Home » පෙම්වතා මරන්න ඩුබායි පාතාලයට ඔත්තු දුන් ‘සදිසි’

පෙම්වතා මරන්න ඩුබායි පාතාලයට ඔත්තු දුන් ‘සදිසි’

by thanushika
February 24, 2024 12:30 am 0 comment

ගිය වසරේ ජුනි 17 වැනිදා දහවල් එකොළහට පමණ හික්කඩුව, සීනිගම දේවාලය ආසන්න ගාලු පාරේදී කැබ් රථයක සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කෙරිණි. මරණාසන්න තුවාල ලත් ඔහුට ජීවත් වීමේ වාසනාව උදා වූයේ පෙර කළ පිනකිනි.

වෙඩි ප්‍රහාරයට ලක්වූයේ විදෙස් රටක සිටින බවට සැක කරන රජ්ගම විදුර නමැති මත්කුඩු ජාවාරම්කරුවාගේ බිරියගේ සහෝදරයෙකි. ඔහු දුලාජ් තරංගය. දුලාජ් රජ්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

එම වෙඩි තැබීම පිළිබඳ විමර්ශන සිදු කළ පොලිස් නිලධාරින්ට අනාවරණය වූයේ දුලාජ් එම ස්ථානයට ගෙන්වා ගෙන තිබුණේ තරුණියක විසින් දුන් ව්‍යාජ දුරකතන ඇමතුමකට අනුව බවයි. එසේම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ විදෙස් රටක සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් බූස්සේ හර්ෂ නමැති තවත් අපරාධකාරයෙක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගන්නේ මේ ගැන කළ විමර්ශනයකදීය. හර්ෂ කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකි. එසේම හර්ෂ කලක් නාවික හමුදාවේ සේවයේ නිරතව සිටි අයෙකි.

දුලාජ්ට බොරු කියමින් දුරකතන ඇමතුම් දී ඔහු එම ස්ථානයට ගෙන්වාගත් තරුණිය එම වෙඩි ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අංශ මඟහරිමින් අතුරුදන් වූවාය. මාස ගණනාවක් ගත වුවද ඇය ගැන කිසිම තොරතුරක් ආරක්ෂක අංශවලට සොයා ගැනීමට නොහැකි විය. එහෙත් යුක්තිය මෙහෙයුමත් සමඟ ඇය පොලිස් විශේෂ කාර්ය බළකායට කොටු වූවාය. එස්ටීඑෆ් නිලධාරින්ට ඇයව කොටුවන්නේ එම නිලධරයෝ සිදු කරන ලද විශේෂ සෝදිසියකදීය.

පසුගිය 22 වැනිදා බෙලිඅත්ත පංචපුද්ගල ඝාතනය පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකාය ද විමර්ශනවලට එක්වෙමින් ඝාතකයන් පසුපස හඹා යමින් සිටියේය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරින්ට තොරතුරක් ලැබුණේ පංච පුද්ගල ඝාතනයේ එක් වෙඩික්කරුවකු මීරිගම, පල්ලෙවෙල, මුද්දරගම පදිංචිකරුවකු බවටය.

එම තොරතුර පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බස්නාහිර පළාත් උතුරු කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීරගේ ඍජු අධීක්ෂණයෙන් ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මාරසිංහගේ මෙහෙයවීමෙන් ක්ෂණික මෙහෙයුමක් දියත් කෙරුණේ වෙඩික්කරුවා කොටුකර ගැනීමටය.

එම නිවස සොයා එස්ටීඑෆ් කණ්ඩායම් එහි යන විටත් පංචපුද්ගල ඝාතනයේ වෙඩික්කරුවකු වූ චම්පික නමැත්තා ඒ වන විටත් රටින් පැනගොස් සිටියේය. නාවික හමුදාවේ සේවයේ නියුතුව සිටි අයෙකු වන මොහු ඉන් ඉවත්ව පසුගිය කාලයේ වරායේ රැකියාවක යුතු වූවකු ලෙසද පෙනී සිටියේය. චම්පික නිවසේ නොසිටියද එම පංචපුද්ගල ඝාතනයට සහාය දුන් හෙයින් චම්පිකගේ බිරිය ගංගා, බිරියගේ පියා කරුණාරත්න අත්අඩංගුවට ගැනිණි. බිරියගේ මවගෙන් ද එස්ටීඑෆ් නිලධාරින් විසින් ප්‍රශ්න කරන ලදි.

