දවසින් දවස අපේ ගායන ක්ෂේත්රයට අලුත් තරු පායයි. ඒ පායන හැම තරුවක්ම දිගු කල් දිලෙන්නේ නැත. නමුත් වසර ගණනකට එහායින් පැයූ ගායන තරු තවමත් එක සේ බබළයි. ප්‍රියා සූරියසේන යනු ද එවන් තරුවක් යැයි සඳහන් කිරීම වරදක් නැතැයි හැඟේ.
වසර පනහකට වැඩි සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් පැමිණි ඔහු ඉකුත්දා පැවැති 29 වන සුමති ටෙලි සම්මාන උලෙළත් සමඟ යළිත් සමාජ කතාබහට ලක් වූයේය. ඒ, මෙවර සුමති ටෙලි සම්මාන උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් ප්‍රියා සූරියසේන ගායන ශිල්පියානන් පිදුම් ලැබීම නිසාය.
“රටකින් එහා ඉගිලි තනිවෙන්න බෑ, ඈත රන් විමන්, ආදරණීය නේරංජනා, හිරු ද මුවාවී, මල්සර හිනාව, මුළු මුහුදම හඬයි, මී කැකුණ කැලේ, සඳ මා ගාවයි, සරතැස නිවා ආදි ගී බොහෝමයක් ගැයූ ඒ ආදරණීය ගායන ශිල්පියා සිය ගායන දිවිය අරඹන්නේ 1968 අවුරුද්දේය. එදත් අදත් එකසේ රසිකයන් අතර ජනප්‍රිය ප්‍රියා සූරියසේන මේ වන විට සිය දිවි මඟෙහි 78 වන වියේ පසු වේ. ප්‍රියාගේ ආදරණීය බිරිය තමරා සූරියසේන අප හා කතාවට එක් වූයේ ඔහුගේ ගායන දිවියේ ආරම්භය ගැන සිහිකරමිනි.
“අපි දෙන්නම එකම ගමේ. ඒ කියන්නේ අපේ ගම කුලියාපිටිය නාත්තන්ඩිය. අපි දෙන්නා හඳුන ගත්තේ සංගීතය හදාරන්න ගිහිල්ලා. මුල්ම කාලේ ප්‍රියා වැඩ කළේ විවිධ සේවා සමුපකාර ආයතනයේ. ප්‍රියාට අවුරුදු 21ක් කාලෙදි වගේ තමයි එයාගේ තාත්තා ජේමිස් අප්පුහාමි මිය ගියේ. එයාගේ අම්මා ඇම්. ඒ. ඇම් පොඩි මැණිකේ. අම්මයි අක්කයි නංගිලා දෙන්නයි බලාගන්න ඔහුට පැවරුණා. ප්‍රියා එයාගේ අම්මට හරිම ආදරෙයි. එයා අම්මව පුදුම ආදරේකින් බලා ගත්තේ.“
බාල වියේදී නාත්තන්ඩිය සාමාන්‍ය පාසලක ඉගෙන ගත්ත ප්‍රියා පසුව හයවෙනි පන්තියේ සිට ඉගෙන ගත්තේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේය. උසස් පෙළ විභාගය සමත් වුණත් ප්‍රියා වැඩිදුර අධ්‍යාපනය අතහැර සමුපකාරයේ රස්සාවට ගියේය. ඒත් ඔහු සංගීතය හැදෑරීම අත් නොහැරියේය. කෙසේ හෝ ප්‍රියා සංගීත විශාරද විභාගයත් සමත් විය. සංගීතය විෂය ඉගෙන ගත්තාට ප්‍රියාට වැරදුණේ නැත. ඔහුට සංගීත ගුරු පත්වීමක් ලැබුණේය.
“මට මතකයි ප්‍රියා එයාගේ සංගීත ජීවිතය ගැන කියනවා. ඔහු මුලින්ම ගුවන් විදුලියට ගිහිල්ලා තිබුණේ තාත්තා එක්ක. ඒ සංගීත පරීක්ෂණයට පෙනී ඉන්න. එතකොට ඔහුට වයස අවුරුදු 20ක් විතර ඇතිලු. මුලින්ම ඔහු සමත් වෙලා තිබුණේ බයිලා ඔඩිෂන් එකෙන්. පසුව ඔහු සරල ගී පැත්තටත්, ශාස්ත්‍රීය ගීත පැත්තටත් යොමු වී තියෙනවා. මුල්ම කාලේ ඔහු ගමේ මංගල උත්සවවලත් ගී ගයන්න ගිහින් තියෙනවා. ඔහුගේ හැමදේටම උදව් කළ සංගීත ගුරුවරයා වුණේ ඩී. පී . එල්. සෝමපාල මහත්මයා.
