Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

රගලකරුවන්ට මහජන ඡන්දයෙන් තේරුණ මහජන නියෝජිතයන්, ආරක්ෂක අංශවල නිලධාරීන්, තමන් දරන මතයට වෙනස් දේශපාලන මතයක් දරන පුද්ගලයන්ගේ වතුපිටි ඉඩකඩම් ගිනි තබා විනාශ කරමින්, ජීවිත හානි හා ශාරීරික හානි කරමින් කළු ජූලියෙන් පසු ඇති වූ මහා භීෂණය මහා ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා වාසිදායක වටපිටාවක් නිර්මාණය කරගත හැකි වූයේ රට සතු විදේශ වත්කම් බිංදුවටම කඩා වැටීම නිසාවෙනි.

රටක් සතු විදේශ වත්කම් ප්‍රමාණය මත එම රටේ ආනයනය කිරීමේ හැකියාව එනම් පිටරටින් බඩු ගෙන්වීමේ හැකියාව තීරණය වේ. එය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ ‘දළ විදේශ වත්කම්වල ආනයන ශක්‍යතාව‘ ලෙසයි. රටක් පවත්වා ගෙන යාමට අවම වශයෙන් ඉදිරි මාස 3කවත් ඇස්තමේන්තු ගත කළ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නිල විනිමය සංචිතයක් තිබිය යුතුය.

එම නිසා අප සතු දළ විදෙස් වත්කම්වල ආනයන ශක්‍යතාව ගණනය කරනු ලබන්නේ මාසවලිනි. ලෝකයේ දියුණු රටවල, විශාල ගෙවුම් ශේෂ අතිරික්ත පවතින රටවල ප්‍රමාණය සුවිශාල ලෙස වර්ධනය කර ඇති බැවින් එවැනි රටවල, එම රටට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් පැන නොනඟී. නමුත් ශ්‍රී ලංකාව වැනි ඉතා කුඩා ආර්ථිකයක හා ඔරොත්තු නොදෙන දිගුකාලීන ගෙවුම් ශේෂ හිඟයක් ඇති රටකට එවැනි විදේශ වත්කම් ප්‍රමාණයක් කිසිවිටක ප්‍රමාණවත් නොවේ.

ශ්‍රී ලංකාවේ දළ විදේශ වත්කම් උපරිම ලෙස වර්ධනය වී ඇත්තේ 2014 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 දක්වාය. එකී විදේශ වත්කම් සියල්ල සිඳී ගිය විට රට තුළ ප්‍රචණ්ඩත්වයේ අරගලය ඇති වන්නේ කෙසේද? ශ්‍රී ලංකාව ගොඩ ගන්නා හැටි දන්නා බව සිතන සියලුම දේශපාලන නායකයන්, ජනාධිපතිවරණ අපේක්ෂකයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයන්ගෙන් විදේශ විනිමය ගෙවුම් ශේෂය, විදේශ සම්පත්, විදේශ‍ සංචිත හා රුපියලේ විදේශ අගය තේරුම් ගැනීම පිළිබඳ පාඩම් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුව ඇත. එවැනි ඉගෙන ගැනීමකින් තොරව රාජ්‍ය බලය ලබා ගත හැකිය. ආණ්ඩු බලය ලබා ගත හැකිය. නමුත් ඒ ආණ්ඩුව ‘දේශපාලන කයි කතන්දර හා පුරාජේරුවලින්‘ පවත්වා ගෙන යා නොහැකිය. හැටනම ලක්ෂයක ජන බලයකින්, බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විදේශ සංචිත නොමැතිව රට ආණ්ඩු කළ නොහැකි බව මොනවට ඔප්පු විය.