“අනේ මහත්තයෝ මම මේ කිසිම දේකට සම්බන්ධ නෑ. මේ අයගේ වැඩ මට ඇල්ලුවේම නෑ. අපේ ගෙදරට මීට මාස දෙක තුනකට කලින් ඔය කට්ටිය එකතු වෙලා කෙල්ලෙකුත් ගෙනල්ලා නතර කරගෙන හිටියා. ඒ කෙල්ල මගේ කොල්ලත් එක්ක සම්බන්ධයකුත් ඇතිකරගෙන හිටියේ… ඒ කෙල්ල ගැන මට සැක හිතිලා පොලිසියටත් පැමිණිලි කළා…“ යැයි වැඩිහිටි කතක වූ ඇය කීවාය.

සදිසි නමින් පෙනී සිටි එම තරුණියද පංචපුද්ගල අපරාධයට යම් සබඳතාවක් ඇත්දැයි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට සැකයක් ඇති විය. අනතුරුව එම තරුණිය සිටි ස්ථානයට ගංගාගේ පාපෝච්චාරණයට අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ බුද්ධි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු කණ්ඩායමක් යන්නේ එසැණිනි. එම තරුණිය කිරිබත්ගොඩ, අලුත් පාරේ, ජනප්‍රිය හෝටලයක් ආසන්න බෝඩිම් කාමරයක සිටියදී අත්අඩංගුවට ගැනීමට එස්ටීඑෆ් නිලධරයන්ට හැකි විය. ඇය සමඟ ගංගාගේ සහෝදරයා වන අරුණ කුමාර අත්අඩංගුවට ගැනිණි.

ඇය ඒ වන විට සදිසි නමැති ව්‍යාජ නමකින් පෙනී සිටියාය. ගාල්ලේ, ආරච්චිවත්ත, කටුදම්පේ, දොඩන්දූවේ පදිංචිකාරියක වන 23 හැවිරිදි එම කතගේ සත්‍ය නාමය මධුෂි ලක්ෂානි සෙනෙවිරත්න බව එස්ටීඑෆ් නිලධාරින් තහවුරු කරගන්නේ ඇගෙන් ප්‍රශ්න කරද්දීය.

ඇය ගැන වැඩිදුර සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූයේ 2023 වසරේ ජූනි 17 සීනිගම දේවාලය ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ දුලාජ් තරංග එම ස්ථානයට ගෙන්වාගත් තැනැත්තිය ඇය බවටය.

“සර්… මං ඒ දේ කළේ හර්ෂ අයියගේ කීමටයි… මට හර්ෂ අයියා ඒ සේරටම සල්ලි දුන්නා…“ යැයි ඇය කීවාය.

ඒ අනුව ඉකුත් වසරේ සිදුවූ එම ඝාතන තැතේ සුලමුල සියල්ල අනාවරණය වූයේ පැය කීපයක් ඇතුළතදීය.

මධුෂි අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ තැනැත්තියකි. පසුව ඇය ගාල්ලේ රූපලාවණ්‍යාගාරයක රැකියාවක්ද කළාය. තවත් පාතාල අපරාධකාරයකු වන පොඩි ලැසීගේ නැන්දණියකගේ පුතෙක් වන ‘දුලා‘ සමඟ මධුෂි විවාහ වූවාය. ඇය කල් යද්දී එම විවාහයෙන් ඉවත් වූවාය. එසේම එම විවාහයෙන් ගැබිනියක ද වූ ඇය එම දරු ගැබද විනාශ කරගෙන ඇත. ඒ වන විට මධුෂිගේ වයස අවුරුදු 19කි. අනතුරුව ඇය ඇඟලුම් කම්හලක සේවයට ගියාය. කල් යද්දී ඇයට බූස්සේ හර්ෂ හා සම්බන්ධ වීමට හැකියාවක් ලැබුණි.

