ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි
යළි පුබුදන්න බැරි…
එක්කර අතැඟිලි ඔබ ඔහු සමඟයි
මට ඉවසන්න බැරි.
මේ ගීතය ගයන්නේ කවුරුන්ද යන වග අමුතුවෙන් කිව යුතුව නැහැ. යුග ගණනාවක් තිස්සේ රසික හදවත් ආමන්ත්‍රණය කළ සොඳුරු ගායනවේදී සෝමසිරි මැදගෙදරයන් ගැයු ගීත අතරේ බොහෝ දෙනාගේ මුවගේ මිමිණෙන ගීතයක්. මේ ගීයේ මුල් පද පෙළ මෙලෙස ලියා තබන්නට වූයේ ඔහුගේ සංගීත කලා දිවියට වසර 45ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රසංගයක් ගැන පාඨක ඔබට දැනුවත් කිරීමේ අරමුණින්.
අරුණ මුදුන්කොටුව ලියූ සනත් නන්දසිරි සංගීතවත් කළ,
“සඳයි තරුයි – නිසංසලේ අහසෙ ගොළුවෙලා
ඔබයි මමයි – දෙමංසලේ දෙතැන තනිවෙලා”
ගීය ඔහු ගැයූ පළමු ගීතයයි. ඉන් පසුව රිදවන්නෙපා මේ තරම්, ඔබේ ආදරේ මහා සාගරේ හා අසා ඉමු අපි සුමුදු වැල්ලට යන ගීත ද පළමු ගී අතරට එක් විය.
ඔහු ගැයූ ගීත එදා මෙන්ම අද ද ජනප්‍රිය ය. මෙවැනි ජනතා ආකර්ෂණය ලද ගීත කිහිපයක් එක රැයකදී අහන්නට ඔබට සලස්වා තිබේ. ඒ මේ මස 24 වැනිදා සවස 7ට, මහරගම යොවුන් රඟහලේ දීය. මේ කතා බහ ඒ ගැන සෝමසිරි මැදගෙදර සමඟයි.
බොහොම කාර්යබහුල කාලයක් වගේ ගත වෙන්නේ?
ඔව්. මේ දවස් ටිකේ මම ලෑස්ති වෙන්නේ මගේ සංගීත දිවියට වසර 45ක් පිරීම නිමිති කරගෙන පැවැත්වෙන මගේ ගී ප්‍රසංගයකට. හරියටම බැලුවොත් ගිය වසරේ තමයි වසර 45 වුණේ. නමුත් මම හිතුවා මේ වසරෙ මුල්ම ප්‍රසංගය පවත්වන්න. ඒ අනුව පෙබරවාරි 24 වෙනිදා ඉස්සර බැඳි පෙම නමින් ප්‍රසංගයක් පවත්වනවා. මෙය මම සහ මගේ පුතා යසස් මැදගෙදරත් මගේ දුව යශෝධා මැදගෙදරත් සහභාගී වෙන සංකලන ප්‍රසංගයක් කිව්වොත් හරි.
ගීත කීයක් එදාට ආවොත් අහන්න පුළුවන්ද?
එදාට ගීත 24කට වැඩි ප්‍රමාණයක් අහන්න පුළුවන්. මගේ ගීත තියෙනවා 350කට එහා. ඒ අතරින් බොහෝ දෙනා දන්නා ගීත කිහිපයක් තෝරා ගත්තේ. ඒ නිසා ගීත බොහොමයක් අතහැරුණා. මේ ප්රසංගයේදී යුග ගායනයෙන් එකතු වෙනවා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද දමයන්ති ගමගේ සහ විශාරද කුමුදුනි විජේතිලක.
එදාට සංගීතය සපයන්නේ කවුරුන්ද?
Coversclub Gyus සංගීත කණ්ඩායම. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු ළමයි කණ්ඩායමක් එකතුවෙන් සැදුණු නව පරපුරට ගැළපෙන ඉතාම මිහිරි සංගීතයක් ගෙන දෙන සංගීත කණ්ඩායමක්. පැරණි ගීතයේ රසයට හානි නොකර අද රසිකත්වයට විඳින්න සැලසෙනවා.
ප්රසංගයේදී අලුත් ගීත එළිදැක්වීමක් එහෙම සිදු වෙනවද?
ඔව්. මගේ අලුත් ගීතයක් එළිදැක්වෙනවා. ඒක මගේ පුතා යසස් මැදගෙදර සංගීතවත් කරපු ගීතයක්. ඒ එක්කම මේ වසර තුළදී ගීත කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අවුරුදු කීයකට පස්සෙද මේ ප්‍රසංගයක් කරන්නේ?
