සමාජයෙන් කොන්වෙයි කියලා බයටද මන්දා වයසක් තරාතිරමක් නැතුව නීත්‍යානුකූල විවාහයට හෝ ප්‍රේම සම්බන්ධයට පිටින් මිනිස්සු ඔහේ අනියම් ගැටවල පැටලෙනවා.
‘ප්‍රේමයට නියම් අනියම් කියලා දෙයක් නැහැ, මිනිස්සු නවතින්නේ තමන්ට හිත ගිය තැන’ කියලා දාර්ශනික වදන් කිය කියා සාධාරණීකරණය කරන්න හැදුවට ඕනෙනම් කසාදය වගේම එපා නම් දික්කසාදයත් නීතියෙන් වලංගු රටක එක තැනකට නීතියෙන් බැඳිලා තව තැනකට ගතින් බැඳෙන එකනම් අනුමත කරන්න බැහැ.
මගෙ නෝනා මට සලකන්නේ නැහැ, මං ගැන බලන්නේ නැහැ, මම තනිවෙලා ඉන්නේ, මං කොච්චර ආදරේ කළත් නෝනා මට ආදරේ නැහැ කියලා සානුකම්පිත කතා ගොතලා වෙනත් කාන්තාවන්ගේ අනුකම්පාව දිනාගන්න හදන පිරිමි වගේම, මහත්තයා මට ආදරේ නැහැ, මම එයාව බැන්දේ ගෙදර අයගේ කැමැත්තට, එයා මට වියදමට සල්ලි දෙන්නේ නැහැ, මම ඉන්නේ සතුටෙන් නෙමෙයි කියලා, සුරංගනා කතා ගොතලා අනුන්ගේ පිරිමි ළඟ හුරතල් වෙන විවාහක කාන්තාවනුත් නැතුවම නෙවෙයි. එහෙම ගොඩක් දෙනෙක් අවසානයේ තමන්ගේම වළ තමන්ව කපාගත්ත බව තේරුම් ගන්නකොට දරු පවුල් පිටින් අනාථ වෙලා ජීවිත ගාණක් විනාශ වෙලා ඉවරයි.
‘හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා, හිතෙන හිතෙන තැන නවතිනවා’ කියලා බන්දුල විජේවීර මහතා ගීතයෙන් කිව්වට හිත නවතින හැමතැනකම මිනිස්සු විදිහට අපිට නවතින්න බැහැ.
ආදරයට ප්‍රේමයට සීමා මායිම් නැහැ කියලා කිව්වට විවාහය කියන නීතිමය රාමුවට රාමු වෙච්ච මිනිස්සුන්ට තමන්ගේ ජීවිතවලට සීමා මායිම් තියාගන්නම වෙනවා.
තමන් වෙනුවෙන් හුස්ම ගන්න, තමන් වගකිව යුතු, වගේම තමන්ට වගකිව යුතු තවත් මනුස්ස ජීවිතයක වගකීමෙන් මිදෙන්න කිසිම විවාහක බිරිඳකට හෝ සැමියෙකුට බැහැ.
කාටවත් අහුවෙන එකක් නැහැ, කවුරුවත් දැනගන්න එකක් නැහැ කියලා තමන්ගේ හිත සනසගන්න කරුණු කාරණා එකතු කරගෙන තමන්ට අයිති නැති හෝ තමන්ව අයිති නැති කෙනෙක් එක්ක කායික හෝ මානසික වින්දනයක යෙදෙනවානම් කාට අනුව ඔබ නිවැරදි වුණත් හෘද සාක්ෂියට අනුව කිසිම දවසක ඔබට නිවැරදි වෙන්න බැහැ.
ඔබටවත් නොදැනීම ඒ වෙනස ඔබගේ නීත්‍යනුකූල බිරිඳට, සැමියාට, පෙම්වතිය හෝ පෙම්වතාට දැනෙන්නට පටන් ගන්නට ඔබ හිතන තරම් ලොකු කාලයක් යන්නේ නැහැ. ඔබ මොන තරම් හංගගෙන හිටියත් අනියම් පෙම් කතා ලෝකයට එළිවෙන්නට වැඩි කාලයක් යන්නේ නැහැ. ආලයත් කැස්ස වගේ හංගන්න ලේසි නැහැ කියනවනේ. ආලය කැස්ස නම් අනියම් ආලය කක්කල් කැස්ස වගේ කොහොමටත්ම හංගන්න ලැබෙන්නේ නැහැ. සහකාරයෝ, සහකාරියෝ, දරුවෝ, දෙමව්පියෝ, සමාජය ඔක්කොම ඉස්සරහ තමන්ගේ වලංගු නැති පෙම්කතා එළියට ආපු දවසට බොහෝ අය විසඳුම් හැටියට දකින්නේ කෝච්චියක්, ලණුවක්. එහෙමත් නැත්තම් මැහි තෙල් බෝතලයක්.
එහෙමත් නැත්තම් පිහියක්, කඩුවක්, ඇසිඩ් බෝතලයක්.
අවසානයේ විවාහයෙන් නොලැබෙන අමෘත රසය හොයාගෙන ගිහින් ජීවිත විනාශ කරගෙන, පවුල් අවුල් කරගෙන, ලෝකයක් ඉස්සරහ ලජ්ජා වෙන ගැහැනු සහ පිරිමින්ට අන්තිමට ජීවිතේ ඉතුරු වෙන්නේ දරාගන්න බැරි පශ්චාත්තාපයක් විතරයි.
තත්පරයකට හිතට එන දහසකුත් සිතුවිලි අතර ඇතිවෙලා නැතිවෙලා යන ක්ෂණික සිතුවිල්ලකට අනියම් රහකින් පණ දෙන්න හිතන මුල් මොහොතේම එම තීරණය ගැන දහස් වාරයක් හිතන්න. මේ කරන්නෙ තමන් වගේම තමන්ගේ ආදරණීයන් වගේම තවත් පවුලක් විනාශ කිරීමේ ආරම්භය කියලා හිතපු දවසට අනියම් ආදර කතා හිතේ දොරකඩින් මෙහාට වද්දගන්න ස්ත්‍රී පුරුෂ කාටවත් හිතෙන එකක් නැහැ.
ඔබේ වගේම දරුවන්ගේ ජීවිත කතාවලුත් සතුටෙන් සමාදානයෙන් ලියලා තියන්න නම් විවාහක ඔබත්, විවාහකයෙකුට පෙම් කරන ඔබත්, විවාහක කාන්තාවක් ගැන සිහින මවන ඔබත්, විවාහය කියන රාමුවට රාමුගත වූ වහාම තම තමන්ගේ ප්‍රේමයේ, රාගයේ වගේම බොළඳකම්වල පටි තදකරගෙන හැඟීම්වලට එහා බුද්ධියෙන් ජීවිත යාත්‍රාවේ ගමන් කරන්න හිතාගන්නම ඕනේ.
මොකද මුලදී මුලදී හරි රහට දැනෙන අනියම් පෙම්කතා ඉවර වෙන්නේ වහ වෙලා. ඒ නිසා පිච්චෙනවා කියලා දැන දැන ගින්නට පනිනවා නම් කළු වෙලා අළු වෙලා යන්න ලෑස්ති වෙලාම ඉන්න වෙයි.
මොකද, කවුරු කොහොම කිව්වත් අනියම් ප්‍රේමය කියන්නෙ ගින්දරක් විතරම තමයි.
අනිශා ජයකොඩි