“හර්ෂ අයියා… මටත් මොනවාහරි කරන්න දෙනව ද? අතට ගාණක් එන වැඩක් කියන්න මං කරලා දෙන්නම්…“ මධුෂිගේ එම ඉල්ලීමට හර්ෂ ඇය හරහා මත්කුඩු ජාවාරමක් ආරම්භ කළේය.

ඒ සමඟම ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ වූවාය. දිනක් ඇයට හර්ෂගෙන් උපදෙස් ලැබී තිබුණේ හෙරොයින් ග්‍රෑම් 8ක් ඔහු සඳහන් කළ අයකුගේ නිවස අසල තබන ලෙසටයි. එදින ඇය අතින් හෙරොයින් පැකට් එකක් නැති වූවාය.

“උඹට ඕක කරන්න බැහැ… ඉතුරු කුඩු ටික දීපන්…“ එලෙස කී හර්ෂ නැවත ඉතිරි හෙරොයින් ග්‍රෑම් 5ක් ඉල්ලා ගත් බව මධුෂි එස්ටීඑෆ් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කළාය.

සති කීපයක් ගත විය. නැවතත් හර්ෂගෙන් දුරකතන ඇමතුමක් මධුෂිට ලැබිණි.

“ඒයි මධුෂි, උඹට කුඩු රස්සාව හරියන්නෙ නෑ… මං කියන මේ වැඩේ කරලා දියන්…” යැයි පැවසූ හර්ෂ ඇයව වෙනත් කටයුත්තකට යොමු කරන්නට විය.

“මොකක්ද වැඩේ අයියා… මං ඕන වැඩක් කරලා දෙන්නම්“ මධුෂි කීවාය.

“උඹ දුලාජ් දන්නවනේ… ඌ එක්ක සම්බන්ධයක් ඇති කරගනිං… ඊට පස්සෙ කරන්න ඕන දේ මං කියන්නම්…“ ඒ හර්ෂගේ වදන්ය.

දිනය ඉකුත් වසරේ ජුනි 15 වැනිදාය. මධුෂිගේ නිවසට රතු පැහැති ත්‍රිරෝද රථයකින් ආ පුද්ගලයකු ජංගම දුරකතනයක් ගෙනැවිත් දුන්නේ සිම්පත ද ඇතුළුකොට වට්ස්ඇප් යෙදවුමද සක්‍රීය කරමිනි.

“මධුෂි උඹ ඔය පෝන් එකේ තියෙන වට්ස්ඇප් එකෙන් දුලාජ් එක්ක කතා කරපන්…“ හර්ෂ පිටරටක සිට උපදෙස් දුන්නේය.

එසැණින් ඇය එම ජංගම දුරකතනයෙන් දුලාජ් හා සම්බන්ධ විය. විමර්ශන කණ්ඩායම් පසුව අනාවරණය කරගත්තේ මධුෂි හා දුලාජ් අතර කලෙකට පෙරදීද යම් සබඳතාවක් තිබී ඇති බවය.

“දුලාජ් අයියා, මං 17 වැනිදා උදේ සීනිගම දේවාලයට යනවා… ඔයාටත් එන්න පුළුවන්ද… මාව හම්බ වෙන්න දේවාලය ළඟට…“ මධුෂිගේ බසට දුලාජ්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිණි.

