Home » විජය ඝාතනයට කලින් ලයනල් එක්ක හමුදා කඳවුරට ගහන්න ගිය ජවිපෙ ප්‍රබලයා

විජය ඝාතනයට කලින් ලයනල් එක්ක හමුදා කඳවුරට ගහන්න ගිය ජවිපෙ ප්‍රබලයා

by gayan
February 24, 2024 12:30 am 0 comment

ඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා තැබීමට ලයනල් ඇතුළු පිරිස හොරණ අධිකරණයට ගෙනැවිත් තිබුණ ද එදින ඔවුන් ඉදිරිපත් නොකර ආපසු ගෙන යන ලද්දේය. ආපසු එන අතරේ බන්ධනාගාර වෑන් රථය, හොරණ – පානදුර පාරේ බොල්ගොඩ පාලම අසලදී නතර කරන ලද පිරිසක් බන්ධනාගාර නියාමකයන් දෙදෙනාට පිස්තෝලයක් පෙන්වා බය කර, ලයනල් ඇතුළු කල්ලිය මුදාගෙන පැන ගියහ. ඒ 1987 වර්ෂයේ ජුනි දෙවැනිදාය. මුදාගැනීමෙන් පසුව පක්ෂය, ලයනල්ව මහරගම ප්‍රදේශයේ ගරාජයක නතර කර මාසයක් පමණ එහි වැඩ කටයුතු කරන ආකාරයෙන් රඳවා තැබුවේය. මහරගම රැඳී සිටින කාලයේ, පක්ෂයේ සාකච්ඡා ආදිය සඳහා ද ලයනල් සහභාගි විය.

මේ දිනවල ලයනල් සිය පූර්ණ කැප කිරීම කරන ලද්දේ පක්ෂය වෙනුවෙනි. ඔහු නවාතැන් ගනු ලැබුවේ ද පක්ෂය විසින් ලබා දෙන ලද නිවාස සහ කාමරවලය.

පානදුර ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරකට පහර දීම සඳහා ලයනල් ඇතුළු පිරිසකට කැඳවීමක් ලැබෙන්නේ මේ කාලයේදීය. එහිදී කඳවුරේ සැලසුම පෙන්වා දෙමින්, පහරදීමේ සැලසුම විස්තර කරනු ලැබුවේ ජවිපෙ ප්‍රබල නායකයකු වූ ශාන්ත බණ්ඩාර විසිනි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ ශාන්ත බණ්ඩාර, ශිෂ්‍යභාවය අහෝසි වීමෙන් පසුව ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු දක්වාම, මේ කාලය වන විට ඉදිරියට පැමිණි සිටියේය. තමන්ට සැලසුම විස්තර කරන්නේ ශාන්ත බණ්ඩාර බව ලයනල්ට පවසන්නේ හේරත් හෙවත් ටාසන් වීරසිංහය. හමුදා කඳවුරට ඇතුළු වී එහි නිලධාරීන් අත්අඩංගුවට ගෙන අවි ආයුධ පිටට ගෙන එන ආකාරය පිළිබඳව පිරිසට උපදෙස් ලබා දුන් ශාන්ත බණ්ඩාර, අමතර වශයෙන් රටේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව ද දීර්ඝ වේලාවක් පිරිස දැනුම්වත් කළේය. සියලු උපදෙස් ලබා දී තම මෝටර් සයිකලයේ නැඟී, ශාන්ත පිටව ගියේය. කණ්ඩායම් තුනක් වශයෙන් වාද්දුවේ හමුදා කඳවුරට පහර දීමට ගිය පිරිසෙන් එක් කණ්ඩායමක් පොලිසියට හසුවීම නිසා එම ප්‍රයත්නය ඇණ හිටියේය.

