– දීපු අමාත්‍යාංශ ඔක්කොම බංකොලොත් කරලා රට පාලනය කරන්න හිතනවා නම් ඒවට ඉඩ දෙන්න අපි ලෑස්ති නෑ
– තාත්තලා වඩාගෙන ඇවිත් පුටුවෙ ඉන්දවපු අය නෙවෙයි අපි
– අපි රනිල් රාජපක්ෂ කියමින් කුහක වැඩ කරන්නේ නැහැ
ඔබගේ දේශපාලන පක්ෂය පසුගියදා නව වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ඒ පිළිබඳව සඳහනක් කළොත්?
පසුගිය 14 වැනිදා මේ අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට හැකි වුණා. එහි ප්‍රධාන අරමුණ වුණේ මේ රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳවයි. බදු නොගසා රාජ්‍ය ආදායම වැඩි කර ගන්නේ කෙසේද, වැට් බදු නොගසා රාජ්‍ය ආදායම වැඩි කර ගන්නේ කෙසේද? යන්න පැහැදිලිව මෙහි සඳහන් කළා. අපි මෙහි කරුණු ගණනාවක් පෙන්වා දුන්නා. ඩොලර් නොමැතිකම මෙන්ම ඖෂධ හිඟය, වෛද්‍යවරු රට හැර යාම වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද, පාසල්වලට දරුවන් යැවීමේ ගැටලු, මවුපියන්ට ඇති නොහැකියා, ගුරුවරුන්ගේ ප්‍රවාහන ප්‍රශ්න මෙහි අවධානය යොමු කරනවා. විදුලි බිල අඩු කරන්නට අපේ යෝජනා, තෙල් මිල අඩු කරන්නේ කෙසේද යන කරුණු කාරණා ගැන විස්තරාත්මක ලියවිල්ලක් මේ හරහා ඉදිරිපත් කළා.
මේ වැඩපිළිවෙළ අනුගමනය කළොත් වසර තුනකින් රට යථා තත්ත්වයට පත්කර ගත හැකි බවද ඔබ පවසන්නේ?
ඔව්. මේ තුන් අවුරුදු වැඩපිළිවෙළ ගෙනෙන්නේ 2028 සිට අපිට නැවත ණය ගෙවීමට තිබෙන නිසයි. මෙවැනි වැඩපිළිවෙළක් නැතිනම් රට බංකොලොත්වීමට ඇති හැකියාව වැඩියි. මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් අපේ ස්ථාවරය කුමක්ද, රජය විසින් ඉදිරිපත් කරන යෝජනා මොනවාද, ව්‍යවස්ථාමය ප්‍රශ්න, ජනාධිපති ධුරය, බලය බෙදීම් වැනි කාරණා ඇතුළත්. මෙහිදි අපේ අවධානය යොමු වන්නේ ඊළඟ මැතිවරණය හරහා විධිමත් රටක් ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳවයි
නමුත් ආර්ථික විශේෂඥයන් පවසන්නේ පවසන්නේ රට බංකොලොත් වී නොමැති බව?
එහෙනම් ණය ගෙවන්න පුළුවන්නේ. 2022 අප්‍රේල් 12 වැනිදා රාජ්‍යතාන්ත්‍රික භාෂාවකින් කිව්වා අපි ට ණය ගෙවීමට නොහැකි බව. එයයි බංකොලොත්බව. ලෝක ශ්‍රේණිගත කිරීමකට අනුව බංකොලොත් තත්ත්වයට අපිව පත් කළා. මේ නිසයි අමෙරිකා එක්සත් ජනපද උසාවියකින් පවා අපිට නඩු පවරා තියෙන්නෙ.
වත්මන් ජනාධිපතිවරයා හරහා රටේ ආර්ථිකය ගොඩනැඟෙමින් පවතිනවා. එතුමාට තවත් අවස්ථාවක් දිය යුතු යැයි පවසනවා?
