින් ඔහු කපා හෙලූ කඳක් සේ බිම ඇද වැටීමෙන් පසු නන්දන කුඩා පිහිතලයක් ගෙන උගුරු දණ්ඩ කපා දමන්නේ කටට දෙහි ගෙඩියක් දමා ආචාර්ය අමරසිරි ගේ අවසානය සටහන් කරමිනි. අගල් 05ක් දිග මිටක් සහිත අඟල් 08ක තලයක් සහිත එම පිහිය ද කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් පසුව සොයා ගත්තේය.

ආචාර්ය අමරසිරිගේ ගෙල කඳින් වෙන්කර සිරුර කොටස්වලට කපා බැරලයක බහා නිවෙස පිටුපස ළිඳට දමා වළ දමන්නේ ගෙල කපා ඔහුගේ මරණය සිදු කිරීමෙන් අනතුරුවය. එසේ සිරුර කැබලිවලට කපන විට ආචාර්ය අමරසිරිගේ ගෙල බැදි රන් මාලයත් ඇගිල්ලේ පැලඳ සිටි මුද්දත් මුදල් පසුම්බියත් අතට ගත් නන්දන එය පසුව ගමේ වෙළඳසලක මුදලාලි කෙනෙකු අත තබන්නේ පරිස්සමට තබා ගන්නැයි කියාය. එම රන් භාණ්ඩත් මුදල් පසුම්බියත් විමර්ශකයන් නන්දනගේ ප්‍රකාශ මත සොයා ගත්තේය.

නිවෙස පිටුපස ළිඳට මළ සිරුර දැමූ බැරලය දැමීමෙන් පසු එම වළ දින දෙකක් තිස්සේ පස් රැගෙන විත් වසා දැමූ නන්දන සිය බිරිය කැටිව පළා යන්නේ ඉන් අනතුරුවය. එහිදී ඔහු සැඟවීමට වඩාත් ආරක්ෂිත ස්ථානයක් ලෙස සලකන්නේ බොරැල්ල වනාතමුල්ලේ පදිංචිව සිටි ලංගමයේ සේවය කළ සිය සහෝදරයකුගේ නිවෙසකි. කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන්ට ඔහු හසු වන්නේ එම නිවෙසේ රැඳී සිටියදීය.

ආචාර්ය අමරසිරි මරා දැමීමෙන් පසු මේ අය ඔහුගේ උපැස් යුවළ විසිකර තිබුණේ දියවන්නාවටය. ඒ පාලම් තුන හන්දියෙනි. ලේන්සුව සහ පාවහන් යුවළ දමාගොස් තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති විද්‍යාලය අසල වගුරුබිමකය. එම ලේන්සුවත් පාවහන් යුවළත් විමර්ශකයන් සොයා ගත්තේය. කිමිදුම්කරුවන් යොදා දියවන්නා ඔය පීරුවත් උපැස් යුවළ නම් සොයා ගන්නට නම් නොවීය.

උපැස් යුවළ නොවූවත් ආචාර්ය අමරසිරි ඝාතනය සම්බන්ධයෙන් කමනී චම්පිකාටත් ඇගේ සැමියා වූ සුනිල් සරච්චන්ද්‍ර නොහොත් නන්දනටත් එරෙහිව ඕනෑවටත් වඩා පරියේෂණාත්මක සාක්ෂි කොම්පඤ්ඤවීදිය පොලිසිය සතු විය. ඒ හැරුණු කොට පුද්ගල සාක්ෂි ද 80කට වැඩිය පොලිස් විමර්ශකයන් සටහන් කරගෙන තිබුණේය. මේ හැම සාක්ෂියක් සමඟ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට 1989 ජනවාරි 15 වෙනිදා ඉදිරිපත් කළ මෙම අඹුසැමි යුවළ බන්ධනාගාරගත කරනු ලබන්නේ දින 14ක කාලයකටය. මාස හයක පමණ කාලයක් එසේ දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාරගත වන මෙම යුවළට ඇප ලැබෙන්නේ 1989 වසරේ මැද භාගයේදීය. ඇපකරුවන් ලෙස ඉදිරිපත් වන්නේ නන්දනගේ පියාත් මස්සිනාත්ය. දැන් ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැත.

