Home » සුහානි, ඔබ හැමදාමත් අපේ සිත්වල තරුවක් ලෙස පායා තිබේවි…

සුහානි, ඔබ හැමදාමත් අපේ සිත්වල තරුවක් ලෙස පායා තිබේවි…

by thanushika
February 24, 2024 12:30 am 0 comment

සිය දියණියන් දෙදෙනාට මල්ලව පොර උගන්වන පියෙකු පිළිබඳ අපූරු කතාවක් රැගත් “දන්ගල්’ සිනමාපටය හින්දි චිත්‍රපට නරඹන සිනමාලෝලීන්ට ලෙහෙසියෙන් අමතක වන සිනමාපටයක් නොවේ. මෙහි මහවීර් සිං නමැති පියාගේ චරිතය රඟපෑවේ ජනප්‍රිය නළු අමීර් ඛාන්. එම චරිතය මෙන්ම ගීතා සහ බබිතා නමැති ඔහුගේ දියණියන් දෙදෙනාගේ චරිත ද මහත්සේ රසිකයන්ගේ ආදරය දිනාගන්නට සමත් වුණා.

කෙසේ හෝ වේවා, පසුගිය සතියේ අසන්නට ලැබුණු ඉතා දුක්බර පුවතකින් පැවසුණේ මෙහි බබිතා ගේ ළමා විය නිරූපණය කළ සුහානි භාත්නගර් හදිසියේ මරණයට පත්ව ඇති බවයි. මිය යන විට ඇය ගේ වයස අවුරුදු 19ක් පමණක් වූ බවත් සඳහන් වුණා. මෙම සිදුවීම බොලිවුඩ් සිනමාවට සම්බන්ධ බොහෝ දෙනා තුළ මෙන්ම රසික රසිකාවියන් තුළ ද විශාල කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබුණා. සුහානි ‘දන්ගල්’ සිනමාපටයේ රඟපෑවේ වයස අවුරුදු 11 දී යි.

ඇය මරණයට පත්ව තිබුණේ ඉතාම දුර්ලභ රෝග තත්ත්වයක් නිසා බවයි සඳහන් වන්නේ. සුහානි මිය ගියේ ඩර්මටෝමයෝසයිටිස් නමැති රෝගය හේතුවෙන් බව ඇයගේ පවුලේ අය ප්‍රකාශ කර තිබුණා. මුල්ම රෝග ලක්‍ෂණය ලෙස ඇති වී තිබුණේ ඇයගේ අතක රතු පැහැති ලපයක්. ඒ මීට මාස දෙකකට පමණ කලින්. ‘අපි රෝහල් කිහිපයකම වෛද්‍යවරුන්ට ඇයව පෙන්නුවා. නමුත් හරියටම රෝග විනිශ්චයක් කර ගන්නට හැකි වුණේ නැහැ’ එසේ පවසා තිබුණේ සුහානිගේ මව පූජා භාත්නගර්. සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය නමැති රෝහලට ඇය ඇතුළත් කර තිබුණේ එයින් පසුවයි. ඇයගේ රෝගය නිශ්චිතවම හඳුනාගෙන තිබුණේ සුහානි මියගිය දිනට දින 10කට පමණ කලින් බව පවුලේ අය සඳහන් කර තිබෙනවා. අවසානයේ ඇය මියගොස් තිබුණේ මෙම රෝගය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් පෙණහලුවලට හානි සිදුවීම නිසයි. අවසන් දිනවල ඇය වෙන්ටිලේටරයකට සම්බන්ධ කර තිබූ බව සඳහන්.

මෙම රෝගය ඉතා දුර්ලභ රෝගයක් ලෙස සැලකෙන අතර එය වැලඳෙන්නේ මිලියනයකින් 10 දෙනෙකුට පමණ බව පැවසෙනවා.

සුහානාගේ මෙම අකල් මරණය ආමීර් ඛාන් සහ ඔහුගේ චිත්‍රපට කණ්ඩායම තුළ ද විශාල ශෝකයක්, කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබුණා. ඔහුගේ චිත්‍රපට සමාගමේ X පිටුවෙහි මෙවැනි සටහනක් පළ කර තිබෙනු දක්නට ලැබුණා.