ප්‍රියා මුලින්ම ගුවන් විදුලියට ගීත හතරක් කළා. ඒ තමයි “සරතැස නිවා, හෙට දවසේ, අඳුර අඳුර මගේ හා කිරි සයුරේ“ කියන ගීත. මුල්කාලේ ඉඳලම ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය ප්‍රියාට උදව් කරලා තිබුණා.
මමයි ප්‍රියයි විවාහ වුණේ 1978 අවුරුද්දේ. මුලින් නම් මගේ පවුලේ අයගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. අපි විවාහ වෙලා නුගේගොඩ විජේරාම ප්‍රදේශයට තමයි පදිංචියට ආවේ. ඒ වෙන කොට ප්‍රියා ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස සේවය කළා. මම ශ්‍රී විජයාරාම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස සේවය කළා.“
තමරා සිය අතීත මතකයන් අවුස්සා කියන්නට විය.
ගුරුවරයකු ලෙස සේවය කරන අතරේම ඔහු ගායන ශිල්පියකු ලෙස ද කටයුතු කරන්නට වුයේය. ඒ නිසා ඇතැම් විට ඔහුට විදෙස් සංචාරවලට සහභාගි වන්නට ද, ඇතැම් විටෙක රටේ කොයි කොණ හෝ ඇති සංගීත සංදර්ශනයකට සහභාගි වන්නට අවස්ථාව උදා වේ. ඇතැම් දිනවල සංගීත සංදර්ශනවලට සහභාගි වූ විට ඔහුට පාසල් යාම මඟ හැරේ. ප්‍රියාට සිය ගුරු වෘත්තිය පිළිබඳ තීරණයක් ගන්නට සිත් වූයේ තමන්ගෙන් ඉගෙන ගන්නා දරුවන්ට අසාධාරණයක් නොවිය යුතු යැයි හැඟුණ බැවිනි. ඒ වන විට ඔහු වසර දොළහක් පමණ ගුරු සේවයේ රාජකාරි කර තිබුණි. එනිසාම ප්‍රියා සිය විදුහල්පතිවරයාට දැන්වූයේ තමන් ගුරු සේවයෙන් ඉවත් වන බවය.
“සර් මට අයිවෙන්න ඕන …..සමහර දවස්වලට මට පාසල් එන එක මඟ හැරෙනවා. මගෙන් ඉගෙන ගන්න දරුවෝ පව්….“ ප්‍රියා විදුහල්පතිවරයාට කියුවේ එලෙසිනි. විදුහල්පතිවරයා ඊට බලවත් සේ අකමැති විය. නමුදු ප්‍රියා ගුරු සේවය හැර ගියේය. ඒ වන විට ඔහු කළුබෝවිල මහ විද්‍යාලයේ ද ඉන්පසුව දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරමින් සිටියේය.
“ඒ කාලේ ප්‍රියාට හොඳට වැඩ තිබුණා. අද වගේ මාධ්‍ය ආයතන ගොඩක් නැහැනේ. ගුවන් විදුලියෙන් තමයි ගීත විකාශනය වුණේ. ප්‍රියා බොහොම ළඟින්ම ආශ්‍රය කළ අය තමයි මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රේමකිර්ති ද අල්විස්, ඇන්ටන් ජෝන්, එම්. එස් ප්‍රනාන්දු මහත්මයාගේ පුතා සුසිල් ප්‍රනාන්දු යන අය. ප්‍රියාට ක්ෂේත්රයේ කා සමඟවත් තරහක් තිබුණෙ නෑ. ඔහු හැමෝම එක්ක සුහදව හිටපු කෙනෙක්. ගෙදර ඇවිල්ලවත් කාගෙවත් දොසක් කිව්වේ නැහැ. ඇන්ටන් ජෝන් අයියයි ප්‍රියයි හරිම හිතවත්. ඔහු සේවය කළේ වැල්ලවත්ත ලංකා බැංකුවේ. ඒ දෙන්නා එකතු වෙලා ප්‍රී ඇන්ඩ් සෙන්ටිග්‍රේඩ් කියලා කැසට් පට නිකුත් කරන්න ගත්තා. බොහෝ ගීත මියුසික් කළේ ප්‍රියා. ඇන්ටන් සේනානායක කියන ගායකයව ඉදිරියට ගෙනාවෙත් ප්‍රියා.
