Home » හේමා- අර්ජුන – බෙල්ලන උද්ඝෝෂකයන්ගෙන් බේරපු පොලිසියේ ඩමි සෙල්ලං

හේමා- අර්ජුන – බෙල්ලන උද්ඝෝෂකයන්ගෙන් බේරපු පොලිසියේ ඩමි සෙල්ලං

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරත වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනය. රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසු ඔහු මුලින්ම හඬ නැඟුවේ ජාතික රෝහල ආශ්‍රිතව ඇතැම් සුළු සේවකයන් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවය. ඒ නිසාම අද වන විට කොළඹ ජාතික රෝහලේ ඇතැම් සේවකයන් විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය වී ඇති බව තතු දත්තෝ පවසති. අනතුරුව ඔහු බස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ සමඟ එක්ව කොළඹ ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගයේ රථවාහන ධාවනය විධිමත් කරනු ලැබීය. එයින් සීමා නොවූ ඔහු රෝහලේ කොටසක් පොලිසියට ලබා දෙමින් රථවාහන අංශයේ නිලධාරීන් වෙනුවෙන් පොලිස් මුරපොලක් ද ස්ථාපිත කිරීමට වගබලා ගත්තේය.

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් වෛද්‍යවරු හැර සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ මේ අතරතුරදීය. මෙහිදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී සෞඛ්‍ය සේවයේ අංශ කිහිපයක සේවකයන්ව විවේචනය කරන්නට වූයේ කැමරාවක් ඉදිරියේ වෛද්‍යවරයකුට නුසුදුසු ආකාරයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමිනි. එම ක්ෂේත්‍රයේ සිටින සුළු සේවකයන් පමණක් නොව, වෛද්‍ය වෘත්තිකයන් ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් කළ එම ප්‍රකාශය හෙළා දකින්ට වූයේ පිළිකුලෙනි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ වන විටත් රෝහල් පද්ධතියේම සුළු සේවකයන් සිටියේ දැඩි කම්පනයට පත්වය. කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත සුළු සේවකයන් පසුගිය සිකුරාදා රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලෙන් පැන්නීමට පෙළ ගැසෙන්නේ එබැවිනි. එදා ඔවුන් සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව රෝහලේ ඔවුන්ට පැවරී ඇති රාජකාරි පසෙක ලා කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැඟිල්ල ඉදිරිපිටට රැස් වන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිවය. සුළු සේවකයන්ට රැස්වීමට හා උද්ඝෝෂණය කිරීමට ඉඩකඩ ඇති බොහෝ තැන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළ ඇතත් මෙම ස්ථානයම සුළු සේවකයන් තෝරා ගන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රැඳී සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පිහිටා තිබුණේ බණ්ඩාරනායක ගොඩනැඟිල්ලෙහි පළමු මහලේ වූ බැවිනි.

සුළු සේවකයන් මෙසේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව පෙළ ගැසෙන විට බුද්ධි අංශ ඒ බව බලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් බළකායක්ම කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පැමිණ ආරක්ෂාව තර කරනු ලබන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට නියපොත්තකින් හෝ සීරීම් තුවාලයක්වත් නොවන්නට වගබලා ගනිමිනි. ඒ අතර කැරලි මර්දන බළකායේ කණ්ඩායම් ද ස්ථානගත කරන්නට වූයේ ජල ප්‍රහාරක බවුසර් ද සමඟිනි.

ඒ වන විට රෝහල් සේවකයන් බණ්ඩාරනායක ගොඩනැඟිල්ල වටකර රැකවල්ලා ගෙන සිටින්නට වූයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව කාර්යාල අඩස්සියේ තබා ගනිමිනි. කාර්යාලය ඉදිරිපිට සන්නද්ධ පොලිස් ආරක්ෂාවක් ද යෙදවීමට පොලිස් බලධාරීන් පියවර ගෙන තිබුණේ රුක්ෂාන් බෙල්ලනගේ ජීවිතාරක්ෂාව ගැන සලකා බලාය. ඒ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව කාර්යාලයෙන් පිටතට රැගෙන යාමට පොලිස් බලධාරීන් සැලසුම් සකස් කරන්නට වූයේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් ඇති බව පෙන්නට වූ බැවිනි. සුළු සේවකයන් කෑමොර දෙන්නට වූයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඔහුව පැන්නීමටය. එබැවින් සුළු සේවකයන්ට ජයග්‍රහණය ලබා දෙමින් පස්සා දොරින් පැන යන්නට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කැමැති නොවීය. “ඇයි මම යන්නේ. මම මොකටද මේ අයට බය වෙන්නේ“ යනුවෙන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් කාර්යාල කාමරයේ රැඳී සිටි පොලිස් නිලධාරීන්ට පවා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නට වූයේ කොතරම් පිරිසක් රැස්වුවත් ඒ අය ඉදිරියේ තමා නොනැමෙන බව කියාපාමිනි. තමා කාර්යාලයෙන් පිටතට යන්නේ නම් ඒ දෛනික සේවා කාලය අවසන් වීමෙන් පසුව බවද ඔහු කියන්නට විය. මේ නිසා අසරණ වන්නට වූයේ පොලිසියයි.