මධුෂි ජූනි 17 වැනිදා දහවල් දහයහමාර පමණ වෙද්දී සීනිගම දේවාලයට ගියාය. ඇය දේවාලයේ බංකුවක් මත වාඩිගෙන හර්ෂ සපයා දුන් දුරකතනයෙන් දුලාජ් හා කතාබහ කළාය. ඇය දුලාජ්ට කීවේ දේවාලයට එන ලෙසයි. දුලාජ් කළු පැහැති කැබ් රථයකින් සීනිගම දේවාලය ආසන්නයට එමින් සිටියේය. ගත වූයේ මොහොතකි. ගාලු පාර ඔස්සේ පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබා පලා ගියේ සීනිගම දේවාලය ආසන්න ගරාජයක් ආසන්නයේදීය.

එසැණින් මධුෂි එම ස්ථානයෙන් පලා ගියාය. පැය කීපයක් ඇතුළතදී මධුෂි කොළඹට ගියේ හර්ෂගේ කීමටය. ඒ අතරතුර හර්ෂ ඇයට මුදල් ද ගිණුම්ගත කර තිබිණි. කොළඹට ගිය මධුෂි දුලාජ්ට කතා කිරීමට හර්ෂ සපයා දුන් දුරකතනය කුණු බක්කියකට විසි කළේ හර්ෂගේ කීමටය. අනතුරුව හර්ෂ ගිණුම්ගත කළ රුපියල් පනස්දහසක මුදලකින් අලුත් ඇඳුම් ද ගත්තේ හර්ෂගේ උපදෙස් මතයි.

“මධුෂි ඔයා… දැන්මම මාලදිවයිනට යන්න ඕනේ… මම දැන් පෝන් එකෙන් එයාර් ටිකට් එක වට්ස්අප් කරනවා… ප්‍රින්ට් එකක් අරන් එයාපෝට් යන්න…“ ඇය එසැණින් කටුනායක ගුවන් තොටුපළට ගොස් එදින රාත්‍රී 8.20ට මාලදිවයින බලා යන ගුවන් යානයකින් මාලදිවයිනට ගියාය. මාලදිවයින් ගුවන් තොටුපොළේදී ඇය පරීක්ෂාවට ලක්කළ ආගමන විගමන නිලධාරින් ඇගේ ගමන් බලපත්‍රය ගැන ප්‍රශ්න කරන්නට විය.

මාලදිවයිනේ සිටියහොත් ආරක්ෂක අංශවලට හසුවේ යැයි සිතූ ඇය පසුදා එනම් ජූනි 18 දා මාලදිවයිනේ සිට නැවත ලංකාවට පැමිණියාය.

මෙරටට පැමිණි වහාම ඇය පිටත්ව ගියේ හලාවත ප්‍රදේශයටය. හලාවත නිවසක දින විස්සක් පමණ ගතකරන මධුෂිගේ ඊළඟ නැවතුම කැලණිය ප්‍රදේශයයි. කැලණිය ටයර් හන්දියට පැමිණි මධුෂිව රැගෙන යාමට පුද්ගලයකු පැමිණ සිටියේ සිය බිරිය ද සමඟිනි. ඔහු මංජු නමැති අයෙකි. හර්ෂ සමඟ නාවික හමුදාවේ රාජකාරි කර තිබිණි.

මංජුගේ කැලණිය නිවසේ දිනක් කල්ගත කළ ඇය කිරිබත්ගොඩ වේවැල්දූව නිවෙසකට පැමිණියාය. එම නිවස සොයා දුන්නේද මංජුය. එම නිවසේද දින කීපයක් සිටි ඇයට මංජු මහත් කරදරයක් වූයේ මංජුගේ බේබදුකම සහ මත්ද්‍රව්‍ය පානයයි.

“හර්ෂ අයියා මට මේ ගෙදර ඉන්න බෑ… මංජුගෙන් හරිම කරදරයි. හැමදාම ඇවිල්ලා සල්ලි ඉල්ලලා කරදර කරනවා…“ මධුෂිගේ එම මැසිවිල්ලත් සමඟ දිනක් ඇයව රැගෙන යාමට පැමිණියේ බෙලිඅත්ත පංචපුද්ගල ඝාතනයේ වෙඩික්කරුවකු වන පල්ලෙවෙල පදිංචිකරුවකු වන චම්පිකය. සිය බිරිය සහ දියණිය සමඟ වෑන් රථයකින් මධුෂි හමුවීමට පැමිණි චම්පික ඇය රැගෙන ගොස් නතර කළේ චම්පික සහ පවුලේ උදවිය පදිංචිව සිටි පල්ලෙවෙල මුද්දරගම නිවෙසේයි.

