* සිකුරු ඇවිල්ලා කියන නාට්‍යයේ රඟපාමින් ඉද්දී තමයි මහණ වෙන්න ඕන කියලා තීරණය කළේ. නාට්‍යයෙන් අයින් වෙලා තමයි මේ පන්සලට ආවේ.
* රෑට සැතපෙන්න යනකොට අම්මා මතක් වෙනවා
* ලකුණු 157ක් ගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වුණා.
* පන්සලේ ඉන්න අතරේ මම කිව්වා පුතා මල්ලි වගේ මහණ වෙමු නේද කියලා. ඒ්ත් කැමැති වුණේම නැහැ
– පරණගම නන්දරතන නාහිමි
* දරුවෝ දෙන්නා තෝරාගත් මාර්ගය නිවැරදියි කියලා මම හොඳින්ම දන්නවා.
– මව
කවීශ් විහඟ යනු කවුදැයි ඇසුවහොත් ඒ කවුද යන්න එක්වරම ඔබගේ මතකයට නොඑනු ඇත. එහෙත් සිඳු ටෙලි නාට්‍යයේ සෝරත හිමි කවුදැයි අසුවොත් ඒ කවුද යන්න නොදන්නා කෙනකු නොමැති තරම් ය . ඒ් තරමට සිඳු ටෙලි නාට්‍යයේ සෝරත හිමි මෙරට රූපවාහිනි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය ය. ලොකු හාමුදුරුවන් පවසන ධර්ම කරුණු සරණ නම් පූස් පැටියාට කියා දෙමින් හරි අපූරුවට භික්ෂු චරිතයක් අප ඉදිරියේ මවා පෙන් වූ සෝරත හිමි සැබෑ ලෙසම පැවිදි බිමට පිවිස සිටින්නේ ය. එදා සිඳු ටෙලි නාට්‍යයේ සියලු චරිත අභිභවමින් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ සෝරත හිමි එසේත් නැත්නම් කවීශ් විහඟ පැවිදි දිවියට එළඹ ඇති බවට ලද තොරතුරත් සමඟ එහි පසුබිම් තොරතුරු සොයන්නට උන්වහන්සේ වැඩ වාසය කළ විහාරස්ථානයට ගියෙමු.
කටුගස්තොට මාතලේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගෙන අලවතුගොඩ 9 කණුව ආසන්නයෙන් දකුණු අතට වැටී ඇති දුෂ්කර මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකක පමණ දුරක් ගිය පසු අප පැමිණියේ මාවතුපොළ පෙතිගහපිටිය රජමහා විහාරස්ථානයට ය. නාගරික ජනාකීර්ණ බවින් මිදුණු උස් කොන්ක්‍රීට් තට්ටු ගොඩනැඟිලි වෙනුවට ගස් කොළවලින් පිරුණු වටපිටාවක පිහිටා තිබූ විහාරස්ථානයට අප යන විටත් උපාසක උපාසිකාවන් පිරිසක් එහි පැමිණ සිටියේ ජනතා ආදරය දිනා සිටිය දී පැවිදි වූ හිමිනම දැක බලා ගැනීමට ය.