මෙම කාලයේ ලයනල්ගේ නවාතැන වූයේ දෙල්කඳ හන්දියේ සිට උඩහමුල්ල පාරේ මීටර් සියයක් පමණ දුරින් පිහිටා තිබූ නිවෙසක්ය. අසාර්ථක ප්‍රයත්නයෙන් පසුව ලයනල්, තමන් නැවති සිටි දෙල්කඳ හන්දියේ කාමරයට පැමිණියේය. ඔහුගේ ‘ඉමිඩියට් බොස්’ වූයේ ලොකු සරත්ය. සරත්, පසුදා උදේ දහයට පමණ ලයනල් සොයා කාමරයට පැමිණියේය. පෙරදා සිද්ධිය ලයනල් වෙතින් ඔහු අසා දැන ගත්තේය. රාත්‍රියේදී ලයනල්ගේ කාමරයට නැවත පැමිණි ලොකු සරත්, පිරිසක් පොලිසියට හසුවී ඇති බැවින් වහාම කාමරයෙන් පිටව යන ලෙස පවසා සිටියේය. තමන්ගේ අඩුමකුඩුම බෑගයක දමා ගත් ලයනල්, සරත් සමග මෝටර් සයිකලයෙන්ම පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ පිහිටා තිබූ පක්ෂයට අයත් නිවෙසට පැමිණියහ.

එදින අත්අඩංගුවට පත්ව සිටියේ, ජගත්, කළුතර සුසිල් හෙවත් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසකි.

පිරිස පිළියන්දල නිවසේ සිටියදී කොළඹ ප්‍රදේශය භාරවී සිටි ලොකු සරත් තවත් අයෙකු සමඟ පැමිණ, තමන් කොළඹ ප්‍රදේශයෙන් මාරු වී යන බවත්, ඔහු සමඟ පැමිණි ජයන්ත, කොළඹ දිස්ත්‍රික්කය භාරගනු ඇති බවත් ප්‍රකාශ කළේය. ජයන්ත, වයස අවුරුදු විසි අටක් පමණ වන, අඩි පහමාරක් පමණ උස, දිගටි මුහුණක් සහිත කෙට්ටු පුද්ගලයෙකි, ඔහු කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබුණි. කතා කරන විට කොණ්ඩය නළලට වැටේ. දිග කලිසම් සහ කමිසය අඳින ඔහු සපත්තු පලදියි. හාමුදුරුවරු රැගෙන යන පන්නයේ කුඩයක් සෑම විටම රැගෙන යෑම ජයන්තගේ සිරිතය.

ජයන්ත නමින් සිය සාක්ෂියේදී ලයනල් විස්තර කරන්නේ, ලලිත් විජේරත්න පිළිබඳවය. අරවින්ද, කපිල සහ ජයන්ත යන අනෙකුත් නම්වලින් හඳුන්වන ලද ඔහු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ ඉගෙනුම ලැබීය. ධවල පත්‍රිකාවට එරෙහි සටන ඇතුළු, ඒ වකවානුවේ පැවැති සෑම සිසු අරගලයකම ක්‍රියාකාරී මැදිහත්වීමක් ඔහු සිදු කළේය. ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් සොයා බැලීම සඳහා පත් කරන ලද උදලාගම කොමිසම, ලලිත් විජේරත්නගේ ද ශිෂ්‍යභාවය අහෝසි කළේය. පසුව ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් පූර්ණකාලීනවම කැපවී කටයුතු කරන ලද ලලිත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් තනතුර ද දැරීය.

දිනක් පක්ෂයේ පිරිස පිළියන්දල සෙන්ට්මිචෙල් හෝටලයේදී මුණ ගැසුණි. කොකා කෝලා බෝතල් හතරක් බොමින්, සෙන්මිචෙල් හෝටලයේ තණ බිස්ස මත පිරිස කතා කරමින් හුන්හ. ලයනල්ට සහ හේරත්ට වැඩක් පවරන්න තිබෙන බව පැවැසූ ජයන්ත “විජය කුමාරතුංග අයින් කරන්න ඕනේ…” යැයි කියා සිටියේය. “විජය කුමාරතුංග ඉන්දියන් සාම ගිවිසුමට පක්ෂව වැඩ කරනවා. පළාත් සභාවලට පක්ෂයි. මේ ගැන රට හැම තැනම රැස්වීම් තිය තියා ඔහු කරුණු කියනවා. එයාගේ ජනප්‍රියභාවය නිසා තරුණ පිරිස් ඔහුගේ රැස්වීම්වලට යනවා. ඒක දැකලා බංකොළොත් වෙච්ච පරණ වමේ පක්ෂ ඔහු සමඟ එකතු වෙලා පෙරමුණක් සාදා තිබෙනවා. ජවිපෙ, ඉන්දියන් සාම ගිවිසුමටයි, පළාත් සභාවලටයි විරුද්ධයි. අපි පළාත් සභා පනතට එරෙහිව ආයුධ අරගෙන සටන් කරනවා. විජය කුමාරතුංගගේ පෙරමුණ, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් සමඟ එකතුවී ආයුධ පුහුණුව ලබා ගන්නවා. විජයගේ පෙරමුණේ ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන් අපට විරුද්ධව පාව්ච්චි කරනවා. මේ ගැන විජයට ලිපි මඟින් දන්වලා තියෙනවා. ඒවා අහන්නේ නැතුව එයා වැඩ කරනචා. එයාට අවසන් නියෝගය පවා නිකුත් කරලයි තියෙන්නේ… ඒ නිසා එයාව අයින් කරන්න ඕනේ…” ජයන්තගේ පැහැදිලි කිරීමෙන් පසු කතා කරන ලද්දේ අශෝකය.