මට මතකයි ඒ දවස් වල සංගීත සංදර්ශනවලට සහභාගි වෙන්නේ මිල්ටන් මල්ලවආරච්චි අයියත් එක්ක. ඒ වගේම තමයි ප්‍රියා එයාගේ මුල් කාලෙ ගැයුවේ මිල්ටන් පෙරේරා අයියගෙ ගීත. ඉස්සර මට මතකයි අපි දෙල්කඳ ඉන්න කාලේ මිල්ටන් අයියා කොහේ හෝ සංගීතයකට යන්න කලින් අපේ ගෙදර ඇවිල්ලා ප්‍රියාවත් එක්කගෙන තමයි යන්නේ. ඒ කාලේ අපට කාර් එකක් තිබුණේ නැහැ. හැමදාම මිල්ටන් අයියා එයාගේ ගෙදරින් පිටත් වෙන්න කලින් අපේ ගෙදරට දුරකතන ඇමතුමක් දීලා කියනවා ‘මම මේ වෙලාවට එනවා සූදානම් වෙලා ඉන්න‘ කියලා. ඒත් බොහෝ වෙලාවට මිල්ටන් අයියා අපේ ගෙදරට එනකොට එක්කෝ ප්‍රියා බාත්රූම් එකේ. එහෙම නැත්නම්, ඊට පොඩ්ඩකට කලින් තමයි අවදි වෙන්නේ. මිල්ටන් අයියා හැමදාම ප්‍රියා සූදානම් වෙනකම් බලාගෙන ඉන්නවා. දවසක් මිල්ටන් අයියා ඇවිල්ලා මෙයා සුදානම් නැති නිසා මෙයාව දාලා යන්න ගියා.
“නංගි මම යනවා. මෙයා කවදාවත් හදන්න බෑ නැත්නම්. වෙලාවට ඇඳගනින් කියලා“ එදා දාලා ගියා.
ප්‍රියා තමන් එක්ක ක්ෂේත්රයේ වැඩ කරපු කා එක්කත් බොහෝම සුහදව හිටපු කෙනෙක්. මම දන්න විදිහට ඔහුට තරහකරයෝ නැහැ.
අපි දෙන්නා බොහොම සමගියෙන් හිටපු දෙන්නෙක්. මම සංගීතය ඉගෙන ගත්තාට සංගීත ගුරුවරියක් ලෙස සේවය කළාට දරුවෝ නිසා මම ගායනය අතහැරියා. අපි දෙන්නම ගී ගයන්න ගියා නම් දරුවන්නේ ජීවිත මේ තරම් සුන්දර වෙන්නේ නෑ. ප්‍රියා දරුවෝ පුංචි කාලේ ඉඳලම එයාලා ගැන බොහෝම ආදරෙන් සොයලා බලපු හොඳ තාත්තා කෙනෙක්. සෙනසුරාදා ඉරිදා දරුවෝ පන්ති ගියේ ප්‍රියා එක්ක. ඔහු විදෙස්ගතවුණ කාලයට අපි ඒ දේවල් කර ගන්න හුරු වුණා. අපේ දරුවෝ හොඳින් ඉගෙන ගත්තා. ලොකු දුව මිනෝෂි වෛද්‍යවරියක්. දෙවැනි දුව ඉරෝෂි මූල්‍ය ආයතනයක කළමනාකාරිවරියක්. පුතා ලක්ෂාන් දැනට ඉන්නේ ඇමෙරිකාවේ. ඔහු නැනෝ තාක්ෂණ ඉංජීනේරුවෙක්. බාලම දුව තවමත් ඉගෙන ගන්නවා. අපිට අපේ දරුවෝ ගැන සතුටු වෙන්න පුළුවන්. දරුවෝ හතරදෙනාටම හොඳින් ගීත ගයන්න පුළුවන්. දුව ඉරෝෂිණී ගීත කිහිපයක්ම ගායනා කරලත් තියෙනවා. පුතා නම් තව මාස කිහිපයකින් ලංකාවට එනවා. එයා කියන්නේ එයාට ලංකාවට ඇවිල්ලා තාත්තාව බලාගෙන තාත්තා එක්ක ඉන්න ඕන කියලා. ඒත් මම පුතාට කිව්වා ඒ රස්සාව අතහරින්න එපා කියලා. ඒත් පුතා කියන්නෙම එයා තාත්තා එක්ක ඉන්න එන්න ඕනෙමයි කියලා.“
කොරෝනා කාලයේ විදි එන්නතක බලපෑමෙන් ප්‍රියා මෙතරම් රෝගී වූයේ යැයි තමරා පවසන්නේ කනගාටුවෙනි.