පන්සලේ ලොකු හාමුදුරුවෝ අප හඳුනා ගැනීමෙන් පසු සමිද්ධිරතන මෙන්න ඔබ වහන්සේ බැහැ දකින්න පත්තරේ මහත්තුරු දෙන්නෙක් ඇවිත් යැයි පැවසූහ. ඒ සමඟ කුඩා හිමිනමක් ශාන්ත ගමනින් අප ඉදිරියට පැමිණ සිනා පාත් දී මගේ මතකය සිඳු නාට්‍යයේ සෝරත හිමිගේ චරිතය වෙත ඇදී ගියේ නොදැනුවත්වම ය. එදා එක් අතකින් සිවුරු කොනක් අල්ලාගෙන අනෙක් අතින් පූස් පැටියාද තුරුලු කර ගනිමින් සෝරත හිමි මුඛරි ලෙස දහම් කරුණු සම වයසේ ගිහි යහළුවන්ට පැවසූ අයුරු සිහිකරද් දී සමිද්ධිරතන හිමියෝ එක්වරම ඇයි මහත්තයා යනුවෙන් ශාන්ත ස්වරයෙන් විමසුවේ ටෙලි නාට්‍යයේ තිබුණු දඟකාරකම් කොහේදෝ සඟවාගෙන ය.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි කවීශ් මෙතරම් දුර බැහැර විහාරස්ථානයක මහණ වූයේ ඇයි ද යන්න මට මතුවූ පළමු ප්රශ්නය යි. ඊට පිළිතුරු දුන්නේ මාවතුපොළ පෙතිගහපිටිය රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී මාතලේ කොටුවේ ගෙදර විද්‍යාරතන පිරිවෙනේ ආචාර්ය පරණගම නන්දරතන නාහිමියන්ය. කතාවට මුලපුරමින් උන්වහන්සේ විශුද්ධිරතන යැයි පවසමින් යළිත් හඬ අවදි කළහ. එවර තවත් කුඩා සාමණේර හිමිනමක් අප ඉදිරියට පැමිණියේ ය.
“ මේ තමයි අපේ සමිද්ධිරතන නැත්නම් හැමෝම දන්න සෝරත හාමුදුරුවන්ගේ සහෝදරයා. උන්වහන්සේ මහණ වුණේ හරියටම මීට මාස තුනකට කලින්. මේ දරුවන්ගේ පවුලේ උදවිය මම අවුරුදු තුනක හතරක ඉඳලා අඳුරනවා. ඒ පවුලේ ඉන්නේ මේ දරුවෝ දෙන්නා විතරයි. අයියා සිඳු නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය රඟපානවා දැකලා මල්ලි අම්මටයි තාත්තටයි කියලා තියෙනවා මට මහණ වෙන්න ඕන කියලා. ඊට පස්සේ අම්මා දවසක් මට කතා කරලා චූටි පුතා මහණ වෙන්න කැමතියි කියනවා හාමුදුරුවනේ මොකද කරන්නේ කියලා. මුලින් උන්වහන්සේගේ අම්මයි තාත්තයි මේකට කැමැති වෙලා නැහැ. ඒත් දිගින් දිගටම මහණ වෙන්න ඕන කිව්වම ඒ් අයත් හිතලා තියෙනවා, ඒ් ඉල්ලීමට ඉඩදෙන්න ඕන කියලා. කොළඹ පන්සලක මහණ වෙන්න දරුවා කැමැති වෙලා නැහැ. මගේ ළඟ හරි මම උගන්වන පිරිවෙනේ හරි තමයි මහණ වෙන්න ඕන කියලා තියෙන්නේ. පස්සේ අපේ පන්සලේ දී ඒ් දරුවව මහණ කළා. ඊට පස්සේ අම්මා තාත්තා එක්ක කවීශ් මල්ලි බලලා යන්න අවස්ථා කිහිපයකදීම ආවා. ඒ් ආවම මම කිවුවා පුතා ඔයානේ හාමුදුරුවන් ගේ චරිතය කරලා ජනප්‍රිය වුණේ. හරිනම් ඔයා තමයි මහණ වෙන්න ඕන කියලා. පහුගිය ඉස්කෝලේ නිවාඩු කාලේ මේ දරුවා පන්සලට ඇවිත් නතරවෙලා මල්ලිත් එක්ක හිටියා. හවසට කට්ටිය සෙල්ලම් කරනවා. මම ඒ්කට නිදහස දීලා තියෙන්නේ. සිවුර දරාගෙන හිටියත් මේ පුංචි හිත් ඇතුළේ සෙල්ලමට තියෙන කැමැත්ත නැතිවෙලා නැහැ. පන්සලේ ඉන්න අතරේ මම කිවුවා පුතා මල්ලි වගේ මහණ වෙමු නේද