හෙට සවස හතරට කිරුළපනේ පුස්තකාලය අසල ඇති බස්නැවතුම්පළට පැමිණෙන ලෙස ටාසන්ට සහ ලයනල්ට දැනුම් දුන්නේ අශෝකා විසින්ය.

කතිකා කරගත් පරිදි ලයනල් සහ ටාසන්, කිරුළපන ප්‍රදේශයට පැමිණියහ. අශෝකා සහ තවත් පුද්ගලයකු ඔවුන් දෙදෙනාට මුණගැසුණේ එතැනදීය. විජය කුමාරතුංග පිළිබඳ විස්තර අදාළ පුද්ගලයා දන්නා බවත් විජයගේ නිවෙස ඇතුළු අදාළ විස්තර පිළිබඳව ලයනල් සහ ටාසන් දැනුම්වත් කිරීම සඳහා ඔහු පැමිණි බවත් කියූ, අශෝකා, ඔවුන් තිදෙනාට ඉදිරි වැඩ භාර කර යන්නට ගියේය.

කිරුළපන – නාරාහේන්පිට පාර දිගේ, කිරුළපන පොලිසිය පසු කර, පාර අයිනේ පිහිටා තිබූ හමුදා කඳවුර ද පසු කර යමින්, විජයගේ නිවෙස, ලයනල්ට සහ ටාසන්ට අදාළ පුද්ගලයා පෙන්වනු ලැබීය. විජයගේ නිවෙසේ ගේට්ටුව පිහිටා තිබුණේ මහ පාර දෙසට නොව හමුදා කඳවුර පැත්තට වන්නටය. ගේට්ටුව විශාල සහ තල්ලු කරන පන්නයේ එකක් බව ලයනල් නිරීක්ෂණය කළේය. නිවෙස පසුකරගෙන ගිය තිදෙනා, පාරේ අනෙක් පසට මාරුවී, අසල තිබූ කඩයකින් තේ බිවුවෝය. තේ පානයෙන් පසුව කඩය ඉදිරිපිට තිබූ ඇළ අසලින් යන ගුරු පාර දිගේ ඔවුන් ගමන් කළේ, විජයගේ මවගේ නිවෙසට යන පාර, ලයනල්ට සහ ටාසන්ට පෙන්වා දීම සඳහාය. දිනපතා සවස හය, හයයි තිහ වන විට විජය සිය මව බැලීම සඳහා එම පාරෙන් වාහනයෙන් යන බව ලයනල්ලාට පැහැදිලි කර දුන් අලුත් පුද්ගලයා, සැලසුම සඳහා එම අවස්ථාව වැදගත් බවට නොකියා අවධාරණය කළේය.

හොරණ පොදු වෙළ‍ඳපොල අසල රැස්වීමකදී ලයනල් විසින් විජය එක් වරක් දැක තිබුණි. විජයගේ වැයික්කිය වටේ කරක් ගැසුවත් එදා නම් ලයනල්ට විජය දැක ගන්නට නොලැබිණි.

