Home » ලංකාවේ පළමු ඉස්ලාමීය බාලිකා විද්‍යාලයේ සියවස් සමරුවේ හැඩරුව

ලංකාවේ පළමු ඉස්ලාමීය බාලිකා විද්‍යාලයේ සියවස් සමරුවේ හැඩරුව

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

කුත් දා හරි අපූර්ව සිදු වීමක් පිළිබඳව අපට අසන්නට ලැබිණි. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බාලිකා පාසල වූ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මරදානහි පිහිටි අල්-ෆාසියාතුල් නස්රියා මුස්ලිම් බාලිකා පාසලට වසර සියයක් (1924-2024) පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයකුත් එළිදක්වීමය. මෙම මහඟු කාර්යය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම අවස්ථාවෙදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ “ වසර 100ක් සපිරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බාලිකාවේ විද්‍යා හා තාක්ෂණික විෂය ධාරා ආරම්භ කළ යුතු බවය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජනාවාසය වූ ප්‍රථම ඉස්ලාමීය දේවස්ථානය පිහිටි ඓතිහාසික බේරුවල පුරවරයේ ලංකාවේ පළමු ඉස්ලාමීය බාලිකා විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව අමාත්‍යවරයා පැවසීය.

‘මෙරට ව්‍යවස්ථාදායකයේ, පාර්ලිමේන්තු කථානායක ධුරයේ වූ වගකීම දැරූ අප ගරු කරන මුස්ලිම් ජාතික කථානායකවරුන් දෙදෙනෙකු අපට මුණ ගැසී තිබෙවා. ඒ ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ පියා බාකීර් මාකර් මහතා සහ එම්. එච්. මොහොමඩ් මහතා. මේ කථානායකවරුන් ඉතාමත් උසස් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කිරීමට කටයුතු කළ උදවියයි. වෛරයෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජන කොටස් සමඟ සමානාත්මතාව මත පදනම්ව එකම රටක දරුවන් ලෙස සිතීමේ පාලම තැනීමට ඉමිතියාස් බාකීර් මාකර් මහතා ද විශාල මෙහෙවරක් ඉටු කළ බවයි.

ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය බව නෙල්සන් මැන්ඩෙලා වරක් පවසා තිබෙනවා. වසර සියයක් සපිරෙන මේ පාසල ඒ ඉතිහාසය පුරාවටම මුහුණ දුන් අධ්‍යාපනයේ ප්‍රධානතම අර්බුදයක් වූයේ ගුරුවරුන් ඇතුළු පහසුකම්වල හිඟයයි. බොහෝ ගම්බද ප්‍රදේශවල සිසුන් ගුරුවරුන්ගේ හිඟය ඇතුළු තත්ත්වයන් මත උසස් පෙළ සඳහා වැඩි වශයෙන් යොමු වුණේ කලා අංශයෙන්. ඒ අනුව විශ්වවිද්‍යාලවලින් බිහි වූ කලා උපාධිධාරීන්ට සරිලන රැකියා වෙළෙඳපොළක් පැවතුණේ නැහැ. පවතින රැකියාවලට ගැළපෙන උගතුන් බිහි වුණේ නැහැ. තමන් ලද අධ්‍යාපනයෙන් ජීවන උපායක් සලසා ගැනීමට නොහැකි වූ බොහෝ තරුණ පිරිස් තම මවුපියන්ට, සමාජ ක්‍රමයට, රටට වෛර කරන පිරිසක් බවට පත් වුණා. ඒ වෛරය පුපුරා යෑම තුළින් බොහෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගවලට ඔවුන් පෙලඹුණා. නූගත් සමාජයක වෛරය පැතිරවීම ඉතාමත් පහසුයි. නිදහසින් පසු දශක තුනකට අධික කාලයක් එවැනි යුදමය වාතාවරණයක අත්දැකීම් වර්තමාන සමාජයේ සියලු දෙනාට පවතිනවා. ඒ තත්ත්වය බිහි වීමට ප්‍රධාන වග උත්තරකරුවකු වන්නේ පැවති අධ්‍යාපන ක්‍රමය බව හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු ලෙස මා විශ්වාස කරනවා.

