Home » 2024 මැතිවරණ වසර ලෝකයට කෙසේ බලපායිද?

2024 මැතිවරණ වසර ලෝකයට කෙසේ බලපායිද?

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

නවාරි මාසයේ තායිවානයෙන් පටන් ගෙන නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය හරහා දිවෙන 2024 වසරේ ජාතික මැතිවරණ 40කට මුහුණ දීමට ලෝකවාසීන්ට සිදුවනු ඇත. සාමකාමී දේශපාලන වකවානුවලදී පවා මෙය සැබැවින්ම බෙහෙවින් කාර්යබහුල පෙළගැස්මකි. සුප්‍රකට බ්ලූම්බර්ග් ආයතනයේ ගණනය කිරීම්වලට අනුව ලෝක ජනගහනයෙන් 41%ක් සහ එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 42%ක් නියෝජනය කරන රටවල ඡන්දදායකයන්ට මේ වසරේ නව නායකයන් තෝරා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවක් උදා වනු ඇත.

න්‍යායාත්මකව ගත් කල 2024 වසර ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රාහී වසරක් විය යුතුයි. ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් ආයතනය කළ සමීක්ෂණයකට අනුව මේ වසරේ පැවැත්වෙන බොහෝ මැතිවරණ ගැටලුකාරී වනු ඇත. ඒ අනුව, මෙම වසරේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ලොව පුරා පැවැත්වෙන මැතිවරණ 70කට වැඩි සංඛ්‍යාවකින් පූර්ණ නිදහස් හා සාධාරණ වනු ඇතැයි අපේක්ෂා කරන්නේ මැතිවරණ 43ක් පමණකි. ඉකුත් පෙබරවාරි මස 15 ​​වැනි දින ප්‍රකාශයට පත් කරන ලද එම ආයතනයේ නවතම වාර්තාවට අනුව, ලෝක ජනගහනයෙන් 8%කට වඩා අඩු ප්‍රමාණයක් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජීවත් වන බවත්, රටවල් 39.4%ක් ඒකාධිපති පාලනයක් යටතේ ජීවත් වන බවත් වාර්තා වේ.

2024 දී මැතිවරණයවලට මුහුණ දෙන රටවල් ප්‍රමාණයෙන් සහ බලපෑම් කළ හැකි පරාසය අනුව විවිධාකාරය: රුසියාව, ඉන්දුනීසියාව සහ වෙනිසියුලාව වැනි සම්පත්වලින් ආඪ්‍ය වූ රටවල්, මෙන්ම දේශපාලනික වශයෙන් අස්ථාවර දකුණු සුඩානය මෙන්ම භූ දේශපාලනික උණුසුම් ස්ථාන ලෙසින් සැලකෙන තායිවානය සහ පාකිස්තානය ද ඇතුළත් ය (මේ දෙරට දැනටමත් මැතිවරණ පවත්වා අවසන් ය).

රටේ ජනප්‍රියතම නායකයා වූ හිටපු නායක ඉම්රාන් ඛාන්ට පසුගිය සති කිහිපය තුළ තුන් වතාවක් දීර්ඝ සිරදඬුවම් නියම කෙරිණි. මැතිවරණයට පෙර රටේ මිලියන 120ක ජන්ද දායකයන්ට එමඟින් ලබා දී ඇති පණිවිඩය නම්, රටේ හමුදාවට අවශ්‍ය වන්නේ ඉම්රාන් අධිකරණ මාර්ගයක් යොදා ගනිමින් දේශපාලනයෙන් තවදුරටත් ඉවත් කර තැබීමයි. ඒ අනුව, පකිස්තාන මහමැතිවරයේ දී ඉම්රාන් ඛාන් වෙනුවෙන් තරග බිමට පිවිසි ඔහුගේ පීටීඅයි හෙවත් ටෙහිරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ කණ්ඩායම බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුව ද, ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් වන පාකිස්තාන මුස්ලිම් ලීගය – නවාස් පිල සහ බිලාවල් භූතෝ-සර්දාරිගේ පාකිස්තාන ජනතා පක්ෂය (පීපීඑම්) එක්ව නව සන්ධාන රජයක් පිහිටුවා ගැනීමට කටයුතු කරමින් සිටී.

2011 වසරේ අරාබි වසන්තය බිහි වූ ටියුනීසියාව එළැඹෙන ඔක්තෝබර් මාසයේදී පමණ ජනාධිපතිවරණයකට මුහුණ දෙනු ඇත. ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ එක්සත් රාජධානිය ඇතුළු එක්සත් ජනපදයේ සම්ප්‍රදායික යුරෝපීය හිතවතුන් කිහිප දෙනකු ද නායකත්ව තරගවලට මුහුණ දීමට නියමිත ය.

භූ දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් බලන කල, ලෝකය නව වසරේ බෙහෙවින්ම කැලඹිලි සහගත වසරක් බවට පත් වනු නොඅනුමාන ය.

“ඉදිරි මැතිවරණවලදී පාලක පක්ෂ භූ දේශපාලනික ජයග්‍රහණ ලබා ගැනීමට උත්සාහ කරනු ඇත,” බ්ලූම්බර්ග් ඉකොනොමික්ස් ආයතනයේ ප්‍රධාන භූ-ආර්ථික විශ්ලේෂක ජෙනිෆර් වෙල්ච් පවසයි.