සන්ධ්‍යාවන් කිහිපයක් ඉලක්කය සොයා ගත කළත්, දෙදෙනාට විජය දකින්නට නොලැබුණු හෙයින් උදය කාලයේදී එම ස්ථානයට යන ලෙස අශෝකා උපදෙස් දුන්නේය. දිනක් දෙදෙනා එහි සිටින විට කිරුළපන පැත්තේ සිට නිල් පැහැති කාරයක් පදවා ගෙන පැමිණි විජය, එය පාර අයිනේ නවතා ගෙදරට යනවා ලයනල් දුටුවේය. කලිසමක් ඇඳ, කමිසයක් උඩින් දමාගෙන විජය සිටිනවා ලයනල් දුටුවේය. “ගේ ඉස්සරහපිටදී හරි වැඩේ කරන්න ඕනේ…” කියා අශෝකා විසින් ලයනල්ට පවසන්නේ විජය දුටු අවස්ථාව පිළිබඳව ලයනල් විස්තර කරන විටය. නිවෙස අසල හමුදා කඳවුරක් තිබෙන නිසා ඒ සඳහා අවදානමක් ඇති බව ලයනල් සඳහන් කළ විට අශෝකාගේ පිළිතුර වූයේ “කෑම්ප් එකේ අය එන්න ඉස්සෙල්ලා වැඩේ කරන්න…” කියාය.

දින කිහිපයකට පසු පැමිණි අශෝකා “විජයගේ ගේ ඉස්සරහා කඩයක් තියෙනවා. ඒක අරන් දෙන්නම් වැඩේ කරන්න…” කියා ලයනල් දැනුම්වත් කළේය. කඩය දැනටමත් තමන් විසින් බලා තිබෙන බවත්, එය කුලියට රැගෙන දුන් පසු කඩය හදන ආකාරයට එහි තුවක්කුව තබාගෙන සිට වැඩේ කරන ලෙස අශෝකා උපදෙස් දුන්නේ වැඩේ තවත් පහසු කළා යන හැඟීම ද සහිතවය.

මේ කතාබහෙන් පසු දින හෙවත් පෙබරවාරි 15 වැනිදා පාලගේ ගරාජයට ලයනල් සහ ටාසන් පැමිණියේ උදෑසන අටයි තිහට පමණය. ඒ යන විට අශෝක, පාල, ශ්‍රීකාන්ත සහ ගරාජයේ වැඩ කරන කිහිප දෙනකු එහි රැඳී සිටියහ. කතාබහ නිමවූ පසු, ලයනල් සහ ටාසන් සමඟ පුස්තකාලය පිටුපස වත්තක ඇති නිවෙසකට දෙදෙනා රැගෙන ගිය පාල “වැඩේ කරලා ඉවර වෙලා, තුවක්කුව මෙහෙ තියන්න” කියා සඳහන් කරමින් එම ගෙදර සිටි තරුණයකුට ද දෙදෙනා හඳුන්වා දුන්නේය. “මේ දෙන්නා බෑග් එකක් ගෙනත් දෙයි අරන් තියන්න…” යනුවෙන් පවසා, තරුණයාට ද කාරණය වටහා දුන් පාල, සැලසුමේ ඊළඟ කොටස සඳහා ඉඩ හදා දුන්නේය. ඊට ඉදිරියෙන් පිහිටි නිවෙසට ලයනල්ලා සමඟ ගිය පාල, වැඩෙන් පස්සේ මෝටර් සයිකලය තැබිය යුතු ස්ථානය ලෙස එය පෙන්වා දුන්නේය. ඒ වන විටත් නිවෙසේ, සිමෙන්ති පේමන්ට් එක මත රතු පැහැති හොණ්ඩා මෝටර් සයිකලයක් නවතා තිබෙනු ලයනල් දුටුවේය.