මෙහි තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති ව මා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සිටියදී අභියෝග රාශියක් මධ්‍යයේ උසස් පෙළට තාක්ෂණවේදය විෂය මාලාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් පහසුකම් සහිත තාක්ෂණ විද්‍යාගාර දහසක් දිවයින පුරා සෑම ප්‍රදේශයකම ආරම්භ කළා. දිවයින පුරා විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ 13ක් මේ වන විට ඇති වී තිබෙනවා. මේ වන විට සිසුන් අතර වඩාත්ම ජනප්‍රිය උසස් පෙළ විෂය ධාරාව වන්නේ තාක්ෂණවේදයයි. ඒ අනුව දැනට කලා සහ වාණිජ විෂය ධාරාවන් පමණක් උසස් පෙළ අංශයෙන් පැවැත්වෙන මේ විද්‍යාලයට ඉදිරි වසරේ තාක්ෂණ වේදය විෂය ධාරාව ආරම්භ කිරීමට අවශ්‍ය දායකත්වය අප ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මුදල් සහ ගුරුවරුන් සොයා ගැනීම සඳහා මවුපියන්ගේද දායකත්වය ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා‘

මේ අවස්ථාව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සාධනීය බලාපොරොත්තු රැසක සම්පිණ්ඩනයකි.

මෙම අවස්ථාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් අමාත්‍යවරයාට කෘතගුණ දක්වමින් කියා සිටියේ “ ‘ඔබතුමා වැනි විද්වතෙක් අද පැමිණ තිබෙන පාසල ඓතිහාසික වටිනාකමකින් යුතු පාසලක්. ඒ වගේම ඔබතුමා පැමිණ සිටින මේ ප්‍රදේශය අපේ රටේ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්. මේ ගම සම්බන්ධ කරගෙන නිකුත් වන දෙවැනි මුද්දරය මේ. පළමු මුද්දරය නිකුත් වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි වාසස්ථානය ලෙසයි. අද ශ්‍රී ලංකාවේ පළමුවැනි බාලිකා පාසල, අල්-ෆාසියාතුල් නස්රියා බාලිකා පාසල. මට මතක් වෙනවා මං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ව සිටියදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට ආරාධනා කරලා මේ පාසලේ රැස්වීමක් තිබ්බා. මද්‍රසාවක් විදිහට ආරම්භ කළ මේ පාසල රජයේ පාසලක් බවට පත් වුණාට පස්සෙ පළමුවැනි ගොඩනැඟිල්ල විවෘත කරන්න ආවේ එතුමාගේ සීයා බව මා එහිදී සිහිපත් කළා. එවකට එතුමා කළුතර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා වශයෙනුයි කටයුතු කරමින් සිටියේ. එහෙම බැලුවම මේ පාසලට අපෙ ඉතිහාසයේ ලොකු වැදගත්කමක් හිමිව තිිබෙනවා. ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ආරම්භයත්, බේරුවලත් අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා. මට මතකයි මගේ තාත්තගෙ අම්මා මට කියනවා; මේ පාසල ආරම්භ කරද්දි තිබුණු අභියෝග ගැන. පාසල පටන් ගන්න මුල් වෙච්ච උදවියගෙ ගෙවල්වලට ගල් ගැහැවුවා කියලා. කාන්තාවන් ඉගෙන ගන්නවයි කියන කාරණය ඒ කාලෙ හැටියට හිතා ගන්නවත් බැරිදෙයක්. ඒකට එක පැත්තකින් හේතු වුණේ බටහිර අධ්‍යාපනය ලබනකොට අපේ දරුවො සංකර වේවි, ආගම වෙනස් වේවි කියලා ඒ අයට ලොකු බියක් තිබුණා. ඒක මුස්ලිම්වරුන් තුළ පමණක් තිබූ ආකල්පයක් නෙමෙයි. සිංහල බෞද්ධ ජනතාව අතරත්, හින්දු ජනතාව අතරත් තිබුණා. ඒ නිසා තමයි පරම විඥානාර්ථ සමාගම මුල්වී ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මලියදේව, රාහුල වැනි බෞද්ධ පාසල් ආරම්භ කරන්නේ. ඒ තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් නූතන අධ්‍යාපනය බෞද්ධ දරුවන්ට ලබා දෙන්න. හින්දු නායකයො හින්දු විද්‍යාලය වැනි පාසල් ආරම්භ කළා. ටී. බී. ජයා, සිද්දි ලෙබ්බේ,ෂහිරාවන් ලංකාව පුරා පාසල් ආරම්භ කළා. කුමක් නිසාද තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් නූතන අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න. අද මම ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ හරිම ආඩම්බරයෙන්‘

ඔහු වැඩිදුරටත් පැවසීය.

