Home » සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට චින්තන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය යුතුය

සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට චින්තන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය යුතුය

ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෙවත් IMF බිහි වන්නේ 1945දීය. මෙය ආරම්භ කිරීමට මූලික හේතු කාරණාව වන්නේ 1930 ගණන්වල ඇති වූ ලෝක ආර්ථික පරිහානියයි. මෙහිදී ලෝක ආර්ථික පරිහානිය යනුවෙන් අදහස් කෙරෙනුයේ එවක උද්ධමනය සියදහස් වාරයකින් වැඩිවීම, කර්මාන්ත ශාලාවලින් ‍සේවකයන් විශාල ලෙස ඉවත් කිරීම්, එසේම විශාල සේවා වියුක්තියක් ඇති වීම, විශාල ලෙස රැකී රක්ෂා අහිමි වීම, භාණ්ඩ විශාල ලෙස හිඟ වීම සහ ගෙවුම් ශේෂ ගැටලු වැනි දෑ නිසා සම්පූර්ණ ආර්ථිකය අස්ථායි වී කඩා වැටෙන මට්ටමක් ඇති විය. එලෙස රටවල් ආර්ථික කඩා වැටෙන්නේ ඒ දක්වා ආර්ථිකයේ ඇතිවන ගැටලුවලට විසඳුම් වශයෙන් ඉදිරිපත් වී තිබුණ න්‍යායන් මඟින් පිළිතුරු නොලැබෙන අවස්ථාවලදීය. උදාහරණය ලෙස ගත්විට ජර්මනියේ මුදල් ඒකකය ඩොයිස්මාර්ක් පවා මිනිසුන් භාවිත නොකළ තත්ත්වයක් ඇති විය. සොල්දාදුවන්ගේ දුම්වැටි වැනි භාණ්ඩ සමඟ හුවමාරු විය. ඒ මට්ටමට මුදලේ වටිනාකම පිරිහී ගොස් මුදල් වෙනුවට භාණ්ඩ හුවමාරු කර ගන්නා පැරණි ක්‍රමවේදයට පත් විය. එවක ආර්ථිකය කඩා වැටීම එක් රටක පමණක් නොව විශාල රටවල් ප්‍රමාණයක එම කඩා වැටීම සිදු විය. එහිදී සාර්ව ආර්ථික විචල්‍යයන්වල මිල මට්ටම උපරිමයෙන් පිරිහී, විනිමය අනුපාතිකය අන්තයටම පිරිහී රැකී රක්ෂා නැතිවීම සහ සමස්ත ආර්ථිකයම අසාමාන්‍ය ලෙස ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය.

එහිදී ජ්‍යෙෂ්ඨ ආර්ථීක විද්‍යාඥයකු වන ජේ එම්. කේන්ස් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රථම වරට සඳහන් කරනු ලැබූයේ “එතෙක් කල් මේ ආර්ථික න්‍යාය තුළ දැක තිබුණේ; සැපැයුම් පාර්ශ්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පමණක් වන බවයි. එසේම එහිදී උනන්දුවක් දක්වා ඇත්තේ නිෂ්පාදකයා ව්‍යවසායකයා රැක ගන්නේ කෙසේද, ඔහුට පහසුකම් සලසන්නේ කෙසේද ඔහුව නඟාසිටුවන්නේ කෙසේද යන කරුණ පිළිබඳ පමණක් බවත්ය. උදාහරණයක් ලෙස යටත් විජිත සමයන්හිදී මහාමාර්ග, ගුවන් තොටුපොළ, වරාය දුම්රිය මාර්ග ඉදි කෙරුණේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා නො‍වේ. ඒ කාල වකවානුවලදි නිෂ්පාදන කළ තේ සහ කෝපි උඩරට සිට කොළඹට ගෙන ඒම සහ කොළඹට ගෙන එන ලද නිෂ්පාදන අපනයනය කිරීම යන කාරණා සළකා බැලිමකි.