ඇප ලැබීමෙන් අනතුරුව අවස්ථා දෙක තුනක් අධිකරණය හමුවේ පෙනී සිටියත් පසුව ඔවුන් දෙදෙනා අධිකරණය ද මඟහැර දරුවාව ද රැගෙන අතුරුදන් වන්නේ ආචාර්ය අමරසිරිගේ ඝාතනයට එල්ලුම් ගහට ගොඩවන්නට සිදුවන බව වටහාගෙනය. ඇප මත සිටි ඔවුන් දෙදෙනා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලබන්නේ 1990 වසරේදීය. එකල හෝමාගම මහාධිකරණයක් නොවූ බැවින් මෙම නීතිපතිවරයා විසින් මෙම යුවළට එරෙහිව ආචාර්ය අමරසිරි ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලබන්නේ අවිස්සාවේල්ල මහාධිකරණයේය. මහාධිකරණයේ නඩු විභාගයන්ට පවා ඉදිරිපත් නොවීම හේතුවෙන් අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ද ඔවුන්ට වරෙන්තු නිකුත් කර තිබී ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසිනි.

හෝමාගම මහාධිකරණයක් ස්ථාපිත වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණයේ පැවැති මෙම නඩුව හෝමාගම මහාධිකරණය මඟින් විභාග කරන්නට වූයේ චූදිතයන් නොමැතිවය. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති එම නඩු විභාගය අවසානයේදී මේ යුවළට එල්ලුම් ගහ නියම වන්නේ 2019 වසරේදී පෙබරවාරි 08 වෙනිදාය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා සිටින්නේ අධිකරණය මඟහැර සැඟවෙමිනි.

පොලිස් සැරයන් සම්පත් (70701) නිලධාරියා අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ සේවයට එක්වන්නේ මෙම වකවානුව තුළදීය. සංවිධානාත්මක අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම් සහ අභිරහස් අපරාධ විසඳීම සඳහා ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති බස්නාහිර දකුණ සහ බස්නාහිර උතුර යන අපරාධ විමර්ශන කොට්ඨාසවල සේවයේ නිරතව සිටි නිලධාරියෙක් වූ සැරයන් සම්පත් අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමෙන් අනතුරුව ඔහුට කරන්නට දෙයක් එහි නොවීය. ඒ නිසාම සැරයන් සම්පත් පොලිස් ස්ථානයේ ඇති බාල අපරාධ ලේඛනය පරීක්ෂා කරන්නට වූයේ තමන්ට කළ හැකි වැඩක් එහි තිබේදැයි කියාය. 1990 වසරේ සිට අධිකරණය මඟහැර සිටින විවෘත වරෙන්තු නිකුත් කර සිටින අඹුසැමි යුවළක් ගැන ඔහුට තොරතුරු දැන ගන්නට ලැබෙන්නේ එහිදීය.

මෙම යුවළ කවුරුන්ද? ඔවුන් කර ඇති අපරාධය කුමක්දැයි සොයා බලන විට සම්පත්ට පෙනී යන්නේ භීෂණ සමයේ රටේම අවධානයකට ලක්වුණු මිනිස් ඝාතනයක ඔවුන් චූදිතයන් බවය. මේ ගැන දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කිරීමේදී සම්පත්ට පෙනී යන්නේ නන්දන නමැති සැමියා වැලිපිල්ලෑව පැත්තේ ඉඳහිට කරක් ගසන බවකි. පොලිසියට කට්ටි පනිමින් අධිකරණය මඟහැර දශක කිහිපයක් තිස්සේ සැඟවී සිටින මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට සැරයන් සම්පත්ට හිතක් පහළ වන්නේ එවිටය. ඒ කිසිදු ඉහළ නිලධාරියකුගේ දැනුම්දීමකින් තොරවය.

