Home » ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ සැකකරුවන්ට වස දුන් කල්ලියම අල්ලන්න සීසීඩීය ගහපු ගේම

ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ සැකකරුවන්ට වස දුන් කල්ලියම අල්ලන්න සීසීඩීය ගහපු ගේම

by thanushika
February 24, 2024 12:30 am 0 comment

ජින්තුපිටියේදී ආයුධ සන්නද්ධව මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදු කරන්නේ පසුගිය ජනවාරි 24 වැනිදාය. ඝාතනය සිදුකර සුළු මොහොතකින් වෙරළබඩ පොලිසිය මඟින් සැකකරුවකු සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවීදිය පොලිසියට භාර දෙන්නේ වැඩිදුර පරීක්ෂණය සඳහාය.

මේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට පත්වන අතර ආදුරුප්පුවීදිය පොලිසිය රැඳවුම් නියෝග මත මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹන්නේ ඝාතනයේ සුලමුල සොයා ගැනීමටය.මෙලෙස රැඳවුම් නියෝග මත සිටි ප්‍රධාන සැකකරුට සහ ඔත්තු දුන් පුද්ගලයාට ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී වස මිශ්‍ර කිරි දී තිබිණ. ඒ සැකකරුවන් බැලීමට පැමිණි ආගන්තුක පුද්ගලයකු විසිනි. එම කිරි ඇතුළු ආහාර ගැනීමෙන් සැකකරුවන් දෙදෙනා සිහිසුන් වී ඇති අතර අනතුරුව පොලිස් නිලධාරීන් විසින් එම දෙදෙනා රෝහල්ගත කරන ලදි. සැකකරුවන්ට වස මිශ්‍ර ආහාරපාන දුන් සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් අරඹන්නේ ඉන් අනතුරුවය. මෙහිදී සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණයෙන් සැකකරුවකු නිශ්චිතවම හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වන්නේය.

ඉන් පසුව මෙහි වැඩිදුර විමර්ශන කටයුතු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙන ලදි. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය, අපරාධ බුද්ධි ඒකකය සහ විමර්ශන ඒකක 07 නිලධාරීන් පළමුව සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරන්නේ මෙහි අගක් මුලක් සොයා ගැනීමටය. එහිදී කොටු සහිත කමිසයක් ඇඳ ගත් පුද්ගලයකු පිළිබඳ පොලිස් නිලධාරීන්ගේ සූක්ෂ්ම ඇස යොමු විය. සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කිරීමේදී මොහු ග්‍රෑන්ඩ්පාස්, ස්ටේට් පාරේ පදිංචි අයකු බවට අනාවරණය විය. ඒ අනුව පොලිස් නිලධාරීන් ස්ටේට් පාර අවට පරීක්ෂා කිරීමේදී මොහු ‘මදුර්ෂන්’ නමැත්තකු බවත් දැනට මොහු වත්තල ප්‍රදේශයේ ජීවත් වන බවටත් හෙළි විය. පොලිසියට වත්තල ප්‍රදේශයෙන් ද මේ සැකකරු සොයා ගැනීමට හැකි වන්නේ නැත. එහෙත් ඔහුගේ මිතුරන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.

එහිදී මෙම වස ආහාරපාන දීම සම්බන්ධයෙන් සැකකරුවන්ගේ මිතුරන් පවා යම් දෙයක් දැන සිටිනා බවට පොලිස් නිලධාරීන්ට ද අවබෝධ විය. සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වන්නේ ඉන් පසුවය. මෙහිදී සැකකරුවන් පස්දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා අතර මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සිරමැදිරියේ සිටි සැකකරුවන් ඝාතන තැත ගැන සියල්ල අනාවරණය වන්නේය.