“අපේ සුහානිගේ මරණය ගැන දැන ගැනීමෙන් අප දැඩි කම්පනයට පත් වුණා. ඇයගේ මව පූජා ඇතුළු පවුලේ සියලු දෙනාට අපේ කනගාටුව පළ කර සිටිනවා. ඇය මොන තරම් දක්‍ෂ දැරියක් ද? මොන තරම් කණ්ඩායම් හැඟීමකින් වැඩ කළ කෙනෙක් ද? සුහානි නොවන්නට ‘දන්ගල්’ අසම්පූර්ණ නිර්මාණයක් වන්නට ඉඩ තිබුණා.

සුහානි, ඔබ හැමදාමත් අපේ සිත්වල තරුවක් ලෙස පායා තිබේවි.”

එම සටහනේ එසේ සටහන්ව තිබුණා.

බබිතා නමැති චරිතයේ තරුණ විය නිරූපණය කළේ සන්යා මල්හෝත්‍රා නමැති නිළියයි. සිය සහෝදර නිළියගේ වියෝව ගැන දැන ගැනීමෙන් ඇය ද මහත් ශෝකයට පත්ව තිබූ අතර සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සුහානි වෙනුවෙන් සටහනක් පළ කර තිබුණා.

“මෙය සැබෑවක් බව මා විශ්වාස කරන්නේ කෙසේද? ඇය වැනි තවත් කෙනෙකු මා දැක නැහැ. සුහානි ඒ තරමටම විශේෂයි. දක්‍ෂයි. මේ තරම් ඉක්මනින් අප හැර යාමට ඇය කුඩා වැඩියි.

සමාදානයේ සැතපෙන්න පුංචි කෙල්ලේ.

ඇයගේ පවුලේ සැමට මා මගේ හද පත්ලෙන්ම කනගාටුව පළ කරනවා”

ආමීර් ඛාන් වරක් සුහානිගේ දක්‍ෂතා ගැන වර්ණනා කර තිබූ ආකාරය පසුගිය දිනෙක මාධ්‍ය නැවත සිහිපත් කර තිබුණා. ආමීර් මෙම ප්‍රකාශය කර තිබුණේ ‘දන්ගල්’ තිරගත වීමට දින කිහිපයකට කලිනුයි.

“මේ චිත්‍රපටයේ රඟපෑම් ගැන කතා කළොත් මේ දැරියන්ගේ රඟපෑම් මගේ රඟපෑම්වලට වඩා දස ගුණයකටත් වැඩියෙන් ඉහළයි. මම මේ අතිශයෝක්තියෙන් කතා කරනවා නෙවෙයි. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පටන් ගත් විට කාටත් ඒ බව දැක ගන්නට ලැබේවි. මේ දැරියන් ඉතාම දක්‍ෂයි” ආමීර් පවසා තිබුණා.

“බබිතා සහ ගීතා යන චරිතවල ළමා කාලයන් නිරූපණය කිරීම සඳහා හරියටම ගැළපෙන නිළියන් සෙවීමට චිත්‍රපට කණ්ඩායම මාස අටක පමණ කාලයක් ගත කළා’ යැයි ද ආමීර් සඳහන් කර තිබුණා.

“චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වෙද්දී මා සහ (අධ්‍යක්‍ෂ) නිතේෂ් එක තීරණයක සිටියා. එනම් මේ චරිතවලට හරියටම ගැළපෙන දැරියන් දෙදෙනෙකු හමු නොවුණහොත් චිත්‍රපටය නිෂ්පාදනය නොකරන බවට යි. චිත්‍රපටයේ සාර්ථකත්වය ඔවුන්ගේ රඟපෑම් මත රඳා පවතින බව අප දැන සිටියා”.

2016 වසරේ තිරගත වූ “දන්ගල්’ අතිශයින් සාර්ථක වූ අතර එය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ සිනමාපටය ලෙස වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ ඉන්දීය රුපියල් කෝටි 2,000ක් ඉක්ම වූ ආදායමක් උපයමින්.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division