Home » මත්කුඩු නැති අඩුවට මත්පෙති ඇවිත් ඉහළට

මත්කුඩු නැති අඩුවට මත්පෙති ඇවිත් ඉහළට

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

– මත්පෙති ලෙස භාවිත කළ හැකි පෙති 10,000ක් මත්ලෝලීන්ට අලෙවි කළැයි ගල්කිස්සේ ෆාමසියක් වටලයි
– සමහර මත්ලෝලීන් මත්කුඩු නැති අඩුව මකා ගන්නේ මේ මත්පෙති බීලා
– ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධරයනුත් මත් වැටලීමට එයි

යුක්තිය මෙහෙයුමේ නිරත පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ පැය 24 පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය ජාවාරම් නිරුපද්‍රිතව සිදුකර ගැනීමේ අපහසුවක් මේ වන විට මතුවී ඇති බව රහසක් නොවේ.

එසේම මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලකිය යුතු පිරිසක් සිය ජාවාරම් නවත්වා ඇති බවටද පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත. ඒ තමන් කුමන මොහොතක හෝ ආරක්ෂක අංශවලට හසුවේවි යැයි සිතා වන්නට ඇත.

මත්ලෝලීන් රැසක්ද මේ වන විට හෙරොයින්, අයිස්, ඈෂ්, කුෂ්, කොකේන් මත්ද්‍රව්‍යවලට තිත තබා ඇත්තේ ඒවා සොයා ගැනීමට මේ දිනවල ඇතැම් අවස්ථාවලදී මුහුණපාන්නට සිදුවන දුෂ්කරතා නිසාය. එහෙත් ඒ වෙනුවට මත්ලෝලීන් සැලකිය යුතු පිරිසක් මත්පෙතිවලට මාරු වී ඇත්තේ සමහර ජාවාරම්කරුවන් මත්පෙති, මත් කරල් ජාවාරම් තවමත් නිරුපද්‍රිතව සිදු කරගෙන යන නිසාය.

මත් කරල් සහ මත්පෙති පසුගිය මාස තුන ඇතුළත මෙරට විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනුණේ යුක්තිය මෙහෙයුම යටතේය. එසේ අත්අඩංගුවට ගැනුණු මත්පෙති සංඛ්‍යාව 3,75,000කට ආසන්නය.

මේ ජාවාරමේ ආසන්නම සිද්ධිය වන්නේ විශේෂඥ වෛද්‍යවරයෙකුද ගම්පොළ ප්‍රදේශයේදී මත් කරල් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීමයි. වෛද්‍ය වෘත්තියට වඩා මත් කරල් ජාවාරමෙන් විශාල මුදලක් උපයාගත හැකි යැයි සිතා මේ වෛද්‍යවරයා මත් කරල් ජාවාරම සිදු කරන්නට ඇතැයි මේ සිද්ධිය ඇසූ දුටු ඕනෑම කෙනෙකුට සිතිය හැකිය. ඇත්ත තත්ත්වයද එයයි.

සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මෙතෙක් සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට තිත තබා මත්පෙති සහ මත් කරල් ජාවාරමට පෙලඹී ඇත්තේ ලොකු ලාභයක් ඉන් සොයාගත හැකි නිසාය. මන්නාරම සහ යාපනය ප්‍රදේශවලින්ද මත් කරල් විශාල තොගයක් මීට පෙර පොලිසිය මඟින් සොයා ගැනුණු අතර මේ මත් කරල් ධීවර බෝට්ටුවල සඟවා මෙරටට ගෙන එන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

හෙරොයින්, අයිස්, කුෂ්, ඈෂ්, කොකේන්, කංසා ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට වඩා ශීඝ්‍රයෙන් මත්පෙති සහ මත් කරල් මත් ලෝලීන් අතර ව්‍යාප්ත වීම ගැන යුක්තිය මෙහෙයුමේ නිරත පොලිස් කණ්ඩායම් අවධානයෙන් සිටින්නේ මීට සති කිහිපයකට කලින් සිටය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මේ ජාවාරම්කරුවන් ගැන කලක් තිස්සේ ඇස ගසාගෙන සිටින නිලධාරියෙකි. ඔහු අපරාධ මර්දන කාර්යයෙහි දක්ෂයෙකි. පොලිස් පරීක්ෂක ගෝවින්නට පසුගියදා තොරතුරක් ලැබිණි. ඒ මත්ලෝලීන්ට මත්පෙති අලෙවි කරන පෞද්ගලික ඖෂධ හලක් පිළිබඳවය. අදාළ ඖෂධ හල පිහිටා තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේය.

