Home » පාඨලිගේ කිරිඇල්ලගේ ‘ටොයිලට්’ කතා බහ ගිය දුර…

පාඨලිගේ කිරිඇල්ලගේ ‘ටොයිලට්’ කතා බහ ගිය දුර…

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

නුරාධපුර පිරිසුදු පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ පැමිණෙන බව ප්‍රසිද්ධ වීමත් සමඟ ගොවීන් ආරම්භ කළ උද්ඝෝෂණයේ ප්‍රධාන ඉල්ලීම වූයේ මහකනදරාව වැවට මොරගහකන්ද ජලාශයෙන් වතුර ලබා දෙනතුරු මෙම ව්‍යාපෘතිය ආරම්භ නොකරන ලෙසටය. එසේම ජනපතිට මෙය විවෘත කිරීමට ඉඩ නොදෙන බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

මේ නිසා බොහෝ දෙනෙකු සිතුවේ ජනපති රනිල් අනුරාධපුරයට නොඑනු ඇතැයි කියාය. නියමිත දිනට ඔහු උත්සවයට සහභාගි වූවා පමණක් නොව උද්ඝෝෂණය කළ පිරිසෙන් ප්‍රධාන ගොවි සමිතියේ නියෝජිතයන් කණ්ඩායමක් මුණගැසී සාකච්ඡා ද කළේය.

මුලින්ම ගොවීන්ගේ ගැටලු ඉදිරිපත් කරන ලෙස ජනපති කී පසු ඔවුහු කීවේ පානීය ජලය වෙනුවෙන් වැවේ ජලය ගත් පසු ඉදිරි යල කන්නය වෙනුවෙන් ඔවුන්ට වගා කිරීමට වතුර නැතිවන බවකි. “සර් පළමුවෙනි වතාවට තමයි ජල සම්පාදනයෙයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙයි නිලධාරීන් එක වෙලාවේ හමු වුණේ. .” ගොවීහු කියන්නට වූහ.

“ ප්‍රශ්නයට බලපාන කණ්ඩායම් තුන එකට හමුවෙන්න ඕනේ. මෙච්චර දුරදිග ගිහිල්ලා තියෙන්නේ ඒ නිසයි.” ජනපති කීවේය. පාර්ශ්ව තුනම එකතු වී එක ගිවිසුමක් සකස් කරන ලෙසත් එය තමන් නීතිපතිට යොමු කොට නිත්‍යානුකූල ගිවිසුමක් ලෙස සකස් කර දෙන බවත් ජනපති රනිල් පොරොන්දු වූයේය.

“ඔයාලට මේක හදන්න කොච්චර කාලයක් අවශ්‍ය ද” ජනපති විමසුවේ නිලධාරීන්ගෙනි. ඔවුන්ගේ පිළිතුර වූයේ සති දෙකක් ප්‍රමාණවත් බවය. ”

ලෙනින් ගැන ජනපති කිව්වේ මොනවාද?

පානීය ජල ව්‍යාපෘතිය ජනපති විවෘත කළේ ජයිකා ප්‍රධානියා ද එක් කරගනිමිනි. උත්සව කතාවේදී ලෙනින් විප්ලවයට පෙර ඉදිරිපත් කළ කරුණු තුනක් ගැන ජනපති කී කතාව ඇදී ආවේ උත්සවයෙන් පසු අනුරාධපුර ජනාධිපති මැදුරේ පැවැති දිවා භෝජන අවස්ථාවේදීය.

“ලෙනින් කොමියුනිස්ට්වාදය ගැන කතා කළේ රුසියානු විප්ලවයට පස්සෙද” ජනපතිගෙන් ඒ පැනය විමසුවේ ඇමැති ශෙහාන්ය.

“ඔව් ලෙනින් 1917 විප්ලවය කරද්දී කාරණා තුනක් ගැන කිව්වා. එයා මුලින්ම කිව්වේ විප්ලවයෙන් පස්සේ සාමය ඇති කිරීම ගැන. දෙවනුව ජනතාවට ඉඩම්වල අයිතිය දෙන එක ගැන . තුන් වෙනුව කිව්වේ පාන් ගැන. ඒ කියන්නේ ආහාර. ජනතාවට මේ ටික සපයලා තමයි ඔහු කොමියුනිස්ට්වාදය ගැන කතා කරන්න පටන් ගත්තේ.” ජනපති කට පාඩමින් කියාගෙන ගියේය.