කෙසේ වුවත් ආර්ථික න්‍යායන් අනුව මෙහිදී සැලකිලිමත් වී ඇත්තේ නිෂ්පාදකයා සම්බන්ධයෙනි. ආර්ථික න්‍යායයේ පැහැදිලි කළේ නිෂ්පාදකයා පිළිබඳව සැලකිලිමත් වුවහොත් ආර්ථිකය ගොඩනැඟිය හැකියි යන ධර්මතාවයි. නමුත් ජේ. එම්. කේන්ස් ප්‍රථම වරට ප්‍රකාශ කළේ මේ ක්‍රමවේදය නිවැරදි නොවන බවයි. අපි මෙතෙක් කලක් ඉල්ලුම අමතක කර තිබීම එනම් මිලදී ගැනීමේ හැකියාව අමතක කර පාරිභෝගිකයාව අමතක කර දමා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා නිසි ඉල්ලුමක් නොමැති හේතුවෙන් ආර්ථික පරිහානික තත්ත්වයක් ඇති විය. මෙසේ ජේ. එම්. කේන්ස් විසින් “සේවා නියුක්තිය පොලී අනුපාතය සහ පොදු මිල මට්ටම් පිළිබඳව ඔහුගේ න්‍යාය ඉදිරිපත් කරන ලදි. එහිදී ඔහු පැහැදිලි කරන්නේ ආර්ථිකයේ ඉල්ලුමේ ගැටලුවක් පවතින අතර ඉල්ලුම කිරීමට මුදල් නොමැති වීම එනම් ක්‍රය ශක්තිය පිළිබඳ ගැටලුවක් ද වන බව ය. ඒ නිසා මෙසේ මුදල් අච්චු ගසා ජනතාවට මුදල් ලබා දිය යුතු බව ඔහු පැවැසුවේය. මෙසේ ඉල්ලුම් පිළිබඳ සැලකිලිමත් වීම වැඩි අවධානයක් යොමු වූ අතර සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳව පිළිගැනීමක් ද ඇති විය.

මෙසේ කේන්ස්ගේ සේවා නියුක්තිය පොලී අනුපාතය හා මිල තත්ත්ව පිළිබඳව පොදු න්‍යාය නැමැති ග්‍රන්ථය එසේ එදා ආර්ථික පරිහානියට පිළිතුරු ලැබුණත් වසර 2000දී පමණ සිටම දිගින් දිගටම කඩා වැටෙන ආර්ථීකය සඳහා එයද පිළිතුරක් නොවන බවත් දැන් ඇත්තේ වෙනම ආර්ථීක කඩා වැටීමකි. මෙසේ කේන්ස් 1930 ගණන්වල ආර්ථික අර්බුදයට එයද පිළිතුරක් සොයාගත්තා පමණක් නොව 1945දි IMF පිහිටුවීමට පිටිවහලක් විය.

IMF සාමාජිකයන් අතරට ශ්‍රී ලංකාව ද 1950දී එකතු විය. විශේෂයෙන් IMF එකෙහි මූලික අරමුණ නම් යම්කිසි රටක විදෙස් විනිමය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් එම කාලවකවානුවේදී එම රටවල් නැවත නඟාසිටුවීමට උපකාර කිරීමයි. IMF සමඟ සමගාමී වන අනෙක් සහෝදර ආයතනය වන්නේ ලෝක බැංකුවයි. මෙය IBRD නමින් කෙටියෙන් හැඳින්වෙයි. එය ප්‍රතිනිර්මාණය කිරීම සහ, සංවර්ධනය කිරීම පිළිබඳ ජාත්‍යයන්තර බැංකුවයි. ලංකාව මේ ආයතන දෙකෙහි ම ප්‍රධාන සාමාජිකත්වයක් දරන රටකි. ලෝක බැංකුව ජර්මනිය වැනි රටවලට ණය ආධාර සපයා සුණුවිසුණු වූ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කලකින් යථාවත් වීම සිදු විය. ඒ ආදර්ශයත් සමඟ තුන්වැනි ලෝකයේ රටවල්වලට උපකාර කිරීමට මේ ක්‍රමය ඇති විය.