මගේ මුල්ම ප්‍රසංගය පැවැත්වූයේ 25වෙනි වසරක ගී සැමරුම. ඊට පස්සේ 30 වසරක සහ 35 වසරක ගී සැමරුම පැවැත්වුවා. ඉන් පසුව වසර 10ක් මට අත් හැරුණා. මම පසුගිය කාලේ පිළිකාමය අසනීප තත්වයෙන් පෙළිලා වසර ගණනාවක් ප්‍රතිකාර ලබා ගත් නිසා. ඉන් අනතුරුව හෘද සැත්කමක් කරන්නට වුණා ගිය වසරේ දී. දෙවිවරු වගේ වෛද්‍යවරුන් ඉන්න නිසා ඒ දෙකෙන්ම මිදිලා අද මම යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. මේ නිසා පසුගිය කාල වකවානුව තුළ මගේ කලා කටයුතුවල යම්කිසි පසුබෑමක් ඇති වුණා. දැන් මම සුවෙන් ඉන්න නිසා මට ඕනෙ වුණා විශේෂයෙන්ම මගේ දයාබර රසිකත්වයට සුපුරුදු පරිදි දැන් මම කලා කටයුතුවල නියැලෙනවා කියන එක. ඒ නිසාම තමයි මම ප්‍රසංගය පවත්වන්නේ.
වසර 45ක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි, මෙ කාලය තුළ සංගීත ෙක්ෂ්ත්රයේ කළ කී දෑ ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. මම නිතරම ආපහු ආපු ගමන ගැන විමසිල්ලෙන් බලන කෙනෙක්. අතීතය අපිට මතක නම් අනාගතයත් අපිට පැහැදිලියි. ඒ නිසා නිතරම මම ආවර්ජනය කරනවා ආපු මඟ. බොහොම දුෂ්කරතා මැදින් මේ ගමන ආවේ. ආපු ගමන් මඟ අද සිහිපත් කරද්දී සුන්දරයි. ඒ ගමන් මගේ කිසියම් තැනකට මම අද ඇවිත් ඉන්නවා. තව ඉදිරියටත් හොඳ නිර්මාණ ටිකක් රසික ජනතාවට තිළිණ කරන එක තමයි මගේ එකම අපේක්ෂාව.
දරුවෝ දෙන්නත් සංගීත ෙක්ෂ්ත්රයේ ගමනක් යන එක ගැන මොකද හිතෙන්නේ?
මම ළමයින්ට කවදාවත් බල කළේ නැහැ මම ගායකයෙක් නිසා එයාලටත් මේ කේෂ්ත්‍රයට එන්න කියලා. ඒ අයම ඒ අයගේ මාවත් තෝරා ගත්තා. විශේෂයෙන්ම ලොකු පුතා යසස් මැදගෙදර මේ වෙද්දී නව පරපුරේ නමක් දිනා ගත්තු සංගීත අධ්යක්ෂවරයෙක්. ඔහු අතින් නිර්මාණය වුණු ගීත බොහොමයක් කේෂ්ත්‍රයේ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් දෙරණ සම්මාන උලෙළේ දී සම්මාන ලැබුවා. මේ වසරේත් ඔහු විසල් ආදරේ චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂණ කටයුතුවල යෙදිලා ඉන්නවා. ඒ දේවල් අතරතුර තමයි මගේ ප්‍රසංගය සඳහා දිවා රාත්‍රී මහන්සි වෙන්නේ. දුව අධ්‍යාපනය ලැබුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳව. ඊට අදාළ රැකියාවක් කරන ගමන් තමයි සංගීත කටයුතුවල යෙදෙන්නේ.
ඇරයුමක් කරමු, සහෘද ආදරණීය රසිකත්වයට?
තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනේ. මින් පෙර මම මගේ ප්‍රසංග සියල්ල පැවැත්වූවේ නොමිලේ. නමුත් අද වෙද්දී මගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමින් පවත්වා ගන්න අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්න සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන මූල්යමශක්තිය ලබා ගැනීමටත් අවශ්‍ය නිසා මේ සැරේ ප්‍රසංගය ප්‍රවේශපත්‍ර නිකුත් කරලා පවත්වන්නේ. මම බලාපොරොත්තු වෙනවා වසර 45ක් තිස්සේ මගේ ගීත රසවින්ද මගේ ආදරණීය රසිකයන් සහ මගේ හිතමිත්‍රාදීන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන මගේ ප්‍රසංගය නරඹලා මට ශක්තියක් වෙයි කියලා. එහෙම නම් පෙබරවාරි 24 වෙනිදා සවස 7ට, මහරගම යොවුන් රඟහලේ දී ආදරෙන් මුණගැහෙමු.