Home » රට ගොඩ ගන්න පුළුවන් මේ ජනාධිපති‍ට විතරයි…

රට ගොඩ ගන්න පුළුවන් මේ ජනාධිපති‍ට විතරයි…

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

– පොදු සන්ධානය හැදෙන වෙලාවට බලාගන්න පුළුවන්, කවුරු කවුරු එකතු වෙනවද කියලා
– පොහොට්ටුවේ 95%ක් ඉන්නේ වත්මන් ජනාධිපතිතුමාට සහාය දිය යුතු මතයේ
– විපක්ෂ නායකතුමාට සජබය ඇතුළේ බහුතර කැමැත්තක් නෑ

පාට පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැඟීමට එකතු විය යුතු බවට ජනාධිපතිවරයා පැවසුවත් විපක්ෂයෙන් ඊට කිසිදු සහායක් පෙනෙන්නට නැහැ?

එදා අපි විපක්ෂයේ සිටි කාලයේදීත්, අදත් හැමදා විපක්ෂය බැලුවේ දේශපාලන වාසියක් ගන්න. එය තමයි අපේ රටට වූ ලොකුම විනාශය. උදාහරණයක් ලෙස තීරණ­ාත්මක යුද්ධය ජයග්‍රහණය කරන්න විපක්ෂය උදවු කළේ නැහැ. ඉන්පසුව රටක් ලෙස අපි මුහුණ දුන් බරපතළ අභියෝගය වූ කොවිඩ් අර්බුදයෙන් මිදෙන්න විපක්ෂය උදවු කළේ නැහැ. තුන්වැනිව මේ ආර්ථික අර්බුදය. රටක් ලෙස මුහුණ දුන් මේ බරපතළ අභියෝගයටත් විපක්ෂය සහාය දුන්නේ නැහැ. විපක්ෂය හැමවිටම බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බලය ලබා ගන්න. ලොව අනිකුත් රටවල් එහෙම නැහැ. ඒ නිසා අවාසනාවකට විපක්ෂය තමන්ගේ වාසිය ගැන බලනවා මිස රට ගැන බලන්නේ නැහැ. ඒ නිසයි ජනාධිපතිතුමා කොතරම් ආරාධනා කළත් ඊට ප්‍රතිචාර දක්වන දැක්මක්, මොළයක් තියෙන විපක්ෂයක් අපිට නැත්තේ. විපක්ෂය කියන එක පැත්තකට දමා විපක්ෂයේ සිටින මහජන නියෝජිතයෝ සියලු දෙනාම එකට එකතු වී රට වෙනුවෙන් තීන්දුවක් ගත යුතු අවස්ථාවක් තමයි, මේ.

නමුත් පසුගියදා විපක්ෂයේ පිරිසක් රජයට එකතු වීමේ සූදානමක් පවතින බවට ඉඟි පළ වුණා. ඉදිරියේදි සැබෑ වෙනසක් සිදුවෙයිද?

පොදු සන්ධානය හැදෙන වේලාවට බලාගන්න පුළුවන්, එදාට කවුරු කවුරු එකතු වෙයිද කියලා. එය පොදු පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් පක්ෂ විය හැකියි. විපක්ෂ නායකවරයාට මේ අවස්ථවේ කළ යුතු දේ තේරුම් නොගියාට අනිකුත් විපක්ෂයේ මහජන නියෝජිතයන්ට කළ යුතු දේ තේරෙනවා. පසුගියදා ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයා සිටි වේදිකාවට ගිහින් සහාය දුන්නා. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවේදී සජබයේ සභාපතිව සභා ගැබෙන් ඉවත් කරගන්න බැරි වුණා. කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, වඩිවෙල් සුරේෂ් වැනි කිහිප දෙනෙක්ම සභාවේ සිටියා. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ මතයට එකඟ නැති පිරිස වැඩි වෙමින් යනවා.

ඔබ පවසන්නේ විපක්ෂයේ දෙකඩ වීම දැන් දැන් පැහැදිලිව පෙනෙන බවද?

ඒ වගේ සලකුණු කිහිපයක්ම අපි දැක්කා. බලන්න අද ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරවලට විපක්ෂයේ සහයෝගය හොඳින්ම ලැබෙනවා. රජයේ වැඩපිළිවෙළට ඒ අයගේ සහයෝගය වක්‍රාකාරව ලැබෙනවා. මට තේරෙන ආකාරයට විපක්ෂ නායකතුමාට සජබයේ ප්‍රසාදයක් පෙ‍ෙනන්නට නැහැ. පක්ෂයේ බහුතරයක් කැමැත්ත නැති බව පෙනෙනවා.