මෙසේ ජර්මනිය මේ මාෂල් ආධාර යටතේ නැවත නැඟී සිටීම ඉතා කෙටිකලකින් සිදුවුවත් 1840 ගණන්වල සිට තුන්වැනි ලෝකයේ රටවලට මේ අපේක්ෂාවෙන් එසේ ආධාර ලබා දුන්නද එම රටවල් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් නොකරන බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේදී පැහැදිලි වන කරුණක් නම් තුන්වැනි ලෝකයේ රටවල්වලට ආධාර සපයා ආධාර විඩාවට පත්වී ඇති බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වී ඇත. කෙසේ වුවත් ලෝක බැංකු ආධාර දිගු කාලීනව ලබා දෙනු ලබයි. එනම් වසර 30 හෝ 40 වැනි කාලයක් තුළ නැවත ගෙවීමට ලෝක බැංකුව ණය ආධාර ලබාදෙයි. ව්‍යාපෘති අවසන් වී වසර ගණනක් යනතුරු නැවත නොගෙවීමේ පදනම මත පවා මෙම ණය ලබාදෙයි. ලෝක බැංකු ගෙවනු ලබන්නේ සංවර්ධන ණයයි.

නමුත් IMF ණය ක්‍රමය මීට වඩා වෙනස් වෙයි. එනම් ව්‍යුහාත්මක ගැළපුම් ආකාරයට ජාත්‍යන්තර ණය ලබා දීමට කටයුතු කරයි. එහිදී ඔවුන් ලබා දෙන්නේ කෙටි කාලීන ණයයි. කෙටි සහ දිගු ණය ලබාදීමේ හේතුව කෙටිකලකදී ප්‍රශ්න විසඳාගත යුතුයි යන්නයි. එම නිසා ණය ලබාදීමෙදී ආර්ථිකයේ ගැටලු ඇති විමේ හේතු වූ ප්‍රධාන ගැටලු නිවැරදි කරන ගමන් මේ ණය ලබා දෙයි. එසේ සිදුවන්නේ ණය ලබාගෙන ගැටලු විසඳා ගන්නා අතර නැවත එවැනි ගැටලු ඇති නොවීමට ආර්ථිකයේ ව්‍යුහාත්මක අවශ්‍යය වෙනස්කම් සිදු කිරීමයි; එය දේශීය ආර්ථිකයට අත පොවනවා යන්න කියනවාට වඩා නිවැරදි වන්නේ ආර්ථිකයේ වැරදි ප්‍රතිපත්ති මෙන්ම ක්‍රියාකාරිත්වයේද නිවැරදි කරනවා යන්නයි. ඕනෑම රටක ගෙවුම් ශේෂ ප්‍රශ්න විනිමය ප්‍රශ්න ඉතාම කෙටි කාලයකින් නිරවුල් කරගත යුතුයි; යන මතය මත IMF විසින් කෙටි කාලීනව ණය ලබා දෙයි.

IMF කෙටි කාලීනව මේ ලෙස ණය ආධාර දීමට බැඳී සිටිය ද ඒ අය ණය ලබා දෙන රටවල ආර්ථිකයක පිළිබඳව විමර්ශනය කිරීම ඉතාමත් වැදගත් වෙයි. ඒ අය මුලික වශයෙන් විනිමය අර්බුදයක් මේ රටේ ඇති වෙන්න හේතු පාදක වූ කරුණු අධ්‍යයනය කරයි. මේ අධ්‍යයනය කර අවසන් වී නුදුරු අනාගතයේදි එවැනි අර්බුදයකට නැවත යොමු නොවන්න ඒ රටට අවශ්‍යය වන ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමට ඒ රට එකඟ වන්නේ නම් පමණක් IMF මුදල් ආධාර ලබා ගැනීමට හැකියාව ඇත.

අපේ රටේ බොහෝ අය මේ සන්දර්භය නිසියාකාරයෙන් විග්‍රහ කර නොගෙන එනම් ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් සලකා නොබලා දේශපාලන දෘෂ්ටි කෝණයකින් මේ ආධාර පිළිබඳව අර්ථකථනය කිරීමට යෑම අපේ රටේ සිදු වූ අවාසනාවන්ත තත්ත්වයකි.