අවසානයේදී නියමිත වේලාව එළඹීමෙන් පසු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාලයෙන් පිටතට යන්නට සූදානම් වන විට සුළු සේවකයන් එක පොදියට රැස්ව සිටියේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පිටතට පැමිණීමේදී ඔහුට අමුතු ආකාරයේ සංග්‍රහයක් ලබාදීමේ අපේක්ෂාව ඇතිවය. ඒ වන විට රුක්ෂාන් බෙල්ලන සමඟ කාර්යාලයේ සිරවී සිටි අය අතර වෘත්තීය සමිතියක නායකයෙක් ද සිටියේය. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමඟ ඔහුවත් නිරුපද්‍රිතව පිටතට රැගෙන යාමේ අභියෝගය ඒ වන විටත් පොලිසියට එල්ලවී තිබුණේය.

සුළු සේවකයන්ට අවම බලය යොදා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැර රුක්ෂාන් බෙල්ලනව කාර්යාලයෙන් පිටතට ගෙන පහසුවෙන්ම රැගෙන යාමේ හැකියාව පොලිසියට තිබුණත් රෝහල් පරිශ්‍රය තුළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුවහොත් එය වෙනත් ගැටලුවකට මුල පිරීමක් විය හැකි බව පොලිස් බලධාරීහු කල්පනා කළහ. එසේ නොමැතිව කාර්යාලයෙන් පිටතට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව රැගෙන යාමට උත්සහයක නිරතව වුවහොත් සිදුවන්නේ කුපිතව සිටින සුළු සේවකයන් සමඟ ගැටුමක් ඇතිවීම බව පොලිස් බලධාරීන්ට පෙනී ගියේය. එහිදී සුළු සේවකයන් අතින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ජීවිතයට හානියක් සිදුවීමේ අවදානමක් පවා ඇතැයි පොලිස් බලධාරීන්ට ඒත්තු ගැන්විණි.

එබැවින් පොලිස් බලධාරීන් සැලසුමක් සකස් කරනු ලබන්නේ කාර්යාලයෙන් පිටත රැඳී සිටින සුළු සේවකයන් මුලා කර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව රෝහලින් පිටතට ආරක්ෂාකාරීව රැගෙන යාමටය. බණ්ඩාරනායක ගොඩනැඟිල්ලෙහි පිහිටීම හා එහි අභ්‍යන්තර ව්‍යූහය අධ්‍යයනය කළ පොලිස් බලධාරීන් සිය සැලසුම දියත් කිරීමට පෙර හදිසි අනතුරු අංශයේ ගේට්ටුවෙන් පොලිස් ජිප් රථයක් ඇතුළු කර එහි ඇන්ජිම පණ ගැන්වී තිබියදීම නතර කර තැබෙන්නේ ඕනෑම අවස්ථාවකදී පිටතට ගැනීමට සූදානමක් ඇතිවය. වීදුරු කළු පැහැ ගැන්වූ එම ජිප් රථය හදිසි අනතුරු වාට්ටු සංකීර්ණය පිහිටි ගොඩනැඟිලි භූමියේ නතර කර තැබෙන්නට වූයේ කිසිවකුගේ සැකයකට ලක් නොවන ලෙසිණි.

ඒ අතර ඇද ඇතිරිල්ලක් පොලිස් නිලධාරියෙක් විසින් රැගෙන එනු ලබන්නේ සැලසුම් ප්‍රකාරවය. එම ඇඳ ඇතිරිල්ල හිසේ සිට දෙපතුල දක්වා දමා එහි ඔතන්නේ පොලිස් කොස්තාපල්වරයෙකි. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙන් ශරීරයකට හිමිකම් නොකීවත් මෙම කොස්තාපල්වරයාව එසේ ඇඳ ඇතිරිල්ලකින් ඔතන්නේ ඒ රුක්ෂාන් බෙල්ලන යැයි පිටත රැඳී සිටින සුළු සේවකයන්ට හැඟෙන ආකාරයටය.