පහළොස් වැනිදා සවස ලයනල් සහ අසෝකා, විජයගේ නිවෙස ඉදිරිපිට තිබෙන කඩය කුලියට ගැනීම සඳහා කඩය අසලම ඇති හිමිකරුගේ නිවෙසට ගියහ. ඔහුට මුදල් ලබා දී කඩය කුලියට ලබා ගත්තේය. එදා රාත්‍රියේ දොම්පේ නිවෙස කරා ලයනල් ගියේ වැඩේ ඉක්මන් කර ගැනීම පිළිබඳව කතාබහටය. අශෝකා ද නිවෙසට පැමිණියේය. “පාලගේ ගරාජයේ තුවක්කුව තියෙනවා… පාල, තම්බිගේ ගෙදරට ඒක ගෙනත් දෙයි” යැයි කියා සිටියේය. කඩය සාදන ආකාරයට තමන් හැසිරෙන නිසා කියතක් සහ මිටියක් ද ලී ගැනීම සඳහා මුදල් ද අවශ්‍ය බවද ලයනල් පැවසූ විට. කියත සහ මිටිය ටෙරන්ස් බාසුන්නැහැගෙන් ඉල්ලා ගන්නා ලෙස පවසා ලී ගැනීම සඳහා රුපියල් තුන්සියයක් ලයනල්ට දීමට ද අශෝකා අමතක කළේ නැත.

දහසය වැනිදා උදෑසනට එළි විය. උදෙන්ම ටෙරන්ස් බාසුන්නැහැගේ නිවෙසට ගිය ලයනල් කියතක් සහ මිටියක් ඔහුගෙන් ඉල්ලා ගත්තේය. මේ කිසිවක් නොදත් ටෙරන්ස් ඔහුට ඒ ආම්පන්න ලබා දුන්නේ ඒවා යොදාගනු ඇත්තේ අදාළ වැඩකට බව සිතමිනි. පසුව දයාසන් ටේලර් සාප්පුව අසලදී ටාසන් මුණගැසුණු ලයනල් පිළියන්දලින් කොළඹ බලා යන බසයකට නැඟ, පාමංකඩ හන්දියෙන් බැස ගත්හ. ලයනල් කිරුළපන පුස්තාකාලය අසලට වී සිටි අතර ටාසන් විසින් බයිසිකලය රැගෙන පැමිණි පසු, කුලියට ගත් කඩ කාමරයේ හිමිකරුගේ නිවෙස වෙත දෙදෙනා පැමිණියහ.

වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස් තුවක්කුව රැගෙන එන තෙක්, බයිසිකලයෙන් රවුමක් ගසා පැමිණෙන ලෙසය. ඒ අනුව අතුරු පාර අසලින් බැස ගත් ලයනල්, තනිවම පාලගේ ගරාජයට පැමිණියේය. පාල, ශ්‍රී කාන්ත සහ තවත් අයකු ගරාජයේ සිටි අතර ලයනල් විසින් පාලට පවසන ලද්දේ, ගරාජයේ තිබෙන තුවක්කුව සහ ග්‍රෙනේඩය දමන ලද කළු බෑගය, කිට්ටුව තැනකින් තබා ගැනීමට අවශ්‍ය බවය.

ලයනල් සහ පාල දෙදෙනා බෑගය රැගෙන තම්බිගේ නිවෙසට යනවිට එහි සිටියේ ඔහුගේ මවය. “මෙයා ආවොත් මේ බෑග් එක දෙන්න” කියමින් තම්බිගේ මවට ලයනල් හඳුන්වා දුන් පාල, එම වැඩය ද අහවර කළේය. එකම ඉලක්කය සඳහා වෙහෙසෙන දෙදෙනා වෙනත් පාරවල් දෙකකින් පිටත්ව ගියහ. පාල යළිත් ගරාජය දෙසට යන අතරේ ලයනල්, විජයගේ නිවෙස ඉදිරිපිට කුලියට ගත් ස්ථානයේ හිමිකරුගේ නිවෙස අසලට ගියේය. ඒ වන විටත් ටාසන් බයිසිකලයෙන් පැමිණ එහි රැඳී සිටියේය. මේ වන විට වේලාව දහවල් 11.30 පමණ වන්නට ඇත.