ජනපති, ලෙනින්ගේ මඟ යයි

“දැන් සාමය තියෙනවා. උරුමය නිසා ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා. අස්වැසුම නිසා දුප්පත් මිනිහටත් ආහාර ප්‍රශ්න නෑ. අරගලයෙන් පස්සේ රට භාරගත් ජනාධිපතිතුමා ලෙනින්ව අනුගමනය කරමින් රට ගොඩනඟලා තියෙනවා. කොමියුනිස්ට්වාදය කරපින්නාගත් අයට වඩා ජනාධිපතිතුමායි ලෙනින් ගිය මඟ ගිහිල්ලා තියෙන්නේ.” ශෙහාන් කියද්දී ජනපති සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.

ජයවික්‍රමගේ ගෙදරට ගිය ජනපති

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති ඉන්දීය සාගර ආරක්ෂක සමුළුවට ගිය ජනපති රනිල් කොළඹ පැමිණියේ ඉකුත් සෙනසුරාදා රාත්‍රියේය. ඉරිදා අලුයම ඔහු ගියේ රෝගාතුරව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුවදුක් විමසීමටය.

හිටපු ඇමැතිවරයාගේ සුවදුක් විමසූ ජනපති රනිල් පිරිස අතරට ද පැමිණ ඔවුන් හා සුහද පිළිසඳරක නිරත වූයේය.

සඳුදා උදෙන්ම ජනපති ගියේ වාලුකාරාමයටය. ඒ විහාරාධිපති හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ස්ථාපිත කරන ලද කීර්ති ශ්‍රී නරේන්ද්‍ර ප්‍රතිමාව විවෘත කිරීමටය.

රනිල් හා මෝදි හමුවක්

ඉන්දියාව හා ලංකාව අතර පොදු ගනුදෙනු ක්‍රමයක් ආරම්භ කිරීමේ උත්සවය පැවැතියේ සඳුදා දහවල්ය. සූම් තාක්ෂණය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා මොරිසස් රාජ්‍යයේ අගමැති ද මේ අවස්ථාවට එක්ව සිටියහ. විදේශ ඇමැති අලි සබ්‍රි, තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්, සාගල රත්නායක හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනපති රනිල් ඉතිහාසය සිහිපත් කරමින් කතා කරද්දී ඉන්දිය අගමැති මෝදි ජන වර්ග දෙකේ සම්බන්ධය සිහිපත් කළේය. දෙරට අතර “ඔන්ලයින් ගේට් වේ” එක විවෘත වූයේ ඉන් පසුවය.

ඊශ්‍රායල් ප්‍රවාහන ඇමැති ද ජනපති මුණ ගැසුණේ අඟහරුවාදා දහවල්ය. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඔහු එකඟ වූයේය.

වජිරට, සාගලට, අකිලට වගකීම්

ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ සංවිධාන වගකීම සභාපති වජිර අබේවර්ධන ද, පක්ෂය ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙළ ජාතික සංවිධායක සාගල රත්නායකට පැවරූවේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේම ශිෂ්‍ය ව්‍යාපාර ගොඩ නැඟීම අකිල විරාජ් කාරියවසම්ට පැවරීය. එක්සත් ජාතික පක්ෂය වටා අනෙකුත් පක්ෂ හා මන්ත්‍රිවරුන්, සංවිධායකයන් එකතු කොට සන්ධානයක් ගොඩනැඟීමේ වගකීම පැවරුණේ රවි කරුණානායකටය.

ඉදිරි මැයි දින රැලිය සංවිධානය කිරීමේ වගකීම හරීන් ප්‍රනාන්දුට පැවැරීය.

රනිල් – සමන්තා හමුවක්

ඇමෙරිකානු ආධාර වැඩසටහන (USAID) ප්‍රධානි සමන්තා පවර් ජනපති මුණ ගැසුණේ සූම් තාක්ෂණය ඔස්සේය. එහිදී රටේ ආර්ථිකය ගැන මෙන්ම ඔන්ලයින් පනත ගැන ද ජනපති පැහැදිලි කිරීමක් කරනු ලැබීය. මෙරට ආර්ථිකය ගොඩ නැගීමට ඔවුන් ද හැකි අයුරින් උපකාර කරන බව සමන්තා පවර් කීවාය.