STF නිල ඇඳුමින් සරසා ඇමති අර්ජුන පිටතට ගෙන ආ අයුරු

STF නිල ඇඳුමින් සරසා ඇමති අර්ජුන පිටතට ගෙන ආ අයුරු

ඇද ඇතිරිල්ලෙන් වැසුණු පොලිස් කොස්තාපල්වරයාව රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා ලෙස පිටතට ගැනීමට පොලිස් බලධාරීන් සූදානම් වන්නේ සුළු සේවකයන් රැඳී සිටින ස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ව සීරුවෙන් තබාය. සුළු සේවකයන්ද එහිදී සිතන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව පොලිස් ආරක්ෂාවක් සහිතව පිටතට රැගෙන ඒමට පොලිසිය යම් උත්සාහයක් ගැනීමට සූදානම් වන බවය. එබැවින් ඔවුන් ද නොසන්සුන් වෙමින් සූදානම් වන්නට වූයේ පිටතට රැගෙන එන රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයාට ගුටි පූජාවක් දෙන්නටය. පොලිස් නිලධාරීන් තමන්ව නොමග යවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව ඒ වන විටත් වෙනත් මඟක් ඔස්සේ රැගෙන යාමට සැලසුම් කර ඇතැයි ඒ කිසිවෙක් දැන සිටියේ නැත. එබැවින් ඇඳ ඇතිරිල්ලකින් වසා නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යලයේ සිට පොලිසියේ දහ පහළොස් දෙනකු වට කරගෙන රැගෙන එමින් සිටි පොලිස් කොස්තාපල්වරයාට රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා යැයි සිතා සුළු සේවකයන් පහර දෙන්නට වූයේ ද එබැවිනි. එම පහරදීම් වළක්වමින් පොලිස් නිලධාරීන් කොස්තාපල්වරයා රැගෙන ගොස් පොලිස් ජිප් රථයේ දමා ගන්නේ පිටුපස දොර විවර කර ඒ තුළට තල්ලු කරමිනි. රෝහල් පරිශ්‍රයේ රැස්වී සිටි සුළු සේවකයන්ගේ හූ හඬ මධ්‍යයේ එසේ රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා යැයි හැඟෙන ආකාරයට පොලිස් කොස්තාපල්වරයාව රැගෙන යන අතර තුර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව ද පැය 07කට පසු කාර්යාල අඩස්සියෙන් මුදා ගෙන රැගෙන යන්නට වූයේ බණ්ඩාරනායක ගොඩනැඟිල්ලෙන් හදිසි අනතුරු අංශයේ ගොඩනැඟිල්ලට පන්නමිනි. බණ්ඩාරනායක ගොඩනැඟිල්ලෙහි සිටි වෛද්‍ය රුක්ෂාන් පිටතට එන්නේ හදිසි අනතුරු අංශයෙනි. ඒ පැමිණි ඔහුව රෝහල් පරිශ්‍රයෙන් ආරක්ෂාකාරීව පිටතට රැගෙන යන්නේ හදිසි අනතුරු අංශය ඉදිරිපිට නතර කර තිබූ පොලිස් ජිප් රථයේ නංවාගෙනය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව එසේ රැගෙන යන අයුරු සුළු සේවකයන් කිහිප දෙනෙක් දුටුවත් ඒ අයට තනිවම කිසිවක් කරන්නට ශක්තියක් නොවීය.

මෙරට ඉතිහාසය තුළ මෙසේ පොලිස් ප්‍රයෝගවලින් ගලවා ගත් ජීවිත ගණන බොහෝය. ඒ අතර මෑතකාලයේ වඩාත් අවධානයටත් සමාජයේ දැඩි කතාබහකටත් ලක්වූයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුම් අන්දවා ඛනිජ තෙල් සේවකයන් පිරිසකට මැදිවී ජීවිත අවදානමකට ලක්ව සිටි අර්ජුන රණතුංගව එම සේවකයන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමය. 2018 වසරේ ඔක්තෝබර් 28 වෙනිදා එම සිදුවීම වන විට අර්ජුන රණතුංග ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාය.