කියලා. ඒ්ත් කැමැති වුණේම නැහැ. නිවාඩු කාලේ නිමා වෙන්න සතියක් විතර තියෙද්දි ගෙදර ගිහින් දවසක් මට කෝල් එකක් අරන් කිවුවා ලොකු හාමුදුරුවනේ මම අර යෝජනාවට කැමැතියි කියලා. මටත් ඒ්ක එකපාරටම හිතා ගන්න බැරි වුණා. මම ඇහුවා අම්මා තාත්තා දැනුම්වත් කළාද කියලා. ඔව් අම්මාගේ අකමැත්තක් නැහැ කිවුවා. සතියකට විතර පස්සේ අම්මා දරුවව පන්සලට කැඳවාගෙන ආවට පස්සේ මම වෙලාකොළේ එහෙමත් බැලුවා. ඒ්කේ ප්‍රශ්නයකුත් තිබුණේ නැහැ. මල්ලි පිළියන්දල විශුද්ධිරතන නමින් සසුන්ගත කළ නිසා මේ පුතාව පිළියන්දල සමිද්ධිරතන නමින් මහණ කළා. මේ දරුවා ටෙලි නාට්‍යවල රඟපෑව නිසා බාල මහලු කා අතරත් ඉතා ජනප්‍රියය යි. එවැනි ජනප්‍රියත්වයක් තිබියදී තමයි මෙයා සැබෑ ලෙසම කසාවත ඇඟලා ගන්නේ. ගොඩක් අය මේ දරුවා මහණ කළ එක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබුණා. දරුවන්ගේ මව වගේම දරුවාගේත් කැමැත්ත මත තමයි මේ උතුම් දේ සිද්ධ වුණේ. මේ දරුවෝ ගිහි සමාජයේදී සොහොයුරෝ. පැවිදි දිවියට එළඹෙනවා කියන එක සලකන්නේ දෙවැනි උපතක් විදිහටයි. දැන් මේ දෙන්නා මගේ ශිෂ්‍යයෝ ලෙස මහණ වුණු පැවිදි සහෝදරයෝ. ඒ් අනුව උන්වහන්සේලා පැවිදි ජීවිතය ගත කරාවි. “
තම සහෝදරයා ද සමීපයට කැඳවා ගනිමින් මහණ දම් පුරන්නට සිත් පහළ වූ කතාව සහ අතීත තොරතුරු උන්වහන්සේ විස්තර කළේ මෙසේය.
“ මට දැන් අවුරුදු 14 යි. අපි කලින් පදිංචිවෙලා හිටියේ හෝමාගම. පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලට තමයි දෙකේ පන්තිය වෙනකල් මම ගියේ. සිඳු නාට්‍යයේ මම රඟපානවා දැකලා ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මාමා කෙනෙක් මට ඒ විදුහලට ඇතුළු වෙන්න අවස්ථාව ලබා දුන්නා. මම ලකුණු 157 ක් ගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වුණා. නාට්‍යයේ රඟපාන ගමන් තමයි ඉස්කෝල් වැඩත් කළේ. මේ පාර නිවාඩුවෙන් පස්සේ මම 9 වැනි වසර පන්තියට තමයි යන්න හිටියේ. ඒ්ත් දැන් මහණ වුණු නිසා ලොකු හාමුදුරුවොත් එක්ක පිරිවෙනේ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “
සිඳු නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද ? මගේ පැනයට සමිද්ධිරතන හාමුදුරුවෝ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
“ මගේ පොඩි මාමා තමයි නිමේෂ් කුලසිංහ. එයා දෙරණේ සංගීත අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කළා. මාමා කිවුවා පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ කියලා රේඩියෝ වැඩසටහනක් තියෙනවා ඒකට කට්ටිය තෝරනවා කියලා. ඒකේ සම්මුඛ පරීක්ෂණයට ගියාම මාව තේරුණා. සතියේ දින පහේම උදේ 6.00 ට ඒ වැඩසටහන විකාශනය වෙනවා. එතකොට මම පෙර පාසල් යනවා. සතියේ දින පහටම අවශ්‍යය වැඩසටහන් ටික එක දවසක පටිගත කරනවා. ඒ නිසා පෙර පාසලේ වැඩවලට මට ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒ වැඩසටහන කරද්දී දෙරණේ ලක්සිරි වික්‍රමගේ මාමා කිවුවා නාට්‍යයක් කරන්න ඉන්නවා, ස්ක්‍රීන් ටෙස්ට්වලට ගිහින් බලන්න කියලා. ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම සිඳු කියන ප්‍රධාන චරිතයටයි සෝරත හාමුදුරුවන්ගේ චරිතයටයි දෙකටම ස්ක්‍රීන් ටෙස්ට් කළා. සිඳු චරිතේ දෙබස් ගොඩක් තිබුණා. ඒ්කේ වචන උච්චාරණය කරන්න මට අමාරු වුණා. පස්සේ තමයි සෝරත හාමුදුරුවන්ගේ චරිතයට තෝරා ගත්තේ. අවුරුදු 06 ක් මම නාට්‍යයේ රඟපෑවා. කොටස් 1500ක් විතර විකාශනය වුණා. මුල් කාලේ කවුරුවත් මාව අඳුරන්නේ නැහැ. සිඳු නාට්‍ය ටිකක් කල් විකාශනය වෙද්දී සෝරත හාමුදුරුවන්ගේ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ් කාලේ කොහේ හරි යනකොට මිනිස්සු වටකරගෙන ෆොටෝ ගන්නවා. මූණ අත ගානවා. ගෙදරට ලියුම් එවනවා. පාසලට මුලින්ම ගිය දවසේ ළමයි වට කරගෙන විස්තර ඇහුවා. පන්තියේ ළමයි නාට්‍යයේ ඉදිරියට වෙන්නේ මොනවද කියලා දැන ගන්න මම එනකල් බලාගෙන ඉන්නවා. එතකොට මට තේරුණා මම ගොඩක් ජනප්‍රියයි නේද කියලා. ඒ් නාට්‍යයෙන් පස්සේ හර්ෂ උඩකන්ද මාමාගේ ගමට ඇවිල්ලා කියන කෙටි චිත්‍රපටයේ ගිහි චරිතයක් කළා. සිඳු එකේ මාමලා කරපු සිකුරු ඇවිල්ලා කියන නාට්‍යයේ රඟපාමින් ඉද්දී තමයි මහණ වෙන්න ඕන කියලා තීරණය කළේ. මාමලාට කියලා නාට්‍යයෙන් අයින් වෙලා තමයි මේ පන්සලට ආවේ.“
එකම සහෝදරයා තමන්ටත් කලින් සසුන්ගත වෙද්දී දැනුණ හැඟීම සමද්ධිරතන හිමි විස්තර කළේ මෙසේ ය.
“ මල්ලි මහණ වෙන්න ඕන කියලා මුලින්ම කියනකොට මම එච්චර ගණන් ගත්තේ නැහැ. මොකද මෙයා හිටිගමන් බොරු කියනවා. මල්ලි ඒක අම්මටත් කියලා තිබුණා. ඒ නිසා මම හිතුවා ඇත්තම තමයි කියන්නේ කියලා. සිඳු නාට්‍යයේ රඟපාද්දී ගොඩක් දහම් කරුණු දැන ගන්න ලැබුණා. මම දැනගෙන හිටියා මහණ වුණොත් හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ කියලා. මල්ලි හොඳ ගමනක් යන්න තීරණය කළ නිසා මම ඒ ගැන සතුටු වුණා. ඒ වෙලාවේ මට නම් මහණ වෙන්න හිතක් තිබුණේම නැහැ. මට ඕන වුණේ ලොකු වෙලා පයිලට් කෙනෙක් වෙන්න. පස්සේ ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා හිතුවා. දැන් ඉතින් මගේ බලාපොරොත්තුව ඉගෙන ගෙන සම්බුද්ධ ශාසනයට හොඳ සේවයක් කරන හිමිනමක් වෙන්නයි. “
විහඟගේ සහෝදරයා වන උමේෂ් වත්සල පැවිදි දිවියට එළඹ ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා ය. ඒ දහ හැවිරිදි වියේදීය. සසුන්ගත වීම සඳහා නොතිත් ආශාවක් උමේෂ්ගේ සිතේ පහළ වී ඇත්තේ තම සහෝදරයා සෝරත හිමි ලෙස රඟනු දැකීමෙනි.