ඒක ආණ්ඩුවේ අදහස නේ. කෝපයට පත් වූ ජනතාව දැන් ආසයි වස් කවි අහන්න. දැන් රජයට විරුද්ධවත් ඇසෙන්නේ වස් කවි. අපිට ඕන රට කරවන සෙත් කවියක් කියන්න. 2022ට සාපේක්ෂව යම් වෙනසක් තිබුණට මහජනයා පිට විශාල බරක් පැටවිලා තියෙනවා. ඒ ගැන ජනතාව කේන්තියෙන් ඉන්න නිසා යළිත් වරමක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ.
විපක්ෂයෙන් චෝදනා එල්ල වෙනවා, ආර්ථිකය ගොඩනැඟීමට යන ගමනේදි ජනතාව මත විශාල බරක් පැටවූ බවට?
ආර්ථිකයේ කඩා පාත්වීම නිසා රුපියල් ලක්ෂයක ආදායම් සෑම පුද්ගලයකුටම අහිමි වී යනවා. පුද්ගල වියදම රුපියල් ලක්ෂයකින් ඉහළ ගොස් තියෙනවා. ඉතින් කොහොමද ජීවත් වන්නේ?
වැට් හරහා රජය එකතු කිරීමට අපේක්ෂිත බදු ප්‍රමාණයට වඩා සුරාබදු රේගු ඇතුළු බදු එකතු කර ගන්නා ආයතනවලින් එකතු නොකළ බදු ප්‍රමාණය විශාල බව ඔබ පවසනවා. ඔබ රජයක් හරහා මීට ගෙනෙන විසඳුම් මොනවාද?
ඔව්. සුරාබදු බදු එකතු කරගන්න අපි පියවර ගත්තා. ඒ අය පිළිවෙළට ගෙවාගෙන ආ එක නැවැත්වුවේ කවුද? මුදල් අමාත්‍යාංශයයි. අපි බිලියනයකට වැඩිය සොයලා දුන්නා. ඉතුරු ටික කරන්න අපිට බලය දෙන්න. බදු එකතු කිරීම හරියට සිදු වන්නේ නැහැ. ඔය කතා කළාට එක තඹයක්වත් එකතු කර නැහැ. අපේ ක්‍රම සහ විධි කොමිටිය විසින් එකතු වී නොමැති රුපියල් කෝටි ලක්ෂයකට වඩා බදු එකතු කිරීම් සඳහා දුන් ක්‍රමවේද මුදල් අමාත්‍යාංශය පිළිපදිනවා නම් වැට් බදු එකතු කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. දේශපාලන බලපෑම් මෙන්ම නිලධාරින් වැඩ කරන ආකාරය අනුව මේ දේ කරන්න අමාරුයි.
ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති තනතුර අහිමි කළේ විපක්ෂය බව ඔබ පසුගියදා චෝදනා කර සිටියා?
ඔව්, ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිකම මට නැති කළේ ආණ්ඩුව නෙමෙයි විපක්ෂයයි. නම යැවිය යුත්තේ ඒ අයයි. නමුත් යැව්වේ නැහැ. මේ පිටුපස ඉන්නෙ මත්ජාවාරම්වලින් හොර ස්ටිකර් ගහපු අය, කෝටි ගණන් බැංකුවලට පොලු තියපු අය, රා අරක්කු පෙරපු අය. අපි හෙළි කළ පිරිස් තමයි මේ පිටුපස ඉන්නෙ.
ඔබ චෝදනා කළා පාර්ලිමේන්තුවේ පැය ගණන් වන් මෑන් ෂෝ එකක් කරන්නේ සජිත්, අනිත් කාටවත් කතා කරන්න ඉඩක් නෑ කියල?