ඉරිදා දිනයක් වූ එදා ඔහු හිටි හැටියේම කාර්යාල සංකීර්ණයට පැමිණ තිබුණේ කිසිවකුටත් නොදන්වාය. එහිදී වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ ඇතිවන යම් ආරවුලක් දුරදිග යන්නේ අමාත්‍යවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂකයකු අතින් වෙඩි පත්තුවී දෙදෙනකු තුවාල ලැබීමෙනි. එසේ තුවාල ලැබූ අයකු රෝහල්ගත කරන විටත් මියගොස් තිබීම හේතුවෙන් කූඹි ගුලක් මෙන් ඇවිස්සුණු ඛනිජ තෙල් සේවකයන් දෙමටගොඩ සංස්ථා කාර්යාල පරිශ්‍රය වට කරනු ලබන්නේ අර්ජුන රණතුංග සහ ඔහුගේ ආරක්ෂකයන්ට පිටතට යාමට ඉඩ නොතබමිනි. සිය සඟයෙක් මිය යාම හේතුවෙන් කුපිත වී සිටි ඛනිජ තෙල් සේවකයන්ගෙන් ඒ වන විටත් අර්ජන රණතුංගගේ ජීවිතය පැවතියේ දැඩි අවදානමකය. එබැවින් අර්ජුන රණතුංගව ආරක්ෂාකාරීව ඛනිජ තෙල් නීතිගත සංස්ථා කාර්යාල පරිශ්‍රයෙන් පිටතට රැගෙන යෑමේ වගකීම භාර ගන්නේ එවකට විශේෂ කාර්ය බලකායේ සේනාවිධායකවරයාව සිටි එම්. ආර්. ලතීෆ්ය. එදා පොලිස් විශේෂ කාර්ය බළකා නිල ඇඳුමෙන් විශේෂ කාර්ය බළකා සෙබළුන් මැදි කරගෙන අර්ජුන රණතුංගව පිටතට රැගෙන නොඑන්නට අර්ජුන රණතුංග යැයි කියා අයකු අද සොයා ගන්නටත් නැති වනු ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිණියට ද මේ ආකාරයේම අත්දැකීමකට මුහුණ දී තිබුණාය. එවකට ජනාධිපතිධුරය දැරුවේ රණසිංහ ප්‍රේමදාස ය. ජනපති ආර්යාව වූ හේමා ප්‍රේමදාස මැතිණිය 1993 වසරේ අප්‍රේල් මාසයේ යම් දිනක හදිසියේම කුරුඳුවත්ත පොලිසිය වෙත එන්නේ පෙර දැනුම්දීමකින් තොරවය. ඇය ඒ එන්නේ ද ජනපති ආරක්ෂකයන් කිහිප දෙනකු පිරිවරාගෙනය. ලලිත් ඇතුලත් මුදලි ඝාතනයෙන් ඒ වන විට රටම සිටින්නේ කැලඹීමකට ලක්වය. එදා කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් සියලුදෙනාම පාහේ සිටින්නේ දැඩි කාර්ය බහුලත්වයට පත්වය. ඒ ලලිත් ඇතුළත් මුදලි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ලබන්නේ එදින වූ බැවිනි. එම ඝාතනය සම්බන්ධයෙන් එදා ඇගිල්ල දිගුවී තිබුුණේ ප්‍රේමදාස පාලනය වෙතය. එබැවින් ප්‍රේමදාස පාලනයට එරෙහිව ජනතාව විරෝධතා දක්වන්ට පවා ගත්තේය. ඒ නිසාම පොලිසියට වැඩ ගොඩගැසී ද තිබුණේය. ලලිත් ඇතුළත්මුදලිගේ ඝාතනය සම්බන්ධයෙන් සමාජය තුළ ලොකු විරෝධයක් ගොඩනැඟී තිබෙන මොහොතක ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය කුරුඳුවත්ත පොලිස් ස්ථානයට හදිසියේම ගොඩවී තිබුණේ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අවසන් කටයුතු සිදුවන අයුරු දැක බලා ගන්නටය. ඇයට වැඩි කාලයක් පොලිස් ස්ථානය තුළ නිදහසේ රැඳී සිටින්නට ඉඩක් නොවූවාය.

ලලිත් ඇතුළත්මුදලිට අවසන් ගෞරවය දැක්වීමට පැමිණ මඟ දෙපස පෙළ ගැසී සිටි විශාල පිරිසක් එකවරම කුරුඳුවත්ත පොලිස් ස්ථානය වට කරන්නට ගත්තේ හේමා ප්‍රේමදාස මැතිනිය එහි සිටින බව දැනගෙනය. ඒ ඇයව පිටතට එවන ලෙස කියමින් කෑමොර දෙමිනි. තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන විට ඇයව නිරුපද්‍රිතව පොලිස් ස්ථානයේ සිට ආරක්ෂක ස්ථානයකට රැගෙන යාමේ වගකීම භාර ගන්නේ එවකට පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස සේවයේ නිරතව සිටි කීර්තිමත් නිලධාරියෙක් වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන විසිනි. හේමා ප්‍රේමදාසව එදා නිරුපද්‍රිතව ඔහු විසින් පොලිස් ස්ථානයෙන් පිටතට ගන්නේ අර්ජුන රණතුංගව ඛනිජ තෙල් සංස්ථා කාර්යාල පරිශ්‍රයෙන් පිටතට ගත් ආකාරයට කාන්තා පොලිස් නිලධාරිනියන් ගොන්නක් මැදි කරගෙනය. එදා ඇයව ආරක්ෂාකාරීව කෙලින්ම රැගෙන යන්නේ බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුර වෙතය. මෙතෙක් ඉතිහාසයේ සැඟවුණු රහසක් ව පැවති හේමා ප්‍රේමදාස මහත්මියගේ ජීවිතය ගලවා ගත් මෙම මෙහෙයුම ගැන තොරතුරු හෙළි කරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කීර්තිමත් සේනාවිධායකවරයෙක්ව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඔහු මේ කතාව කියන්නට වූයේ සිය නම හෙළි නොකරන බවට වූ පොරොන්දුව මතය.