මන්ත්‍රිවරු පිරිසක් බ්‍රහස්පතින්දා ජනපතිගෙන් විමසා තිබුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ගැන විපක්ෂය කියන කතාව ගැනය.

“ජනාධිපතිවරණය කල් දාන්න මගේ අදහසක් නෑ කියලා මම කිහිප වරක් කියලා තියෙනවා. ඊට අවශ්‍ය මුදල් වෙන් කරලත් තියෙනවා. විපක්ෂයේ කණ්ඩායම් දෙකක තරගයක් දැන් ඇතිවෙලා තියෙනවානේ. එක කණ්ඩායමක් ඔවුන්ට වඩා ඉස්සරහට ඇවිල්ලා තිබීම අනෙක් කණ්ඩායමට ප්‍රශ්නයක්. ” ජනපති පිළිතුර එය විය.

සජිත් නැඟිට්ටේ කොහේ යන්නද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පැවැත්වූ රාජාසන කතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණේ පසගිය 8, 9 යන දිනවලය.

මෙම විවාදයේදී අදහස් ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටි විරුද්ධ පක්ෂයේ කිහිපදෙනෙකුට යම් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.

ඊට හේතුව වූයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් වර්ජනය කළ ද තවත් පිරිසක් රාජාසන කතාවට සවන්දීම සඳහා මැතිසබය තුළ අසුන්ගෙන සිටීමයි.

දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කුමාර වෙල්ගම, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු කිහිපදෙනෙකු සභාගර්භයේ සිටිනු දක්නට ලැබිණි.

මේ අතර ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට තමන්ට ද අදහස් දැක්වීමට අවශ්‍ය බව රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක විසින් විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලට දැනුම් දෙන ලදී.

ඊට කිරිඇල්ලගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට ගොස් පාඨලී, කිරිඇල්ලට කතා කළේය.

“සංවිධායකතුමා, මට විවාදයේදී කතා කරන්න විපක්ෂයෙන් කාලය ඕන” යනුවෙන් චම්පික කියා සිටියේය.

“මන්ත්‍රිතුමා, ඒක කරන්න අමාරුයි” මොකද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ගත්ත තීරණයට එරෙහිව ඔබතුමා ක්‍රියා කරලා තියෙනවා” යනුවෙන් කිරිඇල්ල ඊට ප්‍රතිචාර දැක්වීය.

“මම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ආවේ නැහැ. එහෙම තීරණයක් ගැන මා දැනුම්වත් කරලා තිබුණෙත් නැහැ” යනුවෙන් පාඨලී ඊට පිළිතුරු සැපයීය.

“ඉතින් විපක්ෂ නායකතුමා රාජාසන කතාව පටන් ගන්න කලින් චේම්බර් එකෙන් නැඟිටලා ගියානෙ. ඒක දැක්කේ නැද්ද?” යනුවෙන් කිරිඇල්ල පෙරළා පාඨලීගෙන් විමසීය.‍

මං දැක්කා, විපක්ෂ නායකතුමා නැඟිටලා යනවා. කවුද දන්නේ විපක්ෂ නායකතුමා මොකට ද නැඟිට්ටේ කියාලා. එතුමා ටොයිලට් එකට යන්න ද දන්නේ නැහැනේ නැඟිට්ටේ” යනුවෙන් පාඨලී චම්පික ප්‍රකාශ කළේය.

“විපක්ෂ නායකතුමා එක්ක මන්ත්‍රිවරුන් තිස් ගාණක් එක පාරට නැඟිටලා එළියට ගිය බව අපි හැමෝම දැක්කා. එතකොට ඒ තිස් ගාණම එක පාරට නැඟිට්ටේ ටොයිලට් යන්නද?” යනුවෙන් කිරිඇල්ල කළ ප්‍රකාශයට දෙදෙනාටම සිනහ ගියහ.

රනිල්ගේ විශ්වාසය ගැන ප්‍රසන්නගෙන් සහතිකයක්

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව ඇමැති ප්‍රසන්න මාතලේ දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයන් මුණ ගැසුණි. ඒ ඔවුන්ගේ ඉල්ලීමක් පිටය.

“සර්..අපි ජනාධිපතිතුමා විශ්වාස කරන්නෙ කෙහොමද?” හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු විමසීය.