ඇයි ඔවුන් ආණ්ඩුවට සෘජුව සහාය දක්වන්න මැළි. මීට පෙරත් එවැනි එකතුවීම් ගැන කතා කළත් එසේ වූයේ නැහැ?

එන්න ඕන අය වෙලාවට එයි. ඒ අයටත් එකතු වීමට යම් සන්ධානයක් සැදිය යුතු වෙනවා. වත්මන් ජනාධිපතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස නම් කර පක්ෂයක් හෝ සන්ධානයක් සකස් වූ පසුව මේ අය එකතු වෙයි. එකතු වන අය දේශපාලන ප්‍රතිරූපයක් ඇති අය නිසා එසේ එකවිට එකතු විය නොහැකියි.

ඔබ පවසන්නේ ඉදිරි මැතිවරණය අරමුණු කරගෙන පොදු සන්ධානයක් ඇතිවන බවද?

ඔව්. අනිවාර්යයෙන්ම. ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙන්නේ නැහැනේ. එතුමා අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික අපේක්ෂකයකු විය යුතුයි. එතුමා වටා පුළුල් සන්ධානයක් හැදිය යුතුයි. මේ වටායි සියල්ල එකතු වන්නේ.

සරත් ෆොන්සේකා පසුගියදා විපක්ෂයේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක් කළා?

තවමත් දැක්කේ ෆොන්සේකා මහතා විතරයිනේ. ඉදිරියට තව විපක්ෂය විවේචනය කරමින් පෙරහරක් එනවා. පාඨලී චම්පික, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න වැනි මහත්වරු ගණනාවක්් විරුද්ධත්වය ප්‍රකාශ කළා. මම නම් කියන්න කැමැති නැහැ. මේ වෙලාවේ රට හමුවේ ඇත්තේ බරපතළ ආර්ථික අර්බුදයක්. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන් වත්මන් ජනාධිපතිවරයාට පමණයි. ඒ එතුමාගේ දේශපාලන අත්දැකීම් , ජාත්‍යන්තර සහයෝගය නිසා. නමුත් එතුමා කියන සැමදේටම අපි එකඟ නැහැ. එතුමා මැද තැනකට ආ යුතුයි. එතුමා 13 ගැන ඇති මතය, පෞද්ගලිකරණය සම්බන්ධ මතය අපිට වෙනස්.

බදු එකතු කිරීම ගැන ඔබ වැඩියෙන් අවධානය යොමු කළා. නමුත් චෝදනාව පවතින්නේ තවමත් ආණ්ඩුවට බදු එකතු කිරීම් නිසියාකාරව සිදු කරගන්නට නොහැකි වී ඇති බවටයි?

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ට බදු එකතු කිරීමේ අවශ්‍යතාවක් නැහැ. බදු වැඩි කිරීමට මම එකඟ නැහැ. නමුත් මේ වෙලාවේ වෙනත් විකල්පයක් නැති නිසා අත ඉස්සුවා. අපි ජනාධිපතිවරයාට කිවුවේ මාර්තු අප්‍රේල් වන විට මෙය අඩු කරන්න කියා. හේතුව තමයි පොඩි මිනිහට දරුණු ලෙස පහර වැදෙන නිසා. වක්‍ර බදු ඉහළටම ගිහින් නිසා අපි කියන්නේ ඍජු බදු එකතු කරන්න කියලා. කෝටිපති ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නැහැ. අපි කියන්නේ තියෙන මිනිහාගෙන් අරගෙන නැති කෙනාට දෙන්න කියලා.

ඇයි මේ බදු එකතු කිරීමේ දාමය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන්නේ?

මුදල් අමාත්‍යාංශයෙන් දෙන තොරතුරු මතනේ මේ සියල්ල කරන්නේ. ඒ නිසා රාජ්‍ය නිලධාරින් දෙන සියල්ල පිළිගත යුතු නැහැ. අපි අධ්‍යයනයක් කළ යුතුයි.

සුරා‍, රේගු ආදි බදු නිසියාකාරව එකතු කිරීම සිදු වූවා නම් ජනතාව මත වැට් බදු පැනවීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ඔබ පවසනවා?