හිල්ටන් රෙසිඩන්සි ලෙස අද හඳුන්වනු ලබන කොම්පඤ්ඤවීදියේ පිහිටි තරු පහේ සුඛෝපභෝගී හෝටලය ජායික් හිල්ටන් නමින් සේවා කටයුතු මෙරට ආරම්භ කරනු ලබන්නේ 1998 වසරේදීය. එකල මෙම ඉදිකිරීම සිදුකරනු ලබන්නේ ජපන් ඒෂියා ඉන්වෙස්මන්ට් සමාගමයි. මෙරට පිහිටි උසම ගොඩනැඟිල්ලක් ලෙස ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ මෙහි වැඩ අවසන් අදියරේ පැවතියදී එහි සේවයේ නිරතව සිටි කම්කරුවකු ඉහළ මහලේ රැඳෙමින් විරෝධතාවක නිරත වන්නට වූයේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනය. එම කම්කරුවාගේ ඉල්ලීම වූයේ ජනාධිපති ලේකම්වරයා පැමිණ සිය ඉල්ලීම් ගැන සාකච්ඡා කළ යුුතු බවය. එසේ නොමැති වුවහොත් ඉහළ මහලේ සිට බිමට පැන සියදිවි හානි කර ගන්නා බවට ඔහු තර්ජනය කර තිබුණේය.

ගොඩනැඟිල්ල ඉදිකිරීම් භාර ජපන් සමාගම මේ ගැන සිටියේ කලබලයට පත්වය. ඔවුන් පිහිට පතන්නේ එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි චන්ද්‍රා ප්‍රනාන්දුගෙනි. ජපානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකමක් පැවති චන්ද්‍රා ප්‍රනාන්දුට ජපන් භාෂාව හැසිරවීමට ද හැකියාවක් ඇත්තේය. ජපන් සමාගමේ නිලධාරීන් චන්ද්‍රා ප්‍රනාන්දු හමුවී මේ ගැන කීවේද ඒ නිසාය.

ශ්‍රී ලංකා පොලිසියේ ජනප්‍රිය චරිතයක් වූ ප්‍රේමලාල් රණගල එකල සේවයේ නිරතව සිටියේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලෙසිනි. කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු එදා දුරකතන ඇමතුමක් දෙමින් ගොඩනැඟිල්ලේ නැඟී ඉල්ලීම් ඉල්ලමින් සිටින සේවයකයා බිමට බැස්සවීමේ වගකීම ප්‍රේමලාල් රණගලට පවරන්නේ “ රණේ මොනව හරි කරල මිනිහව බස්සපන්“ යැයි කියමිනි.

“ඒ වෙලාවේ මම වැඩේ භාරගත්තා. මම වැඩේට ඉල්ලුවේ ඩිපෙන්ඩර් දෙකකුයි, බෙන්ස් කාර් එකකුයි, එම්.එස්.ඩී. එකෙන් වගේ ඇඳගත්තු පොලිසියේ කොල්ලලො දෙතුන් දෙනෙකුයි විතරයි.“ ඒ අතීතය ප්‍රේමලාල් රණගල මතකයට නැඟුවේ එසේය.

වැඩේට සූදානමින් එදා ප්‍රේමලාල් රණගල බෙන්ස් රථයේ නැඟී ඉදිකරමින් පැවති ගොඩනැගිල්ල අසලට එන්නේ ඩිෆෙන්ඩර් දෙක පෙරටුකරගෙනය. ගොඩනැඟිල්ල පාමුල ඩිෆෙන්ඩර් දෙක සහ මෝටර් රථය නතර කිරීමෙන් අනතුරුව ප්‍රේමලාල් රණගල එයින් බිමට බසින්නේ ජනාධිපති ලේකම් වෙස් ගෙනය. ඔහු වටා ඇමති ආරක්ෂකයන් ලෙස ඇඳුම් හැඳි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද සිටියේය.

“ ජපන් කම්පැනියේ අය ගාව තිබ්බ වෝකිටෝකි දෙකක් මම ඒ වෙලාවේ අතට ගත්ත. එයින් එකක් මා ගාව තියාගෙන අනිත් එක ඉල්ලීම් ඉල්ලමින් උඩ ඉන්න අයට දෙන්න කියල යැව්වා. එම වෝකිටෝව එම පුද්ගලයාගේ අතට ලැබුණට පස්සේ මම ඔහුට කතා කළා. ජනාධිපති ලේකම් ඇවිල්ල ඉන්නවා පහලට එන්න කියලා. මිනිහා එකපාරටම ඒ කතාව පිළිගත්තේ නැහැ. ඒ බව මට දැනුණ නිසා මම කිව්වා මම පල්ලෙහා ඉන්නවා, උඩ ඉඳන් බලන්න කියල. මිනිහා උඩ ඉදන් බැලුවා. බෙන්ස් කාර් එකයි, ඩිෆෙන්ඩරයයි ගාඩ් එකයි දැක්කම මිනිහා රැවටුණා. ජනාධිපති ලේකම් එක්ක ඉල්ලීම් ගැන සාකච්ඡා කරන්න ආපු ඒ සේවකයාව මම බිමදී බෙල්ලෙන් අල්ලලා ජීප් එකට දාගෙන කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දුන්නා “ යැයි ප්‍රේමලාල් රණගල සඳහන් කළේය.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් සේවයෙන් මේ වන විට විශ්‍රාම ගෙන සිටින ප්‍රේමලාල් රණගල රහස් ගබඩාවකි. රස ගුලාවකි. ඇතැම් ගැටලු උඩුදුවන්නට ඉඩ නොදී ගොඩින් විසඳීමට රටේ බලවතුන් පවා එකල භාර දුන්නේ ප්‍රේමලාල් රණගලටය. ඊට හොඳම උදාහරණය මර්වින් සිල්වා අමාත්‍යවරයා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ ග්‍රහණයේ සිටි අවස්ථාවය.

