Home » කුලී වාහනයක ආරවුලකට මාතර සමාගමක අධ්‍යක්ෂ පැහැරගත් පහේ කල්ලිය කොටුකළ හැටි

කුලී වාහනයක ආරවුලකට මාතර සමාගමක අධ්‍යක්ෂ පැහැරගත් පහේ කල්ලිය කොටුකළ හැටි

by thanushika
February 24, 2024 12:30 am 0 comment

පාතාල අපරාධ කල්ලි හා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ “යුක්තිය මෙහෙයුම” ආරම්භ කළ දින සිට මාතර මූලස්ථාන පොලිසිය නිරතුරු සූදානමින් සිටියේ තොරතුරක් ලද සැණින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙනි. ඒ සඳහා සියලු අංශයන්ගෙන් සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායම් ද සූදානම් කර තිබිණි.

හිටිහැටියේ අපරාධ විමර්ශන අංශයට දිව ආ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ කොස්තාපල්වරයෙකු පොලිස් පරීක්ෂක යාපාට දන්වා සිටියේ මාතර ධර්මපාල මාවතේ සමාගම් කාර්යාලයක අධ්‍යක්ෂවරයෙක් පැහැරගෙන යන බවට දුරකතන ඇමතුමක් ලැබුණු බවයි.

ඒ තොරතුරින් අපරාධ විමර්ශන ඒකකයේ ඒ මෙහොතේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් කලබල වද්දී අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යාපා වහා අසුනින් නැඟිට ගත්තේ සිදුවීම ගැන සොයා බැලීමට යාමේ අරමුණෙනි. ඒ අතර අපරාධ විමර්ශන අංශයට දිව ආ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම ස්වාමිපුරුෂයා පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය බවයි.

ඒ සමඟින් පොලිස් කණ්ඩායමක් සමඟ ජීප් රථයට නැඟ ගත් පොලිස් පරීක්ෂක යාපා පවනට බඳු වේගයෙන් කුමාරතුංග මාවත ඔස්සේ ඉදිරියට ගමන් කළේ අවට වටපිටාව ද හොඳින් නිරීක්ෂණය කරමිනි.

ඒ යන අතර රථයේ වේගය වැඩි කරන ලෙස රියැදුරුට උපදෙස් දුන් පොලිස් පරීක්ෂක යාපා මඟතොට විමසීම් කරමින් සොයා බැලූවේ සැක කටයුතු මෝටර් රථය ගමන්ගත් ඉසව්ව පිළිබඳවය. ඒ අනුව දැනගන්නට ලැබුණේ කුමාරතුංග මාවත ඔස්සේ පැමිණි මෝටර් රථය නූපේ හන්දියෙන් අකුරැස්ස මාර්ගයට පිවිස වේගයෙන් ධාවනය වූ බවයි.

ජීප් රථයේ වේගය තවත් වැඩි කර අකුරැස්ස මාර්ගයේ ඉදිරියට ධාවනය කරන ලෙස රියැදුරුට උපදෙස් දුන් පොලිස් පරීක්ෂක යාපා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිට මේ සිදුවීම දැනුම් දුන්නේ අවශ්‍ය උපදෙස් අපේක්ෂාවෙනි. හෙට්ටිආරචිචිගේ උපදෙස වූයේ හැකි ඉක්මනින් සැකකරුවන් පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව අකුරැස්ස දෙසට වේගයෙන් ඇදි යන මෝටර් රථයක් පිළිබඳ සැක සිතී පොලිස් කණ්ඩායම ජීප් රථයෙන් පැන මෝටර් රථය වෙත ගොස් එය පරීක්ෂා කරද්දී අදාළ සමාගම් අධ්‍යක්ෂකවරයා සැකකරුවන් ග්‍රහණයේ සිටිනු දැක එහි සිටි පිරිස වහා අල්ලා ගත්තේ පැන යාමට කිසිදු ඉඩක් නෙතබමිනි.

“අපි මෙයාව අරන් යන්නේ මාලම්බඩ පොලිසියට” මෝටර් රථයේ සිටි අයෙකු කෑගැසුවේය.

“කට වහගන්නවා. දැං මාලිම්බඩ පොලිසයට නොවෙයි මාතර පොලිසියට යමු. දාගන්න මේ අයව ජීප් එකට“ පොලිස් පරීක්ෂක යාපා අණ දුන්නේය.

සැකකරුවන් පස්දෙනා සහ පැහැරගත් පුද්ගලයා ජීප් රථයට නංවාගත් පොලිස් පරීක්ෂක යාපා තම නිලධාරියෙක්ට අණ දුන්නේ මෝටර් රථය පදවාගෙන එන ලෙසයි.