“විශ්වාස නොකර කොහොමද? එතුමා ජනාධිපති විදියට පත්කර ගත්තෙ අපි. දැන් එතුමා අපිත් එක්ක වැඩකරනව නේ.” ඇමැති ප්‍රසන්න කීය.

“ඒත් සර්…” හිටපු සභාපතිවරයා යමක් කියන්නට සූදානම් වෙද්දීම ඇමැති ප්‍රසන්න කීවේ මෙවන් කතාවකි.

“ඔබතුමා කියන්න හදන දේ මට තේරෙනවා සභාපතිතුමා. හැබැයි මේ වෙනකම් ජනාධිපතිතුමා අපේ විශ්වාසය රැකල තියෙනව. අපිත් එහෙමයි. නමුත් අපි මේ වෙලාවේදි පක්ෂය ශක්තිමත් කරගන්න ඕන. අපි පක්ෂය ශක්තිමත් කරගත්තොත් බලයට එන නායකයා එක්ක යමක් කරන්න පුළුවන්. පක්ෂය ශක්තිමත් කරන්නනම් අපි ගමට යන්න ඕන”

ගෙවල් ගිනි තියපු එකේ දරා ගන්න බැරිම හේතුව

“මහින්ද මහත්තය නිසා මම හැමදාම රාජපක්ෂලට ගරු කරනව. මම හැමදාම කියන්නේ පක්ෂය ශක්තිමත් කරන්න ඕන කියල. ආණ්ඩුව පැරදිල තියෙන වෙලාවක අපේ ගෙවල් ගිනි තිබ්බනම් අපිට ඒක දරාගන්න පුළුවන්. නමුත් අපේ ආණ්ඩුව තියෙන වෙලාවක අපේ ගෙවල් ගිනි තියපු එක අපිට දරාගන්න බෑ.” ඇමැති ප්‍රසන්න ද කිවේ දැඩි වේදනාවකිනි.

“ඒකට හේතුව ඇමැතිතුමා අපේ අය ගනිපු මෝඩ තීරණ” එක් අයෙකු කීය.

ගොඩහේවාගේ විද්වතුන්ගේ පැටිකිරිය

“ජනාධිපතිවරණය දිනපු ගමන් ආයතනවල සභාපතිවරු පත්කර ගන්න වුණේ ගොඩහේවගෙ විද්වත් කමිටුවෙන්. එතනදි අපි අසරණ වුණා. මගේ සංචාරක අමාත්‍යංශයට දාපු එක සභාපතිනියක් මහජන දිනේට එන්න බෑ කිව්ව. හේතුව එයාට මිනිස්සුගෙ දාඩිය ගඳ ඉවසන්න බැරිවීම.

” ඇමති ප්‍රසන්න කීවේ උදාහරණ ද සමඟිනි.

“ඒ වැරදි ආපහු වෙන්න බෑ. මේක අත්හදා බලන වෙලාවක් නෙමෙයි. මේ වෙලාවෙ රට හදන්න පුළුවන් රනිල්ට විතරයි. හැබැයි මම රනිල්ගේ ගොට්ටෙක් නෙවෙයි.” ප්‍රසන්න යළි කීය.

ප්‍රමිතත් ප්‍රසන්නගේම අඩි පාරේ

“සමහරු කියනව මම යූ.එන්.පීයට යනව කියල. මම කවදත් පක්ෂය දාල යන්නේ නෑ.” කීවේ මෙතෙක් වෙලා නිහඬව සිටි රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය.

“මටත් ඔහොම කියනව. හැබැයි මම ඒව ගණන් ගන්නෙ නෑ.” ඇමැති ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

“නෑ… ඇම­ැතිතුමා මමත් ඉන්නෙ ඔබතුමා ඉන්න මතයෙ. මේ වෙලාවේ දේශපාලන සෙල්ලම් බෑ. අපිට දේශපාලනයෙ තුන්වැනි තැනට යන්න බෑ. එහෙම වුණොත් ඒක හදන්න පරම්පරා දෙකක් යනව..” ප්‍රමිත කීය.

“දැන් යල් පැන ගිය දේශපාලන වැඩක් නෑ. අපිත් පක්ෂයක් විදියට අලුතින් හිතල ගමට යන්න ඕන” ඇමැති ප්‍රසන්න, ප්‍රමිතට තල්ලුවක් දුන්නේය.