“එදා මට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කතා කරල කිව්වා රණේ, මර්වින්ව රූපවාහිනිය ඇතුළේ මරන්න හදනවා, පුළුවන් නම් පණපිටින් මිනිහව එළියට අරගෙන දෙන්න කියල. රූපවාහිනිය වටේ ලොකු ගාඩ් එකකුත් දාලයි තිබුණේ. ඒ වෙලාවේ රූපවාහිනිය ඇතුළට යනවා කියන්නේ ඉතින් යුද බිමකට යනවා වගේ වැඩක්. හැබැයි රූපවාහිනියේ අය වැඩිදෙනෙක් මාව හඳුනනවා. ඒ නිසා මම බය නැතුව ඇතුළට ගියා. “ ප්‍රේමලාල් රණගල ඒ අවස්ථාව සිහිපත් කරනු ලබන්නේ එසේය.

එදා ඔහු රූපවාහිනීය සංස්ථා පරිශ්‍රය ඇතුළට ගොස් සේවකයන්ගේ ග්‍රහණයට ලක්ව සිටි මර්වින් සිල්වා අමාත්‍යවරයාව පිටතට ඇදගෙන එන්නේ සැකකරුවෙක් අල්ලාගෙන පිටතට රැගෙන එන ආකාරයටය. ප්‍රේමලාල් රණගල මහතා එසේ ඔහුව පිටතට ඇදගෙන එන විට රූපවාහිනී සේවකයින්ගෙන් මර්වින් සිල්වා අමාත්‍යවරයාට විවිධ තාඩන පීඩන එල්ලවූවත් ඔහුගේ දිවි රැකෙන්නේ ප්‍රේමලාල් රණගල මහතා එදා ඔහුව එසේ පිටතට රැගෙන ආ බැවිනි. එකල ප්‍රේමලාල් රණගල සේවයේ නිරතව සිටියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසිනි.

කොළඹ ප්‍රධාන පෙළේ බාලක පාසලක ඉගැන්වීම්වල නිරත ගුරුවරියක් ජල ටැංකියකට නැඟී තනතුරක් සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල්කරගෙන විරෝධතාවක නිරත වී තිබුණේ ද ඔය කාලයේදීමය.

“ ඔය කියන ගුරුවරිය නියෝජ්‍ය හෝ සහකාර විදුහල්පති තනතුරක් හරි අංශ ප්‍රධානී තනතුරක් හරි ඉල්ලමිනුයි වතුර ටැංකියට නැඟල හිටියේ. මෙයා තර්ජනය කරනවා තනතුර නොලැබුණොත් පැනල මැරෙනවා කියල. මම කල්පනා කළා ගුරුවරියගේ ජීවිතයත් බේරාගෙන පාසලට ඇතිවන අවනම්බුවත් නැති කරල ගොඩින් මේ වැඩේ ඉවර කරන්න. මම අපේ නිලධාරියෙක්ව ඉක්මනින්ම අධ්‍යාපන අමාත්‍යාංශයට යවල අමාත්‍යාංශයේ ලෙටර් හෙඩ් එකකුයි ලේකම්තුමාගේ සීල් එකකුයි ගෙන්න ගත්තා. පස්සේ මම ඒ ගුරුවරිය සිටි වතුර වැංකිය ළඟට ගිහින් ඇහුවා ඔබතුමියගේ ගැටලුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක කතා කරල විසඳල දෙන්නම් කියල. ඒ වෙලාවේ එතුමිය කිව්වා එයාට තනතුර ලැබෙනකම් බහින්නේ නැහැ කියල. එහෙම නැතිවුණොත් වතුර ටැංකියෙන් පැනල මැරෙනවා කියලත් ඇය තර්ජනය කළා. මම ඒ වෙලාවේ ඇය ඉල්ලපු තනතුර ඇයට ලබා දුන්නා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් ලියන ආකාරයට පත්වීම් ලිපියක් සකස් කරල සීල් එකත් ගහල ලේකම්ගේ අත්සනත් මම ගැහුවා. වතුර වැංකිය උඩ හිටපු ගුරුවරිගේ අතට මේ ලියුම දුන්නා විතරයි එයා ටග් ගාල වතුර ටැංකියෙන් බැස්සා. ඒ ලියුම බලල එයා සතුටින් වතුර වැංකියෙන් බිමට බැස්සා. අපේ නිලධාරීන් එයාව ඒ වෙලාවේ ජිප් එකේ දාගෙන කුරුඳුවත්ත පොලිසියට ගිහිනුයි නැවතුණේ“ ප්‍රේමලාල් රණගල තවත් රසබර කතාවක් එළියට දැම්මේ එසේය.