ලැබුණු තොරතුර සියයට සියයක් නිවැරදි වුවද පොලිස් පරීක්ෂක ගෝවින්න කලබල නොවී අවශ්‍ය පියවර ගත්තේය. ඒ අදාළ ඖෂධ හලෙන් මත්ලෝලීන් සඳහා මත්පෙති අලෙවි කරනවාදැයි පොලිස් උපාය දූතයන් යොදා පරීක්ෂා කිරීමයි. මේ සඳහා පොලිස් උපාය දූතයන් දෙදෙනෙකු යොදා ගැනිණි.

අදාළ ඖෂධ හලෙන් මත්ලෝලීන් සඳහා නීති විරෝධී ලෙස ඖෂධ අලෙවි කරන බව පොලිස් උපාය දුතයෝ තහවුරු කරගත්තේ ඒ පිළිබඳව සිදු කරන ලද විමර්ශනයේදීය.

මේ අනුව එම සිද්ධිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දෙනු ලබන්නේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙනි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානි අමිත් පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද පොලිස් නිලධරයන්ගේ සහායට පැමිණෙන්නේ වැටලීම සිදු කිරීම සඳහාය.

අදාළ ඖෂධ හල අසලට යන විමර්ශන නිලධරයෝ පොලිස් උපාය දූතයකු නැවත වරක් විමර්ශන කටයුතු සඳහා යෙදවූහ. එම නිලධරයාගෙන් ලැබුණු තොරතුරු මත වැටලීම සිදු කැරිණි. මත්ලෝලීන්ට නීති විරෝධි ලෙස අලෙවි කළ මත්පෙති දසදහසක් පමණ පොලිස් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධරයන්ගේ භාරයට ගැනෙන්නේ ඒ සමඟය.

අදාළ ඖෂධ හල අයත් හතළිස් දෙහැවිරිදි කාන්තාවක්ද ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගැනිණි.

මේ පෙති දහයක් අඩංගු කාඩ් පතක නියම මිල රුපියල් හාරසීයක් වුවද අදාළ ෆාමසියේ මේ කාඩ්පතක් අලෙවි කර ඇත්තේ රුපියල් හත්සියයකටය.

මේ පෙති භාවිතයට ගැනීම සඳහා වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වුවද අදාළ ෆාමසියෙන් ඒවා කිසිවක් නොමැතිව ඖෂධ නිදහස් කර ඇත්තේ මත්ලෝලීන්ටය. අත්අඩංගුවට ගත් සැකකාරිය බැඳුම්කරයක් මත මුදා හැර ඇත.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පීරිස්ගේ මඟ පෙන්වීම මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න, පොලිස් පරීක්ෂක ගයාශ්‍රී, කොස්තාපල් 99213 සේනාරත්න, 102020 බණ්ඩාර ඇතුළු නිලධාරීන් වැටලීම සිදු කරන ලද අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින්ද ඊට සහාය වූහ.

මේ අතර බෙන්තොට පාලම අසල පිහිටි වෙළෙඳසලකින් අවුරුදු 21ට අඩු අයකුට මදන මෝදක අලෙවි කළැයි චෝදනාව යටතේ විමර්ශන ආරම්භ කළ අලුත්ගම පොලිසියේ නිලධාරින් පසුව අදාළ වෙළෙඳසල පරීක්ෂාවට ලක්කර මදන මෝදක 500ක් පමණ සොයා ගනු ලැබුවේ පසුගියදාය.

වෙළෙඳසලේ සේවකයන් දෙදෙනෙකුගෙන්ද ප්‍රශ්න කැරිණ. අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් රත්නසිංගම්ගේ උපදෙස් මත විමර්ශන සිදු කැරිණි.

ඡායාරූප හල්තොට සමූහ - විනීතා මානෙල්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division