රට පුරා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ මත් ජාවාරම්කරුවන්ට මෙන්ම විවිධ අපරාධකරුවන්ට අත් වූයේ ශෝකජනක ඉරණමකි. මේ වන විට කුඩ්ඩන්, මංකොල්ලකරුවන් ඇතුළු අපරාධ ලෝකයේ සැරිසැරූ බොහෝ පිරිසක් සිටින්නේ පොලිස් කූඩුවේ නැතිනම් බන්ධනාගාරයේය.
විදේශයේ සිට මෙරටට බෝට්ටු මඟින් හොර රහසේ රැගෙන එන මත්ද්‍රව්‍ය කොළඹට රැගෙනවිත් රටපුරා බෙදා හරින ජාලගත මත් ජාවාරමුන් කොටුකර ගැනීම සඳහා සිදු කරන මෙහෙයුම් අතර පුත්තලමේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු හා කොළඹදී අත්අඩංගුවට පත් වූ ඔහුගේ ප්‍රධානියා පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.
ඒ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල්, දූෂණ මර්දන අංශයේ සහ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන්වරුන් වන 35007 සෙනෙවිරත්න, 37535 සුදර්ශන, 69102 අජිත්, කොස්තාපල් 78526 දිසානායක හා 78158 වන්නිනායක යන නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකදී වත්තල, හුනුපිටිය ප්‍රදේශයේ පදිංචි ‘නානා’ නමැති අයකු අත්අඩංගුවට පත්වන්නේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 යි ග්‍රෑම් 810ක් සමඟය.
මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒමට ‘නානා’ කල්පිටියට යන්නේ අත්අඩංගුවට පත් වූ දිනට පෙර දින බස් රථයේ නැඟී ‘සෙල්වා’ගේ උපදෙස් මතය. ‘සෙල්වා’ගේ සුවච කීකරු ‘ගෝලයෙකු’ ලෙස කටයුතු කරන ‘නානා’ට සෙල්වා විසින් ලබාදුන් රුපියල් හැටදාහක මුදලද ගමන් වියදම ලෙස ලබා දුන් රුපියල් දහදාහ ද මහමෙරක් තරම්ය. ගෝලයාටත් හොර රහසේ සෙල්වා පසුදින උදෙන්ම වාහනයෙන් කොළඹ සිට පුත්තලම බලා යන්නේ මෙම ගනුදෙනුව හරියට කෙරේද යන්න තහවුරු කරගැනීම සඳහාය. ගෝලයා වුවද ඔහු පිළිබඳ ඇස ගසාගෙන සිටිය යුතුය. වුවමනාවට වඩා විශ්වාස කිරිම ඇඟට අගුණය.
එදින සවස කල්පිටියේ සිටි පුද්ගලයෙකු ‘නානා’ට සම්බන්ධ කර දීමටද සෙල්වා කටයුතු කළේ වැඩේ නූලට කරගත යුතු බවට උපදෙස් ද දෙමිනි. ‘බොසා’ගේ කීමට පිටින් නොයන ‘ගෝලයා’ මත්ද්‍රව්‍ය තොගය සාමාන්‍ය පාර්සලයක් ලෙස අතින් ගෙන කල්පිටියෙන් හවස හයට පිටත්වන කල්මුණේ බස් රථයට ගොඩ වන්නේ කිසිවකුටත් සැක නොසිතෙන පරිදිය. ඒ පාලවියෙන් බැස කොළඹ බස් රථයේ නැඟීමේ බලාපොරොත්තුවෙනි. මේ ගමනේදී ගෝලයාට විටින්විට දුරකතන ඇමතුම් ලබා දෙමින් තොරතුරු විමසීමට ‘සෙල්වා’ අමතක කළේ නැත. එහෙත් ‘නානා’ට සිදු වූයේ සෙනඟ පිරුණු කොළඹ බලා එන බස් රථයේ හිර වී නොව පොලිසියේ වාහනයට ගොඩ වෙන්නටය. ඒ යුක්තියේ මෙහෙයුමට පින්සිදු වන්නටය. අත්අඩංගුවේ සිටියදී ‘නානා’ගේ දුරකතනයට ‘සෙල්වා’ගෙන් දිගින් දිගටම ඇමතුම් ගලා ආවේ වැඩේ තිතටම කෙරේදැයි තහවුරු කර ගැනීමටය.
“ඒ කතා කරන්නෙ කොළඹ ඉන්න මගෙ බොසා සර්. මේ බඩු ගෙනියන්නෙ එයාට…” ඔහු පොලිසියට එසේ කීවේය.
නානා ඇඹරෙන්නට වූයේ කරකියාගත හැකි දෙයක් නොමැතිවය. ඉන්පසු දුරකතනයට ‘නානා’ උත්තර දුන්නේ විමර්ශකයන්ගේ උපදෙස් අනුව බස් රථයේ ගමන් කරන බව අඟවමිනි. ‘සෙල්වා’ බස් රථය පිළිබඳ අවධානයෙන් ගමන් කරන බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ ‘නානා’ රැගෙන එන මහා ධන නිධානය ආරක්ෂිතව තමා සතු කර ගත යුතු බැවිනි. මේ අතර මාර්ග බාධකයකදී බස් රථය නතර කළ බැවින් ‘සෙල්වා’ විමසා සිටියේ ඇයි බස් එක නතර කළේ කියාය.
“මොකද බං බස් එක නතර කරල තියෙන්නෙ? ප්‍රශ්නයක්ද?“ ඔහු ‘නානා’ගෙන් විමසුවේ දුරකතනයෙනි.