අද නව ගොඩනැඟිලිවලින් සමන්විත ප්‍රතාපවත් පෙනුමෙන් දිදුලන මෙම පාසල මෙතෙක් පැමිණි මාවත විමසා බැලුවහොත් එය බොහෝ දෙනකුගේ අප්‍රතිහත ධෛර්යයේ හා උත්සාහයේ ප්‍රතිඵලයක් බව කිව හැකිය. යටත්විජිත සමයේ මෙම ප්‍රදේශය ආශ්‍රය කරගෙන බිහි වූ තරුණ ව්‍යාපාරයේ මූලිකත්වය මේ සඳහා ලැබී තිබේ. එවක බේරුවල මග්ගොන ප්‍රදේශය ආශ්‍රය කරගෙන ප්‍රාථමික පාසලක් පැවති අතර, මෙම පාසල දැකීමෙන් අනතුරුව මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණ නායකයෝ එක් රැස් ව මෙම ප්‍රදේශයේ ද පාසලක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ කතිකා කර තිබේ. ඒ අනුව මේ තරුණ නායකයන් පාසල ආරම්භ කිරීමට වෙහෙස නොබලා කටයුතු කළෝය. මේ සඳහා මූලිකත්වය ගත් මෙම තරුණ ව්‍යාපාරය තුළ එස්.එල්.එච් මොහොමඩ්, ඒ. එස්. එල්.

මරිකාර්, ඒ.එල්. එම්. පී. මෙහොමඩ්, ඕ. එල්. එම්. වඩුඩ්, එම්. එස්. ඒ. සමද්, පී. එල්. එම්. ජුනයිඩ්, එම්. එස්. එම්. ෂයිනුල් ආබ්දීන්, එම්. එස්. එම්. ෂරීෆ් යන අය විශේෂ කාර්යයක් ඉටු කළහ.

පාසල ගොඩනැඟීමට ගිය ඔවුන්ගේ මාවත මල්වලින් සරසා නොතිබුණි. ඒ වෙනුවට විවිධ බාධක හා කටු කොහොලින් පිරි මාවතක් ඔවුන් ඉදිරියේ විය. ඒ අනුව 1924 පාසල ආරම්භ කිරීමට සිදු වූයේ පිදුරු සෙවිලි කර ඉදි කළ ශාලාවකය. සිසුන් 35 දෙනකුගෙන් ආරම්භ වූ පාසලේ පළමු විදුහල්පතිනිය ලෙස යාපනයේ තංගම්මා මහත්මිය පත් වූ අතර, චෙල්ලමුත්තු මහත්මිය සහකාර ගුරුවරියක ලෙස කටයුතු කළාය. මෙලෙස පිදුරු සෙවිලි කළ පැල්පතක පවත්වා ගෙන ආ පාසලේ ස්ථාවර ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට 1929 දී ඔවුන්ට හැකි විය. මෙම ගොඩනැඟිල්ලේ ශිෂ්‍ය නේවාසිකාගාරය, විදුහල්පති කාර්යාලය සහ පන්ති කාමර පිහිටා තිබුණි. මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට පැමිණියේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ සීයා වූ සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහය. එකල සී. ඒ. වික්‍රමසිංහ ලෙස ප්‍රචලිතව සිටි හෙතෙම ශ්‍රී ලංකාවේ මුල්ම සිංහල ඉඩම් කොමසාරිස්වරයා මෙන්ම මුල්ම සිංහල දිසාපතිවරයා ද විය.

අප සමඟ අදහස් දක්වමින් පාසලේ වත්මන් විදුල්පතිනිය වන මොහොමඩ් මූෂීන් මෂ්ණවියා ප්‍රකාශ කර සිටියේ “අපේ පාසල කළුතර කලාපයේ බේරුවල කොට්ඨාසයේ ජනප්‍රිය 1C වර්ගයේ දෙමළ මාධ්‍ය පාසලක්. මම මේ පාසලේ වැඩ භාර ගත්තේ 2016 නොවැම්බර් 11 වන දින. මම විදුහල්පති විභාගය සමත් වෙලා තුන්වන ශ්‍රේණියේ විදුහල්පති කෙනෙක් විදිහට පත්වීම ලැබුණා. ඒ ගුරු සේවයේ ළාබාලතම විදුහල්පතිනිය විදිහටයි. එතකොට මට වයස අවුරුදු 31යි. මම එනකොට මට ජය ගන්න අභියෝග රාශියක් තිබුණා. නමුත් මම පසුබට වුණේ නැහැ. ඒ අභියෝග එකින් එක ජය ගත්තා. මුලින්ම ළමයින්ගේ අධ්‍යාපනය කෙරෙහි මගේ අවධානය යොමු වුණා. මම ඇවිත් මාස හතරකින් වගේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණා. එහි ප්‍රතිඵල අනුව සියයට 63ක පමණ ප්‍රතිශතයක් ඇති බව මම කලාප අධ්‍යාපන කාර්යාලයේදී දැන ගත්තා. එහිදී මම අභියෝගයක් කළා මේ අඩු වෙලා තියෙන ප්‍රතිශතය කෙහොම හරි උඩට ගන්නවා කියලා. මම පාසලට ඇවිත් දරුවන්ට කතා කරලා “අපි මේ වසරේ බෙස්ට් රිසාල්ට් ගන්න පාසල බවට පත්වෙන්න ඕන” කියලා. ළමයිනුත් මාත් එක්ක හරිම එකතුයි. මොකද මම කලින් ඉංග්‍රීසි හා IT ගුරුවරියක් විදිහට තමයි කටයුතු කළේ. ඒ අනුව මම අඩුම සාධන මට්ටමේ ඉන්න ළමයින් ඉස්සරහට අරන් ඒ අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් හැදුවා.