පොලිසියට රැගෙන ආ සැකකරුවන්ගෙන් සිදුකළ මූලික විමරශනයේදී අනාවරණය වූයේ වාහනයක් කුලියට දී ඇතිවූ මුදල් ආරවුලක් විසඳා ගැනීමට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයා මෙලෙස පැහැරගෙන මෝටර් රථයකට දමා මාලිම්බඩ පොලිසියට රැගෙන යාමට උත්සාහ කළ බවයි. වැඩිදුරටත් සොයා බැලීමේදී පැහැර ගැනීම සිදුකළ ප්‍රධාන සැකකරු මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව අනාවරණය විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අවුරුදු තිස්පහත් හතළිහත් අතර වයස්වල පසුවන මාලිම්බඩ, උඩුකාව, අකුරුගොඩ සහ තෙලිජ්ජවිල ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් විය.

පසුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූවේ සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට අයත් මොටර් රථයක් අදාළ සමාගමේ හිමිකරුගේ ගෝලයකු විසින් කුලී පදනම මත ලබාගෙන නිසි ලෙස මුදල් ගෙවීම පැහැර හැර ඇති බවයි. ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් ඉල්ලන විට අදාළ සමාගමේ හිමිකරුට අයත් ගිණුමකින් චෙක්පත් ලබා දී ඇතත් එම චෙක්පත් මුදල් කිරීමට නොහැකි ඒවා වීම මත සමාගම් හිමිකරු හා ප්‍රධාන සැකකරු අතර මතභේද හටගෙන ඇති බව ද අනාවරණය විය.

ඒ අනුව මෙම මුදල් ආරවුල විසඳා ගැනීම සඳහා සමාගමේ හිමිකාර අධ්‍යක්ෂවරයා බලෙන් මොටර් රථයේ දමාගෙන මාලිම්බඩ පොලිසියට රැගෙන යාමට උත්සාහ කර ඇති බව ද පොලිසිය අනාවරණය කර ගත්තේය. එහෙත් සැකකරුවන් ගනුදෙනුව විසඳා ගැනීම සඳහා අනුගමනය කර තිබුණේ සම්පූර්ණයෙන් නීත්‍යනුකූල නොවන ක්‍රමවේදයකි.

පොලිසිය විසින් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීම් හා ස්ථානීය පරීක්ෂාවන්වලදී අනාවරණය වූ කරුණු මෙසේ විය. පැහැර ගැනීම සිදු වන අවස්ථාව වන විට වැනිලා පැළ වගාකොට වගාකරුවන්ට අලෙවි කිරීම සිදු කරනා මෙම සමාගමේ මාතර කාර්යාලය විවෘත කර අදාළ උත්සවය නිම වීමෙන් පසු සංග්‍රහ කටයුතු සිදු වෙමින් තිබී ඇත. එහිදී එම ස්ථානයට පැමිණි ප්‍රධාන සැකකරු සමාගමේ හිමිකාර අධ්‍යක්ෂවරයා පහළට රැගෙන ගොස් ඇති අතර එලෙස යන අතරවාරයේ අනෙකුත් පිරිස සංග්‍රහය සිදු වෙමින් පැවති කාමරය තුළ හිර වන ලෙස දොරගුළු දමා ඇත. පසුව අදාළ දොරේ යතුර ඒ ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක තබා එන අතරතුර සමාගම් අධ්‍යක්ෂවරයාගේ බිරිඳ මෝටර් රථය වෙත දිව එද්දී එය දුටු පිරිස මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් පලා ගොස් ඇත.

ඒ අතර සමාගම් කාර්යාලයේ කාමරයේ හිර කර සිටි පිරිස එහි ජනේලයකින් පැන එළියට විත් පොලිස් හදිසි ඇමතුම් අංකයට සිදුවීම දැනුම් දී ඇත. පසුව පොලිසිය විසින් සිදු කළ පරීක්ෂාවේදී මාතර ජනප්‍රිය රථවාහන අමතර කොටස් අලෙවි සැලක තබා ගොස් තිබූ සමාගම් කාර්යාලයේ කාමරයේ යතුර පොලිසිය විසින් සොයා ගෙන තිබේ. එම වෙළෙඳ සැලේ හිමිකරුගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කරන ලදි. ඒ අනුව පසුගිය දොළොස් වැනිදා පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසු ඇප මත මුදා හැරි බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේය. සිදුවීම සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. යාපා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division