මේ හැම කතාවකටම වඩා රසබර වන්නේ ගව ඝාතනයට එරෙහිව 2013 වසරේ මැයි 23 වෙනිදා දළදා මාළිගාව ඉදිරිපිට ගිනි තබාගෙන දින කිහිපයකට පසු අපවත් වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට උන්වහන්සේ වැඩ සිටි කහවත්ත සුගතාරාමයට රැගෙන ගිය අයුරුය.

මෙම භික්ෂුවගේ අපවත්වීම මුල්කරගෙන රට තුළ ලොකු කෝලහලයක් ඇති කිරීමේ සැලසුමක් ද ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ගවමස් කඩවලට පහරදී ලොකු විනාශයක් ඇති කිරීම සඳහා පෙරමුණ ගැනීමට සූදානමින් සිටියේ රැඩිකල් භික්ෂුන් වහන්සේ කිහිප නමකි. ඒ අය සූදානම් වූයේ අපවත්වූ ඉන්දසාර හිමියන්ගේ දේහය ඔවුන් භාරයේ තබාගෙන කොළඹ ගිනි තියන්නටය. මේ ගැන කල්තියාම බුද්ධි අංශ විසින් බලධාරීන් දැනුම්වත් කර තිබුණු බැවින් මෙම රැඩිකල් භික්ෂූන්ගේ ඇස් වසා දේහය කහවත්තට රැගෙන යාමේ වගකීම එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂයන් විසින් පවරනු ලබන්නේ ප්‍රේමලාල් රණගලටය.

“මම වැඩේ භාරගත්තා. බැහැ කියන්න බැහැනේ. මම ඉල්ලුවා කොළඹ ජයරත්න එක ගාව ඉදන් රත්නපුරේට වෙනකම් මට පාර ක්ලියර් කරල ඕනේ කියල. ඒ වැඩේ බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස එවකට සිටි අනුර සේනානායක මහත්මයා භාර ගත්තා. ඉස්පිරිතාලේ ඉඳන් හාමුදුරුවන්ගේ බොඩිය ජයරත්න එකට ගෙනාවේ ඊට පස්සෙයි. ආණ්ඩුව ඒ වෙනකොට තීරණය කරල තිබ්බා මල් ශාලාවේ වියදම් ටික දරන්න. මම ජයරත්න එකට ගියේ හාමුදුරුවන්ගේ බොඩියත් අරගෙන. ඒ යනකොටත් හාමුරුවරු පිරිසක්ම ජයරත්න එක ඉස්සරහා ඉන්නවා. ඒ අයත් එක්ක මම ජයරත්න එකේ මැනේජර්ට කතා කරල කිව්වා කීයක් ගියත් කමක් නැහැ. අපේ හාමුරුවන්ගේ බොඩ් එක ලස්සනට ඕනේ කියල. හොඳම පෙට්ටියක දාල වැඩේට ඔක්කොම ගාණ ලක්ෂ හයහාමාරක් කියල කිව්වා. මම ගත්කටටම කිව්වා හරි වැඩේ කරන්න ලක්ෂ හයහාමාරම මම දෙනවා කියල. ඔය වෙලාවේ එතැන හිටපු හාමුදුරුවෝ ටික මගේ මූණ දිහා බලාගෙන ඉඳල ඔය මහත්තයා වගේ හොඳ බෞද්ධයෝ පොලිසියේ දැන් හොයා ගන්න නැහැ කියල කිව්වා. “ප්‍රේමලාල් රණගල ඒ කතාවට ආරම්භයක් දුන්නේ එසේය.

එදා ප්‍රේමලාල් රණගල රැඩිකල් හිමිවරු සිය දපනේ දාගැනීමෙන් අනතුරුව ඔහු හීන් සීරුවේ රිංගන්නේ මල් ශාලවේ එම්බාම් සිදුකරන ස්ථානයටය. ඒ ගොස් ඔහු විපරම් කර බලන්නේ ඉන්දසාර හිමියන්ගේ සිරුරට අමතරව එහි ඇති මළ සිරුරක් නිරීක්ෂණය කළේය. අනතුරුව ඔහු මල්ශාලවේ කළමනාකරු මුණ ගැසුණේය.

“මම මැනේජර් හම්බ වෙලා කිව්වා එම්බාම් කරන්න ගෙනත් තිබ්බ අනිත් බොඩියේ හිසකෙස් ටික කපල භූ ගාන්න කියල. ඒකට මැනේජර්ව කැමති කර ගත්තේ බොහෝම අමාරුවෙන් තත්ත්වය පැහැදිලි කරල දීලා. ඉස්සෙල්ලා හාමුරුවන්ගේ බොඩි එක ඉක්මනින්ම ඉවර කළා. ජයරත්න එක පිටිපස්සේ වත්ත පැත්තෙන් බොඩි එක වාහනේක දාල ඉක්මනින්ම කහවත්තට යැව්වා. ඉස්සරහා හිටපු හාමුරුවරුන්ගේ ඇස් වහල. ඒ වෙනකොට හැම හාමුදුරුවෝ කෙනෙක්ම මගේ එක්ක කතා කරමිනුයි හිටියේ. මමත් ඉතින් කිව්වා හාමුදුරුවනේ ඔබ වහන්සේලා එක්ක මම එකඟයි. කරන ඕනේ දේකට මම ඔබ වහන්සේලා එක්ක ඉන්නවා කියල. “ ප්‍රේමලාල් රණගල එදා රැඩිිකල් හිමිවරු රැසකගේ දෑස් වසා ඉන්දසාර හිමියන්ගේ සිරුර ජයරත්න මල්ශාලාවෙන් හොර රහසේ පැන්නුවේ එසේය.