රාජිතගෙන් ජී. එල්ට හා රංජිත්ට ප්‍රහාරයක්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබේ.

කරූ ජයසූරිය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු මෙම සාකච්ඡාවට මහාචාර්ය ජී. එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත් මද්දුමබණ්ඩාර, දොස්තර රාජිත සේනාරත්න, පාලිත රංගෙ බණ්ඩාර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“මේ අවස්ථාවේ දී විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කතා කරන්නේ දේශපාලන උප්පරවැට්ටියකට” යනුවෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් ආණ්ඩුවට චෝදනාත්මක ස්වරූපයකින් කතා කළේය.

ඊට වහාම නැඟී සිටිමින් පිළිතුරු දැක්වූයේ විරුද්ධ පක්ෂය නියෝජනය කරනු ලබන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්නය.

“මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ ඡන්ද නෙවේ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි අපි කළ යුත්තේ. ඡන්ද ගැන තර්ක, ව්‍යවස්ථාව ගැන තර්ක, මිනිස්සුන්ට වැදගත් නැහැ. මේ වෙලාවේ රටේ පොදු මහජනතාවට අවශ්‍ය දේ අනුවයි දේශපාලකයින් ක්‍රියා කළ යුත්තේ” යනුවෙන් රාජිත ප්‍රකාශ කළ අතර ඊට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාර කළ ප්‍රකාශයට ද නොනැවතී දිගටම තර්ක ඉදිරිපත් කිරීමට රාජිත සේනාරත්න කටයුතු කළේය.

ලාන්සා හයිඩ් පිටියට

නව සන්ධානයේ කොළඹ මහජන රැලියේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩල කමිටුව පසුගියදා රැස්වූහ.

සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, සිරිපාල අමරසිංහ, සුගීශ්වර බණ්ඩාර ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නව සන්ධානයේ සංවිධායකයින් පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

“කොහොමද දැන් රැස්වීමට එන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික, අපේ වැඩේ ගැන කතා කළාම මොකද කියන්නේ”නිමල් ලන්සා මන්ත්‍රිවරයා ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන නව සන්ධානයේ දෙවන මහජන රැලිය පිළිබඳව තොරතුරු විමසන්නට විය.

“මේ ටිකේම අපි ආසනවල දුවනවා ඇමැතිතුමා, ජා ඇළ අපේ පළමුවෙනි වැඩේ හොඳටම තිබ්බ නිසා කොළඹ ජනතාවගේ ලොකු උනන්දුවක් තියනවා. “සුගීශ්වර විස්තරයක් කළේය.

“ජා ඇළ වැඩේට මලිමාවත් හොඳටම බය උණා. “නලින් ප්‍රනාන්දු කිවේය.

හයිඩ් පිටියට එන අලුත් මුහුණු ?

මේ අතර කොළඹ ජන රැලියේදී තවත් විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙකු මෙන්ම දේශපාලන නායකයින් කිහිප දෙනෙකු නව සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි.

ඒ අතරට හිටපු මහ ඇමැතිවරයෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපතිවරයෙක් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසක් ඇතුලත් බව රාජගිරිය පක්ෂ මුලස්ථානය කියා සිටියේය.

සජිත් යුරෝපා සංගමයෙන් ඉල්ලුවේ මොනවාද?

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තානාපති කාර්මන් මොරේනෝ ඇතුළු නියෝජිතයන් පිරිස විපක්ෂ නායකවරයා හමු වී වර්තමාන දේශපාලන, ආර්ථික, ක්‍රියාකාරකම් තුළ රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කළේය.

විපක්ෂ නායකවරයා නියෝජිත පිරිසට කීවේ මේ මොහොතේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම සහ දායකත්වය ඉතා වැදගත් වන බවයි.

විශේෂයෙන්ම මේ මොහොතේ අපනයනය කේන්ද්‍ර කොටගත් නිශ්පාදන කර්මාන්ත මුහුණ දී ඇති ගැටලු පිළිබඳව, ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මුහුණු දී ඇති ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා කරුණු පැහැදිලි කළේය.