මේ අවස්ථාවේදී ආර්ථික ව්‍යුහයේ වැරදි තැන් නිවැරදි කළ යුතු අතර එය නොකර නැවත ඉදිරියේදී නැවත අගාධයකට රට යොමු වුවහොත් යන්න සලකා බලා එවැන්නක් සිදු නොවීමට වගබලා ගත යුතුයි. ඒ නිසා IMF සමඟ වැඩ කිරීම පහසු නැත. කෙසේ වුවත් මේ නිවැරදි කිරීම්වලට අපි යා යුතුයි. ඒ නිසා මෙහිදී දේශපාලනික වශයෙන් දෙන අර්ථකතනයන් සමඟ ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකියි.

ලෝකයේ මෙවැනි ආර්ථීක අර්බුද මින් පෙර ද ඇතිවිණි. විශේෂයෙන් 1980 දශකයේදී ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට ද එවැනි අර්බුදයකට මුහුණ දීම සිදු විය. ඒ රටවල් නැවත ගොඩ ඒමට උපයෝගී කරගත් ආර්ථික ආකෘතිය අපේ රටට වඩා වැදගත් වෙයි. ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට එවක තිබුණ ගැටලුවක් නම් ආර්ථිකය තුළ රජයේ අයිතිය විශාල වීම සිදු වීම. එහිදී ආර්ථිකය තුළ රජයේ අයිතිය වැඩි යන්නෙන් අදහස් කරන්නේ එතැනදී දේශපාලනික මැදිහත් වීමද වැඩියි යන කරුණයි. එහිදී මේ රටවල් දෙක තමන්ගේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත් ප්‍රධාන ක්‍රියා මාර්ගයක් නම් තමන්ගේ රටේ ඇති රාජ්‍ය අයිතිය හෙවත් ආර්ථික කටයුතුවලට රාජ්‍ය මැදිහත් වීම අවම කිරීමයි. එය 1980 දශකයට පමණක් නොව එය අදට වනවිට අපේ රටට ද ගැළපෙයි.

පසුගිය කාලයේ අපේ රටේ සිවිල් සමාජය තුළ විශාල සංවාදයක් ඇති විය. එනම් දේශපාලන මැදිහත් වීම රට තුළ අඩු කළ යුතුයි යන මතය ඔවුන් විශාල වශයෙන් හුවා දක්වන ලදි. දේශපාලන මැදිහත් වීම රට තුළ අඩු කරන්න නම් කළ යුතු ප්‍රධානම දේ රජය ආර්ථික කටයුතුවලින් හැකි තරම් ඉවත් වීමයි. එහිදී දැවැන්ත අමාත්‍යාංශ කුඩා වීම, දේශපාලන පත්වීම අඩුවීම මෙන්ම දේශපාලනයේ මිදීමට ද හේතුවෙයි. සුදුස්සන්ට තැන හිමි වෙයි. තරගකාරී විභාග ක්‍රමයක් මඟින් මේ ආයතනවලට පිරිස් බඳවා ගැනීමට හැකිවෙයි. එහිදී මේ ආයතන තවදුරටත් දේශපාලන අතකොලුවක් නොවෙයි. මේ නිවැරදි කිරීම් කළ යුතුයි. හෙට වීමට නම් රජයේ අයිතිය පෞද්ගලික අංශයට පැවැරිය යුතුයි.

එසේම මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් නම් රජයේ අාදායම ගත්විට බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ස්ථිර ආදායම් ලබන අයගෙන් බදු අය කර ගැනීම අසීරු නැත. එය සරල ක්‍රියාදාමයකි. නමුත් ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරිම අසීරු ක්‍රියාවලියකි. එහිදී ඒ යාන්ත්‍රණය නිවැරදිව හා කාර්යක්ෂම ක්‍රියාත්මක නොවන නිසා රාජ්‍ය ආදායම් අඩුවී අය වැය අතර පරතරයක් ඇතිවීමට ප්‍රධාන හේතුවකි. අපේ රටේ නිවැරදි බදු ප්‍රතිපත්තියක් ඇතිවීම අවශ්‍යයයි.

බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන තැන්වල හිඩැස් ඇත. ප්‍රධාන තැන්වලට ඇතුළත් විය හැකි දැවැන්ත ආදායම් මාර්ගවලින් උපයන ධනය සම්බන්ධයෙන් බදු අය කර ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. රජයේ සේවකයන්, රජයේ නිලධාරීන් හා දෙපාර්තමේන්තුවලින් බදු අය කර ගැනීම අසීරු නොවෙයි. සමහර විට රාජ්‍ය ආයතන අතර බදු ප්‍රතිපත්තියක්ද සමානාත්මතා මූලධර්මයට පටහැණි වන අවස්ථා ඇත.

අපේ ආයතනවල අකාර්යක්ෂමතාව මැන බැලිය යුත්තේ ශේෂ පත්‍රයෙන් පමණක් නොවේ. උදාහරණයක් ලෙස විදුලිබල ක්ෂේත්‍රය ගත්විට මේ රටේ විකල්ප බලශක්ති හඳුන්වා නොදීම, ඒ බලශක්තිවලට අපි නොයාම, සුළඟ හිරුඑළිය වැනි දේවල් සමඟ කටයුතු නොකිරීම නිසා අද අපි ආසියාවේ වැඩිම විදුලි බිල් ගෙවන රටක් බවට පත්වී ඇත. රටේ විදුලිය ක්‍රියාත්මක කරනවා ද නැති ද යන්න සේවකයන් තීරණය කරන මට්ටමකට අද එම ආයතන පැමිණ ඇත.

විෂයානුබද්ධව සලකා බැලීමේදී මෙය පුද්ගලීකරණය කරන්න එපා කියන්නේ ජනතාවට කෙරෙහි කරුණාවෙන්ද යන්න ගැටලුවකි. මේවා පිළිබඳව අපේ රටේ කතිකාවක් ඇති නොවීම ගැටලුවකි. බලශක්ති විකල්ප මාර්ගවලට යොමු නොවීමෙන් හා බලශක්ති නිෂ්පාදනය ඵලදායි නොවිමෙන් සමස්ත නිෂ්පාදනයට බලපායි. විදුලි බිලේ වැඩිවීම අපේ රටේ තරගකාරීත්වය අඩු වීමට බෙහෙවින් බලපායි. අපේ රටේ සමස්ත නිෂ්පාදනයේ විදුලිය පරිභෝජනයේ අගය කලාපීය වශයෙනුත් ජාත්‍යන්තරවත් ඉතා ඉහළ මට්ටමක පැවැතීම අපේ රටේ විදේශ ආයෝජන පැමිණීමේ තීරණාත්මක සාධකයකි. රටේ තරගකාරිත්වය සම්පූර්ණයෙන්ම නැති කරපු ආයතනවලට බෝනස්, වැටුප් වැඩිවීම්, ගිවිසුම් ද වෙයි. මෙවැනි ආයතන නිසි ලෙස නඩත්තු කරන්නේ නම් ණය ලබා ගත යුතු නැත‍. දේශපාලන මැදිහත් වීම අවම කිරීමට අයිතිය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මේවා ආර්ථීකමය වශයෙන් තරගකාරිත්වය පවත්වනවා නම් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන අතර ලාභය මත පදනම් ව අය කරනු ලබන බදු මඟින් රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට හැකියි.

නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් ලෙස ගම් දනව්වල තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාවෙන් මේ සෑම තැනකම අවස්ථාවක් ලබා ගැනීමේ තරගකාරී විභාග ක්‍රමයකින් රජයේ උසස් ආයතනවලට පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. රටේ ජනතාවට වැදගත් වන අවස්ථා ලැබෙන්නේ තරගකාරී වාතාවරණයක් රට තුළ ඇති වුවහොත් පමණයි.

රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් පැවතීම විදේශීය ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට පැමිණීමට වැදගත් වන කරුණකි. මෙවැනි නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් වේ නම් වසර පහක් ඇතුළත රට දියුණු කළ හැකි වෙයි. එසේම සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනතාවගේ චින්තනය ද ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු විය යුතුය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division