තවත් මළ සිරුරක හිස බූ ගා තබන්නේ ඉන්දසාර හිමියන්ගේ දේහය තවමත් මල් ශාලාවේ ඇති බව ඒත්තු ගන්වන්නටය. ඒ ඉඳහිට හිමිවරු ඇතුළට යමින් එමින් සිිරුර නිරීක්ෂණය කරන්නට වූ බැවිනි.

ඒ වන විට භික්ෂූන් වහන්සේ කිහිප නමක් පෙට්‍ර්ල් කෑන් සූදානම් කරගෙන සිටියේ ගිනි තබාගෙන රට අවුළුවන්නටය. ඒ ගැනත් බුද්ධි අංශ බලධාරීන් දැනුුම්වත් කර තිබුණු බැවින් භික්ෂු වෙස්ගත් හමුදා සාමාජිකයන් කිහිප දෙනකුම ජයරත්න මල් ශාලාව අසල රඳවා සිට ඇත.

“ පොල්හේන්ගොඩ කඳවුරේ කොල්ලෝ හය දෙනෙකු තට්ටේ ගාල සිවුරු අන්දලයි එවල තිබ්බේ. ඒ අය හාමුරුවරු කිහිප නමක් ගාව තිබ්බ පෙට්‍ර්ල් කෑන් එකතු කරගෙන තිබුණා. ඔබ වහන්සේ ගිනි තියා ගන්න එපා අපි ගිනි තියා ගන්නම් කියල. මඟදී ඒ වැඩේ මාට්ටු වුණා. සිවුරේ පොටේ වම දකුණ මාරු කරල ඒ අය ඇදගෙන හිටපු නිසා. ඒ වෙලාවේ මම මෙලෝ දෙයක් දන්නේ නැති ගාණට හිටියා. මම ජයරත්න එකේ මැනේජර්ට කියල තිබුණා හාමුදුරුවන්ගේ බොඩි එක එළියට ගිහින් පැය බාගයකට පස්සේ වැඩේ හරි කියල කියන්න කියල. මම දන්නවා පැය බාගයක් කියන්නේ යන්න ලොකු දුරක් අරන් ගිහින් කියල. ඒ වගේම මැනේජර් ඇවිල්ල කිව්වා සර් වැඩේ හරි කියල. ඒ වෙලාවේ මගෙත් එක්ක හිටපු හාමුරුවරු ඇහුවා එහෙම නම් බොඩි එක අපිට ගන්න පුළුවන් නේද කියල. මැනේජර් ගත් කටටම කිව්වා බොඩි එක ගෙනිහින් දැන් පැය භාගයකට වැඩියි කියල. ඒත් එක්කම හාමුරුවරු පර බල්ලා කියාගෙන මට ගහන්න පැන්නුවේ සිවුරු කරේ තියාගෙන. හාමුරුවරුන්ගෙන් ගුටි කකා මමත් දුවල ගිහින් නැවතුණේ කොල්ලුපිටිය පොලිසියේ.

එදා දුරදිග බලා ප්‍රේමලාල් රණගල කටයුතු නොකළේ නම් ඉන්දසාර හිමියන්ගේ සිරුර කරමත තබාගෙන රැඩිකල් භික්ෂූන් වහන්සේ පිරිසක් රටම ගිනි ජාලාවක් බවට පත් කරනු ඇත. ප්‍රේමලාල් රණගල ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඕනෑම වැඩකට කියාපු බඩුවය. කොළඹ පැවති උද්ඝෝෂණ මැඬලීමේ කාර්යයේදී ඔහු සිටියේ ඉදිරියෙනි. ඇතැම් ශිෂ්‍ය උද්ඝෝෂණ පවා ඔහු කඳුළු ගෑස් උණ්ඩයක්වත් පත්තු නොකර විසුරුවා හැරි අවස්ථා බොහෝය. ඒ ඔහුගේ මුකරිකම හා කපටිකම නිසාය. අදටත් ශ්‍රී ලංකා පොලිසියේ නොමැකෙන නාමයක් බවට ප්‍රේමලාල් රණගල පත්ව ඇත්තේ එබැවිනි. ඔහු තරම් මේ වැඩට උපන් හපනෙක් අදටත් ශ්‍රී ලංකා පොලිසියේ නැති තරම්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division