එම නිවසට යද්දී මධුෂි සිය නාමය ‘සදිසි‘ ලෙස වෙනස් කරගත්තාය. හර්ෂ සමඟ එක්ව චම්පික සිදු කරන ‘ගේම්‘වලට චම්පිකගේ බිරිය ගංගා, බිරියගේ පියා කරුණාරත්න උල්පන්දම් දුන්නද ගංගාගේ මව එවැනි දෑ සඳහා සම්බන්ධ වී නැති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

වැඩිහිටි කතක වන ඇය සදිසි ගැන අවධානයෙන් පසු වූවාය. ගංගාගේ මවට සදිසිගේ වැඩ ගැන එතරම් පැහැදීමක් තිබුණේ නැත. දිනක් ගංගාගේ මව සදිසි ගැන පොලිසියටද පැමිණිලි කළ බව ඇය එස්ටීඑෆ් නිලධාරින්ගේ ප්‍රශ්න කිරීමේදී පැවැසුවාය.

“මං ඒ කෙල්ල ගැන විස්තරයක් පත්තරේකින් දැක්කා. ඊට පස්සෙ මට සැකයක් ඇතිවුණා. මං ගිහින් ඒ ගැන පොලිසියට පැමිණිලි කළා… අපේ ගෙදර මේ වගේ කෙල්ලෙක් ඉන්නවා කියලා.” යැයි ඇය එස්ටීඑෆ් නිලධාරින්ට කීවාය.

ඒ වන විට මේ මවගේ 22 හැවිරිදි පුත්‍රයා අරුණ සමඟ සදිසි පෙම් හුටපටයකද පැටළී සිටියාය. සදිසි චම්පිකලාගේ නිවසේ සිටියදී ඇයට ශල්‍යකර්මයක්ද සිදු කළාය. නිට්ටඹුවේ පෞද්ගලික රෝහලකදී සිදු කළ එම ශල්‍යකර්මයට වැයවූ රුපියල් ලක්ෂ එකහමාරක මුදල ද හර්ෂ විසින් එවා තිබිණි.

මව සදිසි ගැන පොලිසියට පැමිණිලි කර එද්දී සදිසි එම නිවසින් වෙනත් නිවසකට රැගෙන යාමට චම්පික සහ බිරිය කටයුතු කර තිබිණි. ඒ පියාගේ ඥාතියකුට අයත් නුවර, පූජාපිටියේ නිවෙසකටය. එම නිවසේද කලක් සිටි සදිසිව චම්පික සහ බිරිය ගොස් නැවත කැඳවාගෙනවිත් නතර කළේ කිරිබත්ගොඩ ඇය මුලින් සිටි නිවසේමය. එම නිවසේ මධුෂි මාසයක පමණ කාලයක් සිටියාය. ඇයව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූයේද එම නිවසේ සිටියදීය. පසුගිය 29 දා මධුෂිට අමතරව අරුණද එම නිවසේදී අත්අඩංගුවට ගත්තේ හෙරොයින් ද සමඟිනි.

එලෙස මිනිස් ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට සහාය දීමෙන් අනතුරුව රටින්ද පිටව ගොස් නැවත මෙරටට පැමිණ කට්ටි පනිමින් සිටි මධුෂිට විලංගු වැටුණේ නොසිතූ මොහොතකය. ඒ යුක්තිය මෙහෙයුම ඔස්සේ කිසිම අපරාධකාරයකුට ගැලවීමක් නොමැති බව පසක් කරමිනි.

ඡායාරූප – කරන්දෙණිය සමූහ

අනුරාධ ප්‍රියදර්ශන

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division