කුතුහලය හා උනන්දුව නිසාම සම්පත් වැලිපිල්ලෑවේ කරක් ගසමින් තොරතුරු රැස් කරන්නට ගත්තේ විවිධ වෙස්ගෙනය. එහිදී ඔහුට පෙනී යන්නට වූයේ ඒ පැත්තේ සිටින සිය ඥාතීන් සමඟ නන්දන දුරකතන ඔස්සේ සම්බන්ධකම් පවත්වන බවකි. මළ ගෙවල් විවාහ උත්සව වැනි සුවිශේෂී අවස්ථාවන්වලට පවා නන්දන පැමිණ යන බවට තොරතුරු ඒ සොයා බැලීම්වලදී සැරයන් සම්පත්ට ලැබෙන්නට විය. මේ හැම දෙයක්ම ඔහුට කරන්නට සිදුවන්නේ අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ සිදු කෙරෙන දෛනික රාජකාරිවලට අමතරවය. එබැවින් මේ සඳහා ඔහුට කාලය වෙන්කර ගැනීමට සිදු වූයේද ඉතා අඩුවෙනි. එහෙත් සැරයන් සම්පත්ට මෙම විමර්ශනය නිදහසේ කරගෙන යාමට නිදහසක් මෙන්ම අවස්ථාවක් ලැබෙන්නේ 2021 වසරේ දෙසැම්බර් 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවීමක් ලැබීමෙන් අනතුරුවය. මෑතකදී විශ්‍රාමගත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් එක්කරගත් කණ්ඩායම අතර සැරයන් සම්පත්ද සිටියේය.

ඔහුව අනුයුක්ත කෙරෙන්නේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය. ආචාර්ය අමරසිරිගේ ඝාතනයේ වරෙන්තුකාර යුවළ කොටු කර ගැනීමේ විමර්ශන දිගටම කරගෙන යාමට සැරයන් සම්පත් එහිදී නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගෙන් විශේෂ අවසරයක් ද ගෙන තිබුණේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති තාක්ෂණික පහසුකම් ද යොදා ගනිමින් නන්දනගේ ඥාතීන්ගේ දුරකතන පවා විශ්ලේෂණය කරමින් දීර්ඝ විමර්ශනයක නිරත වූ සැරයන් සම්පත් සොයා ගන්නේ මෙම යුවළ පොලොන්නරුව, හිඟුරක්ගොඩ, මහනුවර ආදී ප්‍රදේශවල විවිධ වෙස්ගෙන කුලී නිවාසවල රැඳෙමින් සැඟවුණු ජීවිතයක් ගත කරමින් සිටින බවය. එහිදී ඔවුන් පෙනී සිටින්නේ ව්‍යාජ නම්වලින් ව්‍යාජ හැඳුනුම්පත් මඟින් බව ද සැරයන් සම්පත් සොයා ගත්තේය. සැරයන් සම්පත් මේ දේවල් සොයා ගන්නේ වෙස්වලාගෙන එම ප්‍රදේශවල සැරිසරමින් කළ විමර්ශන ඔස්සේය.