කඩයේ හිමිකරු එන තෙක් පැය භාගයක් පමණ දෙදෙනා එම ස්ථානයේ රැඳී සිටින විට, ඔවුන්ගේ බලාපොරොත්තුව එතැනට පැමිණියේය. ලබා තිබූ ජනප්‍රියතාව හමුවේ රටේ කාටත්, විජය දැකීම සිය ජිවිතයේ අමතක නොවන සිදුවීමක් විය. ඔහු බැලීම සඳහා පමණක් දින ගණන් කාලය වැය කර රසිකයන් ඔහු පැමිණෙනවා කියන ස්ථානවලට රැස්වීම සුලබ සිද්ධියක් විය. මෙදින විජයගේ පැමිණීම අපේක්ෂාවෙන් දින, සති මාස ගණන් වෙහෙසී බලා සිටි ලයනල්ට, පාරේ එහා පැත්තට වන්නට, කාරයක් තමාම එලවාගෙන විජය පැමිණෙනවා දකින්නට ලැබුණි. වෙනදාට විජය දැකීම ඔහුගේ රසිකයන්ට ජීවිතයේ අමතක නොවන දිනයක් වූවත් ලයනල් සහ ටාසන්ට විජය දකින්නට ලැබීම රටටම අමතක නොවන දිනයක් බවට පත්වන්නට තිබුණේ තව විනාඩි කිහිපයක් පමණය. ඉර මුදුන් වෙන යාමය, පරිස්සම් විය යුතු මොහොතක් බව ගැමි විශ්වාසයකි. එවැනි වේලාවක තුවාලයක් සිදුවුවත් ලේ නවත්වන්නට අමාරු බව ගැමියෝ කියති. මේ උදාවී ඇත්තේ එවන් වෙලාවකි. ලයනල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන කට උත්තරයේ දී එම අවස්ථාව විස්තර කර තිබුණේ මෙසේය.

තමා පැමිණි රථය ගේ ඉදිරිපිට ඇති ගස අසල නවතන ලද විජය, ඉන් බැස නිවෙසට ගියේය. නිවෙසට ඇතුළු වන ගේට්ටුව ඉදිරියේ, සුදු ඩට්සන් ඩබල් කැබ් රථයක් නතර කර තිබුණි.

“විජය කුමාරතුංග ආවා…”

ටාසන් විසින් ලයනල්ට පවසන විටත්, ලයනල් ඒ සියල්ල බලා සිටියේය.

“විජේ දැන් ගෙදරින් ආයෙත් එළියට එනවා… එතකොට කරමුද…”

ලයනල්ගෙන් ටාසන් විමසා සිටියේය.

තුවක්කුව සහිත බෑගය ගෙන ඒම සහ එය දිගු වේලාවක් බයිසිකලය තබාගෙන සිටීමේ අවදානම ලයනල් විසින් ටාසන්ගෙන් විමසුවේය. බෑගය ගෙනැවිත් එය බයිසිකලයේ තබා, බයිසිකලය කඩය ඇති වත්තට දමා ඉලක්කය එනතුරු සිටීම හොඳ බව ටාසන්ගේ අදහස විය.

බෑගය තබා තිබූ තම්බිගේ නිවෙසට ගිය දෙදෙනා එහි සිටි කාන්තාවගෙන් බෑගය ඉල්ලා ගෙන, බයිසිකලයට නැගුණි. තුවක්කුව තබන්නට කියූ නිවෙස හෙවත් සමන්තගේ නිවෙස වෙත දෙදෙනා පැමිණියේ ඉතිරි වැඩ සඳහා ලැහැස්ති වීමටය. සමන්තගේ කාමරයට දෙදෙනා යන විට සමන්ත ද කාමරයේ විය. ලයනල් විසින් තුවක්කුව ඇඳ උඩින් තබා ලෝඩ් කිරීමට පටන් ගත්තේය. සමන්ත මේ සියල්ල දකිනා අතරේ ටාසන් පාරේ බයිසිකලයට වී සිටියේය.

කතාන්දරයේ උච්ච අවස්ථාව ලයනල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විස්තර කරමින් සිටින විට එහි අධ්‍යක්ෂ චන්ද්‍රා ජයවර්ධන විසින් ලයනල්ගෙන් අතුරු ප්‍රශ්නයක් විමසුවේය.

ප්‍රශ්නය – මේ ගෙදර හිටපු පුද්ගලයා, ඔබ විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව දැන සිටියාද…?