නාමල් ගියේ මෝදිගේ ආරාධනාවකට

නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉන්දියාවට ගියෙත් අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සිටින අතරතුරදීය. ඔහු පූජාවකට සහභාගී වීමට යන බවයි වාර්තා පළ වුයේ. නමුත් එය වෙනම කතාවකි. අවුරුදු දෙකකට කලින් කුෂි නගර් ගුවන්තොටුපළ අගමැති මෝදි විවෘත කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් ගිය දූත පිරිසට නාමල්ද ගියේය. “ මම මෙතන රාම් කෝවිලකුත් හදනවා. ඒක විවෘත කරන දවසෙත් නාමල් ඔයා එන්න ඕන“ අගමැති මෝදි නාමල්ට ආරාධනා කළේය. නාමල් පසුගියදා ඉන්දියාවට ගියේ එම ආරාධනාව අනුවය. මේ අතරේ නාමල් ලක්නව් පැමිණි බව ප්‍රාන්ත මහ ඇමැති යෝගි ආදිත්‍ය දැන ගත්තේය. “නාමල් එන්න මාව හමුවෙන්න” ඔහු කරපු ආරාධනාව පිළිගත් නාමල් එතැනට පැමිණියේය.

යෝගිට නාමල්ගෙන් ආරාධනාවක්

මන්ත්‍රි නාමල් අපේ අටමස්ථානේ ගැන යෝගී ආදිත්‍යට පැවසුවේය. “මෝදි අගමැතිතුමත් ආවා. අටමස්ථානය වැඳපුදා ගන්න. අටමස්ථානය හැම බෞද්ධයෙක් වගේම, හින්දු කෙනෙක්ම වඳින්න ඕන. ඔබතුමත් එන්න.” නාමල් යෝගි ආදිත්‍යන්ට ආරාධනා කළේය. අප්‍රේල්වල අපේ ඡන්දෙ. ඒක ඉවරවෙලා අනිවාර්යයෙන් මම අටමස්ථානය වඳින්න එනවා. “ යෝගි ආදිත්‍යන් නාමල්ට පොරොන්දු විය.

වජිරගේ කතාවට පැසසුම්

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලනය පසුගිය සෙනසුරාදා යක්කල නගර ශාලාවේදී පැවැත්වුණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලනය සඳහා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පැමිණ සිටි එජාප නායකයින් මෙහිදී සභාව ඇමතු අතර වජිර සිදුකළ කතාව පැමිණ සිටි බොහෝ පිරිසක් අගය කෙරුවේ අපි නොදන්නා බොහෝ කරුණු ප්‍රමාණයක් අද දැනගැනීමට හැකිවුණා යැයි පවසමිනි.

රනිල්ගේ ලෝක වාර්තාව ගැන වජිරගෙන් ඉඟියක්

අපේ පක්ෂය හැර ගිය කාටවත් දැන් නැවත පක්ෂය සමඟ එකතු වීමට බැරි කමක් නැහැ. ඒ අය පක්ෂය දාලා ගියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නකන් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති කෙනෙක් බිහි කරන්න බැහැ කියලා. කොහොම හරි කමක් නෑ, අසමගිය වෙන් වුණාම සමගිය එක් වුණාම අපි අපේම ජනාධිපති කෙනෙක් බිහි කළා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අසමගිය එළියේ, සමගිය ඇතුළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති පුටුවේ. මේක ලෝක වාර්තාවක්. ඒ ගැන ඉදිරියේදී පොත් පත් පවා ලියවේවී.

බෞද්ධාගමට අපහාස කිරීම ගැන අජිත් රාජපක්ෂගේ දැඩි විරෝධය

විවිධ පුද්ගලයින් හා ඇතැම් චීවරධාරීන් බෞද්ධාගමට එරෙහිව සිදුකරන අපහාස සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවැසුවේය.

පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හමු වූ අවස්ථාවලදීත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති උත්සව කිහිපයකදීත් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දුන්නේ බෞද්ධාගමට අපහාස කරන ඇතැම් පුද්ගලයින්ට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විශාල ප්‍රසිද්ධියක් ලබාදෙන බවයි.

“මේ ආකාරයෙන් බෞද්ධාගමට පමණක් නොවෙයි, ඕනෑම ආගමකට එරෙහිව අපහාස කරන පුද්ගලයින් වාගේම එම අපහාස කිරීමට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය ලබා දෙන පුද්ගලයින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දැන් සමාජ මාධ්‍ය ජාලා නියාමන පනතක් තියෙනවානේ. ” යනුවෙන් ද අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා පැහැදිළි කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division