“එයා ඒ දවස්වල හොඳින් හිටියා ගහක් කොළක් හිටවගෙන එහෙම. ඒත් කොරෝනා එන්නත් විද්දට පස්සේ තමයි මේ තරම් රෝගී වුණේ. එදා සුමති සම්මාන උලෙළේදී නම් ප්‍රියා හොඳටම සංවේදි වුණා. එදා එයාට එතැනදි ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් වගේම නවකයන්ගෙන් ලැබුණ පිළිගැනීම එයාට දරාගන්න බැරි වුණා. ඇත්තටම තිලංග සුමතිපාල මහත්මයා ඇතුළු සුමති සම්මාන උලෙළ සංවිධානය කළ සැමට මම හදවතින්ම ස්තුති කරනවා මගේ මහත්මයා වෙනුවෙන් ඒ දක්වපු උපහාරයට. ඒක ජීවිතේ කවමදාවත් අපට අමතක වෙන්නේ නැහැ.“
තමරා පවසන්නේ සංවේදීව ය.
අමරදේව මාස්ටර්, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, එඩ්වඩ් ජයකොඩි ආදි වූ යුග පරම්පරාවක් නියෝජනය කළ අද ද සිය ජනප්‍රියත්වය එකසේ රඳවා ගත් ගායකයකු ලෙස ප්‍රියා හඳුන්වා දිය හැකිය. ඔහු ගැයූ ගී අද ද රියැලිටි ෂෝවල තරුණයෝ ගයති. හෙට ද ගයනු ඇත. ප්‍රියා ද මෙරට ගායන ක්ෂේත්රයේ එක්තරා ලකුණක් වන්නේ එනිසා ය.
මුල් යුගයේ ගුවන් විදුලියේ සරල ගී ගායනා කළ ප්‍රියා විශාකා මාල්ස් ජෙම් ටෝන් ලේබලය යටතේ වාණිජ තැටි කළේය. 1978 තරංගා ලේබලය යටතේ ද ගීත කළ ප්‍රියා පසුව සිංග්ලංකා ලේබලය යටතේ ද ගී ඉදිරිපත් කරන්නේය. 1990 දී එකම විදීය, හිරු ද මුවා වී, සුදු පරෙවි රෑන සේ, ජීවිතේ මගේ ඔයා, මට වාසනා, සඳ පායා ආදි කැසට් බොහෝමයක් කරන්නේය. 1996 වසරේදී ප්‍රියා සන්ෆලවර් හා එක්ව කැසට් පට කරන්නට ගන්නේය. එතැනින් ඔහු වඩාත් ජනතාව අතරට එන්නේය.
මුල් යුගයේ සිටම ඔහුගේ ගීතවලට පෙම් බැන්ද තරුණියෝ ද රට පුරා සිටියහ. අද මෙන් ජංගම දුරකතන නොතිබූ එකල මේ බැඳීම් එක්කර තැබුවේ ලියුම් මඟිනි.
“ඒ කාලේ ප්‍රියාට හරියට ලියුම් එනවා. ප්‍රියා වැඩ කරපු ඉස්කෝලවලටත් ලියුම් එනවා. ගෙදරටත් ලියුම් එනවා. ලියුම් මිටි ගණන් එනවා. ඒ ලියුම් අතර ආදරණීය ඇරයුම් තිබුණ ලියුම් එහෙමත් තිබුණා. බොහෝ වෙලාවට මේ ලියුම්වලට උත්තර ලියන්නේ මම. ප්‍රියාට ලියුම්වලට උත්තර ලියන්න වෙලාවක් නැහැ. මම එයාට කියන දෙයක් තමයි ‘ඔයාට මේ ඇවිල්ලා තියෙන ලියුම්වලට මම ලියලා තියෙන උත්තරයට අත්සන ගහන්න‘ කියලා. ප්‍රියා එතකොට බුදුසරණයි කියලා අත්සන ගහනවා. ඒ කාලේ එයා වැඩ කරපු ඉස්කෝලවලටත් හරියට දුරකතන ඇමතුම් එනවලු. සමහර වෙලාවට ප්‍රියා ඒවාට ආන්සර් කරන්න එන්නෙත් නැතිලු. විදුහල්පතිවරයාගේ කාර්යාලයේ තියෙන දුරකතනයට තමයි ඇමතුම් එන්නේ. සමහර දවස්වලට විදුහල්පතිතුමා කියනවලු ‘මේකට එන තරමක් කෝල් එන්නේ ප්රියාටනේ‘ කියලා. සමහර දවස්වලට විවේක වෙලාවක වගේ හිටියොත් ප්‍රියා ඒ ඇමතුම්වලට කතා කරනවලු.