සිරමැදිරියේ සිටි සැකකරුවන් ඝාතනය කිරීමට උපදෙස් ලැබෙන්නේ විදෙස්ගතව සිටිනා කරුපයියා පලනි රිමෝෂන් නමැත්තකුගෙනි. රිමෝෂන්, ජම්පටාවීදියේ කුඩු සෙල්වි නමින් ප්‍රකටව සිටි සෙල්විගේ පුතුන් තිදෙනාගෙන් දෙවැනි පුත්‍රයාය. අත්අඩංගුවට පත් අනෝජන් නමැත්තා පලනි රිමෝෂන් සමඟ සබඳතා පවත්වන අයකු බවත් පලනි රිමෝෂන්ගේ උපදෙස් මත අනෝජන් මේ ඝාතන තැත මෙහෙයවා ඇති බවටත් පොලිස් නිලධාරීන් අනාවරණය කර ගන්නේය. අනෙක් සැකකරුවන්ගෙන් තිදෙනකු ඔවුන් රැගෙන ගිය ආහාරපානවල වස මිශ්‍ර බවට දැන සිට නැත. මොවුන් මුදල්වලට මෙම කොන්ත්‍රාත්තුව කර තිබෙන බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබිණ.

සිරමැදිරියට ආහාරපාන රැගෙන යන සැකකරුවන් ජින්තුපිටියේදී ඝාතනය වන පුද්ගලයාගේ මළගෙදර ගොස් ඇති අතර එහිදී ‘පලනි රිමෝෂන්ගේ’ අනුදැනුම ඇතිව මත්ද්‍රව්‍ය ආදියෙන් ඔවුන්ට හොඳින් සංග්‍රහ කර තිබිණ. ඒ මොවුන් තිදෙනාගේ හිත දිනා ගැනීමටය. එතැනින් ඇතිවන මිත්‍රත්වය මත මෙම මෙහෙයුම ‘පලනි රිමෝෂන්’ විසින් මෙහෙයවා තිබේ. කිහිපදෙනකු මාර්ගයෙන් මේ ආහාරපාන අතින් අත යවා තිබෙන අතර අවසානයේ එක් අයකු විසින් මේවාට වස මිශ්‍ර කර තිබේ. අවසානයේ මොවුන් තිදෙනාට එම වස මිශ්‍ර ආහාර පාර්සලය ආදුරුප්පුවීදියේ සිරමැදිරියේ සැකකරුවන් දෙදෙනාට ගෙන ගොස් දෙන කොන්ත්‍රාත්තුව පවරා තිබිණි. මොවුන් මෙලෙස වස මිශ්‍ර ආහාරපාන දී ඒවායෙහි වස අඩංගු බවට දැනගෙන ඇත්තේ ද මේ ආරංචිය රට පුරා පැතිර යද්දීය. ඒ ආරංචියත් සමඟ මොවුන් විවිධ ප්‍රදේශවලට පැන යන්නේ පොලිසියෙන් බේරීමටය. කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ දක්ෂ පොලිස් නිලධාරීන් හමුවේ සැකකරුවන්ට වැඩි කාලයක් සැඟව සිටීමට හැකි වන්නේ නැත. සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් පස්දෙනා කොටු වන්නේ සියලු තොරතුරු ද හෙළි කර ගනිමිනි.

මෙලෙස අත්අඩංගුවට ගන්නේ කොටහේනේ පදිංචි අනෝජන්, ස්ටේට් පාරේ පදිංචි විනෝත්, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි ශිවපෙරුමාල්, ස්ටේට් පාරේ පදිංචි මදුර්ෂන් සහ ජම්පටාවීදියේ පදිංචි නිශාන්තන් නමැති අයයි. මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇති පුද්ගලයන් බවත් සිරමැදිරියේ කොන්ත්‍රාත්තුව සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා බවත් පොලිස් පරීක්ෂණ හමුවේ අනාවරණය වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සහ ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක, උපපොලිස් පරීක්ෂකවරුන් වන චතුරංග, ෆොන්සේකා, බණ්ඩාර, සැරයන්වරුන් වන (73011) සමන්, කොස්තාපල්වරුන් වන (11509) චතුරංග, (98252) දිල්ශාන්, (88912) චතුරංග, (3122) උදයංග, (1107) මදුමාල්, පො.කො.රි.වරුන් වන (96637) විජේරත්න, (105537) නුවන් යන නිලධාරීහු වැටලීමට සිදුකළහ.

ගයාන් සංජය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division