ඉන්දුනීසියාව ඉන්දියාව සහ එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ තුන්වන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන අතර මේ තුනම මේ වසරේ මැතිවරණ පවත්වයි. නමුත් ඉන්දුනීසියාව එක් දිනකදී වෙන වෙනම ඡන්ද විමසීම් පහක් පවත්වන බැවින්, එය බොහෝ විට ලොව විශාලතම හා සංකීර්ණම තනි දින මැතිවරණය ලෙස සැලකේ. ඉන්දුනීසියාව යනු දූපත් 17,000කින් සමන්විත රාජ්‍යයක් වන අතර එයින් දූපත් 6,000 ක් පමණ ජනාකීර්ණ වන අතරම, එයින් සමහරක් දුරස්ථ සහ සීමිත යටිතල පහසුකම්වලින් යුක්ත ය. වේලා කලාප තුනකින් සමන්විත ඉන්දුනීසියාව බටහිරින් අචේ සිට නැ‍ෙඟනහිරින් පැපුවා දක්වා දුර කිලෝමීටර් 5,100 (සැතපුම් 3,200) අනුව ගත් කල, එය මහාද්වීපික එක්සත් ජනපදයට වඩා පුළුල් ය. මෙවර මැතිවරණයේ දී මිලියන 204ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ.

අප්‍රිකාවේ දකුණු අප්‍රිකාව ඇතුළුව 2024 සඳහා පැවැත්වීමට නියමිත මැතිවරණ ගණනාවකි. ප්‍රවීණයන් පවසන්නේ කලාප කිහිපයක අස්ථාවරත්වයක් පැවතිය දී පවා මහාද්වීපයේ ආර්ථිකය දිනෙන් දින වර්ධනය වන බවයි.

බටහිර අප්‍රිකාවේ, පෙබරවාරි මස 25 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර සෙනගාලයේ මහජන විරෝධතා දැනටමත් පැන නැඟී ඇත. මහාද්වීපයේ වැදගත්ම මැතිවරණයක් ලෙස හඳුන්වනු ලබන දකුණු අප්‍රිකානු මැතිවරණය එළැඹෙන මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතය. පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයට (ANC) මෙවර තම බහුතරය තබා ගැනීමට හැකි වේදැයි බොහෝ විශ්ලේෂකයෝ සැක පළ කරති.

1994 නිදහස් මැතිවරණ හඳුන්වාදීමෙන් පසු දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාගේ පක්ෂය ප්‍රථම වතාවට 50%ක සීමාවෙන් පහළට ලිස්සා යා හැකි බව මත විමසුම් මඟින් පෙන්නුම් කරයි.

මොසැම්බික්, සිම්බාබ්වේ හෝ දකුණු අප්‍රිකාවේ වේවා දකුණු අප්‍රිකාව පුරා ඇති සමාජ සම්මුතිය යටත් විජිතවාදයට එරෙහි සටන මත පදනම් වූවක් බව ජොහැන්නස්බර්ග්හි රෝසා ලක්සම්බර්ග් පදනමේ පර්යේෂක ෆ්‍රෙඩ්සන් ගුයිලෙන්ගු පවසයි. “නමුත් වර්තමාන පරම්පරාව අතීතය හාරා ඇවිස්සීමට වැඩි කැමැත්තක් නොදක්වන අතර ඔවුන් කලාපීය නායකයන්ගෙන් විවිධ දේ අපේක්ෂා කරයි,” ගුයිලෙන්ගු පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකානුවන් ඉදිරි මැතිවරණයේදී ඉහළම ගැටලුව විරැකියාව ලෙස සලකන අතර, අපරාධ සහ ආරක්ෂාව, විදුලිය, ජල සම්පාදනය සහ දූෂණය යන ප්‍රශ්න කෙරෙහි සාවධානත්වයක් දක්වයි.

නව දිල්ලියේ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීහු අඟහරුවාදා දිනයේ විරෝධතාකරුවන් සමඟ ගැටුණු අතර, ආණ්ඩුව සහ ගොවි සංගම් නායකයන් අතර සාකච්ඡාවලින් දින කිහිපයකට පසු, දස දහස් ගණනක් ගොවීහු වඩා හොඳ ආදායමක් ඉල්ලා සිටිමින් නව දිල්ලි අගනුවරට ඇතුළු වීමට උත්සාහ කළහ. මෙය 2021 දී වසරකට ආසන්න කාලයක් පැවති දැවැන්ත විරෝධතාවක පුනරාවර්තනයක් විය හැකිය.

වසරකට පෙර රජය විසින් සම්මත කරන ලද මතභේදාත්මක කෘෂිකාර්මික නීති තුනකට සෘජු ප්‍රතිචාරයක් ලෙස 2021 දී ගොවීන්ගේ විශාල විරෝධතාවක් ඉන්දියාව අත්දුටුවේය. කෘෂිකාර්මික අංශයට පෞද්ගලික ආයෝජන ගෙන ඒම සහ එය නවීකරණය කිරීමට උපකාර වන ප්‍රතිසංස්කරණ මාලාවක් ලෙස මෝදි පාලනය නව ගොවිපළ නීති ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, මෙම නීති, විශේෂයෙන් කුඩා ගොවිපළවල වගා කරන ගොවීනට – අවම මිල ආරක්ෂණය අහිමි කරමින් ඔවුන්ගේ ආදායම හකුලුවාලනු ඇතැයි ගොවීහු කණස්සල්ලට පත්වූහ.

2014 වසරේ සිට බලය හොබවන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යම් හෙයකින් බලය අහිමි වුවහොත්, චීනයේ ආර්ථික හා යුදමය ශක්තිය තුලනය කිරීමට අදාළ ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි හිතවතුන් ගේ සැලසුම් ව්‍යර්ථ කෙරෙනු ඇත.

මාර්තු මාසයේදී රුසියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ය. වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එයින් ජයග්‍රහණය කිරීම නොවැළැක්විය හැකිය. ඒ සමඟ, මහා සාර් පීටර්ට පසු, ඕනෑම රුසියානු හෝ සෝවියට් නායකයකුට වඩා වැඩි කාලයක් බලයේ සිටි නායකයා බවට පුටින් පත් වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division