“ආ ඒ දෙන්නෙක් බස් එකේ බීල ගහගෙන. උන් දෙන්නව බස්සන්න බං. මට ප්‍රශ්නයක් නෑ. උඹ බයවෙන්න එපා. කිසි අවුලක් නෑ….“
බස් රථය පාලවියට එන විට නැවතත් සෙල්වාගෙන් ඇමතුමක් ලැබෙන්නේ කෝපයෙනි.
“මොකද උඹ පාලවිය හන්දියෙන් බැස්සෙ නැත්තේ? කිව්වා නේද බහින්න කියලා මං…“
“එතන පොලිසිය ඉන්නවා වගේ දැක්කා. මට ටිකක් සැක හිතුණා. ඒ හින්ද මං ඉස්සරහින් බැස්සා…“
“එහෙනං උඹ ඉන්න තැන කියපං. මං දැන් උඹව ගන්න එතනට එනවා…“
“මං ඉක්මනට එන බස් එකකට නැඟ ගත්තා බං. දැන් ඉන්නෙ සෙඩ් එක ළඟින් බැහැලා…“
එහෙත් පොලිසිය සිතන්නේ මේවා ‘සෙල්වා’ට බොරුවට කියන කතා කියාය.
“කෝ දැන් බස් එක සෙඩ් එකත් පහුකළානෙ. උඹ එතනත් නැනෙ…“
‘සෙල්වා’ ඉන්නේ අත ළඟම බව පොලිසියට සැක සිතෙන්නේ දිගින් දිගමට ‘නානා’ කියන මඟ විස්තර සෙල්වා දැන සිටීම නිසාය.
මදුරන්කුලියට පැමිණි පසුව පොලිසියේ අදහස වූයේ ‘සෙල්වා’ කොටුකර ගත යුතු බවය. ඒ සඳහා ඔහුව වාහනය අසලට ගෙන්වා ගැනීම කළ යුතුය.
“ඉක්මනට බස් එකෙන් බැහැපං… මං උඹව ගන්නවනෙ…“ ගෝලයාගේ අකීකරුකම හමුවේ ‘සෙල්වා’ සිටින්නේ තරමක සැකයෙනි.
“හරි හරි උඹ වරෙන් ඉක්මනට බස් එක ළඟට. මට හරි බයයි බං… වැඩි වෙලා බැහැල ඉන්න…“
‘නානා’ට සිදු වූයේ සෙල්වා පොලිස් නිලධාරින් ළඟට ගෙන්වා දීමටය. එහෙත් සෙල්වා ඒ ගැටවලට හසු වූයේ නැත. ඔහු නානාට පවසන්නේ හලාවත, දැදුරුඔය පාලම පසුවන විටම ඇමතුමක් දෙන ලෙසය.
මේ නිසා පොලිසිය සිතන්නේ සෙල්වා කිසිවකු යොදා නානා එන බස්රථය පරික්ෂා කිරීම සිදු කරන බවය. එහෙත් ඒ වන විට බස් රථයක් මාර්ගයේ නොවීය. ඒ නිසා කොළඹ යන ගමන නතර කර බස් රථයක් පැමිණෙන තුරු ගමන ටිකක් ප්‍රමාද කිරීම හැර නිලධාරීන්ට වෙන කළ හැකි විකල්පයක් නොවීය. අනුරාධපුර සිට කොළඹ බලා යන බස් රථයක් පැමිණෙන්නේ ඒ අතරය. එය පිටුපසින් ගමන් කරන විමර්ශකයන් ‘නානා’ ලවා සෙල්වාට ඇමතුම් දෙන්නේ දැදුරුඔය පාලම මතදීය. ඉන් පසුව හලාවත නගරය පසු කරන තුරුම නිහඬව ගමන් කරන ‘සෙල්වා’ වත්තලට ගිය පසුව විමසන්නේ තාම පරක්කු ඇයි කියාය. ‘නානා’ එම බස් රථයේ සිටින බව සිතා ‘සෙල්වා’ සෑහීමකට පත් වන්නේ බස් රථය මන්දගාමිව පැමිණි බවට නානාගේ පිළිතුර විමත් සමඟිනි. කෙසේ වුවත් ‘සෙල්වා’ කොළඹට පැමිණ යතුරුපැදියකින් පැමිණ ඇති බව පොලිසිය දැනගන්නේ පසුවය. කෙසේ වුවද ඔහු ‘නානා’ රැගෙන යාමට කෙළින්ම නොපැමිණ ඔහුට වට රවුම් පාරවල්වලින් අතනට මෙතනට පැමිණෙන ලෙස පවසා මාරු වන්නේ දිවැස් ලැබූ එකෙකු පරිදිය.
එලෙස දැලෙන් රිංගා ගිය ‘සෙල්වා’ පසුව කොටු වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගේ උගුලටය. ඒ කොළඹ 13, expo tower grand මහල් නිවාස සංකීර්ණයේ නිවසේ සිටියදීය. එම කොට්ඨාසයේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරික්ෂක බුද්ධික රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ඔහු සැඟව සිටි 05 වන මහලේ 04 වන නිවසේ දොර කඩා ඇතුළු වීමෙනි. මෙම සැකකරුවන් සංවාද පැවැත්වූ දුරකතන ද අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා, බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුරංගගේ උපදෙස් අනුව පොලිස් සැරයන්වරුන් වන 61115 පෙරේරා, 61178 චතුරංග, පොලිස් කොස්තාපල්වරුන් වන 91282 ජයවර්ධන, 91826 වැලිවිට, 2204 ප්‍රියශාන්, 1022953 ඒකනායක, කා.පො.කො 10984 අනුත්තරා, පො. කො. රියැදුරු. 105570 බණ්ඩාර යන නිලධාරීහු මෙම වටලීමට උප පොලිස් පරික්ෂක බුද්ධික රාජපක්ෂට සහාය වූහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