ඇත්තෙන්ම අවශ්‍ය නැහැ. උපනය විට බදු ගැසීම අවශ්‍ය නැහැ. වැට් බදු වැඩි කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ බිලියන එකකට වැඩිය ආනයනය අපනයනය කරන අය 600-700 ක් පමණ ඉන්නවා.ඒ අය බදු ගෙවිය යුතුයි. අපේ රටේ ප්‍රබලම ව්‍යාපාරික ජාලය එකතු කළ පසු මහා පරිමාන ව්‍යාපාරිකයන් ලක්ෂ 6ක් පමණ ඉන්නවා. නමුත් මිලියන 5ට වැඩිය බදු ගෙවන අය 1000ක් වත් නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ සියලු තොරතුරු ලැබෙනවා. මාසයකට ලක්ෂ 10-20 ක්‍රෙඩිට් කාඩ් භාවිත කර බදු නොගෙවන විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා බදු ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ කැමති නම් බදු ගෙවන්න පමණයි. බදු නොගෙවන අය අපරාධ නීතිය හරහා දඬුවම් කළ යුුතුයි.

ඉදිරියේදි බදු බර අඩු වේ යැයි අපේක්ෂා කළ හැකි වෙයි ද?

අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි.

උද්ධමනය අඩු වුණාට ජනතාවට මත දැඩි ජීවන බරක් පැටවිලා?

බඩු මිල නම් අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. අද වී මිල තීරණය කරන්නේ වී මුදලාලිලා. මේවා ඇතුළත ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හාල් මිල ඇතුළු බඩු මිල අඩු කළ යුතුයි. ආණ්ඩුව සැදී පැහැදී ඉන්නවා තෙල්, විදුලි මිල පවා අඩු කරලා ජනතාවට හුස්ම ගැනීමට හැකි වාතාවරණයක් සකස් කරන්න. අපිට මේ සියල්ල කරන්න සිදු වන්නේ ඉදිරියේදී ණය ගෙවනගමනුයි.

ජනාධිපතිතුමා ගෙනියන මේ වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙන යාමට එතුමාට තවත් අවස්ථාවක් දිය යුතු බවට ආණ්ඩුව ඇතුළෙන්ම අදහස් මතුවෙනවා?

බහුතරයක් කියන්නේ එතුමාට තවත් අවස්ථාවක් දිය යුතු බවයි. මේ අර්බුදකාරි අවස්ථාවේ මීට ඇති එකම විසඳුම වත්මන් ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසයයි. අනිකුත් පක්ෂවලට මේ අර්බුදයට මුහුණ දෙන්න බැහැ.

ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට ඒ සහයෝගය ලැබෙයිද?

එසේ නොමැතිව අපිට ඇති වෙන විකල්පය කුමක්ද? මට දැනෙන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ සහාය එතුමාට ලැබෙයි කියලා.

පොහොට්ටුවේ තීරණය කොයි ආකාර වෙයිද?

පොහොට්ටුව තවමත් පක්ෂයක් ලෙස තීරණයක් ගෙන නැහැ, පොහොට්ටුවේ 95%ක් ඉන්නේ වත්මන් ජනාධිපතිතුමාට සහාය දිය යුතු මතයේ. නමුත් පක්ෂයක් ලෙස තීරණය කරනකම් එය පැවසිය නොහැකියි.

වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළොත්?

රටේ ජනතාව ආදරය කරන අපේක්ෂකයකු සිටියි නම් ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමායි. ඒ හැර වෙනත් අපේක්ෂකයකු සිටින බව අපිට දැනෙන්නේ නැහැ.

අනුර කුමාර දිසානායකගේ විදේශ සංචාරය සම්බන්ධයෙනුත් විවිධ මත පළ වුණා?

එතුමා ලස්සනට ඇඳගෙන ගිහින් ඉන්දියාව වෙනුවෙන් කඩේ යනවා. අනුර ඉන්දියාවට ගිය එක ගැන මම හරිම කැමතියි. ඉන්දියාවේ සියලු ව්‍යාපෘතිවලට බැණපු අනුර ඒ් සියල්ල බලන්න ගියා. ඒ් අයත් අපි වගේම ඇට නහරවලින් හැදුණ මිනිස්සු. මේ රටේ ජනතාව එය තේරුම් ගෙන නැහැ.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division