ශ්‍රී ලංකාවේ කවර ආණ්ඩුවක් බලය ලබා ගත්ත ද අල, ලූනු, මිරිස්, පරිප්පු, සීනි වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩත් තෙල් පොහොර රසායනික වැනි අතරමැදි භාණ්ඩත් වාහන යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩත් පිටරටින් ගෙන්වා ගත යුතුය. හෙට දවසේ කවුරුන් රටේ ජනාධිපති වුවත්, කුමන ආණ්ඩුවත් බලයට පත් වුවත් මේ භාණ්ඩ පිටරටින් නොගෙන්වා ජනතාව ජීවත් කරලිය නොහැකිය. සරල උදාහරණයක් දැක්වුවහොත් ඛනිජ තෙල් (ඩීසල්, පෙට්‍රල්) නොමැති වුවහොත් මුළු රටේම නිෂ්පාදන ක්‍රියාවලිය, හුවමාරු ක්‍රියාවලිය, පරිභෝජන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී විනාශ වනු ඇත. මක්නිසාදයත් ශ්‍රී ලංකාව යනු ඉන්ධන කඳුළක් හෝ නිපදවන රටක් නොවන හෙයිනි. සම්පූර්ණයෙන්ම පොසිල ඉන්ධන භාවිත කරන රටකි. ඛනිජ තෙල් මෙන්ම බේත් හේත්, පොහොර මෙන්ම ආහාරයට ගන්නා ආනයනික දේ නොගෙන්වා එක සතියක්වත් ආණ්ඩුවක් පවත්වා ගෙන යා නොහැකිය. විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සඳහා ලෝක සම්මත ක්‍රමවේදය අනුව ණයවර ලිපියක් – L C (Letter of credit) නිකුත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් විසින් විදේශීය රටක බැංකු ක්‍රමය වෙත නිකුත් කරන ණයවර ලිපිය එම රටවල් විසින් පිළිගනු ලැබුවහොත් මිස ඒ රටවලින් අපේ රටට භාණ්ඩ පටවන්නේ නැත. සියලුම පොහොර, රසායනික ද්‍රව්‍ය, ඛනිජ තෙල් ණයට දෙන කෙනෙක් නැත. දෙන රටක්ද නැත. එම නිසා ණයවර ලිපි නැතිව ‘අධිරාජ්‍යවාදයට විනාශය – නිර්ධන පන්තියට විමුක්තිය‘ වැනි සටන් පාඨ කියා රටවල් ආණ්ඩු කළ නොහැකිය.

පසුගිය 2022 වර්ෂයේ තෙල් නැව කොළඹ වරායට පැමිණියත්, ගෑස් නැව කොළඹ වරායට ගෙන්වා ගත්තත් ගෙවීම් සංචිත නොමැතිව, සංචිත හිඳී ගිය විට ඒ නැව් හරවා සිය රටවල් වෙතට ගිය බව සෑම අයෙක්ම දන්නා කතාවකි. ඒ අනුව වසර එකහමාරකට පෙර තෙල් නොමැතිව පෝලිම්වල සිට කූපන් ක්‍රමයට තෙල් ලබා ගැනීමට සිදු විය. පෝලිම්වල දින ගණන් රණ්ඩු සරුවල් වෙවී ගත කළ අයුරු අමතක නැත. ඇතැම්හු පෝලිම්වල මැරී වැටුණාහ. ඉන්ධන නොමැති නිසා විදුලිය නිෂ්පාදනය කළ නොහැකි විය. පැය 10ක් 12ක් විදුලිය කප්පාදු විය. ඒ අතර වෛරය උස්සන්න වී මුළු රටම ම්ලේච්ඡත්වය කරා යොමු වුණේ මේ විදේශ සංචිත හිඳී ගිය නිසාය. ඒ නිසා එවන් තත්ත්වයක් තුළ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා ණය පහසුකමක් හෝ ලබා දීමට පෙලඹුණේ අසල්වැසි ඉන්දියානු රජයයි. ඉන්දියානු රජය ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4කටත් වැඩි ප්‍රමාණයක් ලබා දුන් නිසා රටේ ජනතාව කුසගින්නෙන් මියයන තත්ත්වය වළක්වා ගන්නා ලදි.

ඉන්පසුව ඒ තාවකාලික ඉන්දියානු විසඳුම තුළ කිසිසේත් අන්තර්ජාතික මූල්‍ය ක්‍රමය ගළපා ගත නොහැකි නිසා කිසිවකු භාර ගැනීමට අකමැති වූ රට රනිල් වික්‍රමසිංහයන් විසින් භාර ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමකට අමාරුවෙන් ඇතුළු විය. එයින් පසුව අපට ‘හුස්ම ගැනීමට‘ හැකි විය. එයින් අපට තවමත් ලැබී ඇත්තේ ණය වාරික දෙකකි. ඒ ණය වාරික දෙක ලැබුණත් අපට සෑහීමට පත් විය නොහැකිය. අප සතු නිල විදේශ සංචිත වර්ධනය වී නැත. මේ විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා මේ වසර (2024) මෙන්ම 2025, 2026, 2027 දක්වා වන ගිවිසුම්ගත කාලසටහනක් තිබේ.

එම කාලසටහන පහත දක්වා ඇත. ඒ නිසා විශේෂයෙන්ම විපක්ෂයේ සිටින සියලු දේශපාලන නායකයන් මේ කාලසටහන පිළිගන්නා බවට එකඟතාවක් ඇති කර නොගතහොත්, එසේ නොකර හෝ වෙනස්කම් කළ හැකි යැයි අදහසින් ආණඩු ගතහොත් රට පවතින්නේ සති කීපයක් පමණක් වන බව ලෝක ආර්ථිකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති සියලුම දෙනාට පසක් විය යුතුය.

(මතු සම්බන්ධයි) මීළඟ සතියේ ආර්ථික විග්‍රහයෙන් විදේශ වත්කම්වල ශ්‍රී ලංකා අත්දැකීම්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division