මෙහිදී සැරයන් සම්පත්ගේ විශේෂ අවධානය යොමුවන්නේ මෙම යුවළගේ දරුවා කෙරෙහිය. ඒ වන විට ඔහු විවාහ වී අළුබෝමුල්ල පැත්තේ සිටින බවට තොරතුරක් ද ඒ අතර සැරයන් සම්පත්ට ලැබුණේය. නිශ්චිත ලිපිනයක් නොලැබුණත් තාක්ෂණයේ පිහිටෙන් දුරකතන ජාල විශ්ලේෂණයක් ඔස්සේ ඒ තැන සොයා ගත්තේය. මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ උපදෙස් මත ඔහු පසුගිය 10 වෙනිදා සැරයන් සම්පත් පොලිස් කණ්ඩායමක් සමඟ අළුබෝමුල්ලට යන්නේ කුලී නිවාසවල ජීවත්වන වැසියන්ව ලියාපදිංචි කිරීමට යන පොලිස් කණ්ඩායමක් ලෙසිනි. ඒ වරෙන්තුකාර අඹුසැමි යුවළ පුතාගේ නිවෙසේ රැඳී සිටින්නේද? එසේ නොමැති නම් ඒ අය ගැන යම් තොරතුරක් උපක්‍රමශීලීව දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

සැරයන් සම්පත් ඇතුළු නිලධාරීන්ට එදා ඒ ගිය ගමන වැරදුණේ නැත. සිය පුතා සමඟ එම නිවෙසේ ඒ වන විටත් කමනී චම්පිකා රැඳී සිටියාය. 66 හැවිරිදි වියේ පසු වූ ඇය සිය පුතාගේ රැකවරණයේ රැඳෙන්නට වූයේ 2018 වසරේ සිටය. ඒ වන විට පුතාගේ විවාහය ද දෙදරා ගොස් තිබුණේය. ඒ පවුල් ආරවුල් මුල්කරගෙනය. එකම දරුවා පවා අතහැර පුතාගේ බිරිය සිටියේ වෙනම ජීවත් වෙමිනි. එම විවාහය දෙදරා යන්නට බලපා තිබුණේ යැයි කියැවෙන්නේ කමනීගේ ඇතැම් ගතිපැවතුම්ය. ඒ

“නන්දන මට කිව්වා පුතා ගාවට යන්න එපා මගෙත් එක්ක හිටපන් කියල. කවදහරි දවසක උඹ පොලිසියට අහුවෙන්නේ පුතා ගාව ඉඳල කියලත් එයා කිව්වා. ඒ කිව්වා වගේම වුණා“ පුතාගේ රැකවරණය මත සිටි කමනී මෙසේ කියන්නට වූයේ සැරයන් සම්පත් ඇතුළු විමර්ශන නිලධාරීන් හමුවේය.

“ පොලීසියට මෙහෙම හසුවෙයි කියල හීනෙකින්වත් හිතුවේ නැහැ. නන්දන කියපු දේ ඇහුව නම් මෙහෙම වෙන්නේ නැහැ.“ යැයි කියා ද ඇය පවසන්නට වූයේ එදා තමන් ආචාර්ය අමරසිරිව මරා දැමීමට සම්බන්ධ නොවූ බව කියමිනි.

අධිකරණය මඟ හැර මරණීය දණ්ඩනයෙන් ද සිර දඬුවම් ලැබ ඇයත් සැමියාත් සැඟවී සිටියත් සැඟවුණු තැන්වල සිටිමින් මේ දෙදෙනා එම සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයේ අභියාචනයක් ද ගොනුකර තිබුණේය. ඒ එම සිරදඩුවම නියමවී දින 12ක් යන්නට මත්තෙනි. ඒ බව පවා හෙළි වන්නේ අත්අඩංගුවට ගත් කමනී චම්පිකා හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඒ බවක් ඒ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව හෝ හෝමාගම අධිකරණය ද දැන සිටියේ නැත. අභියාචනාධිකරණයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී නොමැති බැවින් කමනී මෙන්ම නන්දනව අත්අඩංගුවට ගැනීමට බාධාවක් පොලිසියට නැත. එබැවින් මේ වන විට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් සම්පත් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටින්නේ නන්දනව කොටු කර ගන්නටය. සැරයන් සම්පත් විශ්වාස කරනුයේ වැඩි කල් යන්නට මත්තෙන් ඔහුත් කොටුවනු ඇති බවය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division