පිළිතුර – විජයට වෙඩි තබන්න යන බව, මා ඔහුට කිව්වේ නැහැ. ඔහු එය දැන සිටියා ද කියා මා දන්නේ නැහැ.

ප්‍රශ්නය – එදින විජය කුමාරතුංගට වෙඩි තබන්න යන බව පාල දැන සිටියාද…? ඔව්… පාල ඒ බව දැන සිටියා.

අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ලයනල් යළි කතාව කියන්නට පටන් ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ලයනල් විසින් පවසන ලද ආකාරයටම ඒ මොහොත මෙසේය.

“අපි බෑගය රැගෙන බයිසිකල් එකේ කඩය ළඟට පැමිණියා. වත්තට මෝටර් සයිකලය දමා, බෑගය මෝටර් සයිකලයේ තබා අපි පාරට වී බලා සිටියා. විනාඩි පහක් හෝ හයක් පමණ පාරේ සිටින විට, විජය කුමාරතුංග නිවෙසින් එළියට එනවා අපි දැක්කා… ඔහු තනියම ඇවිත් නිවෙසේ ගේට්ටුව ළඟ සිටි කෙනෙක් එක්ක කතා කළා. ඒ එක්කම හේරත් (ටාසන් වීරසිංහ) සහ මා බයිසිකලයට නැග්ගා… මා බෑග් එක ඔඩොක්කුවේ තබාගෙන සිප් එක ඇර, සේප්ටිය පහළට දැම්මා. තුවක්කුව අතේ තබාගෙන විජය කුමාරතුංග නැවතී සිටි ස්ථානයට යාර 20 ක් පමණ දුරින්, පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ ඔහුගේ නිවෙසේ ගේට්ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොළ දමා නවන ලද ෆයිල් එකක් තිබුණා. ඔහු නැවතී එතැන සිටි අයෙක් සමඟ කතා කරමින් සිටියා. මා බයිසිකලයේ සිට, ටී පනස් හයේ රයිෆලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක් තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට ඔහු වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතැනට ගොස් ඔහුගේ ඔළුවට වෙඩි කිහිපයක් තිබ්බා.

මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කතා කරමින් සිටි පුද්ගලයා ගෙට දුවන්නට වුණා. මා ඔහුට ද වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ ඩබල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටුපස එක්කෙනෙක් හිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා. හේරත් මෝටර් සයිකලය හරවා ගෙන කිරුළපන පැත්තට මුහුණ හරවාගෙන නවතා තිබුණා. මා විජය කුමාරතුංග ළග තිබුණු ෆයිල් එක අරන් එහි තිබෙන්නේ මොනවද කියා බැලුවා. එහි තිබී කොළ වගයක් වැටුණා. ඒ වෙනකොට තුවක්කුව දාගෙන ආපු බෑග් එක තිබ්බේ බිම වැටිලා. මම ෆයිල් එක බිම දාලා, බෑග් එක අහුලාගෙන තුවක්කුව බෑග් එකට දා ගෙන, මෝටර් සයිකලයට ගිහිල්ලා වාඩි වුණා. මෝටර් සයිකලය පොල්හේන්ගොඩ පාරේ ගියා. එම අවස්ථාවේදී නාරාහේන්පිට පැත්තේ ඉඳලා බස් එකක් ආවා. අප, පොල්හේන්ගොඩ පාර දිගේ ගොස් බයිසිකලය තියන්නට කියූ නිවෙසේ බයිසිකලය තැබුවා. හේරත් බයිසිකලයේ සිටියදී, මා තුවක්කුව තිබුණු බෑගය අරගෙන තුවක්කුව තියන්න කියූ නිවෙසට ගියා. පාල කලින් හඳුන්වා දුන් පුද්ගලයා එහි සිටියා. එම නිවෙසේ කාමරයකට ගොස්, පාල මට හඳුන්වා දුන් පුද්ගලයා ඉදිරියේ තුවක්කුව අන් ලෝඩ් කළා. ඒ වෙලාවේ මගේ ටීෂර්ට් එකේ ලේ තියෙනවා දැක්කා… යනුවෙන් ඔහු එහිදී විජය ඝාතනයේ තොරතුරු වාමාරා සිටියේය.

ඔසිත අත්තනායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division