පහුගිය කාලෙම අපිට සතියකට මිනිත්තු හතරක් පහක් පමණයි කතා කරන්න දුන්නෙ. මිනිස්සු අපෙන් අහනවා ඇයි දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ නැත්තෙ කියලා. පැය ගණන් බදාගෙන පාර්ලිමේන්තුවේ වන් මෑන් ෂෝ එකක් තමයි දැන් යන්නෙ. කවුරු කොහොම කිව්වත් පාර්ලිමේන්තුවේ යථාර්ථය ඒකයි. ඒ ගැන ප්‍රධාන දෝෂාරෝපණය විඳින්න ඕනේ කතානායකතුමා. මුළු පාර්ලිමේන්තුවෙම කාල කළමනාකරණයක් නැහැ.
පසුගියදා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ආවා රාජාසන කතාව කරන්න. කතාව ආරම්භයත් සමඟම විපක්ෂ නායකතුමා, ප්‍රධාන සංවිධායක කිරිඇල්ල මහත්තයා නැඟිටලා ගියා. ඊට පස්සෙ දවසෙ රාජාසන කතාවට විවාදයක් තිබුණා. විවාදයට මමත් වේලාවක් ඉල්ලලා තිබුණා. වේලාවක් තිබෙන බව ඊට කලින් දවසේ දැනුම් දුන්නත් පස්සෙ මගේ කතාව කපලා. මම කිරිඇල්ල මහත්තයාගෙන් ඇහුවා මගේ කතාව කැපුවෙ ඇයි කියලා.
කිරිඇල්ල මහත්තයා කිව්වා රාජාසන කතාවේදි රනිල් වික්‍රමසිංහ මහත්තයට විරෝධය පාලා නැඟිටලා ගියේ නැති අයට, වාඩිවෙලා සිටි අයට කතා දෙන්න එපා කියලා සජිත් ප්‍රේමදාස නායකතුමා කිව්වා කියලා. මම ඇහුවා ඔබතුමා කොහොමද අපි ගැන තීරණය කරන්නෙ, අපි වෙන පක්ෂයක්. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක්. එතකොට කිරිඇල්ල මහත්තයා කිව්වා මට කතා කරලා වැඩක් නැහැ, මේක නායකතුමාගේ නියෝගයක්. මම කිව්වා ඇයි අපිට අඩු තරමින් කෙටි පණිවිඩයක් හෝ දුරකතන පණිවිඩයක් හරි දුන්නෙ නැත්තෙ කියලා.
ඒ කියන්නේ නායකයන් නැඟිටලා යනකොට පස්සෙන් යන්නෙ නැති අයට කැපිල්ලක් තියෙනවා?
නායකයා යන විට පස්සෙන් යන, වාඩිවෙන විට වාඩි වෙන එහෙම අය ඇති. නමුත් ඒ ජාතියෙ නෙවෙයි අපි. ඍජුව කොන්ද කෙලින් තියාගෙන අරගලයට යන්න ඕනේ මිනිහෙක් පස්සෙ අපි යනවා. ඒගොල්ලො නායකත්වය දෙන්නෙ නැත්නම් අපි නායකත්වය දෙනවා.
අපි එකක් කියන්න ඕන, නම් කපලා පාර්ලිමේන්තුවේ කතා කරන එක නවත්තලා අපේ ගමන නතර කරන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම්, වන් මෑන් ෂෝ දාගෙන මේ රටේ අනාගතය කරන්න යන්නෙ කියලා හිතනවා නම්, දීපු අමාත්‍යාංශවල ඔක්කොම ආයතන බංකොලොත් කරලා රටක් පාලනය කරන්න කල්පනා කරනවා නම් මේවට ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ.
අපි ඇවිල්ලා තාත්තලා වඩාගෙන ඇවිත් පුටුවෙ ඉන්දවපු අය නෙවෙයි. අපි අපේ දෙපාවල හයියෙන් මේ රටේ සමාජ ව්‍යාපාරවල හයියෙන් දුක් මහන්සියෙන් මෙහෙට ආපු අය. සජිත්ගෙ තාත්තා රණසිංහ ප්‍රේමදාස මහත්තයා කිව්වා වගේ අපිත් හොඳට තෙම්පරාදු වෙච්ච මිනිස්සු.
සුභාෂිණි ජයරත්න