මොනවා වුණත් මමත් දන්න කාලේ ඉඳලම ප්‍රියාගේ ගීතවලට අදාරය කරන බොහෝ පිරිසක් හිටියා. මමත් ඔහුගේ හොඳ රසිකාවියක්. එයාගේ හැම ගීතයකටම වගේ මම හරිම කැමැතියි. කොයිතරම් රසිකයෝ එයාට ආදරය කළත් එයා කිසිම කෙනෙක් සමඟ අනවශ්‍ය බැඳීම් තියාගත්තේ නෑ. ප්‍රියා එයාගේ දරුවන්ට හරි ආදරෙයි. දරුවොත් ඒ වගේමයි. අද අපිට අපේ දරුවෝ ගැන ආඩම්බර වෙන්න පුළුවන්.
පුතා, දුවලා කොයි මොහොතේ ගෙදර ආවත් ‘අප්පච්චි‘ කියාගත්ත ගමන් ඉන්නේ. සුමති සම්මාන උලෙළට සහභාගි වුණ වෙලාවේ ප්‍රියා ගොඩාක් හැඟීම්බර වුණා. එයාට ඒ මොහොතේ ලැබුණ ආදරය දරා ගන්න බැරි වුණා. රූකාන්ත මල්ලි, චන්ද්‍රෙල්ඛා නංගි වගේම එදා උමාරා, රයිනි දුවලා, භාතිය, සන්තුෂ්, සංඛ දිනෙත් පුතාලා වගේම ඒ වෙලාවේ ප්‍රියාගේ ගීත ගායනා කරමින් ප්‍රියාට දැක්වූ ඒ ආදරයට ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වෙලාවේ ඔවුන් ප්‍රියාට දක්වපු ඒ අගය කිරීම අපට බොහෝම වටිනවා. විශේෂයෙන්ම තිලංග සුමතිපාල මහත්මයාටත් මම බොහෝම ස්තුතිවන්ත වෙනවා. මේ හැමෝගෙම ආදරය ලැබුණේ ප්‍රියාට. විශේෂයෙන්ම හැමෝගෙම ආදරය ලැබුණේ එයාගේ ආදරණීය කටහඬට. එයා ගැයූ ගීතවලට.
ප්‍රියාගේ ආදරණීය බිරිය තමරා පවසන්නෙ හැඟිම්බර හඬිනි.
ඔහුගේ ගී හඬට වසර පනහකට එහා ඉතිහාසයක් ඇත. අද මෙන් නොව ඒ අතීතයේ තරුණයකු තරුණියක පෙමින් බැඳුණේ හසුන් පතකිනි. මේ හසුන් පත්වල බොහෝ ගීත ලියැවුණි. ඒ ගී ඒ යුගයේ ජනප්‍රිය ගීතය. බොහෝ විට ප්‍රියාගේ ගී බොහෝ හසුන්පත්වල ලියැවී තිබිණි. අද මෙන් ජංගම දුරකතන නොතිබූ එකල මේ නිසා බොහෝ නිර්මාණශීලි මිනිසුන් බිහිවුණි. ප්‍රියාගේ පෙර පරම්පරාවත්, ප්‍රියාගේ සමකාලීනයනුත් මෙන්ම ප්‍රියාගේ පසු පෙළත් දෙස විමසිල්ලෙන් බලන විට අද ද ප්‍රියා මේ හැම අතර ඉහළින්ම සිටිනු දැකිය හැකිය. එයට පුංචි උදාහරණයක් ලෙස රූපවාහිනි රියැලිටි ෂෝ කලාව දැක්විය හැකිය. ඒ ප්‍රියා සූරියසේන යන්න කවුදැයි නොදන්නා තරුණයන් වුව ද ප්‍රියාගේ ගීත ගැයීමය. එදා මෙන්ම අද ද ප්‍රියා මේ සමාජය තුළ එක්තරා ලකුණකි. අද මෙන් හෙට ද මේ ගායන අඹරෙන් බැස නොයන තරුවකි.
ප්‍රියා ඔබට දීර්ඝායුෂ !
ඉනෝකා සමරවික්‍රම