“ සිඳු නාට්‍යයේ අයියා කරන්නේ රඟපෑමක් කියලා මට හිතුනේ නැහැ. මම අම්මට කිවුවා අයියා වගේ මහණ වෙන්න ඕන කියලා. පුතේ අයියා මහණ වෙලා ඉන්නේ ටෙලි නාට්‍යට විතරයිනේ කියලා අම්මා කිව්වා. ඒත් මට ඕන වුණේ කොහොමහරි මහණ වෙන්න. පස්සේ අම්මයි තාත්තයි කැමැත්ත දුන්නා.“ විශුද්ධිරතන හිමියෝ එසේ පැවසුවේ සහෝදරයාගේ අතින් අල්ලා ගනිමිනි.
සමිද්ධිරතන සහ විශුද්ධිරතන හිමිවරුන්ගේ පියා සම්පත් මධුසංඛ ය. මව චතුරිකා ප්‍රියංගනී ය. තමන්ගේ දරුවන් දෙදෙනාම සසුනට දායාද කරන්නට තරම් ඒ පියා සහ මව පින්වන්තයෝ ය. පියා මෙයට දෙමසකට පමණ ඉහත දී විදේශගතව ඇත්තේ රැකියාවේ අවශ්‍යතාවක් වෙනුවෙනි. මේ නිසා කවීශ් සසුන් ගත වීමේ අවස්ථාවට එක්ව ඇත්තේ මව චතුරිකා පමණි. තම දරු දෙදෙනා පැවිදි දිවියට ඇතුළත් වීම සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය….
“ මගේ දරුවෝ දෙන්නා තෝරාගත් මාර්ගය නිවැරදියි කියලා මම හොඳින්ම දන්නවා. ඒ නිසා තමයි මම දෙවතාවක් නොසිතා ඒ තීරණයට ආශීර්වාද කළේ. සිඳු චරිතය රඟපාන්න යන්න කලින් ඉඳලම පුතා ආගමට දහමට ළැදියි. මොකද මමත් ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙක්. පුතාලා දෙන්නා අවබෝධයෙන්ම ගත්ත තීරණයක් මේක. මල්ලි කලින් මහණ වුණ එක ලොකු පුතාටත් ඒ මඟ යන්න බලපෑමක් වෙන්න ඇති. ළමයෙක් බලහත්කාරයෙන් මහණ කරන්න බැහැ. මේ සමාජය අද මඩ ගොහොරුවක්. එක්කෙනෙක් හරි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකට අකුල් නොහෙළා අතදෙන්න ඕන. පුතා මහණ වෙච්ච එක ගැන නොයෙකුත් කතා සමාජ මාධ්‍යයේ යනවා. සමහරු නොයෙක් අවලාද නඟනවා. අපේ සමාජයේ නොයෙක් විදිහේ මිනිස්සු ඉන්නවා. මම ඒ අය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. මවක් විදිහට දරුවන්ගෙන් ඈත්වීමට සිදුවීම ගැන දුකක් තියෙනවා. ඒ දුක නිසා මේ දරුවෝ තෝරාගත් යහපත් මාර්ගය අවහිර කරන්න තරම් මම පහත් මවක් නෙවෙයි. “
සිඳුහි සෝරත හිමිගේ චරිතය රඟපෑමෙන් පසු විහඟ කුරුල්ලෙකු මෙන් ඇදී යන්නේ මවගේ තුරුලට ය. එහෙත් අද සමිද්ධිරතන හිමිට එසේ යා නොහැකි ය. අම්මා මතක් වෙන්නේ නැත්දැයි මම ඇසුවෙමි. “රෑට සැතපෙන්න යනකොට අම්මා මතක් වෙනවා. ඒත් මම දැන් බුද්ධ පුත්‍රයෙක් නේද කියන සිතිවිල්ල මතු කරගෙන ගෙදර අමතක කරනවා.“සමිද්ධිරතන හිමි පැවසුවේ අධිෂ්ඨානශීලිව ය.
ඡායාරූප – රුවන් මීගම්මන
අසේල කුරුළුවංශ