Home » විදුලි බිල අඩු කෙරේ

විදුලි බිල අඩු කෙරේ

රුපියල් 5000 ගෘහස්ථ විදුලි බිල 4000ක් වන ලකුණු

by Mahesh Lakehouse
February 24, 2024 12:42 am 0 comment

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පාරිභෝගිකයන්ට ලැබුණු විදුලි බිල හෝ ඊට වඩා අඩු විදුලි බිලක් ලබා දීම සඳහා වූ යෝජනාව මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට භාර දී ඇති බවත් ගෘහස්ථ පාරිභෝගිකයකුට විදුලි බිල 18%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

ඒ අනුව රුපියල් 5000ක විදුලි බිල්පතක් ලැබුණු ගෘහස්ත පාරිභෝගිකයකුට රුපියල් 4000ක පමණ දක්වා එම බිල්පත අඩුවනු ඇති බවට වාර්තා වේ.

පසුගිය 21 වැනිදා බදාදා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ ඇමැති කංචන විජේසේකර පැවසුවේ 2023 වසරේ අගෝස්තු මාසයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ කමිටුව ඇතුළු ආයතන විසින් ඉදිරි නියඟය සම්බන්ධව ලබා දුන් පුරෝකථන ඔස්සේ ජලය අඩුවෙන් භාවිත කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව ජල විදුලිය අඩුවෙන් නිපදවීම මත ඔක්තෝබර් මාසයේ සිට ගෘහස්ත හා ආගමික ස්ථානවල විදුලි බිල 18%කින් වැඩි කිරීමට සිදු වූ බවත් කර්මාන්ත හා හෝටල් කාණ්ඩයේ විදුලි බිල සියයට 12කින් සහ රජයේ ආයතන, පොදු ගොඩනැඟිලි කාණ්ඩයේ විදුලි බිල සියයට 24කින් වැඩිකිරීමට සිදු වූ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එසේ වුවත් පසුගිය වසර 5කදී නොලැබුණු වර්ෂාපතනයක් පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ජනවාරි මාසය දක්වාම ලැබුණු හෙයින් ජලවිදුලි ජනන කටයුතු පහසු වූ නිසා විදුලි බිල 3%කින් අඩු කිරීමට සැලසුම් කළ බවද හෙතෙම කියා සිටියේය.

එසේ වුවත් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය උපදෙස් ලබා දුන්නේ අදාළ පාර්ශ්වයන් කැඳවා එම විදුලි බිල තව දුරටත් අඩු කර ජනතාවට සහන ලබා දිය හැකි අංශ ගැන සොයා බලන ලෙස බවත් ඒ අනුව පසුගිය දෙසැම්බර් 15 වැනිදා එසේ පාර්ශ්වකරුවන් කැඳවූ අවස්ථාවේදී ඔවුන් විදුලි බිල තව දුරටත් අඩු කළ හැකි අවස්ථා පෙන්වා දුන් බවද ඇමැතිවරයා කීය. එසේම පසුගිය 15 වැනිදා ද තවත් සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වූ බවත් ඒ අනුව අවශ්‍ය ගාස්තු අඩු කිරීමට අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර එම අඩු කිරීමේ නිර්දේශ පෙබරවාරි 22 වැනිදා මහජන උපයෝගිතා කොමිසමට බාර දුන් බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේය.

විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම, අඩුම මිලට ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු මිලදී ගැනීමට හැකිවීම, ඇතැම් ණය ගෙවා අවසන් කිරීම, ණය පොලිය අඩුවීම, නැප්තා දැවිතෙල් අඩු මිලට හිමිවීම වැනි වියදම් සැලකිය ලෙසින් අඩු කර ගැන්මට හැකිවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට හැකි වනු ඇතැයිද ඔහු කීවේය.

අදාළ සියලු පාර්ශ්වකරුවන් ගෙන්වා සාකච්ඡා කළද විපක්ෂ නායකවරයා හෝ මන්ත්‍රීවරයකු හෝ ඊට සහභාගි නොවූ බව ද හෙතෙම කීවේය. කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් සහ වෘත්තිකයන් ඇතුළු ප්‍රවීණයන් විසින් ඉදිරිපත් කළ යෝජනා සහ ඉකුත් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් වූ මහජන අදහස් ආදිය සලකා බැලීමෙන් පසු මෙම නව සංශෝධන යෝජනාව ඉදිරිපත් කර ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division