මුලින්ම මම ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තා. ඒ අතර අනෙක් විෂයන් ගැන දරුවන්ගේ තියෙන දැනුම මට පරීක්ෂා කිරීමට හැකි වුණා. ඒ අනුව ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඒ අයටත් ඉලක්ක දුන්නා. ගුරුවරුනුත් “මැඩම් අපි ඒකට ලෑස්තියි” කියලා මාත් ඒක්ක කරට කර වැඩ කළා. පාසලට නොපැමිණෙන දරුවන් හොයාගෙන ගෙවල් ගානේ ඇවිද්දා. ඒ අනුව ‘කැපකරු ගුරුභවතා’ කියන සංකල්පය යටතේ අඩු ලකුණු මට්ටමක ඉන්න දරුවො දෙන්නා ගාණේ සෑම ගුරුවරයෙක්ම වගකීම භාර ගත්තා. ඒ අනුව විභාගයට පෙනී සිටි දරුවන් 40ගෙන් 35ක් ඉහළින්ම විභාගය සමත් වී තිබුණා. 2018 වසරේ බස්නාහිර පළාතේ සියලුම දෙමළ මාධ්‍ය පාසල් අතරින් ඉහළම ප්‍රතිශතය ලබා ගත්ත පාසල විදිහට ප්‍රථම ස්ථානය දිනා ගන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම කොට්ඨාසයෙන් ප්‍රථම ස්ථානයත්, කලාපයෙන් පස්වැනි ස්ථානයත් දිනා ගන්න අපට හැකියාව ලැබුණා. එහිදී ප්‍රතිශතය වුණේ සියයට 95යි. මේ වසර හය තුළ අප විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. අපට ලොකුම අඩුපාඩුව තියෙන්නේ ගුරුවරුන්ගේ. ළමයි 1115 ඉන්න තැනක ගුරුවරු ඉන්නේ 27යි. ගුරුවරු 28 දෙනකුගේ හිඟයක් පවතිනවා.

අපි මේ ගමන යන්නේ ස්වේච්ඡා ගුරුවරු එකතු කරගෙන. ඒ වගේම මට ඉන්න විදුහල්පති නිල නිවෙසක් නැහැ. ඒක හදන්න කාලෙකට කලින් ආරම්භ කළත් තවම එහි වැඩ අවසන් කර ගන්න නොහැකි වුණා. ඒ වගේම පාසල් ගොඩනැඟිලිවල ජනෙල් ගලව ගෙන වැටෙනවා. ඒවා අබලන් තත්ත්වයේ පවතින්නේ. පාසලේ අධ්‍යාපනය හොඳ වෙද්දී ගොඩක් දරුවො පාසලට එන්න පටන් අරන් තියෙනවා. සමහර පන්තිවල දරුවන් පනහක් පමණ සිටිනවා. පන්ති ප්‍රමාණය වැඩි කරන්න නම් තව ගොඩනැඟිල්ලක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය බිම්කඩ ව්‍යාපාරික මහත්මයෙක් විසින් ප්‍රදානය කර තිබෙනවා. අප ඒ සඳහා ගොඩනැඟිල්ලක් පවා සැලසුම් කළා. මේ සෑම කර්තව්‍යයකදීම පාසල් සංවර්ධන සමිතිය වගේම මවුපියන් මාත් සමඟ එක පවුරක් වගේ කටයුතු කරනවා. මේ කටයුතු සාර්ථකව කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය සහාය මට ලැබෙයි කියන ලොකු විශ්වාසයක් මා තුළ තිබෙනවා‘

වත්මන් විදුහල්පතිනියගේ සහ කළමනාකරණ කමිටුවේ ආකල්පය අනුව පාසල් දැක්ම සහ මෙහෙවර හඳුන්වා දී තිබේ. ඒ අනුව සමාන පෞරුෂයකින් යුත් අනාගත පරපුරක් බිහි කිරීම එහි දැක්ම වන අතර, එහි මෙහෙවර වන්නේ දැනුම, කුසලතා, යහපත් ආකල්පවලින් පිරි ආගමික ඉදිරි දර්ශනයක් සහිත එමෙන්ම පරිගණක සාක්ෂරතාව ඇතුළු ප්‍රධාන භාෂා තුනෙහි නිපුණතා ඇති දැරියන් පිරිසක් රටට ලෝකයට දායාද කිරීමය.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division